Skip to content

පටුනට යන්න

අපට පමණක් ලැබී තිබෙන සුවිශේෂී ත්‍යාග

අපට පමණක් ලැබී තිබෙන සුවිශේෂී ත්‍යාග

අපට පමණක් ලැබී තිබෙන සුවිශේෂී ත්‍යාග

‘විද්‍යාඥයා සොබාදහම අධ්‍යයනය කරන්නේ ඔහු එයට ප්‍රිය කරන නිසයි. ඔහු එයට ප්‍රිය කරන්නේ එය අලංකාර නිසයි.’—ෂූල්-ඕන්රි ප්වාන්කාරෙ, ප්‍රංශ ජාතික විද්‍යාඥ සහ ගණිතඥ (1854-1912).

ප්වාන්කාරෙ සොබාදහමේ අලංකාරය ඉමහත් සේ අගය කළ කෙනෙකි. විශේෂයෙන්ම ඔහුගේ අගය කිරීමට ලක් වූයේ විදු ඇස් ආකර්ෂණය කරවන සොබාදහමේ තිබෙන අනුකූලතාවේ හා ක්‍රමවත්බවේ “නිම් හිම් නැති අලංකාරයයි.” අප අවට පරිසරයේ තිබෙන අලංකාරය හා ක්‍රමවත්බව අගය කිරීමට විද්‍යාඥයෙකු වීමටම අවශ්‍ය නැත. මීට අවුරුදු 3,000කට පමණ පෙර විසූ ගීතිකා රචකයෙකු වූ දාවිත් විශේෂයෙන්ම මිනිස් සිරුර ඇතුළු මුළු මැවිල්ල මගින් පිළිබිඹු කෙරෙන නිර්මාණශීලීබව ගැන සිතූ විට එය ඔහුගේ සිතුවිලිවලට ඉමහත් බලපෑමක් ඇති කළේය. මේ නිසා ඔහු මෙසේ යාච්ඤා කළේය. “මම ඔබට ස්තුති කරන්නෙමි. මක්නිසාද මම භයානක ලෙසත් පුදුම ලෙසත් සාදන ලද්දෙමි. ඔබගේ කර්මාන්ත ආශ්චර්යවත්ය. මාගේ ආත්මයද ඒ බව මනාකොට දනියි.”—ගීතාවලිය 139:14.

විස්මය හා ගෞරවය මුසු වූ එවන් හැඟීම් ඇති වන්නේ මිනිසුන් තුළ පමණි. සතුන් අතර සිටින බුද්ධිමත්ම සතාටවත් එවන් සිතුවිලි පහළ නොවේ. එහෙත් සොබාදහම ගැන අප දක්වන උනන්දුව මගින් ඇති වන්නේ එවන් හැඟීම් පමණක්ම නොවේ. සෑම යුගයකම විසූ විචක්ෂණශීලී ලෙස කාරණා විමසුමට ලක් කරන අය තුළ මෙවන් ප්‍රශ්නද මතු වී තිබේ. සප්‍රාණික දේවල විස්මිත සැලැස්මේ ආරම්භය කුමක්ද? ඇත්තෙන්ම ජීවීන් බිහි වී තිබෙන්නේ මන්ද? මෙම සැලැස්මෙහි අපට හිමි තැන කුමක්ද? මේ ප්‍රශ්නවලට විද්‍යාව මගින් උත්තර සොයාගැනීමට නොහැකියි. එමෙන්ම පෞද්ගලිකව මේ ගැන කොතරම් සිතුවත් උත්තර ලැබෙන්නේද නැත. එනමුත් දේවානුභාවයෙන් ලියා තිබෙන බයිබලයේ එම ප්‍රශ්නවලට සෑහීම ගෙන දෙන උත්තර සපයා ඇත.—2 පේතෘස් 1:19, 21.

මිනිසුන් වන අපට සුවිශේෂී ගතිලක්ෂණ හිමි වී තිබෙන්නේ අපව ‘දෙවිගේ ස්වරූපයෙන්’ එනම් අපගේ මැවුම්කරුගේ පෞද්ගලිකත්වයේ තිබෙන ගතිලක්ෂණ (සාපේක්ෂ වශයෙන් සුළුවෙන් වුවද) පිළිබිඹු කිරීමේ හැකියාව ඇතුව අපව මවා තිබීම නිසා බව මෙම පැරණි ශුද්ධ පොතෙහි පැහැදිලි කරයි. (උත්පත්ති 1:27) රාජාලියෙකුගේ ඇස් අපට නොතිබුණද ප්‍රඥාවන්තව දුර දකිමින් හොඳ විනිශ්චයන් කිරීමේ හැකියාව අපට තිබේ. අපේ ශ්‍රවණ හැකියාව වවුලෙකුගේ ශ්‍රවණ හැකියාවට ළං කළ නොහැකි වුවද එකිනෙකා සමඟ අදහස් හුවමාරු කරගැනීමටත්, සංගීතයට සවන් දීමටත් අවට පරිසරයේ ඇති මිහිරි ශබ්ද ඇසීමටත් තිබෙන හැකියාව නිසා අපි සතුටක් ලබන්නෙමු. අපේ සිරුරේ මාලිමාවක් නැත. එනමුත් දෙවිගේ වචනය වන ශුද්ධ බයිබලය වෙත හැරීමෙන් ජීවිතය සඳහා ලැබිය හැකි හොඳම මඟ පෙන්වීම් ලබාගැනීමට අපට හැකියි.—හිතෝපදේශ 3:5, 6.

අපට පමණක් අධ්‍යාත්මික අවශ්‍යතාවක් තිබීමට හේතුව අපව දෙවිගේ ස්වරූපයෙන් මවා තිබීමෙන් පැහැදිලි වේ. “මිනිසා ජීවත් විය යුත්තේ රොටි පමණකින් නොව යෙහෝවාගේ මුඛයෙන් නික්මෙන සෑම වචනයකිනි” කියා යේසුස් පැවසුවේය. (මතෙව් 4:4, NW) බයිබලය කියවීමෙන් එහි සඳහන් ප්‍රාණවත්බවක් ඇති කරවන වචනවලින් ඔබ නිතිපතා පෝෂණය වෙනවාද?

දේවවචනයෙන් නිසියාකාරව අප පෝෂණය ලබන විට අපේ අධ්‍යාත්මය වර්ධනය විය හැකි අතර එහි ප්‍රතිඵලයක් හැටියට භෞතික සංවේද ඉන්ද්‍රියයන් මගින් ලබාගත නොහැකි ආකාරයේ වටහාගැනීමේ ශක්තියක් වර්ධනය කරගැනීමට අපට හැකි වේ. මෙසේ වන්නේ කෙසේද? අපේ ඇදහිල්ල ගොඩනැඟීමෙනි. බයිබලය මත පදනම් වූ අව්‍යාජ ඇදහිල්ලක් ගොඩනඟා ගැනීමෙන් මෝසෙස් මෙන් අපටත් අදෘශ්‍යමාන දෙවිව “දකින්න” පුළුවනි. එමෙන්ම අනාගතය සඳහා වූ ඔහුගේ අරමුණ තේරුම්ගන්නද අපට හැකි වනවා ඇත.—හෙබ්‍රෙව් 11:1, 27.

දෙවිව ‘දකින’ අයට තේජවත් අනාගතයක්

මැවුම්කරු වන යෙහෝවා දෙවි මිහිතලයටත් විශේෂයෙන්ම දේවබියැති මිනිසුන්ට මෙන්ම එහි වාසය කරන සියලුම ජීවීන්ටත් ප්‍රේම කරන බව බයිබලයේ පෙන්වා දේ. මේ නිසා ඔහු පොරොන්දු වී තිබෙන්නේ ගිජු ලෙස ‘පොළොව විනාශ කරන’ අය ඇතුළු සියලුම දුෂ්ට මිනිසුන්ව මේ පොළොවෙන් ඉවත් කිරීමටයි. (එළිදරව් 11:18; ගීතාවලිය 37:10, 11; 2 තෙසලෝනික 1:6, 7) ඉන් අනතුරුව ඔහු තමන්ට ප්‍රේම කරන හා කීකරු වන ජනයාට සදාකාල ජීවිතයක් ලබා දෙනු ඇත. එපමණක්ද නොව, මුළු මිහිතලයම ජීවීන් පිරි පාරාදීසයක් බවට පත් කිරීමට එම ජනයා සහාය වනු ඇත. මොනතරම් අපූර්ව බලාපොරොත්තුවක්ද!—ලූක් 23:43.

නිමක් නැති ජීවිතයක් හා යහපත් සෞඛ්‍යයක් ලැබෙන කල ඔබට කළ හැකි හා අලුතින් සොයාගත හැකි දේවල් මොනතරම්ද කියා සිතා බලන්න! “සොබාදහම කවදත් නැවුම්ය. පොහොසත්ය. අලංකාරය. එම ගතිලක්ෂණ කවදාවත් පහ වී නොයනු ඇත” කියා විද්‍යාඥයෙක් ලීවේය. බයිබලයේ සඳහන් මෙම වදන්වලින් ඊට සමාන අදහසක් ඉදිරිපත් කෙරේ. “[දෙවි] සියලු දේම ඒ ඒ කාලයට සුදුසු ලෙස සලස්වා තිබේ. ඔහු ලෝකයද [සදාකාලයද, NW] ඔවුන්ගේ සිත්වල තබා තිබේ, එහෙත් පටන්ගැන්මේ සිට කෙළවර දක්වා දෙවි කළ කාරණා මනුෂ්‍යයාට දැනගන්ට බැරිය.”—දේශනාකාරයා 3:11.

බයිබලයේ විස්තර කරන පාරාදීසයේ ජීවත් වීමට ඔබට හැක්කේ කෙසේද? දෙවිගේ අරමුණ ගැන ඉගෙනගැනීමෙන් හා ඔබ ඉගෙනගන්න දේවල් අනුව ජීවත් වීමෙනි. මේ ගැන යේසුස් මෙසේ පැවසුවේය. “සදාකාල ජීවනය නම් මේය. එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් ඔවුන් දැනුම ලබාගැනීමය.”—යොහන් 17:3, NW.

[30වන පිටුවේ පින්තූරය]

මැවුම්කරුව තේරුම්ගෙන ඔහුව අගය කිරීම සඳහා ඔබේ සංවේද ඉන්ද්‍රියයන් යොදාගන්න

[31වන පිටුවේ පින්තූරය]

ඔබේ මැවුම්කරුව දැනහඳුනා ගැනීමට තිබෙන හොඳම ක්‍රමය වන්නේ බයිබලය කියවීමයි