Skip to content

පටුනට යන්න

පසුබිම් දර්ශන ඇතුළත් ගීත නැරඹීම සුදුසුද?

පසුබිම් දර්ශන ඇතුළත් ගීත නැරඹීම සුදුසුද?

යෞවන අය අසති . . .

පසුබිම් දර්ශන ඇතුළත් ගීත නැරඹීම සුදුසුද?

“පසුබිම් දර්ශන තියෙන ගීත හරි ෂෝක්. සමහරක් ඒවා පොඩි ෆිල්ම් එකක් වගේයි. එකේ කතාවක් පෙන්නනවා. ඒ වගේම ඒ ගීතවල පෙන්වන නැටුම්වලට මම හරි ආසයි.”—කේසී.

“අලුත් ගීත හඳුනගන්න පුළුවන් හොඳ ක්‍රමයක් ඒක. ගීත දර්ශකයේ තිබෙන ගී 40ට අමතරව තවත් ගීත පෙන්වනවා. අනික ඒක කතා බහට හොඳ විෂයක්.”—ජොෂ්.

“එම ගීතවල විස්තර මට හරිම වැදගත්. කවුද ගයන්නේ, ඇය ඇඳගෙන ඉන්නේ මොනවාද, ඇය රඟපාන්නේ කොහොමද වගේ දේවල්. ගීතයේ අදහස තේරුම්ගන්න මේවා ලොකු උදව්වක්.”—කිම්බලි.

“මගේ ආසම සංගීත කණ්ඩායම ඉදිරිපත් කරන්නේ මොනවාද කියලා බලන්න මම ආසයි. නවීන පන්නයට සකසන ලද විශේෂ දර්ශනවලටත් මම කැමතියි. සමහර පසුබිම් දර්ශන විනෝදජනකයි. ඒත් අපි කල්පනාකාරී විය යුතුයි.”—සෑම්.

සමහරවිට ඔබත් පසුබිම් දර්ශන ඇතුළත් ගීත (මියුසික් වීඩියෝ) නරඹන්න සතුටු ඇති. එම ගීත මුල්ම වතාවට රූපවාහිනි තිරයේ දිස් වූ විට වැඩි වියදමක් දරා නිෂ්පාදනය කර නොතිබූ නිසා ඒවා එතරම් උසස් ගණයේ නිෂ්පාදන ලෙස දක්නට ලැබුණේ නැහැ. නමුත් එම ගීත කෙටි කාලයකට පවතින රැල්ලක් නොවන බවත් ගීත අලෙවියට ප්‍රබල ලෙස බලපෑමක් ඇති කිරීමට සමත් බවත් තහවුරු වුණා. මේ නිසා තාක්ෂණය යොදාගෙන එම ගීත වැඩි වැඩියෙන් නවීන පන්නයට සරිලන ආකාරයටත්, කලාත්මකවත් සකස් කෙරුණා. අද සංගීත ක්ෂේත්‍රයේ මේ ආකාරයේ ගීත නිෂ්පාදනයට හිමි වී ඇත්තේ වැදගත් ස්ථානයක් වන අතර ඒවා යෞවන අය අතර ඉතාමත් ජනප්‍රිය වී තිබෙනවා. සමහරක් රටවල පසුබිම් දර්ශන ඇතුළත් ගීත පමණක් පෙන්වීමට විශේෂ රූපවාහිනි නාලිකාවන් පවා තිබෙනවා!

එනමුත් කලින් සඳහන් කළ සෑම් වැනි සමහර යෞවනයන් එම ගීත සම්බන්ධයෙන් කල්පනාකාරී විය යුතුයි කියා පවසන්නේ ඇයි? ඒ කියන්නේ සමහර ගීතවලින් ඔබට යම් අහිතකර බලපෑමක් ඇති වෙන්න පුළුවන් බවද? යම් විටක ඒ මගින් ඔබේ මනස, ඔබේ යහපත් සාරධර්ම, ඒ විතරක් නොවෙයි මැවුම්කරු සමඟ තිබෙන ඔබේ සම්බන්ධය පවා පලුදු කරන්න ඒවාට පුළුවන් කියන එකද? එවැනි ප්‍රශ්නයක් ඇසීම ටිකක් අන්තයට යෑමක් ලෙස පෙනිය හැකියි. ඒත් මේ දේ ගැන මොහොතකට සිතන්න. ඔබ වැවක හෝ මුහුදේ හෝ පිහිනන්න ගිය විට ඔබ ගිය ස්ථානයේ පිහිනීම අනතුරුදායකයි කියා තිබෙන සංඥා පුවරුවක් දුටු විට ආ ඒක එච්චර දෙයක් නෙවෙයි කියා වතුරට බැස පිහිනන එක ඥානවන්තයි කියා ඔබ හිතනවාද? ඔබ එහෙම දෙයක් නොකරන බව සහතිකයි. එහෙමනම් මෙම පසුබිම් දර්ශන ඇතුළත් ගීත පිළිබඳව දී තිබෙන අනතුරු ඇඟවීම් ගැන සැලකිලිමත් වීම ඥානවන්ත දෙයක් වනවා නිසැකයි.

අනතුරුදායක පැති

ඔබ එක් දෙයක් පිළිගත යුතුයි. ඒ තමයි ඔබ දකින දේත් අසන දේත් ඔබට බලපෑමක් ඇති කළ හැකියි යන වග! ඊශ්‍රායෙලයේ පළමුවෙනි රජු වන සාවුල් තමන්ට මානසික සුවයක් ලබාගැනීම සඳහා සංගීතයට සවන් දුන්නා කියා බයිබලයෙහි සඳහන් වී තිබෙන බව අපට දැකගන්න පුළුවන්. (1 සාමුවෙල් 16:14-23) අහිතකර බලපෑමක් ඇති කිරීමට සංගීතයට හැකියාවක් තිබෙනවාද? එක් ග්‍රන්ථයක (Rock and Roll—Its History and Stylistic Development) මෙවැන්නක් සඳහන් කරනවා. “යම් කෙනෙකුට කිසිම දෙයකින් හොඳ විතරක් තෝරාගන්න බැහැ. ඒ කියන්නේ අපි රොක් සංගීතය හොඳයි කියා පිළිගන්නවා නම් (හොඳ පැති ඇත්තටම තිබෙනවා) එහි යම් නරක පැත්තකුත් තිබෙනවා කියා (නරක පැති ඇත්තටම තිබෙනවා) පිළිගත යුතුයි යන්නයි. යම් පුද්ගලයෙක් ‘ආ, මම නම් හොඳට සිංදු අහනවා. මට ඒවායින් කිසි ප්‍රශ්නයක් නැහැ’ කියා උදම් අනනවා නම් ඇත්තෙන්ම එම පුද්ගලයා දැනුම් තේරුම් නැති කෙනෙක්.”

ඇස අපේ සිතුවිලිවලට සහ මනසට ඇති කරන බලපෑම ගැන බයිබලයේ නැවත නැවත පෙන්වා තිබෙනවා. (හිතෝපදේශ 27:20; 1 යොහන් 2:16) එම ගීතවලට දැඩි බලපෑමක් ඇති කළ හැකි ආකාරයේ දසුන් ඇතුළත් කිරීමෙන් අසන්නන්ට සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට එම ගීත නිෂ්පාදකවරු සමත් වෙනවා. සාමාන්‍යයෙන් මොන වගේ දසුන්ද යොදාගැනෙන්නේ?

එක් අධ්‍යයනයකට අනුව රොක් ගීවලට ඇතුළත් කර තිබූ දර්ශනවලින් සියයට 57ක්ම පමණ සාහසික දර්ශනයි. සියයට 76 ක් කාමුක ක්‍රියා ඇතුළත් දර්ශනයි. මෑතක කළ සමීක්ෂණයකදී සොයාගනු ලැබුවේ සංකල්ප (කතන්දරයක් කියන) ගීතවලින් සියයට 75 කම කාමුක දර්ශන ඇතුළත් කර තිබෙන බවයි. තවද ඒවායේ අඩකට වඩා තිබෙන්නේ ස්ත්‍රීන්ට එරෙහිව කරන සාහසිකකම් ඇතුළත් දර්ශනයි. දැන් මොනවාද හිතන්නේ? මෙවැනි ගී නැරඹීම හානිකර නැහැයි කියලා කියන්න ඔබට පුළුවන්ද? තවත් සඟරාවක මෙවන් ප්‍රකාශයක් කර තිබුණා. “ළාබාල වියේදීම ලිංගික ක්‍රියාවල නිරත වීමට හෝ අවදානම් සහිත ලිංගික ක්‍රියාවන්වල යෙදීමට යෞවන අය තුළ තිබෙන පෙලඹීමට මෙම ගීතවලින් උල්පන්දම් ලැබෙන බව සමීක්ෂණයකින් සොයාගැනුණි.” මෙම ගීත නිෂ්පාදනය කරන සංගීතඥයන්ට අවශ්‍ය කරන්නේ තමන්ට පෙර සිටිය අයටත් තම සමකාලීනයන්ටත් වඩා තැතිගන්වන යමක් කිරීමට බව පැහැදිලියි. ඒ නිසා මෙම ගීතවල වඩාත් විස්තරාත්මක පසුබිම් දර්ශන දැකගත හැකියි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් නිරීක්ෂණය කළේ මෙවැන්නක්. “පසුබිම් දර්ශන ඇතුළත් ගීතවලින් ඔවුන් දකින සහ අසන දේ අතරත් පසුගිය පරම්පරාවල තිබූ සංගීතය අතරත් කිසි වෙනසක් නැහැයි කියා හුඟදෙනෙක් වාද කරනවා. . . . නමුත් අද පටිගත කළ ගී අලෙවිය ප්‍රවර්ධනය කිරීම සඳහා පිළිගත හැකි ක්‍රමයක් ලෙස සංගීතඥයන් අසභ්‍ය සහ නින්දිත දේ කිසි හැඟීමක් නැතිව යොදාගන්නා බවක් පෙනේ.” රූපවාහිනි නාලිකා ඔස්සේ පෙන්වන “ගීත නරඹන අයට තැතිගන්වනසුලු කාමුක දර්ශන දකින්න ලැබෙන්නේ හරියට වෙඩි වරුසාවක් ඇදහැළෙන්නාක් මෙන්” කියා එක් සඟරාවක (Chicago) සඳහන් වුණා.

එම සඟරාවෙම එක් පසුබිම් දර්ශනයක් පිළිබඳව මෙවන් විස්තරයක් දී තිබුණා. “අවන්හලක මේසයක් අසල වාඩි වී සිටින තරුණයෙකුගේ හිස පිටිපස්සට කඩා වැටෙනවා. ඉන්පස්සේ විශාල කැපුමක් බෙල්ලේ ඇති වන අතර ඔළුව බිමට වැටෙනවා.” තවත් දර්ශනයක තරුණයෙකු ඉතාමත් පහත් අන්දමින් තම ඇඳුම් ලිහා දමමින් ඔහුගේ මාංස පේශී ගලවා දැමුවා. අනිත් දේවල් කොතරම් කම්පිත කරවනසුලුද කියනවා නම් ඒවා සඳහන් කරන්නවත් බැරි තරම්.

හැබැයි, සඳහන් කළ මෙම කාරණා ඇතැම් අය ගණනකට නොගෙන සිටින්නේ එවැනි ආකාරයේ පසුබිම් දර්ශන ඇතුළත් ගීත වැඩිය දක්නට නැති බව හා මෙම අදහස් අන්තයටම ගොස් ඇති බව පවසමිනුයි. ඔවුන් කියන්නේ වැඩිහරියක එතරම් නරක දේවල් පෙන්වන්නේ නැහැයි කියායි. තවත් සමහරෙකු පසුබිම් දර්ශන ඇතුළත් ගී එතරම් කම්පිත කරවනසුලු ඒවා ලෙස තමන් නොසලකන බව පවසනවා. මෙසේ පවසන්නේ සමහරවිට දිගින් දිගටම මෙම ගී නැරඹීම නිසා එහි වරදක් නොදකින තරමටම ඔවුන් අසංවේදී වීම නිසයි කියා එයින් යම් ඉඟියක් දෙන්නේ නැද්ද? ලිපිය ආරම්භයේදී සඳහන් කළ යෞවනයෙක් වන කේසී කියන්නේ “ඔබ නරඹන දේ සම්බන්ධයෙන් සීමාවන් දමන්නේ නැත්නම් මූලින් නින්දිතයි කියා සිතූ දේ කල් යනකොට සාමාන්‍ය දෙයක් වෙනවා. ඊට පස්සේ, නොදැනුවත්වම ඊටත් වඩා දරුණු දේවල් බලන්න ආශාවක් ඇති වෙනවා. අන්තිමේදී මුලින් නින්දිතයයි සැලකූ දේ සාමාන්‍ය දෙයක් ලෙස පිළිගන්න තත්වෙට පත් වෙනවා.”

ඇති විය හැකි ප්‍රතිඵලය කුමක්ද? එනම් හරි දේ තේරීමට තිබෙන ඔබේ හැකියාව මොටවීමයි. අපේ මනස විගස වැරදි දේට නැඹුරු විය හැකි නිසා “ප්‍රායෝගික ප්‍රඥාව සහ සිතීමේ හැකියාව ආරක්ෂා කරගන්න” කියා බයිබලයේ තරයේ අවවාද කරනවා. (හිතෝපදේශ 3:21, NW; 5:2) තවත් අහිතකර ප්‍රතිඵලයක් නම් යෙහෝවා සමඟ තිබෙන ඔබේ මිත්‍රත්වය පලුදු වීමයි. ඔබේ ලොකුම සම්පත එය නොවෙයිද? එම මිත්‍රකම රැකගැනීමට නුසුදුසු ඕනෑම විනෝදාංශයක් මඟහැරීමට පියවර ගැනීම අවශ්‍යයි. ඔබට එය කළ හැක්කේ කොහොමද?

ඔබේ ආරක්ෂාව සඳහා පියවර ගන්න

බයිබලයේ වැරදියි කියා සඳහන් වී ඇති දේ හරි දෙයක් ලෙස හුවා දක්වන දර්ශන නැරඹීම වැරදියි කියන එක පළමුවෙන්ම පිළිගන්න. (ගීතාවලිය 11:5; ගලාති 5:19-21; එළිදරව් 21:8) ‘ශුද්ධවන්තයන්ට සුදුසු නැති දේ’ හරි දෙයක් ලෙස ගීත දර්ශනයක් මගින් පෙන්වන විට ඒවා නොබලා සිටීමට අධිෂ්ඨාන කරගන්න ඕනේ. (එපීස 5:3, 4) සිත කුල්මත් කරවන ගීතයක් විකාශනය වන විට එම චැනලය මාරු කිරීම හෝ රූපවාහිනිය නිවා දැමීම ලෙහෙසි දෙයක් නොවෙයි යන්න සත්‍යයක්. දාවිත් කළා හා සමානව මෙසේ යාච්ඤා කරන්න ඔබටත් සිදු වෙයි. ‘නිෂ්ඵල දේ බැලීමෙන් මාගේ ඇස් හරවන්න.’—ගීතාවලිය 119:37.

අප කලින් සඳහන් කළ ගීත පිළිබඳව නිතැතින්ම ඔබට පිළිකුලක් දැනෙනවා ඇති. නමුත් සමහර ගීත ඉදිරිපත් කරන්නේ හරිම සූක්ෂ්ම විදිහටයි. ඒවායේ කාමුක දර්ශන ඇඟට නොදැනෙන ආකාරයකින් ඉදිරිපත් කරනවා. දිව්‍ය ප්‍රතිපත්තිවලට පටහැනි අදහස් කෙළින්ම නොකියා හෝ නොපෙන්වා නෙත් සිත් මනබඳින ආකාරයකින් ගී පද මාලා මගින් සහ රූප දසුන් යොදාගනිමින් වක්‍ර ලෙස ඒවා ඉදිරිපත් කරනවා විය හැකියි. කොහොමවුණත්, පසුබිම් දර්ශන සහිත එක්තරා ගීයක් නැරඹීමෙන් පසු ඔබට යම් වරදකාරී හැඟීමක් දැනෙනවා නම් කුමන හෝ ආකාරයකින් ක්‍රිස්තියානි ප්‍රතිපත්තිවලට විරුද්ධ හෝ හානිකර යමක් එහි තිබෙන්නට ඇති. ඒත් දැන් තියෙන ප්‍රශ්නේ තමයි සුදුසු දේ හා නුසුදුසු දේ අතර වෙනස පැහැදිලිව දැකගත නොහැකි වන විට ඔබ බලන්නේ මොනවාද සහ නොබලන්නේ මොනවාද කියන එක තීරණය කිරීම.

පසුබිම් දර්ශන ඇතුළත් ගීත නරඹනවාද නැද්ද කියන එක ඔබේ තීරණයක් වගේම ඔබේ දෙමාපියන්ගේ තීරණයක්. අනික බලන දේ හා නොබලන දේ සම්බන්ධයෙන් සීමාවන් දැමීමේ වගකීම පැවරී තිබෙන්නේ ඔවුන්ටයි. (එපීස 6:1, 2) හැබැයි ඔබේ දෙමාපියන් පසුබිම් දර්ශන සහිත ගීත නැරඹීමට ඉඩ දුන්නත් ඔබට හරියි කියා හිතෙන දේ කිරීම නම් නුවණට හුරු නැහැ. ඔබට යම් මඟ පෙන්වීමක් අවශ්‍යයි. අපට හෙබ්‍රෙව් 5:14හි [NW] උනන්දු කරන්නේ ‘හරි වැරද්ද අතර වෙනස හඳුනාගැනීම සඳහා වටහාගැනීමේ හැකියාව පුහුණු’ කරන්න කියායි. අපගේ වටහාගැනීමේ හැකියාව පුහුණු වන්නේ බයිබල් ප්‍රතිපත්ති අධ්‍යයනය කිරීමෙනුයි. මන්දයත් යෙහෝවාගේ දෘෂ්ටිකෝණයෙන් හරි දේ සහ වැරදි දේ කුමක්ද කියා තීරණය කිරීමට එයින් අපට යම් පදනමක් ලබා දෙයි. එම බයිබල් ප්‍රතිපත්ති මෙනෙහි කිරීමෙන් යම් කාරණාවලදී බයිබලයේ විශේෂිත නීතියක් දී නැති විට පවා ඔබේ ආත්මික සෞඛ්‍යට හානිකර දේ කුමක්ද කියා හඳුනාගැනීමේ හැකියාව ඔබට ලැබෙයි.

පසුබිම් දර්ශන ඇතුළත් ගීත නැරඹීම සම්බන්ධයෙන් ඔබට මඟ පෙන්වීමක් ලබා දෙන බයිබල් ප්‍රතිපත්ති මොනවාද? එයට පිළිතුරු මතු ලිපියකින් ඔබට දැනගත හැකියි.

[20වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“යම් පුද්ගලයෙක් ‘ආ, මම නම් හොඳට සිංදු අහනවා. මට ඒවායින් කිසි ප්‍රශ්නයක් නැහැ’ කියා උදම් අනනවා නම් ඇත්තෙන්ම එම පුද්ගලයා දැනුම් තේරුම් නැති කෙනෙක්”

[21වන පිටුවේ පින්තූර]

යම් අහිතකර දෙයක් නරඹා එහි බලපෑමට හසු නොවී සිටින්න ඔබට හැකිද?