Skip to content

පටුනට යන්න

“ම්ලේච්ඡ අපරාධයක්”

“ම්ලේච්ඡ අපරාධයක්”

“ම්ලේච්ඡ අපරාධයක්”

මරියා a ළමා ගණිකාවක් වූයේ ඇයට වයස අවුරුදු 14දීයි. ඇය ඉතා පිළිකුල්සහගත මේ ජීවන රටාවට හුරු වූයේ ඇගේ මවගේ ඇවටිල්ල නිසයි. මරියා පියකරු බවත් පුරුෂයන් ඇයට බොහෝ සෙයින් කැමති වනු ඇති බවත් ඇගේ මව ඇයට කියා සිටියා. ඊට අමතරව, ඇයට බොහෝ මුදල් උපයන්නත් පුළුවන් වේවි යන්න ඇගේ මවගේ අදහස වුණා. සවස් කාලවලදී මරියාව නිවහනකට රැගෙන ගිය ඇගේ මව එහිදී ඇයට පුරුෂයන්ව මුණගැස්සුවා. මව ඒ අසලට වී සිටියේ ඇයට ගාස්තුව ලැබෙන තෙක්. සෑම රාත්‍රියකදීම මරියා මිනිසුන් තුන්දෙනෙක් හෝ හතරදෙනෙක් සමඟ ලිංගිකව හැසුරුණා.

මරියාගේ නිවසට නුදුරින් ජීවත් වන 13 හැවිරිදි කරිනාද ගණිකා වෘත්තියට ඇද දමනු ලැබූ තවත් තැනැත්තියක්. උක් වගා කරන කම්කරුවන් ජීවත් වන ප්‍රජාවක වෙසෙන වෙනත් බොහෝ පවුල් මෙන්, කරිනාගේ පවුලේ අයද ඇගේ සිරුර වික්කේ තමන්ගේ සුළු ආදායමට යමක් එකතු කරගන්නයි. තවත් ප්‍රදේශයක සිටින එස්ටෙලා පාසැල් යෑම අතහැරියේ ළමා වියේදීමයි. කියවන්නට හෝ ලියන්නට නොදැන සිටි ඇය වීදි ගණිකාවක් ලෙස වැඩ කරන්නට පටන්ගත්තා. තමාගේම අයියා කෙනෙකුගේ ලිංගික අඩන්තේට්ටම්වලට ලක් වන විට ඩේසිගේ වයස අවුරුදු හයක් පමණයි. ඇයට බලහත්කාරයෙන් කරන ලද ලිංගික සාපරාධී ක්‍රියාවලින් පළමුවැන්න එයයි. ඇය වයස අවුරුදු 14දී ගණිකාවක් බවට පත් වුණා.

ලෝකයේ බොහෝ ප්‍රදේශවල ළමා ගණිකා වෘත්තිය යන මේ ගැටලුව ඉතා බියකරු යථාර්ථයක් බවට පත් වී තිබෙනවා. මෙහි ප්‍රතිඵල ඉතා ඛේදජනකයි. ඉඳහිට හෝ වේවා පූර්ණ කාලීනව හෝ වේවා ගණිකා වෘත්තියේ නියැලෙන මෙම ළමා ගණිකාවන් බොහෝවිට අපරාධ සිදු කිරීමට සම්බන්ධ වෙනවා වගේම මත්ද්‍රව්‍යද භාවිත කරනවා. b ඔවුන්ගෙන් බොහෝදෙනෙක් සිටින්නේ කලකිරීමෙන් හා තමන් කිසිම වටිනාකමක් නැති අයය යන හැඟීමෙන්. තමන් හිර වී සිටින මේ ඛේදජනක ආගාධයෙන් ගොඩ ඒමට කිසිම හැකියාවක් නැති බවයි ඔවුන්ට පෙනෙන්න තිබෙන්නේ.

සමාජයේ ප්‍රභූවරුන් ළමා ගණිකා වෘත්තියේ ඉතා කටුක බලපෑම් වටහාගෙන තිබෙනවා. බ්‍රසීලයේ හිටපු ජනාධිපති ෆර්නැන්ඩෝ එන්රීකේ කාර්ඩෝසු ඉතා යෝග්‍ය ලෙස ප්‍රකාශ කළේ මෙසේයි. “ළමා ගණිකා වෘත්තිය ම්ලේච්ඡ අපරාධයක්.” එක්තරා බ්‍රසීල පුවත්පතක් ළමා ගණිකා වෘත්තිය ගැන මෙම බැරෑරුම් අදහස පළ කළා. “[මුදල්] ලැබෙන නිසාම, එවන් චර්යාවක් සමාජයේ පොදු දෙයක් ලෙස සැලකෙන, ඊට ඉඩ දෙන, එය පිළිගැනෙන, එය ප්‍රවර්ධනය කිරීමට රුකුල් දෙන රටවල්, එවන් චර්යාවක් මගින් සෑම දිනකම ඇති කරන මහා විනාශය අද්දකියි. එවන් චර්යාවකින් පුද්ගලයන්ට, පවුල්වලට හා සමාජයට සිදු වන ව්‍යසනයන් ගත් කල, ඉන් ඉපැයෙන මූල්‍යමය ලාභවල කිසිදු වටිනාකමක් නැත.”

එහෙත්, ළමා ගණිකා වෘත්තියට නැවතීමේ තිතක් තැබීම සම්බන්ධයෙන් යම් අයට උදාර අදහස් තිබුණද, මේ ගැටලුව එන්ට එන්ටම වැඩි වර්ධනය වෙනවා. මේ බියකරු තත්වයට හේතු පාදක වන්නේ මොනවාද? මෙතරම් සංඛ්‍යාවක් මෙවැනි අපරාධයකට ඉඩ දෙන්නේ හෝ එය ප්‍රවර්ධනය කිරීමට අර අඳින්නේ ඇයි?

[පාදසටහන]

a මෙම ප්‍රධාන ලිපි මාලාවේ සඳහන් නම් වෙනස් කර ඇත.

b මෙම ලිපි මාලාවේ භාවිත කරන ගණිකාවන් යන වචනය ස්ත්‍රීලිංග වචනයක් වුවද, තොරතුරු දෙපක්ෂයටම අදාළ වේ.

[3වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“ළමා ගණිකා වෘත්තිය ම්ලේච්ඡ අපරාධයක්.”—බ්‍රසීලයේ හිටපු ජනාධිපති ෆර්නැන්ඩෝ එන්රීකේ කාර්ඩෝසු

[4වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“සියලු ආකාර ලිංගික සූරා කෑම් මිනිස් අභිමානය සමඟ කොහෙත්ම නොගැළපේ. ඒ නිසා එය ගොදුරු වන්නාගේ වයස, ස්ත්‍රී පුරුෂභාවය, ජාතිය, වාර්ගිකත්වය හෝ පංතිය කුමක් වුවත් එමගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය වේ.”—යුනෙස්කෝ මූලාශ්‍ර.