Skip to content

පටුනට යන්න

සයුරෙන් ලුණු සූර්යයා සහ සුළං උපකාරයෙන්

සයුරෙන් ලුණු සූර්යයා සහ සුළං උපකාරයෙන්

සයුරෙන් ලුණු සූර්යයා සහ සුළං උපකාරයෙන්

ප්‍රංශයේ පිබිදෙව්! ලේඛක විසිනි

සයුර ගොඩබිමට යාවෙන මායිමේ මෝස්තරයකට පිහිටි පොකුණුවල දිස් වෙන විවිධ වර්ණ, ගුවන්තලයේ පැහැය වෙනස් වන අයුරු කියාපායි. වීදුරු කුට්ටියක් වැනි හතරැස් පොකුණු ළඟ සිටගෙන සිටින ලුණු සාදන්නෙකු මුහුදු ජලයෙන් බහුල ලුණු අස්වැන්නක් ලබාගෙන, සූර්යාලෝකයෙන් දිදුළන කුඩා සුදු පිරමිඩ බඳු ගොඩවල් සාදයි. මෙහි ගෙරෝන්ඩ්හි කරදිය වගුරුවල හා අත්ලාන්තික් වෙරළබඩ තීරයේ පිහිටි නුවාමූටියේ සහ රේ දිවයින්වල සිටින ප්‍රංශ ලුණු සාදන්නන් ලුණු සාදාගැනීම සඳහා තවමත් යොදාගන්නේ සම්ප්‍රදායික ක්‍රමයි.

“සුදු රත්‍රන්”

ප්‍රංශයේ අත්ලාන්තික් වෙරළබඩ තීරයේ ලුණු තැටි භාවිතය පොදු යුගයේ තුන්වන සියවස පමණ තෙක් දිව යන්නකි. එහෙත් ලුණු නිෂ්පාදනය නියමාකාරයෙන් සිදුවීමට පටන්ගත්තේ මධ්‍යකාලීන යුගයේ අවසානභාගයේදීය. ලුණු දමා මස් හා මාළු කල් තබාගත හැකි වූ බැවින් මධ්‍යකාලීන යුරෝපයේ ජනගහන වර්ධනයත් සමඟම ලුණු සඳහා ඉල්ලුමද බෙහෙවින් වැඩි විය. උදාහරණයක් වශයෙන්, හුරුල්ලෝ ටොන් හතරක් කල් තබාගන්න ලුණු ටොන් එකක් අවශ්‍ය විය. සාමාන්‍ය ජනතාවට මස් ආහාරයට ගැනීමට ලැබීම රසමසවුලු ලැබෙනවාක් මෙනි. එමනිසා ලුණු දැමූ මාළු ඔවුන්ගේ ප්‍රධාන ආහාරය විය. මෙබැවින් උතුරු යුරෝපයේ සෑම පැත්තකම නැව් බ්‍රිටනි වෙරළට යාත්‍රා කළේ ධීවරයන් අල්ලාගත් මසුන් කල් තබාගැනීම සඳහා ලුණු තොග ගණන් මිල දී ගැනීමටය.

මේ ‘සුදු රත්‍රන්වලින්’ උපයන ධනය ප්‍රංශයේ රජවරුන්ගේ දෙනෙතට හසු නොවී නොතිබිණ. වර්ෂ 1340දී ලුණුවලට බද්දක් නියම කළ අතර එය ගැබෙල් ලෙසින් ප්‍රසිද්ධ විය. මේ බද්දට ජනයා කොතරම් අකමැති වුණාද කිවහොත් ඒ සඳහා ඇනකොටා ගත්තේ ලේ හළමින්ය. පාරිභෝගිකයාට අවශ්‍ය නියම ප්‍රමාණය ගැන කිසිදු තැකීමක් නොකර ලුණු මිල දී ගත හැකි ප්‍රමාණය අවම කිරීම සහ ඒ සඳහා ඉහළ මිලක් අය කිරීම ලොකු අසාධාරණයක් විය. එපමණක්ද නොව, රදළයන් හා පූජකයන් වැනි වරප්‍රසාද ලත් අය බද්දෙන් නිදහස්ව සිටියහ. බ්‍රිටනි ඇතුළු ඇතැම් පළාත්ද බද්දෙන් නිදහස්ව සිටි අතර තවත් පළාත් ගෙවමින් සිටියේ හතරෙන් එකකි. මෙය ලුණු මිලෙහි විශාල විෂමතාවකට මඟ පෑදීය. එය එක් පළාතකින් තවත් පළාතකට 40 ගුණයකින් වෙනස් විය.

මෙවැනි තත්වයක් යටතේ මංකොල්ලකෑම දියුණු ව්‍යාපාරයක් බවට පත්වීම අරුමයක් නොවේ. කෙසේවුවද, මංකොල්ලකමින් සිටියදී හසුවූවන්ට බරපතළ දඬුවම් පමුණුවන ලදි. ඔවුන්ට හංවඩු ලකුණු දමනු ලැබීය. ගැලී වහලුන් ලෙස යවනු ලැබීය. එසේ නැතහොත් මරණයට පවා ලක් කෙරිණ. දහඅටවන සියවස ආරම්භයේදී, ගැලී වහලුන්ගෙන් හතරෙන් එකක් පමණ ලුණු මංකොල්ලකරුවන් වූ අතර අනෙක් අය සාමාන්‍ය අපරාධකරුවන්, හමුදාවෙන් පලායන්නන් හෝ නන්ට්හි නියෝගය අවලංගු කිරීමෙන් පසු පීඩා විඳි රෙපරමාදු භක්තිකයන්ය. a වර්ෂ 1789දී ප්‍රංශය හරහා විප්ලවයක් හටගෙන තිබූ අවදියේ, ප්‍රථම ඉල්ලීම වූයේ වෛරයට පාත්‍ර වූ මේ බද්ද ඉවත් කරන ලෙසයි.

සූර්යයාගේ ආධාරයෙන් ලුණු

ප්‍රංශයේ අත්ලාන්තික් වෙරළබඩ තීරයේ ලුණු ලබාගන්නා ක්‍රමය සියවස් ගණනාවක්ම නොවෙනස්ව පැවත තිබේ. එසේ ලුණු අස්වැන්න ලබාගන්නේ කෙලෙසද? සරත් ඍතුවේ සිට වසන්තය දක්වා මැටි කණ්ඩි සහ වගුරුවල ජල මාර්ග සකස් කරමින් ලුණු සාදන්නා සිය ලුණු තැටි සූදානම් කරගනී. ගිම්හානය ඇරඹෙත්ම සූර්යයා, සුළං සහ වඩදිය බාදිය මගින් වගුරුවල ජලය වාෂ්ප වීමට සලස්වයි. වඩදිය අවස්ථාවේදී මුහුදු ජලය මුල්ම පොකුණට ඇතුල් වන අතර එහි ජලය පතිත වී වාෂ්ප වීමට පටන්ගනී. ඉන්පසු පොකුණු කීපයකට ජලය කෙමෙන් කෙමෙන් ගලා යෑමට සලස්වන අතර එය තවදුරටත් වාෂ්ප වෙයි. ජලයේ ලුණු ගතිය වැඩි වත්ම ක්ෂුද්‍ර ඇල්ගී ශාක ප්‍රගුණ වන්නේ ජලයට තාවකාලික රත් පැහැයක් දෙමිනි. ඒවා මිය යන විට ලුණුවලට යන්තම් පුෂ්ප සුගන්ධයක් එක් කරයි. ලවණ සාන්ද්‍රනය වැඩි ලුණු තැටිවල ජලය ලීටරයක සංතෘප්ත වී තිබෙන ලුණු ප්‍රමාණය ග්‍රෑම් 35ක පමණ සිට ග්‍රෑම් 260ක් පමණ වන තෙක් ඉහළ නඟී.

උදම් නිසා ඇති වන මෙම වගුරුවට පහසුවෙන්ම හානියක් විය හැකි නිසා, සේලින්-ඩ-ෂිරෝ සහ එග් මෝර්ට් නගරයන්හි මධ්‍යධරණී කරදිය වගුරුවල සිදු කෙරෙන්නාක් මෙන් යන්ත්‍ර සූත්‍ර භාවිත කර ලුණු නිපදවීම පහසු නැත. රේක්කයක් බඳු දිග ලී උපකරණයක් භාවිත කරමින් ලුණු සාදන්නා තැටියේ අද්දරට ලුණු එකතු කරන්නේ අඩියේ තිබෙන බුරුල් මැටි පස් සීරී නොඑන සේ ඉතා පරෙස්සමිනි. ඉන්පසු මැටි පස් නිසා යන්තම් අළු පැහැයක් ගෙන ඇති ලුණු වියළෙන්න හරියි. සාමාන්‍යයෙන් ලුණු තැටි 60ක් පමණ සකස් කරන ලුණු සාදන්නා සෑම තැටියකින්ම දළ වශයෙන් වසරකට ලුණු ටොන් එකහමාරක පමණ ප්‍රමාණයක් බැගින් ලබාගනී.

යම් තත්වයන් යටතේ, ජලය මතුපිට ලුණු කැටවල සිහින් තට්ටුවක් සෑදෙන්නේ හිම මෙනි. ෆ්ල ඩ සල් (ලුණු මල) ලෙස හැඳින්වෙන මෙම ප්‍රසිද්ධ ලුණු වර්ගය ඉතා සුළු ප්‍රමාණයක් වාර්ෂිකව ලැබෙන අතර ප්‍රංශ මුළුතැන්ගෙයට එය මසුරන් මෙනි.

කෙසේවෙතත්, මේ සියල්ල රඳා පවතින්නේ කාලගුණයේ වෙනස් වීම් මත බව අමුතුවෙන් කිව යුතු නැත. කලින් ලුණු වෙළඳාමේ යෙදුණු කෙනෙක් මෙසේ පැවසීය. “හොඳ අස්වැන්නක් නොලැබෙන අවුරුදුත් නොතිබෙනවාම නොවෙයි. උදාහරණයක් වශයෙන්, 1950 මුළු ගිම්හානයේදීම වරුසාව ඇද හැළුණා. කූඩයක් පිරෙන තරම්වත් ලුණු අස්වැන්නක් ගන්න අපිට බැරි වුණා.” ගෙරෝන්ඩ්හි ලුණු සාදන්නෙකු වන පාස්කාල් මෙවැනි ප්‍රකාශයක් කළේය. “වර්ෂ 1997දී මම රළු ලුණු ටොන් 180කුත්, ‘මල්’ ලුණු ටොන් 11කුත් සාදාගත්තා. මේ අවුරුද්දේ [1999] ඒ තරම් හොඳ කාලගුණයක් තිබුණේ නැහැ. මම ලබාගත්තේ ටොන් 82ක අස්වැන්නක් විතරයි.” අනික් අතට, අධික උෂ්ණත්වය හේතුවෙන් ලුණු කැට නොසෑදෙන හෙයින් තද අව් රශ්මිය තිබෙන කාලගුණයද හානිදායක විය හැකියි.

බැසීම හා නැඟීම

දහනවවන සියවසේදී, කාර්මීකරණය නිසා අත්ලාන්තික් කරදිය වගුරුවල ලුණුවලට ලැබුණ ඉල්ලුම අඩු විය. වැඩිදියුණු වූ ප්‍රවාහණය හේතුවෙන් අඩු මිලැති ලුණුවලින් වෙළඳපොළවල් පිරවීමට මධ්‍යධරණී නිෂ්පාදකයන්ට ඉඩ සැලසිණ. එපමණක්ද නොව, මධ්‍යධරණී දේශගුණය ලුණු ටොන් මිලියන 1.5කට වඩා වැඩි වාර්ෂික අස්වැන්නක් නිපදවීමට ඉවහල් වේ. එවැනි තරඟකාරිත්වයක් තිබියදී 1970 ගණන්වල අත්ලාන්තික් වගුරුවල නිෂ්පාදනය අවම අඩියකට බැස ගියේ යළි ගොඩගත නොහැකි නියාවෙනි.

එහෙත් මෑත වසරවලදී මෙම “සුදු රත්‍රන්” එහි කලින් තිබූ ආකර්ෂණීයත්වයෙන් කොටසක් යළි ලබාගෙන ඇත. ලුණු වගුරුවල පාරිසරික හා ආර්ථික වටිනාකම පිළිබඳ අවබෝධය වැඩි වත්ම තත්වය සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් වී ඇත. පාරිසරික පද්ධතියේ කොටසක් වන ලුණු තැටි විවිධ පැළෑටි හා සංක්‍රමික පක්ෂීන් බොහෝමයකට තෝතැන්නක් වේ. ඇත්තෙන්ම එය දැන් පිළිගත් මෙන්ම සංරක්ෂිත තෝතැන්නකි.

තවත් ආකර්ෂණයක් වී තිබෙන්නේ, කලබලකාරී නවීන දින ජීවන රටාවේ බලපෑමට හසු නොවූ සම්ප්‍රදායානුකූල ක්‍රියාවලියක් සිදු කෙරෙන මෙම දූෂණය නොවූ වෙරළ තීරයන් වෙත, තරඟකාරි ලෝකයෙන් මිදී විවේක ගැනීමට සොයන සංචාරකයන්ගේ නෙත් සිත් ඇදී යෑමයි. දූෂණය හා අප ගන්නා ආහාර ගැන වඩ වඩා සැලකිල්ල දක්වන යුගයක, කිසිම රසායනික ද්‍රව්‍යයක් හෝ රසායනික ක්‍රියාවලියක් යොදා නොගෙන, මුළුමනින්ම ස්වාභාවිකව නිපදවා ඇති ආහාරයට ගන්නා ද්‍රව්‍යයකට විශාල වශයෙන් වෙළඳ වාසියක් ලැබී තිබීමත් නොසලකා හැරිය නොහැකි කරුණකි. එමනිසා පෙනෙන ආකාරයට, ගෝලීයකරණය වී ඇති උමතු තරඟකාරිත්වයක් දක්නට ලැබෙන මෙම ලෝකයෙහි ප්‍රංශ ලුණු සාදන්නන්ගේ සියවස් ගණනක් ඉපැරණි රැකියාවට හා ඔවුන්ගේ ලුණුවලට තවමත් තැනක් තිබේ.

[පාදසටහන]

a වර්ෂ 1998 අගෝස්තු 15 මුරටැඹ කලාපයේ 25-9 දක්වා පිටු බලන්න. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි.

[29වන පිටුවේ කොටුව]

ලුණු හා ඔබේ සෞඛ්‍යය

හෘදයාබාධවලට හේතුකාරකයක් වන අධිරුධිර පීඩනය ඇති කරන්නේ අධික ලුණු සහිත ආහාර බවට දෝෂාරෝපණය කර ඇත. මේ හේතුවෙන්, සෞඛ්‍යය පිළිබඳ විශේෂඥයන් සාමාන්‍යයෙන් නිර්දේශ කරන්නේ දිනකට ග්‍රෑම් හයකට වඩා නොගන්නා ලෙසය.

කෙසේවුවද, අධිරුධිර පීඩනය ඇති ජනයා ලුණු අඩුවෙන් ආහාරයට ගත්තද රුධිර පීඩනය සැලකිය යුතු ප්‍රමාණයකට පහළ නොබසින බවත්, සාමාන්‍ය රුධිර පීඩනයක් ඇති ජනයා ලුණු අඩුවෙන් ගැනීමෙන් එතරම් බලපෑමක් සිදු නොවන බවත් මෑත අධ්‍යයනයන් මගින් පෙන්නුම් කෙරේ. සාමාන්‍ය ප්‍රමාණයකට ලුණු ගන්නා පුද්ගලයන්ට වඩා අඩුවෙන් ලුණු ගන්නා පුද්ගලයන් හෘදයාබාධවලට වැඩියෙන් ගොදුරු වූ බව ද ලැන්සෙට්හි 1998 මාර්තු 14වෙනිදා පළ වූ අධ්‍යයනයක පෙන්වූ අතර “ආහාරවලට එකතු කරන සෝඩියම් ප්‍රමාණය අඩු කිරීම වාසිදායක වෙනවාට වඩා හානිදායක විය හැකි” බවද නිගමනය කළේය. වර්ෂ 1999 මැයි 4 කැනේඩියන් මෙඩිකල් අසෝසිඒෂන් ජර්නල්හි (CMAJ) පළ වූ ලිපියක සඳහන් වූයේ මෙසේය. “සාමාන්‍ය රුධිර පීඩනයක් ඇති ජනයාටද ලුණු අඩු කිරීමෙන් සිදු වන යහපතක් නැත. ඊට හේතුව එසේ පාලනය කිරීමෙන් අධිරුධිර පීඩනයේ අවස්ථා අඩු කරගත හැකි බවට විද්‍යාමාන වන ප්‍රමාණවත් සාක්ෂි නොමැතිකමය.”

ඔබ ගන්නා ලුණු ප්‍රමාණය ගැන සැලකිලිමත් නොවිය යුතු බව මින් අදහස් වේද? ඕනෑම ආහාරයක් සේම මේ සම්බන්ධයෙන්ද ප්‍රතිපත්තිය වන්නේ ප්‍රමාණවත්ව ගැනීම සුදුසුය යන්නයි. ඉහත සඳහන් CMAJහි පළ වූ ලිපියෙහි නිර්දේශ කරන්නේ ඕනෑවට වඩා ලුණු ගැනීමෙන් වැළකෙන්න, ආහාර පිසීමේදී යොදන ලුණු ප්‍රමාණය සීමා කරන්න හා කෑම මේසයේදී ලුණු එක් කිරීමෙන් වැළකී සිටීමට වෑයම් කරන්න කියාය. කෙසේවුවද, ඔබට අධිරුධිර පීඩනය හෝ හෘදයාබාධ ඇත්නම්, ඔබේ වෛද්‍යවරයාගේ නිර්දේශයන් අනුගමනය කරන්න.

[28වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

ගේරෝන්ඩ්

ඉල් ඩ නුවාමූටියේ

ඉල්ඩරේ

[29වන පිටුවේ පින්තූරය]

“ෆ්ලඩසල්”

[29වන පිටුවේ පින්තූරය]

ඉල්ඩරේ නගරය

[30වන පිටුවේ පින්තූරය]

“ෆ්ලඩසල්” අස්වැන්න ලබාගැනීම

[30වන පිටුවේ පින්තූරය]

කරදිය වගුරු සහ තැටි

[30වන පිටුවේ පින්තූරය]

නුවාමූටියේහි ලුණු සාදන්නෙක්

[28වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Cliché Bibliothèque nationale de France, Paris

[30වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

ඉහළ: Index Stock Photography Inc./Diaphor Agency; වම: © V. Sarazin/CDT44; මැද සහ දකුණ: © Aquasel, Noirmoutier