Skip to content

පටුනට යන්න

තේරීමේ නිදහස අප පාවිච්චි කළ යුත්තේ කෙසේද?

තේරීමේ නිදහස අප පාවිච්චි කළ යුත්තේ කෙසේද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

තේරීමේ නිදහස අප පාවිච්චි කළ යුත්තේ කෙසේද?

දෙවි මුල් මනුෂ්‍ය යුවළ වන ආදම් සහ ඒවට ඔවුන්ගේ කැමැත්තට අනුව තීරණ ගැනීමේ නිදහස දානය කළා. ඒදන් උයන බලාගැනීමේ වගකීම ඔහු ආදම්ට පැවරුවා. සතුන්ට නම් තැබීමත් ආදම්ගේ වගකීම්වලින් එකක් වුණා. (උත්පත්ති 2:15, 19) වැදගත්ම දෙය වූයේ දෙවිට කීකරු වෙනවාද නැද්ද කියා ඔවුන්ට තීරණය කළ හැකිවීමයි.—උත්පත්ති 2:17, 18.

එතැන් පටන් මනුෂ්‍යයන් ගණන් කළ නොහැකි බිලියන ගණන් තීරණ ගෙන තිබෙනවා. මින් සමහර තීරණ ඥානවන්ත හෝ කනගාටුදායක වන අතර තවත් සමහර තීරණ මුළුමනින්ම දුෂ්ටයි. මිනිසුන් ගන්නා සමහර වැරදි තීරණ නිසා විනාශකාරී ප්‍රතිඵලද ඇති වී තිබෙනවා. නමුත් අපේ තීරණ ගැනීමේ නිදහසට දෙවි කවදාවත් බාධා කරන්නේ නැහැ. ප්‍රේමණීය පියෙක් ලෙස දෙවි හරි තීරණ ගැනීමට බයිබලය මාර්ගයෙන් උපකාර සපයනවා. ඒ වගේම වැරදි තීරණ ගැනීමෙන් ඇති විය හැකි නරක ඵල විපාක ගැනත් අවවාද කර තිබෙනවා. බයිබලයේ පවසන්නේ අපි වපුරන දේම නෙළාගන්නවා කියායි.—ගලාති 6:7, NW.

පෞද්ගලික කාරණා සම්බන්ධ තීරණ

සමහර කාරණාවලදී දෙවි පැහැදිලිවම නිශ්චිත මඟ පෙන්වීම් ලබා දෙමින් ඔහුගේ කැමැත්ත කුමක්දැයි පවසා තිබෙනවා. කෙසේවෙතත් අපගේ සෑම පෞද්ගලික කාරණයක් සම්බන්ධයෙන්ම බයිබලයේ නීති රීති පනවා නැහැ. ඒ වෙනුවට එහි පුළුල් ලෙස අදාළ කරගත හැකි මඟ පෙන්වීම් ලබා දී තිබෙනවා අපි එක් එක් කෙනාගේ රුචි අරුචිකම් හා කැමැත්තට අනුව තීරණ ගැනීමට. උදාහරණයකට විනෝදාංශ ගැන පවසා ඇති දේ සැලකිල්ලට ගන්න.

ශුද්ධ ලියවිලිවල යෙහෝවාව හඳුන්වා දී තිබෙන්නේ “සන්තෝෂවත් දෙවි” ලෙසයි. (1 තිමෝති 1:11, NW) ඔහුගේ වචනයේ පවසන්නේ “සිනාසෙන්ට කාලයක්” සහ “නටන්ට කාලයක්” තිබෙනවා කියායි. (දේශනාකාරයා 3:1, 4) දාවිත් රජ අන්‍යයන්ගේ යහපත සඳහා සංගීතය වාදනය කළ බව බයිබලයේ සඳහන් වෙනවා. (1 සාමුවෙල් 16:16-18, 23) යේසුස් විවාහ මංගල්‍යයකට සහභාගි වූ අවස්ථාවකදී එම මංගල්‍යය සාර්ථක කරගැනීම සඳහා වතුර වයින් බවට පත් කළා.—යොහන් 2:1-10.

කෙසේවෙතත්, බයිබලයෙහි ඉතා කාලෝචිතව අනතුරු අඟවා තිබෙන්නේ මෙසේයි.“ඥානවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥානවන්ත වන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදු වන්නේය.” (හිතෝපදේශ 13:20) “අසභ්‍ය විහිළු” සහ දුරාචාර ක්‍රියා කිරීමෙන් දෙවි කෝපයට පත් වන අතර ඔහු සමඟ ඇති අපේ සම්බන්ධතාවද විනාශ වී යා හැකියි. (එපීස 5:3-5, NW) උත්සව අවස්ථාවලදී පාලනයකින් තොරව මධුවිත පානය කිරීම මගින් විශාල කරදරවලට ගොදුරු විය හැකියි. (හිතෝපදේශ 23:29-35; යෙසායා 5:11, 12) යෙහෝවා දෙවි සැහැසික ක්‍රියාද පිළිකුල් කරයි.—ගීතාවලිය 11:5; හිතෝපදේශ 3:31.

දෙවි විනෝදාංශ දෙස බලන ආකාරයටම අපටත් ඒවා දෙස බැලීමට මෙම බයිබල් පද උපකාරවත් වේ. තේරීම් කිරීමේදී ක්‍රිස්තියානීන් බයිබලයේ සඳහන් දේ සැලකිල්ලට ගනී. අප කරන තේරීම් අනුව අවසානයේදී හොඳ හෝ නරක ඵල විපාකවලට මුහුණ දීමට අපට සිදු වෙනවා.—ගලාති 6:7-10.

ඊට සමානව අපේ ඇඳුම් පැළඳුම් හා විවාහය සම්බන්ධයෙන් මෙන්ම දරුවන් ඇති දැඩි කිරීමේදී හා ව්‍යාපාරික කටයුතුවලදී බයිබල් ප්‍රතිපත්ති මත පදනම් වූ ප්‍රඥාවන්ත තීරණ ගැනීමට ක්‍රිස්තියානීන්ට උනන්දු කර තිබෙනවා. මෙයට ශුද්ධ ලියවිල්ලේ නිශ්චිත ලෙස සඳහන් කර නැති කාරණාද ඇතුළත්. නමුත් එහි ඇති ප්‍රතිපත්ති හෘදය සාක්ෂියට අනුව තීරණ ගැනීමට ඔවුන්ට උපකාරවත් වෙනවා. (රෝම 2:14, 15) ක්‍රිස්තියානීන් විසින් ගන්නා සෑම පෞද්ගලික තීරණයක් කෙරෙහිම මෙම බයිබල් පදය අදාළ විය යුතුයි. “නුඹලා කතත් බොතත් වෙන යමක් කරතත් සියල්ල දෙවිගේ ගෞරවය පිණිස කරන්න.”—1 කොරින්ති 10:31.

පෞද්ගලික තේරීම් සම්බන්ධ විෂයේදී “තම තමාගේ කාරණා බලාගන්න” යන බයිබල් ප්‍රතිපත්තිය ගැනද අප සාවධානව සිටිය යුතුයි. (1 තෙසලෝනික 4:11, NW) බොහෝ අවස්ථාවලදී දෙවිගේ කැමැත්තට පටහැනි නොවන තේරීම් කිහිපයක් තිබෙන බව ක්‍රිස්තියානියෙකුට පෙනී යා හැකියි. එමනිසා එක් කෙනෙකුගේ තීරණයක් තවත් කෙනෙකුගේ තීරණයකට වඩා වෙනස් වීමට ඉඩ තිබෙනවා. දෙවිගේ සේවකයන් එකිනෙකාව විනිශ්චය කරනවා දැකීමෙන් ඔහු අසතුටට පත් වෙනවාට සැකයක් නැහැ. (යාකොබ් 4:11, 12) බයිබලයේ පවසා ඇති ප්‍රඥාවන්ත උපදෙස නම් “අනුන්ගේ කාරණාවලට ඇඟිලි ගසන්නෙකු ලෙස (ක්‍රියා කරමින්) වධ නොවිඳීවා” යන්නයි.—1 පේතෘස් 4:15, NW.

දෙවිට සේවය කිරීමට ගන්නාවූ තීරණය

දෙවිට කීකරු වීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන බයිබලයේ පෙන්නුම් කරයි. කෙසේවෙතත් දෙවි ඔහුට නමස්කාර කිරීමට මනුෂ්‍යයන්ට බල කරන්නේ නැහැ. ඒ වෙනුවට දෙවි ඔහු මැවූ මනුෂ්‍යයන්ට ආරාධනා කරනවා ඔහුට නමස්කාර කරන්න කියා. උදාහරණයක් ලෙස ශුද්ධ ලියවිල්ලේ පවසන්නේ ‘එන්න, අපි නමස්කාර කරමින් වැඳ වැටෙමු. අපේ මැවුම්කාර යෙහෝවා ඉදිරියේ දණගසමු’ කියායි.—ගීතාවලිය 95:6.

එවැනි ආරාධනාවක් ඉපැරණි ඊශ්‍රායෙලිතයන්ට දෙනු ලැබුවා. වසර 3,500කට පෙර සීනයි කන්ද පාමුලදී දෙවි ඊශ්‍රායෙලිතයන් මිලියන සංඛ්‍යාතයකට මෝසෙස්ගේ නීතියේ අඩංගු වී තිබූ සත්‍ය ආගමික ක්‍රමය හඳුන්වා දුන්නා. මේ අනුව දෙවිට සේවය කරනවාද නැද්ද යන්න ගැන ඔවුන්ට තේරීමක් කිරීමට තිබුණා. ඔවුන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? ඔවුන් එක සිතින් කීවේ අපි “යෙහෝවා කී සියල්ල කරමින් ඔහුට කීකරු වීමට කැමැත්තෙමු” කියායි. (නික්මයාම 24:7, NW) යෙහෝවාට නමස්කාර කිරීමට ගත්තාවූ තීරණය ඔවුන්ගේම පෞද්ගලික තීරණයක්.

පළමුවෙනි ශතවර්ෂයේදී රාජ්‍ය ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයෙහි යේසුස් මූලිකත්වය ගෙන කටයුතු කළා. (මතෙව් 4:17; 24:14) කිසි කෙනෙකුට ඔහු සමඟ එම වැඩෙහි හවුල් වීමට ඔහු බල කළේ නැහැ. ඒ වෙනුවට ඔහු අන්‍යයන්ට කාරුණික ලෙස ආරාධනා කළා “මාගේ අනුගාමිකයෙකු වන්න” කියා. (මාර්ක් 2:14; 10:21, NW) බොහෝදෙනා මෙම ආරාධනාව පිළිගනිමින් දේශනා සේවයේ ඔහු සමඟ හවුල් වුණා. (ලූක් 10:1-9) ටික කලකට පසු සමහර අය යේසුස්ව අතහරින්න තීරණය කළා පමණක් නොව යූදස් යේසුස්ව පාවා දීමට පවා තීරණය කළා. (යොහන් 6:66; ක්‍රියා 1:24) ඉන්පසු අපෝස්තුලුවරුන්ගේ මඟ පෙන්වීම යටතේ තවත් බොහෝ අය ගෝලයන් වූයේ කඩුවේ බලෙන් නොව ඔවුන්ගේ ස්වකැමැත්තෙන්. ඔවුන් තුළ “නිසි නැඹුරුවාවක්” තිබුණු නිසා ඔවුන් “අදහන්නන්” බවට පත් වුණා. (ක්‍රියා 13:48; 17:34, NW) වර්තමානයේ පවා සැබෑ ක්‍රිස්තියානීන් කැමැත්තෙන්ම දෙවිගේ වචනයට කීකරු වී යේසුස්ගේ ඉගැන්වීම් අනුගමනය කරයි.

අපි ස්වකැමැත්තෙන් තීරණ ගන්නවා දැකීමට දෙවි කැමති බව මෙයින් පැහැදිලියි. දෙවි බයිබලය මාර්ගයෙන් අපට කදිම මඟ පෙන්වීම් ලබා දෙනවා ප්‍රඥාවන්ත තීරණ ගැනීමට. (ගීතාවලිය 25:12) පෞද්ගලික තීරණ ගැනීමේදී අපි සෑම ක්‍රිස්තියානියෙක්ම දේවප්‍රතිපත්ති ඉතා හොඳින් සලකා බැලිය යුතුයි. එසේ කිරීමෙන් පමණයි අපිට “සිතීමේ හැකියාව භාවිත කර පරිශුද්ධ සේවයක්” දෙවිට පිරිනැමිය හැක්කේ.—රෝම 12:1, NW.