Skip to content

පටුනට යන්න

ළමුන් සූරාකෑම ළඟදීම නිමාවකට!

ළමුන් සූරාකෑම ළඟදීම නිමාවකට!

ළමුන් සූරාකෑම ළඟදීම නිමාවකට!

“මිනිස් අයිතිවාසිකම් පිළිබඳ සර්වලෝක ප්‍රඥප්තිය තුළ, එක්සත් ජාතීන් ප්‍රකාශයට පත් කර ඇත්තේ ළමා වියට විශේෂ සැලකිල්ලක් සහ සහයෝගයක් ලැබිය යුතු බවයි” යනුවෙන් ළමා අයිතිවාසිකම් පිළිබඳ සමුළුවේ පෙරවදනේ සඳහන් කර තිබුණා. පවුලක වැදගත්කම සම්බන්ධයෙන් එය මෙසේද පවසනවා. “දරුවෙකුගේ පෞරුෂත්වය පූර්ණ ලෙස හා සමාජානුයෝජනාත්මකව වර්ධනය වීමට නම් එම දරුවා හැදී වැඩිය යුත්තේ පවුල් වාතාවරණයකය. ආදරයෙන් හා අවබෝධයෙන් පිරිපුන් සන්තෝෂවත් වටපිටාවකය.” එහෙත්, මෙම කල්පිතය අත් කරගැනීමට මෙතෙක් හැකි වී නැහැ.

ළමුන් සඳහා වූ වඩාත් හොඳ ලෝකයක් ගැන කතා කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ. හැමතැනම සදාචාරය පිරිහිලා. තවද බොහෝදෙනෙක් මේ තත්වය සලකන්නේ සාමාන්‍ය දෙයක් හැටියටයි. හැමතැනම පැතිර ඇති පහත් සදාචාරය සහ ගිජුකම නීති පැනවීමෙන්ම පාලනය කළ නොහැකියි. තම දරුවන්ට ආදරය හා ආරක්ෂාව සපයනවා වෙනුවට ඇතැම් දෙමාපියන් පවා බොහෝවිට කර තිබෙන්නේ ඕනෑම දෙයක් කිරීමට අවකාශය සැලසෙන වාතාවරණයකට නිරාවරණය වීමට තම දරුවන්නට ඉඩහැරීමයි. එසේනම්, ළමා ගණිකා වෘත්තියට නැවතීමේ තිතක් තැබීම පිළිබඳව අපට තිබෙන්නේ කිනම් බලාපොරොත්තුවක්ද?

සියලුම ළමුන්ට ආදරය පිරුණු නිවසක් හා සුරක්ෂිත අනාගතයක් ලබා දීමට මෙම දූෂිත සමාජ ක්‍රමය අසමත් වෙලා තිබුණත් අපගේ මැවුම්කරු ඉතා ළඟදීම සියලු ආකාර නපුරුකම් හා ළමා ගණිකා වෘත්තිය ඇතුළු ලිංගික සූරා කෑම් මුලිනුපුටා දමනවා ඇති. මේ ලෝකය පුදුමයට පත් කරවමින් යෙහෝවා දෙවි ළඟදීම තම රාජ්‍යය මාර්ගයෙන් මිනිස් කටයුතුවලට මැදිහත් වෙනවා. දූෂිතයන් හා සූරා කන්නන් දිව්‍ය විනිශ්චයෙන් බේරෙන්නේ නැහැ. තම අසල්වැසියාට ප්‍රේම කරන අය පමණයි දෙවිගේ නව ලෝකය තුළ ජීවත් වීමට බේරෙන්නේ. “අවංක අයවල් දේශයෙහි වාසය කරන්නෝය. නිර්දෝෂ අයවල්ද එහි නැවතී සිටින්නෝය. දුර්ජනයෝ දේශයෙන් සිඳ දමනු ලබන්නෝය. ද්‍රෝහිකම්කරන්නෝද එයින් උදුරා දමනු ලබන්නෝය.”—හිතෝපදේශ 2:21, 22.

ළමුන්ට මෙන්ම වැඩිහිටියන්ටද අවමානයන්ට හා ලිංගික අතවරවලට ලක් නොවී ජීවත් වීමට ලැබෙන විට ඔවුන්ට දැනෙන සහනය සිතා බලන්න! සූරා කෑම සහ අපරාධ මගින් සිදු කර ඇති චිත්තවේගීය හා ශාරීරික තුවාල පවා අතීතයේ දේවල් බවට පත් වෙනවා ඇති. ලිංගික සූරා කෑම්වලට ගොදුරු වී සිටින අයටද තමන්ගේ කටුක අතීතයේදී සිදු වූ මානසික තුවාලවල මතකයන් හෝ අතුරු බලපෑම් කිසිවක් නැතුව ජීවත් වීමට හැකි වේවි. “පළමු දේ මතක් කරනු ලබන්නේවත් සිහි වන්නේවත් නැත.”—යෙසායා 65:17.

එසේනම්, උපදින කිසිම දරුවෙකුට අතවර කරනු ලබන්නේවත් ලිංගික අපචාරයට යොදාගන්නේවත් නැහැ. සන්තෝෂය මෙන්ම ආදරය සහ අවබෝධය හුදු සිහිනයක් වන්නේද නැහැ. දෙවිගේ නව ලෝකයේ ජීවත් වන අය ගැන යෙසායා 11:9හි ප්‍රකාශ කරන්නේ මෙසේයි. “කිසි අනතුරු කිරීමක්වත් විනාශ කිරීමක්වත් නොවන්නේය.”

ඇත්ත වශයෙන්ම, දිලිඳුකම, මත්ද්‍රව්‍ය භාවිතය, අසන්තෝෂවත් පවුල් සහ සදාචාරමය පහත් තත්වයන් තවත් නොතිබෙද්දී එය මොනතරම් ප්‍රීතියක් වේවිද! එවිට සාමය, ධර්මිෂ්ඨකම සහ සුරක්ෂිතභාවය රජ කරාවි. “මාගේ සෙනඟ සමාදාන නිවාසයකද සුරක්ෂිත වාසස්ථානවලද නිවාඩු ස්ථානවලද වසන්නෝය.”—යෙසායා. 32:18.

[9වන පිටුවේ කොටුව/පින්තූර]

මාපිය සැලකිල්ලෙන් පවුල් කඩා වැටීම වළකී

● “මගේ දෙමාපියන් මාව දිරිගැන්නුවා මගේ පාසැල් කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන යම් වෘත්තියක් ඉගෙනගන්න කියලා. ඔවුන් වඩාත් කැමති දේ කරන්න කියලා මට බල කරන්න ඔවුන් උත්සාහ කළේ නැහැ. මට අවශ්‍ය කරන පාඨමාලාව හැදෑරිය හැකි පාසලක් තෝරාගන්න ඔවුන් මට උදව් කළා.”—ටයිස්.

● “මගේ නංගි සමඟ මම සාප්පු යද්දී මගේ අම්මත් අපි එක්ක ගියා. අපට තියෙන ආර්ථිකයට අනුව බඩු බාහිරාදිය මිල දී ගන්න උදව් කරනවාට අමතරව නොයෙක් වෛවාරණ විලාසිතා හෝ ඇඟ පේන ඇඳුම් තෝරාගැනීමෙන් වැළකීමටත් ඇය අපට උදව් කළා.”—බියන්කා.

● “අපි සාදවලට යනකොට මගේ දෙමාපියන් ඇහැව්වා එතැනට එන්නේ කවුද කියලා. ඒ වගේම වාදනය කෙරෙන්නේ කොයි වගේ සංගීතයද, සාදය පටන්ගන්නේ කීයටද, ඉවර වෙන්නේ කොයි වෙලාවේදිද කියලාත් නිතරම ඇහැව්වා. හුඟක් සාදවලට අපි ගියේ පවුලක් හැටියට.”—ප්‍රිසිලා.

● “මගේ ළමා කාලයේදී සහ නහඹර වියේදී මගේ දෙමාපියන් සහ මා අතර ඉතා හොඳ අදහස් හුවමාරුවක් තිබුණා. මෙය දුටු මගේ පාසැලේ යෙහෙළියක් මට මෙහෙම කිව්වා. ‘ඔයා ඕනෑම දෙයක් ගැන ඔයාගේ දෙමාපියන් එක්ක එච්චර පහසුවෙන් කතා කරනවා දකිනකොට මට ඊර්ෂ්‍යාත් හිතෙනවා. මට මගේ අම්මා එක්ක විතරක්වත් එච්චර ලෙහෙසියෙන් කතා කරන්න හිතෙන්නේ නැහැ. හුඟක් වෙලාවට මට දැනගන්න ඕන දේවල් මම දැනගන්නේ වෙනත් අයගෙන්.’”—සමාරා.

● “මම ඉතා කෙළි දෙලෙන් කල් යැවූ නහඹරයෙක්. මම මිනිස්සු කරන කිසිවක් නරකයි කියලා හිතුවේ නැහැ. හැම වෙලේම හිනා වෙලා තමයි හිටියේ. මම මගේ යහළුවන් එක්ක හරිම විනෝදයෙන් විහිලුවෙන් කාලය ගත කළේ. මගේ දෙමාපියන් වටහාගත්තා ඒක මගේ පෞරුෂත්වයේ හැටියි කියලා. ඒ නිසා ඔවුන්ට වුවමනා වුණේ නැහැ මගේ ගතිලක්ෂණ වෙනස් කරන්න. නමුත් මම විරුද්ධ ලිංගයේ අය සමඟ කටයුතු කරනකොට පරෙස්සමින් විනීත ලෙස හැසිරෙන්න ඕනෑ කියලා තේරුම්ගන්න ඔවුන් මට කාරුණිකව උදව් කළා.”—ටයිස්.

● “වෙනත් තරුණයින් වැඩිදෙනෙක් වගේ මමත් විරුද්ධ ලිංගයේ අය කෙරෙහි උනන්දු වුණා. පූර්ව විවාහ ඇසුරක් පැවැත්වීමට සුදුසු එක්තරා වයසක් මගේ පියා මට නියම කළා. මම මේ ගැන අසතුටින් සිටියේ නැහැ. මට තේරුණා මගේ දෙමාපියන් මා ගැන සැලකිලිමත් කියලා. ඒ වගේම, අනාගතයේදී මට ඇති වෙන්න පුළුවන් ඕනෑම අන්තරායකින් මාව ආරක්ෂා කරගන්නත් ඔවුන්ට වුවමනායි කියලා.”—බියන්කා.

● “මගේ දෙමාපියන්ගේ ආදර්ශය නිසා විවාහය කියන්නේ සතුට පිරි දෙයක් කියලා මම දැක්කා. ඔවුන් අතර සැමවිටම හොඳ සම්බන්ධතාවක් තිබුණා වගේම ඔවුන් නිතරම හොඳින් අදහස් හුවමාරු කරගත්තා. මට මතකයි මම පූර්ව විවාහ ඇසුරක් පවත්වන විට යම් තත්වයන් යටතේ ක්‍රියා කරන්නේ කොහොමද කියලා ඔවුන් අවවාද කළා. ඒ වගේම එය මගේ විවාහයට කොහොම බලපායිද කියලත් මගේ අම්මා මට පැහැදිලි කළා.”—ප්‍රිසිලා.

[10වන පිටුවේ පින්තූරය]

දෙවිගේ නව ලෝකය තුළ කිසිම දරුවෙක් කවදාවක්වත් අතවරවලට ලක් වෙන්නේ නැහැ