Skip to content

පටුනට යන්න

මහා පරිමාණයේ විපතක්

මහා පරිමාණයේ විපතක්

මහා පරිමාණයේ විපතක්

එරික්ගේ a වයස මාස හයයි. කොහොමවුණත්, ඔහුගේ බර සහ උස මාසයක හෝ දෙකක පමණ බිලිඳෙකුගේ වගෙයි. මෙතරම් අඩු බරකින් යුතු වුවද, ඔහුගේ බඩ ඉදිමිලා. ඔහුගේ මුහුණ තඩිස්සිවෙලා, රවුම් වෙලා. ඔහු සුදුමැලියි. හිසකෙස් දුර්වර්ණ වී තැනින් තැන පලුදු වෙලා. හමේ තැනින් තැන තුවාල සහ කැලැල්. ඔහුව පෙනෙන්නේ ඉක්මනට කේන්ති යන ළමයෙක් වගේ. වෛද්‍යවරයා එරික්ගේ ඇස් පරීක්ෂා කරනකොට හුඟාක් පරෙස්සම් විය යුතුයි. මන්දයත් ඔහුගේ ඇස්වල පටක ඉතා පහසුවෙන් ඉරී යා හැකි නිසයි. පෙනෙන විදිහට එරික්ගේ මානසික ප්‍රවර්ධනය බොහෝදුරට අඩාල වෙලා. කනගාටුවට කරුණක් වන්නේ, මේ දරුවාගේ තත්වය ඔහුට පමණක්ම සීමා වූ එකක් නොවීමයි.

“ලොව වටා සිදු වන ළමා මරණවලින් අඩකටම වගකිව යුතු දෙය මෙයයි. ඇරත් කලු මරණය නමැති වසංගතයෙන් පසුව ලොවේ පැතිර ගිය ඕනෑම බෝවෙන රෝගයකට මෙය සම කරන්නට බැහැ. එහෙත්, එය බෝවෙන රෝගයක් නම් නොවේ. නමුත් ආබාධිත වූ, රෝගවලට පහසුවෙන්ම ගොදුරු වෙන සහ මන්දබුද්ධිකභාවයට පත්ව සිටින මිලියන ගණනක් එහි දරුණු බලපෑම්වලට හසු වෙලා. එය ස්ත්‍රීන්ව, පවුල් සහ අන්තිමේදී මුළු සමාජයම උවදුරේ හෙළනවා.—ලෝකයේ ළමුන්ගේ තත්වය, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල.

මේ වචනවලින් කියාපාන රෝගී තත්වය කුමක්ද? ඒ මන්දපෝෂණයයි. විශේෂයෙන්ම ප්‍රෝටීන්-ශක්ති මන්දපෝෂණයයි (PEM). මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වා ඇත්තේ “නිහඬ අර්බුදය” කියායි. මේ විපත්තියේ පරිමාණය කොයි තරම්ද? ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ, එය “සෑම වසරකම අඩු තරමින් ළමුන් මිලියන 10.4කගෙන් අඩකටම මරු කැඳවීමට යම් පමණකින් දායක වී ඇති බවයි.”

මන්දපෝෂණය රෝග ගණනාවකට මුල පුරනවා. එය විටමින් හෝ ඛනිජ ලවණ වැනි යම් පෝෂ්‍ය පදාර්ථ එකක හෝ ඊට වැඩි ගණනක ඌණතාවයේ සිට තරබාරුබවේ සහ වෙනත් ආහාර සම්බන්ධ නිධන්ගත රෝග දක්වා පැතිරෙනවා. කෙසේවෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ PEM වනාහි “මන්දපෝෂණයේ වඩාත්ම මාරාන්තික ස්වරූපය” බවයි. ඊට ප්‍රධාන වශයෙන් ගොදුරු වෙන්නේ වයස අවුරුදු පහෙන් පහළ ළමුන්.

මේ ලිපියේ ආරම්භයේදී සඳහන් වූ එරික් ගැන සහ මන්දපෝෂණයෙන් පෙළෙන මිලියන ගණනක් ළමුන් ගැන මොහොතකට කල්පනා කර බලන්න. ඔවුන් ඒ තත්වයේ සිටීම ගැන ඔවුන්ට දොස් පවරන්න බැහැ. ඒ වගේම ඔවුන්ට එයින් ගැලවී යන්නත් බැහැ. ළමා පෝෂණවේදිනියක් වන ජෝර්ජියානා ටුසෙයින්ට් පිබිදෙව්! සඟරාවට මෙසේ කීවා. “මෙම රෝගයෙන් පෙළෙන සහ එහි පල විපාක නිසා දුක් විඳින අය එයට වගකිව යුත්තේ ඉතා අල්ප වශයෙන්. එනමුත් එයට වැඩියෙන්ම ගොදුරු වන්නේ මොවුන්මයි.”

ලොවේ හැමෝටම ප්‍රමාණවත් ආහාර නැති නිසා මේ ගැටලුව වළක්වන්නට බැහැ කියා ඇතැමුන් නිගමනය කරන්නට පුළුවන්. නමුත් ඊට හාත්පසින්ම වෙනස්ව, ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ “අප ජීවත් වෙන්නේ ආහාර බහුලව තිබෙන ලෝකයක” බවයි. මේ ලොවේ ජීවත් වන සියලු මිනිසුන්ට ඇති තරම් ආහාර තිබෙනවා. ඇත්තෙන්ම ඕනෑවටත් වඩා ආහාර තිබෙනවා. එපමණක් නොවෙයි, මිනිසාගේ මන්දපෝෂණය යනු ඉතාම පහසුවෙන් වළක්වාගත හැකි වූද ඉතාම අඩු වියදමකින් සුව කරගත හැකි වූද දෙයකි. මේ තොරතුරු කියවන විට ඔබට යම් කේන්තියක් දැනෙන්නේ නැද්ද?

බලපාන්නේ කාටද?

මන්දපෝෂණය ළමුන්ට පමණක් සීමා වූවක් නොවේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2001 ජූලි මාසයේ වාර්තාවට අනුව, “මන්දපෝෂණය කොතරම් පුළුල්ව පැතිර තිබෙනවාද කියනවා නම් එය මිලියන 800ක පමණ ජනයාගේ ජීවිත ගොදුරු කරගෙන තිබෙනවා. එය දියුණු වෙමින් පවතින ලෝකයේ මුළු ජනයාගෙන් 20%කි.” මින් අදහස් කරන්නේ ලොවේ වෙසෙන සෑම 8දෙනෙකුගෙන් එක්කෙනෙක්ම ඉන් දුක් විඳින බවයි.

විශාලතම ඌනපෝෂිත ජනකාය වෙසෙන්නේ ආසියාවේ දකුණු සහ මධ්‍යයම කලාපවල වුවද ඌනපෝෂණයෙන් පෙළෙන ජනයාගේ ඉහළම ප්‍රතිශතය වෙසෙන්නේ අප්‍රිකාවේයි. ලැයිස්තුවේ ඊළඟට සිටින්නේ ලතින් අමෙරිකාවේ දියුණු වෙමින් තිබෙන ඇතැම් රටවල් සහ කැරබියන් දූපත්ය.

දියුණු රටවල් මන්දපෝෂණයේ ග්‍රහණයෙන් නිදහස්ද? නැහැ. වර්ෂ 2001දී ලෝකයේ ආහාර අනාරක්ෂිත තත්වය (සිංහලෙන් නැත) නම් වාර්තාවට අනුව, කාර්මිකකරණයට ලක් වූ රටවල ජීවත් වන මිලියන 11ක ජනතාවක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. ඊට අමතරව, ඌනපෝෂණයෙන් පෙළෙන මිලියන 27ක ජනතාවක් විශේෂයෙන්ම නැඟෙනහිර යුරෝපයේ රටවල සහ කලින් සෝවියට් සමූහාණ්ඩුව වශයෙන් හැඳින්වූ කාර්මිකකරණයට පා තබමින් සිටිනවා යයි කියැවෙන ජනරජවල ජීවත් වෙනවා.”

මන්දපෝෂණය මෙතරම් බැරෑරුම් ගැටලුවක් වී තිබෙන්නේ ඇයි? ඌනපෝෂණය නමැති තත්වය සමනය කිරීමට දැන්මම කළ හැකි යම් කිසිවක් තියෙනවාද? අපගේ ග්‍රහලෝකය කවදා හෝ මන්දපෝෂණයෙන් තොර තැනක් වනු ඇද්ද? ඊළඟ ලිපියේ මෙම ප්‍රශ්න ගැන සාකච්ඡා කෙරෙනවා ඇති.

[පාදසටහන]

a සැබෑ නම නොවේ.

[4වන පිටුවේ සිතියම⁄වගුව]

(මුද්‍රිත පිටපත බලන්න)

ප්‍රමාණවත් පෝෂණය නොලැබීමේ අවදානමේ සිටින ජනගහනයක් සහිත රටවල්

ඉහළ අවදානම

තරමක අවදානම

අඩු අවදානම

අවදානමක් නැත හෝ ප්‍රමාණවත් තොරතුරු නැත

[3වන පිටුවේ පින්තූරය]

සුඩානයේ සහනාධාර ලැබෙන තෙක් බලා සිටිමින්

[හිමිකම් විස්තර]

UN/DPI Photo by Eskinder Debebe