Skip to content

පටුනට යන්න

මුහුදු වෙරළේ නෙත වශී කරවන වස්තූන්

මුහුදු වෙරළේ නෙත වශී කරවන වස්තූන්

මුහුදු වෙරළේ නෙත වශී කරවන වස්තූන්

නිකරාගුවාහි පිබිදෙව්! ලේඛක විසින්

ඔබ යම්කිසි දවසක මුහුදු වෙරළ දිගේ ඇවිදගෙන යන ගමන් නෙත වශී කරවන, දිලිහෙන සිප්පි කටුවක් දැක ප්‍රීතියෙන් ඉපිලී ගොස් තිබෙනවාද? ඇත්තෙන්ම, එය ඔබටම සීමා වූ අද්දැකීමක් නොවෙයි. සිප්පි කටුවලට තිබෙන පුදුමාකාර විවිධත්වය හා සුවිශේෂී අලංකාරය නිසා ඕනෑම වයසක ඉන්න අය ඒවා ඉතා අගනා වස්තූන් හැටියට සලකනවා.

මිහිපිට සෑම මුහුදු වෙරළකින්ම පාහේ සිප්පි කටු සොයාගත හැකියි. එහෙත් සිප්පි කටුවක් කියන්නේ නිකම් අතට අරං අගය කරන්න පුළුවන් ලස්සන වස්තුවක් පමණක් නොවෙයි. ඒ සෑම කටුවක්ම කලක් මෘදු දේහයකින් යුත් මොලුස්කා නම් වූ සතෙකුගේ නිවහන වූ අතර එම නිවහන තනා ඇත්තේද එම සත්වයාමයි. දළ වශයෙන් කර තිබෙන ගණනය කිරීම්වලට අනුව අද දින මොලුස්කා විශේෂ 50,000කට අධික සංඛ්‍යාවක් සිටිනවා.

මෙම ලිපියෙහි සඳහන් කරන සෑම මුහුදු බෙල්ලෙකුම නිකරාගුවාහි පැසිෆික් වෙරළබඩ තීරයේ සොයාගන්න පුළුවන්. මම ඒවායින් වැඩි ප්‍රමාණයක් ඇහිඳගත්තේ කිලෝමීටර් 3ක් දිග පෝනිලෝයා හා ලාස් පෙන්යීටාස් නම් වෙරළ තීරයෙනුයි. මට අනිත් ඒවා ලැබුණේ ඒ ප්‍රදේශයේ සිටින ධීවරයන්ගෙනුයි. මම දැන් මේ කටු සහ ඒවා තැනූ මුහුදු බෙල්ලන් කිහිපදෙනෙකුව ඔබට හඳුන්වා දෙන්නම්.

විශාල ගැස්ට්‍රපොඩාවන්

මුහුදු බෙල්ලන්ගේ කටු වැඩි ප්‍රමාණයක් සාදනු ලබන්නේ මොලුස්කාවන් විසිනුයි. උන් ගැස්ට්‍රපොඩාවන් (gastropoda) හා දෙපියන් බෙල්ලන් (bivalvia) යනුවෙන් හඳුන්වන ප්‍රධාන කාණ්ඩ දෙකකට අයත් වෙනවා. සාමාන්‍යයෙන් සියලුම ගොළුබෙල්ලන් ඇතුළු ගැස්ට්‍රපොඩාවන්ට හිසක්ද හිස මත ග්‍රාහික යුගළයක් සහ ඇස්ද තිබෙනවා. මේ මොලුස්කාවන් බඩගා යන්නේ තනි පේෂිමය පාදයක් ආධාරයෙනුයි. ඔවුන්ව “උදර-පාදයා” නම් අරුත් ඇති ගැස්ට්‍රපොඩාවන් යන නමින් හඳුන්වන්නේ ඒ නිසයි.

ගැස්ට්‍රපොඩාවන් හුස්මගන්නේ සහ ආහාර බුදින්නේ කොහොමද? බොහෝ මුහුදු බෙල්ලන් හුස්මගන්නේ උන්ගේ හිස් මුදුනේ තිබෙන නාලාකාර අවයවයක් වන නිනාලය (siphon) ආධාරයෙන්. නිනාලය උන්ට උපකාරවත් වෙනවා ජලක්ලෝම (gills) හරහා ජලය උරාගැනීමට. ඇතැම් ගැස්ට්‍රපොඩාවන්ට ආහාර බුදීම සඳහා ශුණ්ඩාව (proboscis) නම් වූ තවත් නාලාකාර අවයවයක් තිබෙනවා. කුඩා දත් පේළියකින් යුත් කොරොස් පටකයක් වන රේත්‍රිකාව බොහෝ ගැස්ට්‍රපොඩාවන් සතු තවත් අවයවයකි (radula). රේත්‍රිකාව මොලුස්කාවාගේ ආහාර කුඩා කැබලිවලට ඉරා දමමින් පීරක් සේ ක්‍රියා කරනවා. සෑම ගැස්ට්‍රපොඩාවෙකුටම ස්නායු පද්ධතියක්, සංසරණ පද්ධතියක්, ආහාර ජීරණ පද්ධතියක් සහ ප්‍රජනන පද්ධතියක් තිබෙනවා.

මුහුදු බෙල්ලෙකුගේ කටුවක් ගැස්ට්‍රපොඩාවෙකු විසින් සාදන ලද්දක්ද නැද්ද කියා දැනගන්නේ කොහොමද? එය ගැස්ට්‍රපොඩාවෙක් සෑදූ එකක් නම්, එයට තිබිය යුත්තේ තනි කවචයක් නැත්නම් කටුවක් විතරයි. සාමාන්‍යයෙන් එම කටුව දඟර ගැසී තිබෙනවා. මූරෙක්ස් (murex), ටන් (tun), කාවඩි (cowrie), කේතු (cone) සහ ඉස්කුරුප්පු (turritella) බෙල්ලන්ගේ කටු සියල්ලම අයත් වන්නේ ගැස්ට්‍රපොඩාවන්ටයි. දැන් අපි මෙම නෙත වශී කරවන වස්තූන් වෙතට වඩා කිට්ටු අවධානයක් යොමු කරමු.

කෙටි වර්ධන කාල පරිච්ඡේදයන් —ආහාර සඳහා සිදුරු විදීම

මූරෙක්ස් බෙල්ලන්ගේ කටු සාමාන්‍යයෙන් ඉතා සංකීර්ණ හැඩවලින් යුක්තයි. මට එවැනි කටු දෙකක් සම්බ වුණා. ඒ තමයි රොයල් මූරෙක්ස් බෙල්ලාගේ ලස්සන රෝස සහ දුඹුරු පැහැගැන්වුණු කටුව හා ඒ හා සමාන අලංකාරයක් ඇති රූට් මූරෙක්ස් බෙල්ලාගේ කටුව. එම කටු මත පිටතට නෙරා ගිය උල් ඇති වුණේ කොහොමද? මොලුස්කාවන් වෑරික්ස් (varix) නමින් හඳුන්වන නෙරීම් නිර්මාණය කරන්නේ කටුව හෙමින් වර්ධනය වන කාල පරිච්ඡේදයන් තුළදීයි. නෙරීම් අතර තිබෙන කොටස් වේගවත් වර්ධනයක් සිදු වූ කාල පරිච්ඡේද තුළදී කටුවේ වර්ධනය වූ ඒවායි. මුහුදේ නිධාන වන සිප්පි කටු (සිංහලෙන් නොමැත) නමැති පොතේ එය පැහැදිලි කරන්නේ මේ ආකාරයටයි. “කටුවට අලුත් කොටස් එකතු කිරීම සඳහා කොයිතරම් ශක්ති ප්‍රමාණයක් වැය වෙනවාද කිවහොත් බොහෝ ගැස්ට්‍රපොඩාවන් කටුවේ ඉක්මන් වර්ධනය වෙනුවෙන් ශක්තිය වැය කිරීමට හැකි වන සේ තමන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලියේ වේගය අඩාල කරමින් යම් කලකට අක්‍රියාශීලීව සිටිනවා. සාමාන්‍යයෙන් මේ සතා සතුරන්ගෙන් කරදරයක් නොවන සේ වැලි යට හෝ වෙනයම් ක්‍රමයක් යොදාගනිමින් සැඟවේ. . . . සතාගේ වර්ධන කාල පරිච්ඡේදය දවස් කිහිපයක සිට සති කිහිපයක් දක්වාම දිව යා හැකියි. එය තීරණය වන්නේ මොලුස්කාවා කොයි විශේෂයට අයත්ද යන කාරණය මතයි.”

මූරෙක්ස් බෙල්ලා ඉතා කැපීපෙනෙන ලෙස වෙනත් බෙල්ලන්ව ගොදුරු කරගන්නා සතෙක්. සමහර අවස්ථාවලදී සිප්පි කටු එකතු කරද්දී, ඇතැම් කටුවල තිතටම සකස් වූ චූටි සිදුරු විද තිබුණේ ඇයි කියා මා කල්පනා කළා. මොලුස්කාවන් කිහිපදෙනෙකු මෙන් මූරෙක්ස් බෙල්ලාද තමා ගොදුරු කරගන්නා සතාගේ කටුවේ කුඩා සිදුරු විදින බව මට පසුව දැනගන්න ලැබුණා. ඌ ඒ සඳහා රේත්‍රිකාව නමැති තම දත් පේළිය යොදාගන්නවා. ඉන්පසු මූරෙක්ස් බෙල්ලා තම ශුණ්ඩාව සිදුර තුළට යවා බඩ පිරෙන්න කනවා!

බයිබලයේ මූරෙක්ස් බෙල්ලා ගැන වක්‍රාකාරව සඳහන් කර තිබෙන බව දැනගැනීමෙන් මා පුදුමයට පත් වුණා. බයිබල් කාලවලදී රෙදි සායම් කිරීම සඳහා භාවිත කළ මිල අධික රත්නිල් ඩයි වර්ගයක් සෑදීමට යොදාගත්තේ මධ්‍යධරණී මුහුදේ සුලභව දක්නට ලැබෙන මූරෙක්ස් ට්‍රන්කියූලස් සහ මූරෙක්ස් බ්‍රැන්ඩාරිස් යන බෙල්ලන්වයි. (එස්තර් 8:15; ලූක් 16:19) මූරෙක්ස් බෙල්ලාගේ එක්තරා ග්‍රන්ථියකින් කහ පැහැති දියරයක් ස්‍රාවය වෙනවා. හිරු රශ්මියට නිරාවරණය කළ විට එම දියරය තද දම් පැහැයට හෝ රත්නිල් පැහැයට හැරේ. එක් මූරෙක්ස් බෙල්ලෙක් ස්‍රාවය කරන්නේ ඉතා සුළු දියර ප්‍රමාණයක් නිසා ඩයි ග්‍රෑම් එකහමාරක් සෑදීමට මූරෙක්ස් බෙල්ලන් 12,000ක් පමණ යොදාගත යුතු බව ගණනය කර තිබෙනවා! තීර්හි රත්නිල් සායම් වශයෙන් හැඳින්වූ එම ඩයි වර්ගය ධනවතුන්ට පමණක් සීමා වූ එක පුදුමයක්ද! a

සිනාසෙන බෙල්ලෝ

මම එකතු කරගත් සිප්පි කටු අතරේ ටන් බෙල්ලෙකුගේ කටුවකුත් තිබෙනවා. ඒ කටුව අයිති වන්නේ සිනාසෙන ටන් (Malea ringens) බෙල්ලාටයි. ටන් බෙල්ලන්ව ලෝකයේ ඕනෑම තැනක සොයාගත හැකියි. එයට හේතුව, මුහුදු පතුළට බැස වර්ධනය වීමට පෙර උන්ගේ කීටයන් සති ගාණක් හෝ මාස ගාණක් නිදැල්ලේ ජලය උඩ පාවෙමින් සිටීමයි. උන්ගේ කටුව වටේම දැකගත හැකි ඉල ඇට වැනි වූ පළල් ඉරි පේළිය මෙන්ම සිනාසෙන ටන්ටම ආවේණික වූ දත්වලින් සවිමත් වූ මහත් වූ තොලද කාගෙත් නෙත් සොරාගන්නවා. මෙම තොල මගින් ප්‍රණීත ආහාරයක් වන කටුව ඇතුලේ ඉන්න බෙල්ලාව බඩගින්නේ ඉන්න කකුළුවන්ගෙන් ආරක්ෂා වන බව විශ්වාස කෙරේ.

මා එකතු කරගත් කටු අතරේ ක්‍රවුන් කොන්ච් බෙල්ලාගේ (සක් බෙල්ලාගේ) කුඩා මෙන්ම හොඳින් වැඩුණු කටුද තිබෙනවා. ඔටුන්නක හැඩය ගන්නා උල් නෙරුම් එය සතුයි. ට්‍රයිටන් (triton) බෙල්ලෙකුගේ කුඩා කටුවකුත් මා ගාව තිබෙනවා. එම කටුවට පුළුවන් දිගින් සෙන්ටිමීටර් 15ක් දක්වාම වර්ධනය වෙන්න. මා ගාව තිබෙන තවත් කටුවක් තමයි ප්ලියූරෝප්ලොකා ප්‍රින්සෙප්ස් (Pleuroploca princeps) බෙල්ලාගේ කටුව. එම කටුවේ දුර්ලභ තැඹිලි පැහැය හේතුවෙන් එය සලකන්නේ ඉතා අගනා වස්තුවක් ලෙසයි. ගැඹුරු මුහුදේ වෙසෙන එවැනි විශාල බෙල්ලන්ගේ කටු මුහුදු වෙරළට ගසාගෙන එන්නේ ඉතා කලාතුරකින්. ඉහත සඳහන් බෙල්ලන්ගේ ලස්සන කටු මට ලැබුණේ මගේ මිතුරන් වන ධීවරයන් කිහිපදෙනෙකුගෙනුයි. එම බෙල්ලන් ඔවුන්ගේ මාළු දැල්වල හෝ පොකිරිස්සන් අල්ලන්න දාපු උගුල්වල පැටලී සිටියා. ඔවුන් බෙල්ලන්ව කෑමට අරගෙන ඒ ලස්සන කටු ටික මට තියාගන්න දුන්නේ හරිම ලෙන්ගතුකමකින්.

කුඩා වුවත් නෙත් සිත් ඇද බැඳ ගනී

සමහර දවස්වලදී වඩදිය උදම් බහින්නේ සිප්පි කටු පේළියක් වැල්ල දිගේ ඉතිරි කර දමායි. එතකොට වඩා කුඩා මෙන්ම සිත්ගන්නා ගැස්ට්‍රපොඩාවන්ගේ කටුත් වැල්ලේ සොයාගන්න පුළුවන්. මේ අතරේ නෙත වශී කරවන වර්ග කිහිපයක්ම තිබෙනවා. කාවඩි, කේතු, බුරුම (auger), හිරුතැටි (sundial), ඉස්කුරුප්පු සහ සඳ (moon) බෙල්ලන්ගේ කටු මින් සමහරක්. මුහුදු බෙල්ලන්ගේ විශේෂයන් ගණනාවක්ම සිටින නිසා සිප්පි කටු එකතු කරන සමහර අය එකතු කරන්නේ එක විශේෂයකට අයත් බෙල්ලන්ව විතරයි. උදාහරණයකට කේතු බෙල්ලන් විතරක් විශේෂ 500කට අධික සංඛ්‍යාවක් සිටිනවා!

ගැස්ට්‍රපොඩාවන්ගේ කටුවල දක්නට තිබෙන වඩාත් සිත්ගන්නාසුලු දේ වන්නේ ඒවා සතු දඟරයක් වැනි වූ මෝස්තරයි. එම මෝස්තරය සහිත ඉතා හුරුබුහුටි කටු වන්නේ හිරුතැටි, සඳ සහ බුරුම බෙල්ලන්ගේ කටුයි. ගැස්ට්‍රපොඩාවන්ගේ කටු වර්ධනය වෙද්දී ඒවා ඉතා නිශ්චිත මෝස්තරයක් ගනී. ක්‍රමානුකූලව වර්ධනය වෙද්දී ඒවායේ ප්‍රධාන හැඩය වෙනස් නොවී පවතින්නේ ඒ නිසයි. මොලුස්කාවා මෙම දඟර හැඩය නිර්මාණය කරන්නේ කටුවේ අග කොටසට නොනවත්වාම අලුත් කොටස් එකතු කිරීමෙන් සහ කටුවේ හරි මැද තියෙනවායයි සිතන මනඃකල්පිත අක්ෂයක් වටා ඇඹරීමෙනුයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් සෑදෙන කටුව එහි ඇතුලේ ඉන්න මොලුස්කාවාට කුඩා, සවිමත්, ප්‍රයෝජනදායක මෙන්ම අලංකාර නිවහනක් බවට පත් වෙනවා.

මට්ටියා, රැලි බෙල්ලා සහ වෙනත් දෙපියන් බෙල්ලෝ

කලින් සඳහන් කළ දෙපියන් බෙල්ලන් ලෙස හැඳින්වෙන මොලුස්කාවන් ගැන කියන්න තිබෙන්නේ කුමක්ද? උන්ගේ කටුද නිකරාගුවා වෙරළේ ඕනෑ තරම් සොයාගත හැකියි. උන්ට පියන් දෙකකින් යුත් කටුවක් තිබෙනවා. එම පියන් දෙක වැසෙද්දී ගාණට සවි වන නිසා ඇතුලේ ඉන්න සතා ඉන් ආරක්ෂා වෙනවා. මට්ටියා (clam) කවුරුත් හොඳින් දන්නා දෙපියන් බෙල්ලෙක්. දෙපියන් බෙල්ලන්ට හිසක් නැහැ. නමුත් ජලය තුළදී රස හෝ සුවඳ දැනීමට උපකාරවත් වන සංවේදී ඉන්ද්‍රියයන් (sensory organs) උන්ට තිබෙනවා. එම ඉන්ද්‍රියයන් හඳුන්වන්නේ රසායනික ප්‍රතිග්‍රාහකයන් (chemoreceptors) ලෙසයි. සාමාන්‍යයෙන් දෙපියන් බෙල්ලන් ආහාර බුදින්නේ මුහුදු ජලයේ ඇති කාබනික ද්‍රව්‍ය පෙරාගනිමිනුයි. මුන්ගෙන් සමහරෙකුට හීනි, පේෂිමය පාදයක් තිබෙනවා. උන් ඉදිරියට ගමන් කරන්නේ එමගින්. තවත් දෙපියන් බෙල්ලෙක් වන රැලි බෙල්ලා (scallop) පිහිනන්නේ තම පියන් දෙක හයියෙන් වසාගනිමිනුයි. එසේ කිරීමේදී ඌ ඉදිරිපසට වේගවත් ජල පහරක් විදීමට සලස්වන අතර එමගින් ඌව පිටුපසට තල්ලු වෙනවා. ඉදිරියට ගමන් කිරීම සඳහා ඌ පිටුපසට ජල පහරක් විදිනවා. ළඟපාතක යම් අනතුරක් තිබෙන බව රැලි බෙල්ලා දැනගන්නේ කොහොමද? කුඩා වුවත් ඉතා තියුණු නිල් පැහැති ඇස් ගණනාවකින් යුත් පේළි දෙකක් උගේ ශරීරය වටේ පෙනෙන්න තිබෙනවා. ඒ නිසා ළඟින් යන සතුරෙකුගේ සෙවණැල්ල උන්ට දැකගත හැකියි.

දෙපියන් බෙල්ලාගෙන් ලබාගත හැකි වටිනාම ද්‍රව්‍යය වන්නේ එහි මුතු මෙන් දිලිහෙන සිප්පි ස්තරයයි (nacre/mother-of-pearl). සිප්පි කටු බොහෝදුරට සෑදී තිබෙන්නේ මුහුදු ජලයේ ඛනිජ ලවණවල අඩංගු ස්ඵටික තත්වයේ පවතින කැල්සියම් කාබනේට්වලිනුයි. එහෙත් සිප්පි ස්තරයේ දිලිහෙන ස්වභාවය සැදෙන්නේ ඇරගනයිට් ලෙස හඳුන්වන විශේෂිත කැල්සියම් කාබනේට් වර්ගයක් මගින්. සමහර මොලුස්කාවන් තම කටුවේ ඇතුල් පැත්තේ තුනී ඇරගනයිට් ස්ඵටික තැන්පත් කරනවා. ඒවා තැන්පත් කර තිබෙන්නේ උළු කැට එක පිට එක තබන ආකාරයට සමානවයි. එම ස්ඵටික මගින් ආලෝකය වර්තනය වීමත් පරාවර්තනය වීමත් සිදු වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝදෙනාගේ සිත්ගත් දේදුන්නක් බඳු දිදුලන ස්වභාවයක් එයින් නික්මෙනවා. ඇත්තෙන්ම, කටුව ඇතුලේ වැලි කැටයක් වැනි තමන්ට කරදර කරන ද්‍රව්‍යයන් සිර වී තිබෙන විට ඇතැම් දෙපියන් බෙල්ලන් එම ද්‍රව්‍යයන් ආවරණය කිරීම සඳහා සිප්පි ස්තරය යොදාගන්නවා. කල් යද්දී වැලි කැටය වටේ සිප්පි ස්තර කිහිපයක්ම තැන්පත් වන අතර කරදරකාරී වැලි කැටයක් මනබඳනීය මෙන්ම වටිනා මුතු ඇටයක් බවට පත් විය හැකියි.

මොලුස්කාවන්ගේ සුවිශේෂී ලක්ෂණයක්

අවසාන වශයෙන් මා විස්තර කිරීමට තෝරගත්තේ මොලුස්කාවන්ගේ වඩාත්ම පුදුමයට පත් කරවන ලක්ෂණය වන ප්‍රාවරණය ගැනයි. සෑම මොලුස්කාවෙකුටම පොදු වූ අවයවයක් වන එය සතාගේ ඉහළ කෙළවරේ දක්නට තිබෙන සුවිශේෂී ලක්ෂණයක්. කටුවේ අලුත් කොටස් සෑදීමට යොදාගන්නේ එයයි. මුහුදේ නිධාන වන සිප්පි කටු නමැති පොතේ ඒ පිළිබඳව මෙසේ පවසනවා. “මොලුස්කාවා තම රුධිරය තුළ ද්‍රව තත්වයේ පවතින [කැල්සියම් කාබනේට්] රඳවාගෙන එය ප්‍රාවරණයේ තිබෙන නාලාකාර සිදුරු තුළින් . . . කටුවේ වර්ධනය වන කෙළවර මත ස්‍රාවය කරනවා.” කැල්සියම් දියේදී ස්ඵටික තත්වයට පත් කරවන එක්තරා ප්‍රෝටීනයක්ද මොලුස්කාවා ස්‍රාවය කරනවා.

ඒත් සමඟම, මෙම නෙත වශී කරවන වස්තූන් වර්ධනය වෙත්ම ප්‍රාවරණයේ තිබෙන වර්ණක සෛල මගින් විවිධාකාර මනබඳනීය වර්ණ සහ මෝස්තර රැසක් කටුව මත නිර්මාණය වෙනවා. බෙල්ලන්ගේ කටුවල තිබෙන වර්ණ සහ මෝස්තරවලින් ඇති ප්‍රයෝජනය කුමක්ද යන්න මොලුස්කාවන් අධ්‍යයනය කරන විද්‍යාඥයන්ට තවමත් ප්‍රහේලිකාවක්. පෙනෙන විදිහට මොලුස්කාවන්ට එකිනෙකාව හඳුනාගැනීමට වර්ණ සහ මෝස්තර කිසිම ආකාරයකින් දායක නොවෙයි. තවද සතාට තම වටපිටාව අනුව වර්ණ වෙනස් කරගනිමින් වෙස්ගැනීමටද එය සැමවිටම උපකාරවත් වන්නේ නැහැ. එහෙත් මොලුස්කාවන්ගේ කටුවල තිබෙන නිමක් නොමැති විවිධ වර්ණ, මෝස්තර හා හැඩ අපේ නෙත් සිත් ඇද බැඳ තබාගැනීමට නම් සමත් වෙනවා!

ඉතිං ඔබ මීට පස්සේ මුහුදු වෙරළ දිගේ ඇවිදගෙන යද්දී දිලිහෙන සිප්පි කටුවක් සොයාගත්තොත් මේ කාරණය මතක තියාගන්න. එය සුලභව දකින්න තිබෙන දෙපියන් බෙල්ලෙකුගේ කටුවක් වුණත් දඟර හැඩයෙන් යුත් ගැස්ට්‍රපොඩාවෙකුගේ කටුවක් වුණත් ඔබ අතට ගෙන තිබෙන්නේ ඉතා වටිනා වස්තුවක් වන මෘදු දේහයකින් යුත් මොලුස්කා නම් සතාගේ නිවහනයි.

[පාදසටහන]

a වැඩිමනත් විස්තර දැනගැනීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (it, සිංහලෙන් නොමැත), නමැති පොතේ 1වන වෙළුමෙහි, 661-2 දක්වා පිටු බලන්න.

[26වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ගැස්ට්‍රපොඩාවන්ට තනි කටුවක් තිබෙන අතර බයිවැල්වියන්ට තිබෙන්නේ පියන් දෙකකින් යුත් කටුවක්

[25වන පිටුවේ පින්තූරය]

රූට් මූරෙක්ස්

[25වන පිටුවේ පින්තූරය]

රොයල් මූරෙක්ස්

[25වන පිටුවේ පින්තූරය]

සිනාසෙන ටන්

[26වන පිටුවේ පින්තූරය]

කාවඩියා

[26වන පිටුවේ පින්තූරය]

කේතු බෙල්ලා

[26වන පිටුවේ පින්තූරය]

ඔලිව් බෙල්ලා

[26වන පිටුවේ පින්තූරය]

බුරුම බෙල්ලා

[26වන පිටුවේ පින්තූරය]

හිරුතැටි බෙල්ලා

[26වන පිටුවේ පින්තූරය]

ඉස්කුරුප්පු බෙල්ලා

[26වන පිටුවේ පින්තූරය]

සඳ බෙල්ලා

[26වන පිටුවේ පින්තූරය]

ප්ලියූරෝප්ලොකා ප්‍රින්සෙප්ස්

[26වන පිටුවේ පින්තූරය]

සක් බෙල්ලා

[26වන පිටුවේ පින්තූරය]

ට්‍රයිටන් බෙල්ලා

[26වන පිටුවේ පින්තූරය]

මුතු බෙල්ලා

[27වන පිටුවේ පින්තූරය]

වීනස් මට්ටියා

[27වන පිටුවේ පින්තූරය]

රැලි බෙල්ලා