Skip to content

පටුනට යන්න

හසරැල්ලක බලය

හසරැල්ලක බලය

හසරැල්ලක බලය

මෙම පුංචි ක්‍රියාව කිරීමට ගත වන කාලය නිමේෂයක් වුවද ඒ පිළිබඳ මතකය ඔබේ ජීවිතයේ සදහටම රැඳී තිබෙන්න පුළුවන. එහි අගය මිල කළ නොහැකියි. එයින් සංග්‍රහ කිරීමට බැරි තරමටම කෙනෙක් දිලිඳු වන්නේවත්, එවැන්නක් ලැබීමට අවශ්‍ය නොවන තරමටම කෙනෙක් ධනවත් වන්නේවත් නැත. අපි මේ කතා කරන්නේ කුමක් ගැනද? හසරැල්ල නැතහොත් සිනහව ගැනයි.

සිනහවක් පෑමේදී මුහුණේ මාංශ පේශි හැකිලී ඇස් දීප්තිමත් වන අතර මුඛය දෙපස ඇති පේශි යාන්තමට උඩු අතට වක්‍රාකාරව හැරීම නිසා තෘප්තිමත්භාවයක්ද පිළිබිඹු වේ. ළදරුවෙක් ඉපදී සති කිහිපයකින් ටිකිරි සිනහ පෑමට පටන්ගනියි. මෙම දසුන දෙමව්පියන්ට හද උතුරා යන සතුටක් ලබා දෙනවාට කිසිම සැකයක් නොමැත. මුල් කාලයේ පාන මෙම සුරතල් සිනා ප්‍රතිචාරාත්මක සිනහ හෝ නිරායාසයෙන්ම ඇති වන සිනහ ලෙස හැඳින්විය හැකියි. සිහින දකින විට නිතැතින්ම පාන මෙවැනි හසරැලි ඇතුළාන්ත හැඟීම්වලට හා ප්‍රධාන ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වයට සම්බන්ධ බව ප්‍රවීණයන් පවසයි. වැඩිහිටියන් පවා ආහාර වේලකින් පසුව හෝ හොඳ සංගීතයකට කන් දෙමින් සිටින අතරතුර මෙවැනි ප්‍රතිචාරාත්මක හසරැලි පෑමට පුළුවන.

සති හයක් වැනි කෙටි කාලයක සිට කටහඬක් ඇසෙන විට හෝ කෙනෙකුව දකින විට බිලින්දෙක් සුරතල් ලෙස සිනාසෙයි. අපි කුඩා දරුවන් හෝ වැඩිහිටියන් වේවා ‘සුහද සිනහවකින්’ එනම් කැමැත්තෙන්ම පාන සිනහවකින් හා හද පත්ලෙන්ම නැඟෙන සිනහවකින් අපි හැමෝම සතුටක් ලබන්නෙමු. එවැනි සිනහවක් අපේ ශරීර සෞඛ්‍යයට පවා හිතකර බලපෑමක් ඇති කරන බව කියැවේ. මර්තා මානෝ හා රූබන් ඩිලව්රෝ නම් භාෂණ චිකිත්සකවරුන් (speech therapists) දෙදෙනෙක් සිනාසීම හා සෞඛ්‍යය නමින් හැඳින්වෙන සායනයක් පවත්වාගෙන යති. ඔවුන්ගේ නිරීක්ෂණයට අනුව සිනහවකින් විද්‍යුත් උත්තේජනයක් නිපදවෙන අතර එය පිටියුටරි ග්‍රන්ථියට බලපෑමක් ඇති කරයි. මොළයේ තිබෙන මෙම ග්‍රන්ථියෙන් එන්ඩෝර්ෆින් (endorphins) නම් රසායනික ද්‍රව්‍යයක් නිකුත් වන නිසා අපට සතුටක් දැනේ.

සිනාසීමෙන් ඇති වන තවත් වැදගත් ප්‍රයෝජනයක් නම් එය අන් අය කෙරෙහිද යම් බලපෑමක් ඇති කිරීමයි. ආචාර කිරීම, කනගාටුව ප්‍රකාශ කිරීම හෝ දිරිගැන්වීම වැනි හැඟීම් වචනයෙන් නොකියා පිවිතුරු සිනහවකින් ප්‍රකාශ කළ හැකියි. ඉඳ හිට මනබඳනා සිනහවක් පාන දැරියකගේ පිංතූරයක් දෙස නෙත් යොමු කිරීමෙන් පවා අපේ දෙතොලට සිනහවක් නැඟේ.

කෙනෙකුගේ උණුසුම් හා මිත්‍රශීලී සිනහවක් අපට සන්සුන්කමක් ගෙන දෙමින්, අධෛර්යය වීම් සමඟ සාර්ථකව කටයුතු කිරීමට හා අභියෝගවලට මුහුණ දීමට අපට උපකාරවත් විය හැකියි. බයිබලයේ අපට උනන්දු කරන්නේ “කරුණාව පෙන්වන්ට නුඹේ අතෙහි බලය තිබියදී, ඕනෑ කරන අයගෙන් එය වළක්වා නොගන්න” කියායි. (හිතෝපදේශ 3:27) ඇත්තෙන්ම, මෙම පුංචි ක්‍රියාවෙන් අප ප්‍රයෝජන ලබනවාට අමතරව අන්‍යයන්ටත් ප්‍රයෝජන ලබා දීමට අපට හැකියි. එසේනම්, මෙම ඉතා වටිනා ත්‍යාගය වන උණුසුම් සිනහවෙන් අන් අයට සංග්‍රහ කිරීමට මුලපුරන්නේ නැත්තේ ඇයි?