Skip to content

පටුනට යන්න

සුවදායක නින්දක් ඔබට අවශ්‍යයි

සුවදායක නින්දක් ඔබට අවශ්‍යයි

සුවදායක නින්දක් ඔබට අවශ්‍යයි

සුවදායක රාත්‍රි නින්දක් ලැබීම යහපත් සෞඛ්‍ය තත්වයක් පවත්වාගැනීම සඳහා සපුරාලිය යුතු ප්‍රධාන අවශ්‍යතාවක්ය යන ප්‍රකාශයට එරෙහිව කවුරුත් අභියෝග කරයිද? නැත. නමුත් නින්ද බොහෝදෙනෙක් අඩුවෙන් තක්සේරු කරති. “හොඳ නින්දක් නොලැබුණොත් පහුවෙනිදාට ඒකේ විපාකය අද්දකින්න වෙයි” කියා කැනඩාවේ කැල්ගරි විශ්වවිද්‍යාලයේ චාර්යා රටාවන් හා මනස සම්බන්ධයෙන් අධ්‍යයනය කරන මනෝ විද්‍යාඥයෙකු (clinical psychologist) හා සහාය මහාචාර්යවරයෙක් වන ෂෝන් කරි පැවසුවේය. ප්‍රමාණවත් නින්දක් නොලැබුණොත් ඔබ තුළ නුරුස්නා ගතියක් ඇති විය හැකි අතර සමහර විට මෙය විෂාදයටද හේතු වේ.

“නින්දේදී මොළය නැවතත් ප්‍රාණවත් වන බවත් දැනුම ලබාගැනීමේ ක්‍රියාවලිය දිගටම සිදු වන බවත් විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කර තිබෙන න්‍යායයක්” යැයි එක් ප්‍රවෘත්ති පත්‍රයක (Calgary Herald) සඳහන් වේ. මහාචාර්ය කරි මේ ගැන පවසන්නේ මෙසේයි. “ඔබ දවල් කාලයේදී ඉගෙනගත් සමහර දේ මනසෙහි තැන්පත් වෙමින් ඔබේ මතකය ශක්තිමත් වන්නේ රාත්‍රි කාලයේදීයි. ඇත්තෙන්ම, රාත්‍රියේදී ප්‍රමාණවත් නින්දක් නොලැබීම ඔබේ මතක ශක්තිය බාල කරයි.” තවත් ඔහු පවසන්නේ “ඔබ ප්‍රමාණවත් නින්දක් ලබන විට එය යම් ආකාරයකින් ඔබේ චිත්තවේගයන් පාලනය කරන්නත් උපකාර කරයි” කියායි.

එහෙමනම් කොපමණ වේලාවක් නිදාගත යුතුද? සාමාන්‍යයෙන් පැය අටක නින්දක් අවශ්‍ය බව ප්‍රවීණයන් කියා සිටියද කරි පවසන්නේ “එය එක් එක් කෙනාගේ අවශ්‍යතාව අනුව වෙනස් වන බවයි.” එමනිසා, සුවබර නින්දක් ලබාගන්නා ලෙස ඔහු යෝජනා කරයි. නමුත් සුවබර නින්දක් ලබාගත හැක්කේ කෙසේද? විශේෂයෙන්ම නින්ද නොයන රෝගයෙන් පෙළෙන්නන්ට (insomnia) සුවබර නින්දක් ලබාගත හැක්කේ කෙසේද? මේ සඳහා සමහර යෝජනා පහත දැක්වේ.

◼ නින්දට පෙර උණුසුම් වතුරෙන් ඇඟ පත සෝදාගන්න නැතහොත් නාන්න.

◼ සතියේ දවස් කිහිපයක් සාමාන්‍ය තරමකට ව්‍යායාම කරන්න. නමුත් නින්දට පෙර අධික ලෙස ව්‍යායාම කිරීමෙන් වළකින්න.

◼ ඔබේ නිදන කාමරය නිශ්ශබ්ද, අඳුරු හා මද සිසිලකින් හෙබි තැනක් කරගන්න.

◼ සෑම උදෑසනකම එකම වේලාවට නැඟිටින්න උත්සාහ කරන්න. මෙය හොඳ නිදන පුරුදු ඇති කරගැනීමට හේතුවක් වේ.

නින්ද යහපත් සෞඛ්‍යයකට දායක වන නිසා එය ඔබේ ප්‍රමුඛතා ලැයිස්තුවට ඇතුළත් කරගන්න.