Skip to content

පටුනට යන්න

ඔබේ පාවහන් පයට පහසුද?

ඔබේ පාවහන් පයට පහසුද?

ඔබේ පාවහන් පයට පහසුද?

“සපත්තුවට කකුල කැපෙන්නේ කොයි හරියේද කියා දන්නේ පැළඳගෙන ඉන්න කෙනා මිස වෙන කිසිවෙක් නෙවෙයි.”—රෝම පඬි වදනක එසේ කියැවේ.

ඔබ අන්තිම වරට සපත්තු ජෝඩුවක් මිල දී ගත්තේ කවදාද? එය ඔබේ කකුලේ ප්‍රමාණයටම තිබුණාද? එය පැළඳ සිටින විට ඔබට පහසුවක් දැනුණාද? එය තෝරාගැනීමට ඔබට කොපමණ වෙලාවක් ගත වුණාද? තෝරාගැනීමේදී එම සාප්පු සේවකගේ හෝ සපත්තු තේරීමට උදව් කළ තැනැත්තාගේ සහය කොපමණ උපකාරවත් වුණාද? ඔබ එය තෝරාගත්තේ පහසුවට වඩා එහි මෝස්තරය නිසාද? ටික කාලයක් පැළඳුවට පස්සේ දැන් ඔබට හැඟෙන්නේ කොහොමද? එය පළඳින විට කකුල කැපෙනවාද?

සපත්තු මිල දී ගැනීම කියන තරම්ම ලේසි දෙයක් නෙවෙයි. ඒ වගේම නියම ප්‍රමාණය තෝරාගැනීම අසීරු මෙන්ම ව්‍යාකූල කරවන යමක්. ඇයි ඒ?

ගැළපෙන ප්‍රමාණය තෝරාගැනීම

ඔබගේ ලොකුම පාදය වමද නැත්නම් දකුණද? ඔබේ පාද දෙකම එක සමානයි කියා ඔබ සිතනවාද? නැවත කල්පනා කර බලන්න. තවත් සැලකිල්ලට ගත යුතු කාරණයක් වන්නේ පාදයක මිමි ගැනීමේ ක්‍රම හතරක් තිබෙන බවයි. ඒවා නම් පහසු ඉරියව් මිමි, බර දැරීමේ ඉරියව් මිමි, ක්‍රියාකාරී ඉරියව් මිමි හා වෙනස් වන පරිසර තත්වයන් යටතේ ගන්නා මිමි යන මේවායි. මේවායේ ඇති වෙනස්කම් මොනවාද?

එක් මුලාශ්‍රයකට අනුව (Professional Shoe Fitting), පහසු ඉරියව් මිමි ගැනීම “සිදු කරනු ලබන්නේ කකුල විවේකීව තිබෙන (පාරිභෝගිකයා වාඩි වී සිටින) විටයි.” ‘බර දැරීමේ ඉරියව්ව’ යන යෙදුමෙන් අඟවන පරිදි එම මිම්ම ගන්නේ පාරිභෝගිකයා සිටගෙන සිටින විටයි. මෙලෙස ඉරියව්ව වෙනස් කරන විට කෙනෙකුගේ පාදවල හැඩය හා ප්‍රමාණය වෙනස් වෙයි. මුලින් සඳහන් කළ පොතේ මෙවැනි අදහසක්ද ඇතුළත් කර තිබුණා. “ඉඳගෙන (පහසු ඉරියව්වෙන්) ඉන්න විට කකුලේ ඇටකටු සහ ඝන පටක පවතින්නේ ලිහිල් තත්වයකයි. නමුත් හිටගත් විට ඒවා එකට එකතු වී ‘තද වෙයි.’ මේ නිසා පාදයේ මිම්ම වෙනස් වෙනවා.” මීට අමතරව තවත් මිමි ගැනීමේ ක්‍රම දෙකක් තියෙනවා.

ක්‍රියාකාරී ඉරියව්වෙන් මිමි ගන්නවා කියන්නේ කෙනෙකු ක්‍රියාකාරීව සිටින විට එනම් ඇවිදිනකොට, දුවනකොට, උඩ පනිනකොට හෝ වෙනත් ව්‍යායාමයක යෙදෙන විට මිමි ගැනීමයි. “මෙයින් පාදයක මිමිවල සහ හැඩවල විවිධ වෙනස්කම් ඇති වෙනවා.” හතරවෙනි ක්‍රමය නම් වෙනස් වන පරිසර තත්වයන් යටතේ පාදවල මිමි ගැනීමයි. එනම් රස්නය, තෙතමනය හා ආර්ද්‍රතාව නිසා මිමි වෙනස් වන්න පුළුවන්. මෙම තත්වයන් යටතේ පාදයක ප්‍රමාණය සීයට පහකින් වැඩිවීමට ඉඩ තිබෙනවා. එසේනම් දවස අවසානයේ සපත්තු ගලවා දැමීමෙන් ලොකු සහනයක් දැනීම පුදුමයට කාරණයක් නෙවෙයි. විශේෂයෙන්ම ඔබ පැළඳගෙන සිටියේ වැරදි ප්‍රමාණයේ සපත්තුවක් නම් මෙය වඩාත් බලපායි. ඇත්තෙන්ම, බොහෝ අවස්ථාවලදී මිනිස්සු පැළඳගෙන සිටින්නේ වැරදි ප්‍රමාණයේ සපත්තුයි.

ඔබේ පාදයේ මිමි ගනු ලබන්නේ කෙසේද?

අවුරුදු ගණනාවක් තිස්සේ එරික් ගත්තේ 10.5 හෝ 11 ප්‍රමාණයේ සාමාන්‍ය පළලින් යුත් සපත්තුයි. මේ කාලය තුළදී නිතරම ඔහුගේ පාදයේ විකෘති වූ ඇඟිල්ලක (hammertoe) කරගැට (corn) ඇති වූ අතර වම් පාදයේ මාපටැඟිල්ලේ නිය හම තුළට කාවැදී වැඩෙන්න පටන්ගත්තා. පාද රෝග චිකිත්සක ඔහුට අවවාද කළේ දක්ෂ සපත්තු මිමිගන්නෙකුගේ සහයෙන් පාද මැනගන්නා ලෙසයි. එරික්ව පුදුමයට පත් කළ කාරණය නම් ඔහුගේ නිවැරදි සපත්තු මිම්ම 12.5ක් වීමයි. පළල විය යුත්තේ A ප්‍රමාණයේ පළලයි! a “A” ප්‍රමාණයේ මිම්ම යනු හීනි පාද සඳහා වූ මිම්මයි. ඒත් පයට පහසු පාවහන් තෝරාගැනීමට දිග සහ පළල මැනීම පමණක් ප්‍රමාණවත්ද? ඔබේ පාදවල මිමි ගත යුත්තේ කෙසේද?

සමහර රටවල පාදවල හරි මිම්ම ලබාගැනීම සඳහා විශේෂ උපකරණයක් (Brannock device) භාවිත කරයි. (ඡායාරූපය බලන්න.) මෙම උපකරණයෙන් මූලික මිමි තුනක් ලබාගන්න පුළුවන්. යටිපතුලේ සම්පූර්ණ දිග, විලුඹේ අග සිට ඇඟිලි පුරුක් පටන්ගන්නා ස්ථානය (ball joint) දක්වා ඇති දුර සහ එම ස්ථානයේ හරස් මිම්ම. නමුත් සෑම පාදයකටම එයටම ආවේණික හැඩයක් හා ප්‍රමාණයක් තියෙනවා. එම හේතුව නිසා තමයි අපි පාවහන් මිල දී ගැනීමට පෙර ඒවා දාලා බලන්නේ. මෙහිදී අපි යම් උගුලකට අසු වෙන්න පුළුවන්. යම් දවසකදී, ඔබ වඩාත් කැමති සපත්තු ජෝඩුවක් දාලා බැලීමෙන් පසු එයට ඔබේ කකුල කැපෙන බව ඔබට දැනී තිබෙනවාද? සපත්තු අලෙවිකරු “මේ සපත්තුව පාවිච්චි කරනකොට තව ලොකු වෙයි” කියා පැවසිය හැකියි. ඒවා මිල දී ගෙන දින කිහිපයකින් හෝ සති කිහිපයකින් එවැනි පාවහන් ගැනීම ගැන සමහරුන් පසුතැවෙනවා. වැඩි කල් යන්න කලින්, ඔබේ පාදයේ තවත් කරගැටයක්, හම තුළට කාවැදී නිය වැඩීමක් හෝ මහපටැඟිල්ලේ ඉදිමුමක් (bunion) ආදිය ඇති විය හැකියි.

ඔබට හරියටම හරි යන ප්‍රමාණයේ සපත්තු ලැබෙනවාද?

හරියටම හරි යන සපත්තුවක් තෝරගන්න පුළුවන්ද? කලින් සඳහන් කළ පොතේ (Professional Shoe Fitting) දෙන පැහැදිලි කෙටි පිළිතුර නම් බැහැ යන්නයි. එයට හේතුව කුමක්ද? “වැළැක්විය නොහැකි හේතු කිහිපයක් තිබෙන නිසයි. . . . ප්‍රමාණය, හැඩය හා ක්‍රියාකාරිත්වය එක සමාන වන පාද දෙකක් තිබෙන කිසි කෙනෙක් නැහැ.” ඒ කියන්නේ සපත්තු ජෝඩුවක් ඔබේ ලොකු පාදයට හරියටම හරි යනවා නම් එය අනිත් පාදයට හරියටම ගැළපෙන එකක් නැහැ. “මෙයින් අදහස් කරන්නේ හරි ප්‍රමාණයේ පාවහන් සොයාගන්න බැහැයි කියන එක නෙවෙයි. නමුත් ‘හරියටම හරි යන පාවහන් තියෙනවා’ යනුවෙන් පවසන විට අපි කල්පනාකාරී විය යුතුයි.”

ඔබේ පාදයේ කොයි කොටසින්ද සපත්තුවට වැඩි තෙරපුමක් ඇති වෙන්නේ කියලා සොයා බැලීමට ඔබ පාවිච්චි කළ සමහර පරණ සපත්තු නිරීක්ෂණය කර බලන්න. සපත්තුවේ ඇතුළත ආවරණය (lining) බලන්න. වැඩියෙන්ම ගෙවිලා තියෙන්නේ සපත්තුවේ කොයි කොටසද? බොහෝ අවස්ථාවලදී සපත්තුවේ වැඩිපුරම ගෙවෙන්නේ අඩි තැන්පතුව (heal seat), කවුන්ටරය (විලුඹ ආවරණය කරන කොටස) හා ඇඟිලි පුරුක් පටන්ගන්න කොටස (ball joint) යන මේවා බව දැකගත හැකියි. මෙයින් අදහස් වෙන්නේ කුමක්ද? ඒ කියන්නේ සපත්තුවේ සමහර කොටස් පාදයේ හැඩය හා ගැළපෙන්නේ නැති බවයි. සපත්තුවේ සමහර කොටස් ශීඝ්‍රයෙන් ගෙවී යන අතර සමහර කොටස් කොහෙත්ම ගෙවෙන්නේ නැහැ.

සපත්තුවේ ගෙල කොටසත් පහසුව සඳහා වැදගත්. සපත්තුවල විවිධ ගෙල රේඛා මෝස්තර තිබෙන බව ඔබ දැක තිබෙනවාද? බෝල් (bal style) මෝස්තරයට අනුව සපත්තුවක ඉහළ ක්වාටර දෙක ලේස් පටියෙන් එකතු කරනු ලබන්නේ ඇඟිලි ආසන්නයේ සිටයි. කෙසේවෙතත් ඔබේ පාද මහත නම් ඔබට ගැළපෙන්නේ බ්ලුකර් (blucher) මෝස්තරයයි. මෙම මෝස්තරයේදී ඇඟිලි ආසන්නයේදී ඉහළ ක්වාටර දෙක වෙන්ව පවතින නිසා පාදවලට වඩා පහසුයි. (රූප සටහන බලන්න.) මෙම වෙනස්කම් මෙතරම් වැදගත් වන්නේ ඇයි? ඉහත සඳහන් මූලාශ්‍රයේම තවදුරටත් පවසන්නේ, “බොහෝ අවස්ථාවලදී අඩියේ ඇති වන අපහසුතාවට හේතුව නම් සපත්තුවක ගෙල පෙදෙස ඕනෑවට වඩා තදවීම හේතුවෙන් කකුල පස්සට තල්ලු වී විලුඹ හා කවුන්ටරය අතර තෙරපුමක් ඇතිවීම” කියායි.

කාන්තාවන්ගේ අඩි උස සපත්තු ගැන කුමක් කිව හැකිද?

කාන්තාවන්ට අඩි උස සපත්තු දැමීමට ආශාවක් තිබුණද එමගින් ශරීරයට ඇති වන්නාවූ පීඩා විවිධාකාරයි. අඩි උස සපත්තු පැළඳගෙන සිටින අවස්ථාවලදී අප සිටින ඉරියව් වෙනස් විය හැකියි. බොහෝ විට අඩි උස සපත්තු පැළඳගෙන සිටින අවස්ථාවලදී ශරීරය නිබඳව ඉදිරියට නැඹුරු වීමේ ප්‍රවණතාවක් තිබෙන අතර මේ නිසා ශරීරය කෙළින් තබාගැනීම සඳහා දණහිස් පමණට වඩා නැමීමට සිදු වෙනවා. මෙම සපත්තු පැළදීම නිසා බත්කෙණ්ඩවල මාංශ පේශි හැකිළෙන අතර කාලයක් ගිය පසු මෙම පේශිවල වෙනස වඩාත් කැපීපෙනෙන්න පටන්ගනියි.

කාන්තාවන්ගේ සපත්තුවේ වඩාත් වැදගත් කොටස අඩිය වන අතර ඇයට පහසුවක් හෝ අපහසුවක් දැනීමට එය හේතු විය හැකියි. මුලින් සඳහන් කළ පොතේ පෙන්නුම් කරන්නේ අඩි උස සපත්තු පැළඳීමට හේතු තුනක් තිබෙන බවයි. ‘(1) “කැපීපෙනීම” සඳහා. මන්ද කෙනෙකුට එමගින් උස පෙනුමක් ලබා දෙන නිසා, (2) අලංකාරය සඳහා. මන්ද සපත්තුවේ මෝස්තරය හෝ විලාසිතාව නිසා කකුලට අලංකාරයක් ලැබෙන නිසා, (3) වඩාත් ආකර්ෂණීය පෙනුමක් ලබාගැනීම සඳහා. මන්ද, අඩි උස සපත්තු මගින් කාන්තාවකගේ පාදවලට කැපීපෙනෙන හැඩයක් ලබා දෙන නිසා.’

කාන්තාවන් විශේෂයෙන්ම සපත්තු අඩියේ හැඩය ගැන සැලකිලිමත් විය යුතුයි. මන්දයත් ශරීරයේ බර රැඳෙන්නේ කොයි ස්ථානයේද කියා තීරණය වන්නේ අඩියේ හැඩය අනුව වන නිසයි. ශරීරයේ බර රැඳෙන්නේ අඩියේ ඉදිරි කෙළවරේ හෝ පසු කෙළවරේ නම් භයානකයි. ඇයි එහෙම කියන්නේ? අඩියේ වාරුව මදි නිසා පෙරළිලා වැටෙන්න පුළුවන්.

මෙම කෙටි සාකච්ඡාවෙන් පෙනී යන්නේ හරි ප්‍රමාණයේ සපත්තුවක් ලබාගැනීම සඳහා වැඩිපුර කාලයක් ගත කිරීමට සිදු වන බවයි. ඒ වගේම හොඳ සපත්තුවක් නිර්මාණය කිරීමට කාලය වැය වන නිසා ඒවායෙහි මිලද වැඩි විය හැකි බවයි. ඒත් ඔබගේ සපත්තු ඔබේ පහසුවට මෙන්ම ශරීර සෞඛ්‍යයටද දායක විය හැකියි. ඒ නිසා කාලය ගෙන හරි මිම්ම ලබාගන්න. ඉවසිලිවන්ත වන්න. මෝස්තරයට හා විලාසිතාවට රැවටෙන්න එපා.

[පාදසටහන]

a සමහර රටවල ප්‍රමාණය දැක්වීමට නොම්මර යොදනවාට අමතරව එහි පළල දැක්වීමට අකුරුද යොදනු ලබයි.

[17වන පිටුවේ කොටුව]

සපත්තුවක් තේරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

විලියම් A රෝසේ හා රොස් ටෙනන්ට් විසින් රචිත පොතක (Professional Shoe Fitting) යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.

“පාදයක මිම්ම ගැනීමේ අරමුණ වන්නේ සීයට සීයක්ම හරි යන සපත්තුව සොයාගැනීමම නෙවෙයි.” ඇයි එහෙම කියන්නේ? සපත්තු අඩියේ උස, මෝස්තරය, හැඩය, භාවිත කර තිබෙන අමුද්‍රව්‍ය සහ නිෂ්පාදනය කළ සමාගම අනුව සපත්තුවේ ප්‍රමාණය වෙනස් වන්න පුළුවන්. අද බොහෝ රටවල විවිධ ප්‍රමිතිවලට අනුව සපත්තු නිෂ්පාදනය වන නිසා මෙය සැබෑවක් වී තිබෙනවා.

ඔබේ පාදයේ මිමි ගැනීමේදී මේස් හෝ දිග මේස් (stocking) පැළඳගෙන ඉන්නවා නම් ඇඟිලි නැමීම වළක්වාලීම සඳහා මේස් කූට්ටම මදක් ඉදිරියට ඇද මිම්ම ගැනීමෙන් නිවැරදි මිම්මක් ලබාගත හැකියි.

ඔබ මිමි ගත යුත්තේ කෙසේද? සිටගෙනද, නැත්නම් ඉඳගෙනද? “පාරිභෝගිකයා ඉඳගෙන ඉන්න විට මිමි ගැනීම පහසු ක්‍රමයක්” නමුත් එය හරි මිම්ම කියා කිව නොහැකියි. ඒ නිසා ඔබේ මිමි ගන්න විට සිටගෙන ඉන්න. ඔබේ පාද දෙකේම මිමි ගන්න. ඔබේ වම් පාදය ලොකුයි කියා නිගමනය නොකර පාද දෙකේම මිමි ගන්න.

“හරි ප්‍රමාණයේ සපත්තු තෝරා දීම නමැති දක්ෂතාව සහ සේවාව වෘත්තිමය වශයෙන් විශේෂ පුහුණුවක් ලැබූ කිහිපදෙනෙකුට සීමා වූ දෙයක්. තවද ඔවුන් සම්බන්ධ වී සිටින්නේද එවැනිම ඉහළ දක්ෂතාවකින් යුතුව හරි ප්‍රමාණයේ සපත්තු තේරීමේ වැදගත්කම අගය කරන හා වටහාගෙන ඇති සාප්පු කිහිපයකටයි.”

[16වන පිටුවේ රූප සටහන්]

(මුද්‍රිත පිටපත බලන්න)

සපත්තුවක කොටස්

ගෙල

ඇතුළත ආවරණය

අඩි පතුල

අඩි නෙරුම

සම්පූර්ණ අඩිය

උඩු ආවරණය

අඩි පෑඩය

ක්වාටරය

ටං බාර්

ඇඟිලි ආවරණය

අඩිය

ගෙල රේඛාව

උඩු ආවරණය

වෙල්ට්

පිටත අඩිය

[17වන පිටුවේ පින්තූර]

පාද මනින උපකරණය

[18වන පිටුවේ පින්තූර]

සෑම සපත්තු වර්ගයක්ම මූලිකව මේ විලාසිතා හතෙන් එකකට අයත්

[18වන පිටුවේ පින්තූර]

ගෙල රේඛා මෝස්තර

බ්ලුකර්

බෝල්