Skip to content

පටුනට යන්න

‘නිහඬ අර්බුදයට’ ළඟදීම නැවතීමේ ලකුණක්!

‘නිහඬ අර්බුදයට’ ළඟදීම නැවතීමේ ලකුණක්!

‘නිහඬ අර්බුදයට’ ළඟදීම නැවතීමේ ලකුණක්!

“සාපේක්ෂ වශයෙන් ගත් කල, මෑත අතීතයේ තිබුණු තත්වය සමඟ බලද්දී, දැන් අපි ජීවත් වෙන්නේ සියලු දේ බහුල ලෝකයකයි. . . . න්‍යායක් ලෙස ගත් කල, සියල්ලන්ටම ඇති තරම් ආහාර තිබේ.” ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් කරන ලද අධ්‍යයනයක් එසේ පවසනවා. තත්වය එය නම්, මන්දපෝෂණය ඇති කරන නියම ගැටලුව කුමක්ද?

“ගැටලුව නම්, ආහාර එක සමාන ලෙස නිපදවන්නේවත් බෙදාහරින්නේවත් නැතිකමයි” යනුවෙන් WHO පවසනවා. “ඉතා කනගාටුවට කරුණක් නම්, දියුණු වෙමින් තිබෙන සශ්‍රීක රටවල වැසියන් කුසගින්නේ හිස් අතින් බලා සිටින විට, ඇති තරම් නෙළාගන්නා අස්වනු හා බෝග අධික මිලකට තොග පිටින් අපනයනය කිරීමයි. ස්වල්පදෙනෙකු කෙටි කාලීන ලාභ ප්‍රයෝජන භුක්ති විඳින අතර, බොහෝදෙනෙක් මේ නිසා දිගු කාලීන පාඩු විඳිනවා.” එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) මෑතකදී කරන ලද අධ්‍යයනයකින් පෙන්වන්නේ, මිහිපිට වෙසෙන ‘ජනයාගෙන් ධනවත්ම අයගෙන් පහෙන් එකක්ම මස් සහ මාළුවලින් සියයට 45ක් පරිභෝජනය කරන අතර, දිලිඳුම අයගෙන් පහෙන් එකක් අනුභව කරන්නේ සියයට 5ක් බවයි.’

අනෙක් අතට, “හොඳ අධ්‍යාපනයක් සහ නිවැරදි තොරතුරු ලබාගැනීමේ දුෂ්කරතාවක් මන්දපෝෂණයට එක් හේතුවක්” වන බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පවසනවා. තවදුරටත් එය කියන්නේ “තොරතුරු සැපයීමේ හොඳ සැලසුම් සහ පහසුවෙන් ප්‍රයෝජන ගත හැකි අධ්‍යාපන වැඩසටහන් නොමැතිව, මන්දපෝෂණය පිටුදැකීම සඳහා අවශ්‍ය කරන්නාවූ දැනුවත් කිරීම්, යම් පියවරවල් සහ ඒ සඳහා හා ගත යුතු ක්‍රියාමාර්ග ජනතාව වෙතට ගෙන යා නොහැකිය” යනුවෙනුයි. නමුත් අනෙක් අතට, ආහාර ඌනතාව පුද්ගලයෙකුගේ සෞඛ්‍යය පිරිහීමට සලස්වා හොඳ අධ්‍යාපනයක් ලබාගැනීමේ හැකියාවද මොට කරනවා. මෙය තවත් විෂම චක්‍රයක්.

සාධාරණත්වය හා අනුන් කෙරෙහි පරාර්ථකාමී සැලකිල්ල

බලාපොරොත්තු කඩ කරවනසුලු එවන් බාධාවන් තිබුණත්, මේ ක්ෂේත්‍රයේ ඇතැම් ප්‍රවීණයන් තවමත් සිටින්නේ උපේක්ෂා සහගතව. නිදසුනකට, FAOහි අධ්‍යක්ෂ ජනරාල් ෂාක් ජූෆ් මේ බලාපොරොත්තුව පළ කළා. “මගේ පැතුම නම්, මේ ලෝකයේ සෑම පුරුෂයෙකුටම, ස්ත්‍රියකටම සහ දරුවෙකුටම සෑම දිනකම පෝෂ්‍යදායී ආරක්ෂා සහිත ආහාර ලැබීමයි. මා බලාපොරොත්තු වන්නේ ධනවත්කමේ සහ දිලිඳුකමේ කම්පිත කරවනසුලු අන්ත දෙකෙහි අඩුවීමක්. වෙනස්කම් කිරීම නොව ඉවසීම, සිවිල් යුද්ධ නොව සාමය, පරිසර විනාශය නොව පාරිසරික සම්පත් සාධාරණ අන්දමින් පරිභෝජනය කිරීම, ජනතාව දුර්වල කරවන බලාපොරොත්තු කඩවීම නොව පොදු ජනයාගේ සමෘද්ධිය මගේ පැතුමයි.”

එහෙත්, අප දැක ඇති පරිදි, එවන් බලාපොරොත්තු ඉෂ්ට වීමට නිෂ්පාදනය වැඩි කිරීම සහ ආහාර වැඩියෙන් බෙදාහැරීමට වඩා වැඩි යමක් අවශ්‍ය කරනවා. සාධාරණත්වය හාත්පස පැතිරීමත් අනුන් කෙරෙහි පරාර්ථකාමී සැලකිල්ල දැක්වීමත් අවශ්‍යයි. එහෙත් මේ උදාර ගතිලක්ෂණ අද නවීන වෙළඳ ලෝකයේ නම් දක්නට ලැබෙන්නේ නැහැ.

ඉතින්, මේ පෘථිවියෙන් මන්දපෝෂණය මුලිනුපුටා දමා, ගිජුකම, දිලිඳුකම, කැරලිකෝලහාල සහ ආත්මාර්ථකාමීබව වැනි බාධක සහමුලින්ම ඉවත් කර දමන්නට හැකිද? නොඑසේනම් මෙය කිසිවිටකත් ඉටු කරගත නොහැකි යථාර්ථවාදී නොවන සිහිනයක්ද?

එකම සැබෑ විසඳුම

බයිබලයේ කියන පරිදි, මන්දපෝෂණයට තුඩු දෙන ගැටලු ගැන අප පුදුම නොවිය යුතුයි. දේවවචනයේ සඳහන් වන්නේ මෙයයි. “නමුත් අන්තිම දවස්වලදී අවදානම්සහිත තීරණාත්මක කාලවල් පැමිණෙන බව දැනගන්න. මන්ද, (ඒ කාලයේදී) මිනිස්සු තමුන්ට ප්‍රේම කරන, මුදලට ප්‍රේම කරන, . . . ජන්ම ස්නේහය නැති, සමඟි වීමට අකමැති, . . . යහපතට ප්‍රේමයක් නැති, . . . දේවභක්තියේ බාහිර පෙනුමක් තිබුණත් එහි බලයට අනුව ජීවත් නොවන අය වන්නෝය.”—2 තිමෝති 3:1-5, NW.

දෙවිගේ උපකාරය නැතුව එවන් ගැඹුරින් මුල් බැසගෙන ඇති ආකල්ප මුලිනුපුටා දමන්නට මිනිසාට පුළුවන්ද? පෙනෙන විදිහට නම් බැහැ වගේ නේද? සමහරවිට ඔබත් දැක ඇති යම් බලධාරීන් මිනිසා මුහුණ දෙන යම් සමාජීය ගැටලු විසඳන්නට හොඳ චේතනා ඇතුව ක්‍රියා කරනවා. නමුත් ආත්මාර්ථය, මුදලට ප්‍රේම කිරීම සහ අනුන්ගේ අසම්පූර්ණකම් වැනි දෑ මගින් ඉතා අවංක ප්‍රයත්නයන් පවා කඩාකප්පල් වෙයි.—යෙරෙමියා 10:23.

එහෙත්, විසඳුමක් සෙවීම ඉටු කරගත නොහැකි සිහිනයක් නොවේ. බයිබලයේ පොරොන්දු වී තිබෙන්නේ අසාධාරණය නමැති ගැටලුව සහ අද දින මිනිසාව තළා පෙළන සියලු දුක් පීඩා දේව රාජ්‍යයෙන් නිමා කරනු ඇති බවයි.

යෙසායා 9:6-7හි මේ මහා ශ්‍රේෂ්ඨ බලාපොරොත්තුව ඉදිරිපත් කරනවා. “අපට ළදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙන ලද්දේය. ආණ්ඩුවද ඔහුගේ කර පිට තිබෙන්නේය. ඔහුගේ නාමය අපූර්වය, මන්ත්‍රිවරයාය, පරාක්‍රමවත් දෙවිය, සදාකාල පියාණෝය, සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේය. මෙතැන් පටන් සදාකාලයටම දාවිත්ගේ සිංහාසනයත් ඔහුගේ රාජ්‍යයත් යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමෙන්ද ස්ථිර කර පිහිටුවන පිණිස ඒවා කෙරෙහි ඔහුගේ ආණ්ඩුවේ විශාලත්වයටත් සමාදානයටත් කෙළවරක් නොවන්නේය. සේනාවල යෙහෝවාගේ ජ්වලිතය මෙය ඉෂ්ට කරන්නේය.”

“ඔබගේ රාජ්‍යය ඒවා” කියා ස්වාමීන්ගේ යාච්ඤාව යළි යළිත් කියන විට මිනිසුන් ඉල්ලන්නේ එම රාජ්‍යයයි. (මතෙව් 6:9, 10) මෙහිදී යෙසායා “සේනාවල යෙහෝවාගේ ජ්වලිතය මෙය ඉෂ්ට කරන්නේය” යයි සඳහන් කරන බව සිතට ගන්න. ඔව්, යෙහෝවා දෙවි මිනිසුන්ගේ අවශ්‍යතා සැපිරීමට දැඩි උනන්දුවක් සැමවිටම පෙන්වා තිබෙනවා. ඔහු මේ පෘථිවිය නිර්මාණය කර තිබෙන්නේ සියල්ලන් සඳහා ඇති තරම් ආහාර නිපදවීමට ඇති හැකියාව ඇතුවයි.

ගීතාවලිය 65:9-13හි ඔහු ගැන කියන්නේ මෙසේයි. “ඔබ පොළොව බලා ඊට වැසි වස්වන්නේය, බොහෝසෙයින් එය සාරවත් කරන්නේය. දෙවිගේ ගංගාව වතුරෙන් පිරී තිබේ. ඔබ පොළොව මෙසේ පිළියෙළ කොට ඔවුන්ට ධාන්‍ය සපයා දෙන්නේය. ඔබ එහි හීවිටි බොහෝ සේ තෙමමින්, එහි පිඩලි සමතලා කරන්නේය. ඔබ වැස්සෙන් එය බුරුල් කරමින්, එහි පැළෑටිවලට ආශීර්වාද කරන්නේය. . . . ගොදුරු බිම් සිව්පා රැළවලින් පැළඳී යයි. මිටියාවත්ද ගොයමින් වැසී තිබේ.”

ඔව්, මැවුම්කරු වන යෙහෝවා මිනිස් සංහතියේ හොඳම සැපයුම්කරුවායි. ඔහු “මාංසමය වූ සියල්ලන්ට ආහාර දෙන්නේය. මක්නිසාද ඔහුගේ කරුණාව සදාකල් පවත්නේය.”—ගීතාවලිය 136:25.

ක්‍රිස්තුස් යටතේ පවතින දෙවිගේ රාජ්‍යය මගින් සියලු ජනයාට රැකවරණය ලැබෙනු ඇති බවට අපට නිසැක විය හැකියි. ‘කඳු මත ගොයම් ලෙළ දේවා! ධාන්‍ය බහුලව ඉතිරේවා!’ [නව අනුවාදය] කියා බයිබලය කියනවා. එපමණක්ද නොව සම සේ ආහාර බෙදාහැරීමක්ද සිදු වෙයි. මන්ද “[යේසුස් ක්‍රිස්තුස්] මොරගසන දිලිඳාද උපකාරකාරයෙක් නැති දුප්පතාද මුදාහරින්නේය. . . . දිලිඳුන්ගේ ප්‍රාණයන් ගලවන්නේය.” (ගීතාවලිය 72:12, 13, 16) එසේනම් ධෛර්යවත් වෙන්න! මේ “නිහඬ අර්බුදය” සදහටම විසඳීමට කාලය ආසන්නයි!

[11වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“න්‍යායාත්මකව ගත් කල, කුසගින්න හා මන්දපෝෂණය මුලිනුපුටා දැමිය හැකියි. ඒ සඳහා ක්‍රමවේද තිබේ. අභියෝගය පවතින්නේ, . . . ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් අන්‍යොන්‍ය සහයෝගිතාවේ ක්‍රියාමාර්ග ගැනීමේදීය.”—ලෝක සෞඛ්‍ය සංවිධානය

[10වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]