Skip to content

පටුනට යන්න

ගැඹුරට මුල් බැසගත් හේතු සහ පුළුල් පල විපාක

ගැඹුරට මුල් බැසගත් හේතු සහ පුළුල් පල විපාක

ගැඹුරට මුල් බැසගත් හේතු සහ පුළුල් පල විපාක

“මම බඩගින්නේ සිටියා. ඔබ මගේ බඩගින්න ගැන සොයා බලන්න කමිටුවක් පත් කළා. මම හිසට වහලක් නැතුව සිටියා. මගේ දුක්ඛිත තත්වය ගැන ඔබ වාර්තාවක් පිළියෙළ කළා. මම අසනීපව සිටියා. ඔබ අසරණයන්ගේ තත්වය ගැන සම්මන්ත්‍රණයක් පැවැත්වුවා. ඔබ මගේ දුක්ඛිත තත්වයේ සියලු පැති ගැන සොයා බැලුවා. ඒත් තවමත් මම ඉන්නේ බඩගින්නේ, හිසට වහලක් නැතුව අසනීපෙන්.”—කතුවරයා නොදනිමු.

ලෝකයේ ආයතන මන්දපෝෂණය තුරන් කිරීමට වෑයම් ගණනාවක් දරා තිබුණත්, බලාපොරොත්තු වූ ප්‍රතිඵල අත් කරගැනීමට හැකි වී නැහැ. නිදසුනක් වශයෙන්, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) මගින් 1996 දී පැවැත්වූ ලෝක ආහාර සමුළුවක්, ලෝකයේ ඌනපෝෂණයෙන් පෙළෙන සංඛ්‍යාව වසර 2015දී අඩකින්, එනම් මිලියන 400ක ජනතාවකගෙන් අඩු කරන්නට ඉලක්කයක් තැබුවා. a

යම් ප්‍රගතියක් ඇති වී තිබීම ප්‍රශංසාකටයුතුයි. එහෙත් අභාග්‍යයකට මෙන්, වර්ෂ 2001දී ලෝකයේ ආහාර අනාරක්ෂිත තත්වය නමැති FAO වාර්තාව පිළිගන්නේ, “ලොවේ ඌනපෝෂණයෙන් පෙළෙන අයගේ ප්‍රමාණය අවම කිරීමට දරණ වෑයම පහත වැටී තිබෙන බව පැහැදිලිය” යන්නයි. මේ අනුව සමුළුවේ ඉලක්කය තවමත් ඉටු කර ගත නොහැකි බවක් පෙනෙන්නට තිබෙනවා. ඇත්ත වශයෙන්ම, “දියුණු වෙමින් පවතින රටවල් බොහොමයක ඌනපෝෂණයෙන් පෙළෙන සංඛ්‍යාව සෑහෙන ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති” බව එම වාර්තාව පිළිගන්නවා.

මේ සතුරාව පරාජය කිරීම මෙතරම් අසීරු ඇයි? මේ සඳහා පිළිතුරු සොයාගැනීමට පළමුව අපට මන්දපෝෂණය අර්ථ දක්වන්නට හැකියි. අනතුරුව එහි ගැඹුරට මුල් බැසගත් හේතු සහ එහි පුළුල් පල විපාක මොනවාද කියා සොයා බැලිය හැකියි.

මන්දපෝෂණය ඇති වන්නේ කුමකින්ද?

මන්දපෝෂණය ඇති වන්නේ සිරුරේ සෛල මගින් උරාගන්නා පෝෂණය අවම වන විටයි. සාමාන්‍යයෙන් මෙම තත්වය ඇති වන්නේ සාධක දෙකක එකතුවෙන්. ඒවා නම්, (1) ප්‍රෝටීන්, කැලරි, විටමින් සහ ඛනිජ ලවණ ප්‍රමාණවත් ලෙස නොගැනීම සහ (2) ආසාදිත රෝගවලට ගොදුරු වීම.

පාචනය, සරම්ප, මැලේරියාව සහ ස්වසන පද්ධතියේ රෝග නිසා ශරීරය දුර්වල වී ශරීරයේ පෝෂ්‍ය පදාර්ථ ක්ෂය වී යනවා. එම රෝග නිසා ඇති වන ආහාර අරුචියද ආහාර අඩුවෙන් කෑමද මන්දපෝෂණයට දායක වන තවත් දෙයක්. අනික් අතට, ඌනපෝෂණයෙන් පෙළෙන දරුවෙකු ආසාදිත රෝගවලට ගොදුරු වීමේ සම්භාවිතාව වැඩියි. මේ අනුව ප්‍රෝටීන්-ශක්ති මන්දපෝෂණය (PEM) නිසා සිදු වන මරණවල අනුපාතය වැඩි කරවන විෂම චක්‍රයක් මේ මගින් ඇති වේ.

දරුවන් මන්දපෝෂණයෙන් පෙළීමේ වැඩි අවදානමක සිටින්නේ ඇයි? ඔවුන් සිටින්නේ කැලරි සහ ප්‍රෝටීන් වැඩිපුර අවශ්‍ය වන වර්ධනය වේගවත්ව සිදු වන කාලයකයි. මේ හේතු නිසාම, ගර්භිණී සහ කිරි දෙන මව්වරුන්ද මන්දපෝෂණයට පහසුවෙන් ගොදුරු වෙන්න පුළුවන්.

බොහෝවිට, දරුවා සම්බන්ධ ගැටලු පැනනඟින්නේ ඔහුගේ උපතටත් පෙරයි. මව ගර්භිණී වීමට පෙර හෝ ඒ අතරතුර ඌනපෝෂණයෙන් හෝ මන්දපෝෂණයෙන් පෙළෙනවා නම්, දරුවා උපදින්නේ අඩු බරක් ඇතුවයි. අනතුරුව, නියම කාලයට කලින් කිරිවැරීම, නිසි ලෙස කිරි නොදීම සහ සෞඛ්‍යසම්පන්නව නොතැබීම නිසාද දරුවාට මන්දපෝෂණය වැලඳිය හැකියි.

අවශ්‍ය පෝෂණය හරි හැටි නොලැබීම නිසා දරුවා නිසි ලෙස වර්ධනය නොවේ. මේ නිසා සිදු වන්නේ දරුවා බොහෝ සෙයින් හැඬීම සහ අසනීපවලට පහසුවෙන්ම ගොදුරු වීමයි. මේ තත්වය දරුණු අතට හැරෙන විට, බර අඩුවීම පැහැදිලිව දක්නට ලැබෙනවා. ඇස් සහ හිසේ තෙල් වළ ඇතුළට නෙරා ගොස් තිබෙන අතර, හම සහ පටක ඇදෙන ගතියද ශරීර උෂ්ණත්වය පවත්වාගැනීමට ඇති හැකියාවද නැති වී යනවා.

ඌනපෝෂණය වෙනත් ස්වරූපද ගන්නට පුළුවනි. මේවා මගින්ද දරුවන්ගේ වර්ධනය අඩාළ විය හැකියි. නිදසුනක් වශයෙන්, මූලිකව ගත් කල, යකඩ, අයඩීන්, සහ තුත්තනාගම් වැනි ඛනිජ ලවණ සහ විටමින් (විශේෂයෙන්ම විටමින් A) ප්‍රමාණවත් ලෙස නොගැනීමද මන්දපෝෂණයට දායක වෙන්නට පුළුවන. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සඳහන් කරන්නේ විටමින් A ඌණතාවය ලොවේ කුඩා දරුවන් මිලියන 100කට පමණ බලපාන අතර, එය අන්ධභාවයට හේතු වන බවයි. තවද එය ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරමින් රෝගවලට ඔරොත්තු දීමට ළමුන්ට ඇති හැකියාව බාල කරනවා.

පුළුල් පල විපාක

මන්දපෝෂණය මගින් විශේෂයෙන්ම ළමයෙකුගේ සිරුරේ මහත් විනාශයක් සිදු කෙරෙනවා. මේ අනුව, හදවත, වකුගඩු, උදරය, බඩවැල්, පෙනහලු සහ මොළය ඇතුළු සෑම ඉන්ද්‍රියයක්ම මේ මගින් බලපෑමට ලක් විය හැකියි.

විවිධ අධ්‍යනයන්ගෙන් පෙන්නුම් කරන්නේ, දරුවෙකුගේ මන්දගාමී වැඩීම දරුවාගේ මානසික වර්ධනය අඩාළ කරන බවත්, අධ්‍යයන සහ බුද්ධිමය හැකියාවන් මොට කරන බවත්ය. එක්සත් ජාතීන්ගේ එක් වාර්තාවක් මෙම බලපෑම් හඳුන්වන්නේ, මන්දපෝෂණයේ දිගුකාලීන හා දරුණු පල විපාක හැටියටයි.

දරුවෙකුට මන්දපෝෂණයෙන් ඇති වන පල විපාක ඔහුගේ වැඩිහිටිභාවය දක්වාත් තිබෙන්න පුළුවන්. “සම්පූර්ණයෙන්ම පාහේ වළක්වා ගැනීමට හැකිව තිබියදීත් එවන් පරිමාණයකින් මිනිස් බුද්ධිමය හැකියාවන් මොටවීමට ඉඩහැරීම ඇත්තෙන්ම, මහා නාස්තියකි. අපරාධයකි.” මේ නිසා, මන්දපෝෂණයේ දිගු කාලීන ප්‍රතිඵල වහාම සැලකිල්ලට ගත යුත්තක්. මෑතකදී කරන ලද පර්යේෂණවලින් පෙනී යන හැටියට, ළදරු කාලයේදී අද්දුටු ඌනපෝෂණ තත්වය හේතුවෙන් දරුවා වැඩිහිටිභාවයට පත් වූ විට හෘද රෝග, දියවැඩියාව සහ අධික රුධිර පීඩනය වැනි නිධන්ගත රෝගවලට ගොදුරු වීමේ ප්‍රවණතාවක් තිබේය යන කාරණයද මෙහිදී සැලකිල්ලට ගැනීම වටී.

කෙසේවෙතත්, UNICEF ආයතනය පිළිගන්නා ලෙස, ප්‍රධාන ගැටලුව වන්නේ දරුණු මන්දපෝෂණයම නොවේ. “මන්දපෝෂණය නිසා සිදු වූ සියලු මරණවලින් හතරෙන් තුනක්ම සම්බන්ධ වී ඇත්තේ දරුණු මන්දපෝෂණය නිසා නොව නමුත් එතරම් දරුණු නැති සහ සාමාන්‍ය ආකාරයේ මන්දපෝෂණ තත්වයන් නිසයි.” (අකුරු ඇල කළේ අපය.) එතරම් දරුණු නැති හෝ සාමාන්‍ය මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් දිගු කාලීන සෞඛ්‍ය ගැටලුවලට ගොදුරු වෙන්න පුළුවන්. එමනිසා, දරුවන් තුළ දක්නට තිබෙන ඌනපෝෂණ රෝග ලක්ෂණ හඳුනාගැනීම අතිශයින්ම වැදගත්. එවිට නිසි ප්‍රතිකාර කළ හැකියි.—7වන පිටුවේ කොටුව බලන්න.

ගැඹුරින් මුල් බැසගත් හේතු

මීට ඉහතදී සලකා බැලූ පරිදි, මන්දපෝෂණයට ඍජුවම බලපාන හේතුව නම් ආහාර ඌණතාවය බවයි. නමුත් මීට වඩා සමාජීය, ආර්ථිකමය, සංස්කෘතිමය හා පාරිසරික වැනි බරපතල හේතුද තියෙනවා. මේ අතර ප්‍රධාන තැනක් ගන්නේ දිලිඳුකමයි. එය විශේෂයෙන්ම දියුණු වෙමින් පවතින රටවල මිලියන ගණනකට බලපානවා. කෙසේවෙතත්, දිලිඳුකම මන්දපෝෂණයට හේතුවක් වෙනවාට අමතරව, එය එහි පල විපාකයක්ද වෙනවා. මන්දයත් ඌනපෝෂණය හේතුවෙන් ජනයාගේ කාර්යක්ෂමතාව දුර්වල වී ඔවුන්ගේ දිලිඳුකම වැඩි කරන නිසයි.

මීට දායක වන තවත් හේතු සාධකද තිබෙනවා. නොදැනුවත්කමද නොමනා ආහාර පුරුදු ඇති කිරීමට තුඩු දෙන තවත් දෙයක් හැටියට සලකන්න පුළුවන්. අප දැක තිබෙන පරිදි, ආසාදිත රෝගද මෙහිලා සැලකිය යුතු හානියක් කරයි. ඒ වගේම ආහාර සම සේ බෙදා නොහැරීම සහ ස්ත්‍රීන්ට එරෙහිව කරන වෙනස්කම් වැනි සමාජීය හා සංස්කෘතිමය හේතුද මීට ඇතුළත්. බොහෝවිට, ස්ත්‍රීන් තමයි “අඩුවෙන් හා අන්තිමට” ආහාර ගන්නේ. එනම් ඈ ආහාර ගන්නේ පුරුෂයාට පසුව සහ පුරුෂයාට වඩා අඩුවෙන්. ඒ වගේම තම දරුවන්ව වඩා හොඳින් හදා වඩා ගැනීමට අවශ්‍ය කරන අධ්‍යාපනය ලබාගැනීමට ස්ත්‍රීන්ට උපකාරී වන අවස්ථාද අහිමි කරලා.

මීට අමතරව, පාරිසරික සාධකද ආහාර නිෂ්පාදනය අඩාළ කිරීමට හේතු වෙනවා. මේ අතර ස්වාභාවික විපත්ද යුද්ධද සඳහන් කරන්නට පුළුවන්. වර්ෂ 2001දී ලෝකයේ ආහාර අනාරක්ෂිත තත්වය නමැති වාර්තාවට අනුව, 1999 ඔක්තෝබර් සිට 2001 ජූනි දක්වා අතර කාලයේදී පමණක් රටවල් 22ක් නියඟයටද, රටවල් 17ක් සැඩසුළං හෝ ගංවතුරටද, රටවල් 14ක් සිවිල් යුද්ධවලට හෝ කැරලිකෝලාහාලවලටද, රටවල් 3ක් අධික සීත දේශගුණයටද, රටවල් 2ක් භූමිකම්පාවන්ටද ගොදුරු වුණා.

ප්‍රතිකාර සහ වැළැක්වීම

මන්දපෝෂණයෙන් පෙළෙන දරුවෙකුට ප්‍රතිකාර කරන්නට හැක්කේ කොහොමද? දරුවා දරුණු ඌනපෝෂණ තත්වයකින් පෙළෙන්නේ නම්, මුලින්ම කළ හැකි හොඳම දේ, දරුවාව රෝහල් ගත කිරීමයි. ලෝක සෞඛ්‍යය සංවිධානය මගින් වෛද්‍යවරුන් සඳහා පළ කරන ලද අත් පොතකට අනුව, වෛද්‍යවරු දරුවාගේ තත්වය පරීක්ෂා කර, ආසාදිත රෝග හෝ විජලනය ඇත්නම් ඒවාට ප්‍රතිකාර කරනවා. කෙමෙන් කෙමෙන් ආහාර දෙන්නට පටන්ගන්නේ බට මාර්ගයෙන් වෙන්නට පුළුවනි. මේ මුල් අදියර සතියක් පමණ පුරා විහිදී යන්නට ඉඩ කඩ තිබෙනවා.

ඊළඟට එළඹෙන්නේ රෝගියාව පුනරුත්ථාපනය කරන අවස්ථාව. දරුවාව නැවතත් මව්කිරිවලට හුරු කරන අතර, හැකි තරම් කෑමට දිරිගන්වනවා. මේ අදියර තුළදී දරුවා තුළ චිත්තවේගීය හා කායික උත්තේජන ඇති කිරීම ඉතා වැදගත්. දරුවාට ඉතා කිට්ටු අවධානයක් හා ස්නේහයක් දීමෙන් දරුවාගේ වර්ධනයට විශාල වැඩ කොටසක් ඉටු කරන්නට පුළුවනි. මන්දපෝෂණය නමැති රකුසා විසින් දරුවාව යළිත් ගිලගැනීමට පෙර, නිසි ආහාර හා සෞඛ්‍ය සත්කාර දරුවාට දෙන්නේ කෙසේදැයි කියා දරුවාගේ මවව දැනුවත් කිරීමේ කාලය මෙයයි. ඉන්පසු, දරුවාව රෝහලෙන් නිදහස් කරගෙන වරින් වර දරුවාව සායනයට හෝ රෝහලට ගෙන යෑම අනිවාර්යයෙන්ම කළ යුත්තක්.

කෙසේවෙතත්, හොඳම ක්‍රියාමාර්ගය රෝගී තත්වය වැළැක්වීම බව පැහැදිලියි. යම් යම් ආහාර පෝෂණ වැඩසටහන් හෝ ජනතාවගේ පරිභෝජනය සඳහා අමතර පෝෂ්‍ය පදාර්ථ එකතු කරන ලද ආහාර නිෂ්පාදනය පිළිබඳ වැඩසටහන් බොහෝ රටවල ආණ්ඩු සහ පෞද්ගලික සංවිධාන විසින් දියත් කර ඇත්තේ ඒ නිසයි. ඒ වගේම පෝෂණ අධ්‍යාපන වැඩසටහන් ඉදිරිපත් කිරීමෙන්, පානීය ජලය ආරක්ෂා කිරීමෙන්, වැසිකිළි තැනීමෙන්, පරිසරය පිරිසිදුව තබාගැනීමෙන්, එන්නත් වැඩසටහන්වලට අනුග්‍රහය දැක්වීමෙන් සහ දරුවන්ගේ වර්ධනය අධීක්ෂණය කිරීමෙන් වැනි බොහෝ ආකාරවලින් යම් යම් ප්‍රජාවන් මන්දපෝෂණය වැළැක්වීම සඳහා දායක වෙනවා.

නමුත් මන්දපෝෂණය වැළැක්වීම පිණිස පෞද්ගලික මට්ටමින් කළ හැක්කේ මොනවාද? මෙහි 8වන පිටුවේ තිබෙන කොටුව තුළ යම් උපකාරවත් යෝජනා දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ළමා පෝෂණවේදිනී ජෝර්ජියානා ටුසෙයින්ට් නිර්දේශ කරන්නේ මව තම දරුවාව බිහි කර දවස් හතකින්ද, දරුවාට වයස මාසයක් වන විටද, ඊට පසු සෑම මාසයකදීම තම ළමා විශේෂඥයා වෙතට හෝ සෞඛ්‍යය සායනයක් වෙතට යා යුතු බවයි. විජලනය, දරුණු පාචනය හෝ උණ වැනි ලක්ෂණ දරුවා තුළින් දිස් වේ නම්, මව සෞඛ්‍ය විශේෂඥ උපදෙස් පැතිය යුතුයි.

මෙම නිර්දේශයන් දරුවාගේ ආහාර රටාව දියුණු කිරීමේදී උපකාරවත් වුවද, මන්දපෝෂණය යනු ඉතා විශාල ගැටලුවක් බව අප පිළිගත යුතුයි. එය කොතරම් විශාලද කියනවා නම්, එය මිනිස් ප්‍රයත්නවලින් විසඳිය හැකි එකක් නම් නොවේ. එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා මෙසේ පිළිගන්නවා. “කෙසේවුවද, සියලු ජනයාට ප්‍රමාණවත් ආහාර සැපයීම සහ පෝෂණය පිළිබඳව අධ්‍යාපනයක් දීම ඉතා බරපතළ ගැටලුවක්ව පවතී.” එබැවින්, මේ “නිහඬ අර්බුදය” කවදා හෝ අවසන් වනු ඇති බවට යම් බලාපොරොත්තුවක් තිබෙනවාද?

[පාදසටහන]

a ලෝක ආහාර සමුළුව ගැන තවත් තොරතුරු දැනගැනීමට, 1997 අගෝස්තු 8 පිබිදෙව්! කලාපයේ 12-14 පිටු බලන්න.

[7වන පිටුවේ කොටුව]

ඔබේ දරුවාට මන්දපෝෂණයද?

සෞඛ්‍ය විශේෂඥයන් දරුවෙකුගේ පෝෂණ සෞඛ්‍යය මනින්නේ කොහොමද? ඔවුන් විවිධ රෝග ලක්ෂණ විශ්ලේෂණය කරන්නට පුළුවන්. ආහාර පුරුදු ගැන ප්‍රශ්න අසන්නට පුළුවන්. ඒ වගේම සෞඛ්‍ය පරීක්ෂණයක් කිරීමට නිර්දේශ කරන්නට ඉඩ කඩ තිබෙනවා. කෙසේවෙතත්, ඔවුන් වැඩිහරියක්ම විශ්වාසය තබන්නේකෙලින්ම ගත හැකි මිමි දඬු මතයි. දරුවාගේ සිරුර මනින ඔවුන් ස්ථිර ප්‍රමිතියක් සමඟ එම මිනුම් අගයන් සසඳා බලනවා. මන්දපෝෂණයේ වර්ගය සහ එහි ඇති බැරෑරුම්කම ගැන නිශ්චය කරගැනීමට මේ ක්‍රමය ඔවුන්ට මහත් උපකාරයක්.

වඩාත් වැදගත්ම මිමි වන්නේ, දරුවාගේ බර, උස සහ අතක වට ප්‍රමාණයයි. දරුවාගේ බර වයස සමඟ සැසඳීමෙන් මන්දපෝෂණය කොතරම් බරපතළද කියා හෙළි වෙයි. එය බරපතළ නම්, දරුවාගේ සිරුර ක්ෂය වෙනවා. ඒ වගේම කෙසඟ වෙනවා. දරුවාගේ සිරුරේ බර සාමාන්‍ය බරට වඩා සියයට 40කින් අඩු නම්, එය බරපතළ තත්වයක් හැටියටයි සැලකෙන්නේ. එය සියයට 25 සිට 40 දක්වා අඩු නම්, එය මධ්‍යස්ථ තත්වයක් ලෙසටත්, එය සියයට 10 සහ 25 අතර නම්, මඳ වශයෙන් මන්දපෝෂණයෙන් පෙළෙන තත්වයක් ලෙසටත් ගණන් ගැනෙනවා. උස සහ වයසට අනුව බැලෙන මේ අගය ඉතා අඩු අගයක් ගන්නේ නම්, ඉන් හෙළි වන්නේ නිධන්ගත ඌණපෝෂණ තත්වයක්. ඒ කියන්නේ දරුවාගේ වැඩීම ඇණහිට ඇති බවයි.

ප්‍රෝටීන්-ශක්ති මන්දපෝෂණයේ (PEM) වඩාත් බරපතළ වර්ග නම්, ශෝෂය [marasmus] සහ ක්වෂියෝකෝර් [kwashiorkor] මෙන්ම ඒ දෙකේම සම්මිශ්‍රණයක්ද වෙයි. ශෝෂය (හෙවත් කෙමෙන් කෙමෙන් සිරුර වැහැරීම) දක්නට ලැබෙන්නේ මාස 6ක් සහ 18ක් අතර කිරි බොන දරුවන් අතරයි. නිධන්ගත කැලරි සහ පෝෂ්‍යපදාර්ථ ඌනතාවක් ඇති කරලමින් එය ඉතා සෙමෙන් උද්ගත වන අතර, ප්‍රමාණවත් ලෙස කිරි නොදීම නිසා හෝ මව්කිරි වෙනුවට තනුක කරන ලද වෙනත් ආදේශක දීම නිසා මෙය ඇති විය හැකියි. මේ නිසා දරුවාගේ බර ඉතා අඩු වන අතර, මාංශ පේශී ඉතා තුනී වී ඒවා ඇටකටුවලට ඇලෙයි. වර්ධනය බොහෝසෙයින් ඇණහිටිනවා. ඒ වගේම දරුවාට තිබෙන්නේ “වයසක කෙනෙකුගේ මුහුණක්.” සැණෙකින් කුපිත වෙන දරුවා නිතරම අඬයි.

ක්වෂියෝකෝර් යන වචනය රැගෙන තිබෙන්නේ අප්‍රිකානු උපභාෂාවකින්. එහි තේරුම “ස්ථානය අහිමි දරුවා” යන්නයි. එයින් අඟවන්නේ කිරි බොන දරුවෙකුට මවගේ ළමැදෙහි හිමි වී තිබූ ස්ථානය අලුත උපන් බිලිඳෙකු නිසා අහිමි වී යාමයි. මේ තත්වය දක්නට ලැබෙන්නේ කිරිවෑරුවායින් පසුව වන අතර, කැලරි ඌණතාවක් මීට අයත් වුවත් එය වර්ධනය වෙන්නේ ප්‍රෝටීන්වල දැඩි ඌනතාවකිනි. මේ නිසා සිරුරේ ද්‍රව සහිත තත්වයක් ඇති වී දරුවාගේ අත් පා සහ බඩ ඉදිමී ඇති බවක් දක්නට ලැබෙනවා. ඇතැම්විට එය මුහුණටත් බලපාන අතර, එය දිස් වෙන්නේ හරියට පසලොස්වක හඳක් වගෙයි. හම තුවාලවී හිසකෙස් දුර්වර්ණ වෙනවා. මේ තත්වයෙන් පෙළෙන දරුවන්ගේ අක්මාව ඉදිමී ඇති අතර, ඉතා අලස බවක් මෙන්ම දුක්මුසුභාවයක් ඔවුන්ගෙන් දිස් වෙනවා. මීට පෙර ලිපියේ සඳහන් එරික්ගේ තත්වය වූයේද මෙයයි. ඔහුගේ මව ඔහුට මව්කිරි දුන්නේ ඔහු ඉපදී පළමු මාසයේ පමණයි. ඉන් පසු ඇය ඔහුට දුන්නේ මව්කිරි වෙනුවට තනුක කරන ලද එළකිරි. මාස තුනේදී ඔහුට එළවළු සුප් සහ සීනි ද්‍රාවණ දුන් අතර, ඔහුව බලාගැනීමට භාර කෙරුණේ අසල්වැසියෙකුටයි.

PEMහි තුන්වෙනි ආකාරයට අයත් වෙන්නේ ශෝෂය සහ ක්වෂියෝකෝර් යන දෙකේම සම්මිශ්‍රණයක්. නියමිත වේලාවේදී ප්‍රතිකාර නොකළොත් මෙම සියලු තත්වයන් මාරාන්තික විය හැකියි.

[8වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ඔබේ දරුවාව මන්දපෝෂණයෙන් ආරක්ෂා කරගන්න!

◼ මවගේ ආහාර වේල දියුණු කිරීම අනිවාර්යයි. ගර්භිණියන් සහ කිරි දෙන මව්වරුන් වැඩියෙන් කැලරි සහ ප්‍රෝටීන් ලබාගත යුතුයි. විශේෂයෙන්ම මව්කිරි වඩවන්න ප්‍රෝටීන් උපකාරවත් වෙනවා. එබැවින් ආහාර අල්ප වශයෙන් තිබෙන විට, කිරි දෙන මව්වරුන්ට හා බාල වියේ සිටින කුඩා දරුවන්ට ප්‍රමුඛත්වයක් දෙන්න.

◼ බොහෝ තත්වයන්හිදී දරුවෙකුට දිය හැකි හොඳම ආහාරය නම් මව්කිරියි. දරුවෙකු ඉපදී ප්‍රථම දින තුළ මෙය විශේෂයෙන්ම වැදගත්. මන්දයත් දරුවාව ආසාදනවලින් ආරක්ෂා කරන ප්‍රතිදේහ මව්කිරිවල අඩංගු වන නිසා. පළමු මාස හතරේදී හෝ පහේදී, දරුවා නිසි ලෙස වර්ධනය වීමට අවශ්‍ය සියලු පෝෂ්‍යපදාර්ථ මව්කිරිවල අන්තර්ගතයි.

◼ දරුවාගේ ප්‍රධාන ආහාරය දිගටම මව්කිරි වුවද, මාස හතර සහ හය අතරතුර දරුවා වෙනත් ආහාරද ගන්නට සූදානම්. පලතුරු සහ එළවළු පොඩි කර කෙමෙන් කෙමෙන් දීමට පටන්ගන්න. දරුවාව අලුත් ආහාරවලට හුරු කරන විට වරකට එක ආහාරයක් බැගින් දීමට වෑයම් කරන්න. දින දෙකකට හෝ තුනකට පසුව, දරුවා ඒ ආහාරයට හුරුවුණායින් පසුව, තවත් ආහාරයක රස බැලීමට සලස්වන්න. දරුවාව අලුත් ආහාරයකට හුරු කරවීම සඳහා බොහෝ ඉවසීම හා ප්‍රයත්නයක් දැරීමට අවශ්‍ය වන බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. එවැනි ආහාර පිළියෙළ කරද්දී හැම දෙයක්ම ඉතා පිරිසිදුව, ඔව් ඉතාමත්ම පිරිසිදුව තිබිය යුතු බව මතක තබාගන්න! ආහාර සහ පිළියෙළ කරන භාජන හොඳින් සෝදන්න!

◼ දරුවාගේ දිවියේ මාස පහ සහ නවය අතරතුර, සාමාන්‍යයෙන් දරුවන්ට කිරිවලින් සැපයෙනවාට වඩා වැඩි කැලරි සහ ප්‍රෝටීන් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. වෙනත් ආහාර වර්ගවලටත් පුරුදු කිරීමට දිගින් දිගටම අඛණ්ඩ උත්සාහයක් ගන්න. සකසන ලද ධාන්‍ය [Cereal] සහ එළවළුවලින් සැදි ළදරු ආහාර පළමුව දිය හැකි අතර, මස් සහ කිරි ආහාර දිය යුත්තේ පසුවයි. මුලින්ම දරුවාට ආහාර පෙරා දිය හැකි අතර, දරුවාට මාස හයක් පිරුණු පසු ඒවා හොඳින් හීනියට කපා දිය හැකියි. ආහාරවලට ලුණු හෝ සීනි එකතු කිරීම අවශ්‍ය නැහැ. එසේ කිරීමට නිර්දේශ කරන්නේද නැහැ.

◼ මාස අටකට පසුව, මව්කිරි දරුවාගේ ප්‍රධාන ආහාරයම නොවුවත්, එය අමතර ආහාරයක් වශයෙන් දිය යුත්තක්. දැන් දරුවා පවුලේ වෙනත් අය ගන්නා ආහාරද කෑමට පටන්ගන්නවා. මෙම ආහාර ඉතාමත්ම ඉහළ පිරිසිදු තත්වයක තිබිය යුතු අතර, එය පහසුවෙන් විකා කෑමට හැකි වන පරිද්දෙන් හීනියට කැපිය යුතුයි. පලතුරු, එළවළු, සහ ධාන්‍යවලින් සකසාගත් ආහාර මෙන්මර නිල කුලයේ ආහාර, මස් සහ කිරි ආහාර දීම වඩාත්ම හොඳයි. b විශේෂයෙන්ම, දරුවන්ට විටමින් A බහුල වූ ආහාර අවශ්‍යයි. උදාහරණ කිහිපයක් ගතහොත්, මව්කිරි, තද කොළ පැහැති කොළ එළවළු, අඹ, කැරට් සහ පැපොල් වැනි කහ හෝ තැඹිලි පැහැති පලතුරු සහ එළවළු දැක්විය හැකියි. වයස අවුරුදු තුනට වඩා අඩු ළමුන් දවසකට පස් හය වතාවක් ආහාර ගත යුතුයි.

◼ ඔබගේ දරුවාට ආරක්ෂාව සපයන පෝෂ්‍යපදාර්ථ විවිධ ආහාර සංයෝගවලින් ලබාගන්නට පුළුවන්. මව දරුවාට උසස් තත්වයේ ආහාර දිය යුතු අතර, දරුවා ඇති තරම් ආහාර ගෙන තිබියදී වැඩිපුර ගැනීමට බල කිරීමවත් තවත් ආහාර වුවමනා විටදී ආහාර ගැනීමෙන් වැළැක්වීමවත් නොකළ යුතුයි.

[පාදසටහන]

b මේ පිළිබඳව වැඩිපුර තොරතුරු ඔබට 2002 මැයි 8 පිබිදෙව්! සඟරාවේ පළ වූ “පෝෂ්‍යදායී ආහාර ඔබ අසලම” [සිංහලෙන් නැහැ] යන ලිපියෙන් ලබාගත හැකියි.

[පින්තූරය]

මව්කිරි අලුත උපන් දරුවෙකුට බොහෝවිට දිය හැකි හොඳම ආහාරය බවට විශේෂඥයන් එකඟ වෙනවා

[හිමිකම් විස්තර]

© Caroline Penn/Panos පින්තූරු

[7වන පිටුවේ පින්තූරය]

භූතානයේ පාසැලක තිරිඟු සහ එළවළු අනුභව කරන ළමෝ

[හිමිකම් විස්තර]

FAO ඡායාරූපය/WFP ඡායාරූපය: F. Mattioli

[9වන පිටුවේ පින්තූරය]

ඔබේ දරුවාගේ ආහාර වේල දියුණු කරන්නට යම් පියවර ගන්න පුළුවන්

[හිමිකම් විස්තර]

FAO photo