Skip to content

පටුනට යන්න

නිවැරදි තොරතුරු ලබාගන්න

නිවැරදි තොරතුරු ලබාගන්න

නිවැරදි තොරතුරු ලබාගන්න

නොයෙකුත් විෂයන් පිළිබඳව නිවැරදි තොරතුරු ලබාගැනීම දුෂ්කරයි. ආණ්ඩු සහ සමාගම් කරන ප්‍රකාශයන්වලින් සත්‍යය සම්පූර්ණයෙන් හෙළි කෙරෙන්නේද නැත. ප්‍රමුඛ පෙළේ ජනමාධ්‍ය නාලිකාවන් අපක්ෂපාතීව වාර්තා සපයන බවට පොරොන්දු වුණත් එම පොරොන්දු සීමා වී ඇත්තේ වචනයට පමණයි. වෛද්‍යවරුන් ඔවුන් නිර්දේශ කරන ප්‍රතිකාරවල අතුරු ආබාධ ගැන අපව දැනුවත් කරන්නේ අල්ප වශයෙනි. ඇත්තෙන්ම නිවැරදි තොරතුරු ලබාගන්න විශ්වාසදායක ක්‍රමයක් තිබේද?

අන්තර්ජාලය භාවිතයට පැමිණි විට ලොව වටා ඇති තොරතුරු ලබාගැනීමට මෙය විශ්වසනීය මඟක් ලෙස සිතමින් බොහෝදෙනෙක් උද්දාමයට පත් වූහ. එය කළ හැක්කේ ඔබ තොරතුරු සොයාගැනීමේ නියම ස්ථානයට යෑම සඳහා මවුසයේ බොත්තම තද කළ යුත්තේ කොතැනද කියා දැන සිටියහොත් පමණයි. “අන්තර්ජාලයෙහි හොඳ පැති ගැන කියනවා නම්, එයට පුළුවන් ජනමාධ්‍යයේ මෙවලමකට වඩා ඉක්මනින් මනුෂ්‍යයන් වැඩි පිරිසක් දැනුවත් කරන්න. එහි නරකම පැත්ත තමයි ජනමාධ්‍යයේ අන් සෑම මෙවලමකටම වඩා එය මනුෂ්‍යයන්ගේ බුද්ධිය මොට කිරීමට ඉවහල් වීම.” එවන් ප්‍රකාශයක් සඳහන් වුණේ ද නිව් යෝක් ටයිම්ස්හි කතුවැකියකය.

එම කතුවැකියේ තවදුරටත් සඳහන් වුණේ මෙවැන්නකි. “අන්තර්ජාලය දියුණු තාක්ෂණය යොදා පිළියෙළ කර ඇත්තක් බවට පවතින මතය හේතුවෙන් මනුෂ්‍යයන්ට එය විස්මයක් වගෙයි. ඒ නිසා එතරම් දැනුම් තේරුම් නැති අය එයින් සපයන තොරතුරු එක පයින්ම විශ්වාස කරනවා. ඔවුන් අන්තර්ජාලයේ නරක පැත්ත දකින්නේ නැහැ. ඒක හරියට ඇරී තිබෙන කසළ පිරුණු අපවිත්‍ර කාණුවක් වගෙයි. ඇත්තෙන්ම සෝදිසියට ලක් නොකළ, පිරිපහදු නොකළ තොරතුරු ලබාගත හැකි ඉලෙක්ට්‍රෝනික පයිප්පයක් හා සමානයි.” කතෘවරයා කී ආකාරයට අනවශ්‍ය තොරතුරු කපාහැරීමට පරිගණක ක්‍රමලේකයක් නොතිබීම අභාග්‍යයකි.

ඕනෑම කෙනෙකුට අන්තර්ජාලයට, සඟරාවකට හෝ පොතකට ඕනෑම දෙයක් ඇතුළත් කළ හැකියි. එමනිසා, අප විචාර බුද්ධියෙන් කටයුතු කරමින් දැනමිතිකම ලබාගැනීමට උත්සුක විය යුතුයි. එවිට අප කියවන ඕනෑම දෙයක් ඉක්මනින්ම විශ්වාස කිරීමට අප පෙලඹෙන්නේ නැත. අපට නිවැරදි තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම් එය ලබාගන්නා මූලාශ්‍රය විශ්වාසදායකද කියා සහතික කරගත යුතුයි. මේ සඳහා කාලය ගත වෙයි. නමුත්, අප එසේ කර නිවැරදි තොරතුරු ලබාගන්නා විට නැණවත් ලෙස සිතීමට, හරි විනිශ්චයන් කිරීමට සහ ආත්ම විශ්වාසයකින් යුතු වැදගත් තීරණ ගැනීමට අපට හැකි වෙයි.