Skip to content

පටුනට යන්න

දෙවිට කීකරු වීමට තීරණය කළ මිනිසෙක්

දෙවිට කීකරු වීමට තීරණය කළ මිනිසෙක්

දෙවිට කීකරු වීමට තීරණය කළ මිනිසෙක්

වර්ෂ 1937 පැවති අඳුරු කාල පරිච්ඡේදයේදී විවිධ මතිමතාන්තර නිසා බොහෝ යුරෝපීය රටවල් තුළ නොසන්සුන් වාතාවරණයක් උද්ගත වූ බැවින් සැබෑ ක්‍රිස්තියානීන්ට ඉතා අවදානම් සහිත තීරණ ගැනීමට සිදු විය. ඔවුන් දෙවිට කීකරු වෙයිද? නැත්නම් මනුෂ්‍යයන්ට කීකරු වෙයිද? (ක්‍රියා 5:29) හමුදාවට බඳවාගන්නා වයසේ සිටි තරුණයන් දැන සිටියා දෙවිට කීකරු වී හමුදාවට නොයා සිටියොත් ඔවුන්ට මරණ දණ්ඩනය අත් විය හැකි බව.

දහනවවන වියේ සිටි ස්පාඤ්ඤ ජාතික ආන්ටෝන්යෝ ගර්ගාලෝහට එවන් තීරණයක් ගැනීමට සිදු විය. ඔහු ජෙනරාල් ෆැන්කෝගේ හමුදා සේවයට ඇරයුම් ලබන විට ස්පාඤ්ඤයේ සිවිල් යුද්ධය වසරක පමණ කාලයක් පුරා ඇදි ඇදී ගොස් තිබුණි. ඔහු යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු ලෙස බව්තීස්ම වී තිබුණේ ඊට පෙර වසරේදීයි. දෙවිගේ සේවකයන් යුද්ධයකදී මධ්‍යස්ථව සිටිනවා පමණක් නොව යුද්ධ කටයුතු ඉගෙනගැනීමවත් නොකළ යුතු බව සඳහන් ශුද්ධ ලියවිලි ඔහු කියවා තිබුණි. (යෙසායා 2:4; යොහන් 17:16) හමුදා සෙබළෙකු වී තම සෙසු වැසියන් ඝාතනය කිරීමට ඔහු අකමැති වූ නිසා ප්‍රංශයට පලා යෑමට ඔහු උත්සාහ කළේය. එනමුත් ඔහුව අත්අඩංගුවට ගැණුණු අතර ප්‍රංශ මායිමේ තිබූ හ්වෙස්කාහි හාකා නගරයේ තිබූ හමුදා බැරැක්කයකට ඔහුව රැගෙන යන ලදි.

එහිදී හමුදා අධිකරණය ඔහුහට කියා සිටියේ පැහැදිලි තේරීමක් කරන ලෙසයි. එනම් ආයුධ අතට ගන්න නැතිනම් මරණ දඩුවම විඳින්න. ආන්ටෝන්යෝ තීරණය කළේ දෙවිට කීකරු වීමටයි. ඔහුගේ මරණයට මදකට පෙර යෙහෝවාගේ සාක්ෂිකරුවන් නොවූ තම මවටත් නංගිටත් ලියූ ලිපිය මතු දැක්වේ.

“මාව අත්අඩංගුවට ගත්තා. කිසිම වගවිභාගයකින් තොරව මරණ දණ්ඩනය නියම කළා. අද රාත්‍රියේදී මම මගේ ජීවිතයෙන් සමුගන්නවා. දුක් වෙන්නවත් අඬන්නවත් එපා . . . , මම කීකරු වුණේ දෙවිට. දෙවිගේ කැමති නම් මට ආයෙමත් හොඳ ජීවිතයක් ලැබෙයි. එම ජීවිතය සමඟ සසඳනකොට මට නැති වුණේ සුළු දෙයක්. . . . අවසන් මොහොතේ පවා මට පුදුමාකාර සන්සුන්බවක් දැනෙනවා. ඔබට හුඟාක් ආදරය කරන ඔබේ පුතාව සහ සොහොයුරාව අවසන් වරට හදවතින් වැලඳගන්න.” a

ආන්ටෝන්යෝව ඝාතනය කිරීමට රැගෙන යන අතරමඟදී ඔහු යෙහෝවාට ප්‍රශංසා ගී ගායනා කළා කියා සෙබළුන් තිදෙනෙක් වාර්තා කළෝය. එවන් කැප කිරීම් දෙවිගේ හෝ ඔහුගේ පුත්‍රයාගේ මතකයෙන් කිසිදා ගිලිහී නොයන බව නිසැකයි. ආන්ටෝන්යෝ වැනි විශ්වාසවන්ත අය නැවත නැඟිටීම තුළින් තම විපාකය උරුම කරගන්නා බවට අපට නිසැක විය හැකියි.—යොහන් 5:28, 29.

[පාදසටහන]

a ආන්ටෝන්යෝගේ ලිපිය දශක ගණනාවක් තිස්සේ ස්පාඤ්ඤ හමුදා ඒකකයේ ලේඛනාගාරය තුළ සුරක්ෂිතව තිබුණ අතර එය කිසිදා ඔහුගේ මවගේ අතට පත් නොවුණි.