Skip to content

පටුනට යන්න

සත්ව ලෝකයේ විස්මිත සංවේද ඉන්ද්‍රියයන්

සත්ව ලෝකයේ විස්මිත සංවේද ඉන්ද්‍රියයන්

සත්ව ලෝකයේ විස්මිත සංවේද ඉන්ද්‍රියයන්

කෑමට යමක් සොයමින් කඩිමුඩියේ එහා මෙහා දිව යන මීයාට දැනෙන්නේ අඳුර තමන්ට ආරක්ෂාවක් සපයන බවයි. එනමුත් තමාගේ උණුසුම් සිරුරෙන් නිකුත් වන රත් වූ කිරණ පලා පොළඟාට “දැනෙන” බව මීයා නොදනියි. මීයා කරන්නේ මරු කැඳවන වැරදි විනිශ්චයකි. පතාමඩියෙක් මෝරුන් සිටින ජලාශයක පතුලේ තිබෙන වැලියට කාටවත් නොපෙනෙන ලෙස සැඟවී සිටියි. කුසගින්නේ සිටින මෝරෙක් ඌ සිටින දිශාවට පීනා යයි. මේ මෝරාට පතාමඩියාව දැකගත නොහැකි වුවත් ඌ මඳකට නතර වී ඌගේ නහයෙන් පතාමඩියා සැඟවී සිටින තැන තිබෙන වැලි අවුස්සා ඇසපිය හෙළන ක්ෂණයකින් ගොදුර ගිල දමයි.

පලා පොළඟා හා මෝරා පිළිබඳ ඉහත සඳහන් විස්තරය මිනිසුන්ට නොමැති විශේෂිත වූ සංවේද ඉන්ද්‍රියයන් සතුන්ට තිබෙන බවට හොඳ උදාහරණ වේ. අනිත් අතට සතුන් බොහොමයකට අප හා සමාන සංවේද ඉන්ද්‍රියයන් තිබුණද ඒවා අපට වඩා තියුණුයි. එමෙන්ම පරිසරයේ තිබෙන දේවල් හඳුනාගැනීමේ පුළුල් සංජානන (වටහාගැනීමේ) හැකියාවක්ද උන්ට තිබේ. සතුන්ගේ ඇස් මීට හොඳ උදාහරණයකි.

වෙනස් ලොවක් දකින ඇස්

අපේ ඇස්වලට ග්‍රහණය කරගත හැකි වර්ණ පරාසයට ඇතුළත් වන්නේ විද්‍යුත් චුම්භක වර්ණාවලියේ කුඩා කොටසක් පමණි. නිදසුනක් වශයෙන් රතු ආලෝකයට වඩා දිග තරංග ආයාමයක් තිබෙන අධෝරක්ත කිරණ අපට දැකිය නොහැක. එහෙත් පලා පොළඟාගේ ඇස් සහ නාස්පුඩු අතර අධෝරක්ත කිරණ හඳුනාගත හැකි කුඩා ඉන්ද්‍රියයන් දෙකක් තිබේ. a මේ නිසා පරිසරය අනුව රුධිරයේ උෂ්ණත්වය වෙනස් නොවන (අචලතාපී) ගොදුරකට අඳුරේදී පවා නිවැරදි එල්ලයට පහර දීමට පලා පොළඟාට පුළුවනි.

වර්ණාවලියේ ඇසට පෙනෙන සීමාවේ දම්පාට අග්‍රයෙන් එහා තිබෙන්නේ පාරජම්බුල (UV) ආලෝකයයි. අපේ ඇස්වලට නොපෙනෙන UV ආලෝකය කුරුල්ලන් හා කෘමීන් ඇතුළු සතුන් බොහොමයකට පෙනෙයි. උදාහරණයක් හැටියට මීමැස්සන් තමන් සිටින තැන තීරණය කරන්නේ හිරුගේ පිහිටීමට සාපේක්ෂවයි. හිරු වලාකුළුවලින් යම් ප්‍රමාණයකට වැසී ගියත් ඒ අතරින් කුඩාවට පෙනෙන නිල් පැහැති අහස් කුස සොයාගැනීමෙන් හා විසිරී තිබෙන UV ආලෝකයෙන් සෑදෙන රටා දැකීමෙන් උන් තමන් සිටින තැන හඳුනාගැනීමට සමත් වේ. මල් පිපෙන ශාක වර්ග රාශියක්ම UV ආලෝක පරාසය තුළින් පමණක් දැකිය හැකි රටා මැවීමට සමත්ය. සමහර මල් සතුව “පැණි ලකුණු කරන උපකරණයක්” තිබේ. මෙම උපකරණය UV ආලෝකය විවිධ ප්‍රමාණයන්ගෙන් පරාවර්තනය කිරීමට සමත් කොටසක් වන අතර එමගින් මල් තමන් ළඟ තිබෙන පැණි බොන්න මීමැස්සන්ට ඇරයුම් කරයි. මේ හා සමාන ආකාරයකට ඇතැම් පලතුරු හා බීජ වර්ගද තමන් ගැන ප්‍රචාරණයක් කුරුල්ලන්ට කරයි.

කුරුල්ලන්ට UV ආලෝක පරාසයේ තරංග ආයාමයන් දැකිය හැකි නිසාත් එම ආලෝකය මගින් උන්ගේ පිහාටුවලට අමතර දීප්තියක් ලබා දෙන නිසාත් අප නොදකින ආකාරයේ වඩාත් වර්ණවත් පෙනුමක් එකිනෙකා තුළ දැකීමට උන් සමත් වන බව පැවසේ. කුරුල්ලන්ගේ දෘෂ්ටි හැකියාව “අපට සිතාගන්න බැරි තරම් ඉතා පුළුල් පරාසයකින් යුත්” බව පක්ෂි විද්‍යාඥයෙක් පැවසුවේය. සමහර උකුස්සන්ට UV ආලෝකය දැකීමට තිබෙන හැකියාව ඇතැම් වර්ගවලට අයත් මීයන් සිටින තැන් සොයාගන්න උපකාරවත් විය හැකියි. ඒ කෙසේද? මීට හේතුව පිරිමි සතාගේ “මුත්‍රාවල හා මලපහවල UV ආලෝකය උරාගන්න රසායනික ද්‍රව්‍යයක් අඩංගු වීම හා උන්ගේ ගමන් මඟ මුත්‍රාවලින් හඳුනාගත හැකිවීමයි” කියා බයෝසයන්ස් සඟරාවේ සඳහන් වේ. මේ නිසා “මීයන් බහුලව සිටින ප්‍රදේශ හඳුනාගැනීමටත්” උන්ව ඉලක්ක කරගැනීමටත් කුරුල්ලන්ට හැකි වේ.

කුරුල්ලන්ට හොඳ දෘෂ්ටියක් තිබෙන්නේ මන්ද?

කුරුල්ලන්ට තිබෙන්නේ විස්මයජනක දෘෂ්ටියකි. මීට “ප්‍රධානතම හේතුව වන්නේ දෘෂ්ටිවිතානයෙහි රූප මවන පටකවල තිබෙන දෘෂ්ටි සෛල වෙනත් සතුන්ගේ ඇස්වලට වඩා කුරුල්ලන්ගේ ඇස්වල බහුලව තිබීමයි” කියා බයිබලයේ සඳහන් සියලුම කුරුල්ලෝ යන පොතේ (සිංහලෙන් නැත) සඳහන් වේ. එහි තවදුරටත් මෙසේද සඳහන් වේ. “දුර සිට කුඩා දේවල් දැකීමට ඇසට තිබෙන හැකියාව තීරණය වන්නේ ඇසක තිබෙන දෘෂ්ටි සෛල ගණන මතයි. මිනිසෙකුගේ දෘෂ්ටිවිතානයෙහි වර්ග මිලිමීටරයක දෘෂ්ටි සෛල 2,00,000ක් පමණ අඩංගු වේ. එහෙත් බොහෝ කුරුල්ලන්ට එම ගණන මෙන් තුන් ගුණයක් තරම් වූ දෘෂ්ටි සෛල ප්‍රමාණයක් තිබෙන අතර උකුස්සන්ගේ, ගිජු ලිහිණියන්ගේ හා රාජාලින්ගේ එම ගණන වර්ග මිලිමීටරයකට දශලක්ෂයක් හෝ ඊට වඩා වැඩි ගණනක් වේ.” මීට අමතරව ඇතැම් කුරුල්ලන්ගේ ඇස් දෙකේම කූප දෙක බැගින් පිහිටා තිබීම හේතුවෙන් උන්ට තවත් පැහැදිලිව දැකීමට හැකියි. දකින දේ පිළිබඳව ඉතා නිවැරදි විනිශ්චයක් කිරීමට මෙම කූප උපකාරවත් වේ. මේ නිසා දුර හා වේගය අවබෝධ කරගැනීමේ අතිවිශිෂ්ට හැකියාවක් කුරුල්ලන්ට තිබේ. පියාසර කරන කෘමීන්ව අල්ලාගත හැකි කුරුල්ලන්ටද එම අතිවිශිෂ්ට හැකියාව හිමි වී තිබේ.

ක්ෂණිකව නාභිගත කළ හැකි අසාමාන්‍ය ලෙස සිනිඳු වූ කාචද කුරුල්ලන්ගේ ඇස්වල තිබේ. කුරුල්ලන්ට හැම දෙයක්ම අපැහැදිලිව පෙනුණා නම් විශේෂයෙන්ම ඝන වනාන්තරවල ඇතුළුව අනිකුත් ස්ථානවල උන් පියාසර කරද්දී උන්ට මොන තරම් දරුණු අනතුරුවලට මුහුණ දෙන්න සිදු වෙයිද කියා සිතා බලන්න. ඇත්තෙන්ම කුරුල්ලන්ගේ ඇස් නිර්මාණය කර තිබෙන ආකාරයෙන් මොන තරම් අතිමහත් ප්‍රඥාවක් පිළිබිඹු වේද! b

විද්‍යුත් සංවේද ඉන්ද්‍රියයන්

මුලදී සඳහන් කළ සැඟවී සිටි පතාමඩියා හා මෝරා සම්බන්ධ සිද්ධිය සැබෑවටම සිදු වූයේ මෝරුන් පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයනයක් කරන අතරතුරේදීයි. සජීවී මත්ස්‍යයන්ගෙන් නිකුත් වන ඉතා කුඩා විද්‍යුත් ක්ෂේත්‍රය හඳුනාගැනීමට මෝරුන්ට හැකිද කියා දැනගැනීමට පර්යේෂකයන්ට වුවමනා විය. c මේ ගැන සොයා බැලීම සඳහා මෝරා සිටින ජලාශයේ වැලි යට ඉලෙක්ට්‍රෝඩ සඟවා තබා යෝග්‍ය ප්‍රමාණයක වෝල්ටීයතාවක් ඒවාට ලබා දෙන ලදි. එහි ප්‍රතිඵලය? මෝරා ඉලෙක්ට්‍රෝඩ අසලට පැමිණි විගසම දිගට හරහට ඒවාට පහර දෙන්නට විය.

අකර්මණ්‍ය විද්‍යුත් ප්‍රතිග්‍රහණය කියා හඳුන්වනු ලබන හැකියාව මෝරුන්ට තිබේ. කිසිම ආයාසයක් නොදරා උන්ගේ කන්වලට ශබ්දය ඇසෙන්නාක් මෙන් විද්‍යුත් ක්ෂේත්‍රවල බලපෑමද උන්ට දැනෙයි. එනමුත් විද්‍යුත් මත්ස්‍යයන්ට තිබෙන්නේ ක්‍රියාකාරී විද්‍යුත් ප්‍රතිග්‍රහණයයි. වවුලෙක් ශබ්දවලින් සංඥා නිකුත් කර එහි දෝංකාරය ආධාරයෙන් යම් යම් දේවල් හඳුනාගන්නාක් මෙන් මේ මත්ස්‍යයන්ද උන් සතු විශේෂ ප්‍රතිග්‍රාහක මාර්ගයෙන් විද්‍යුත් තරංග හෝ ස්පන්දන නිකුත් කර එමගින් ඇති වූ විද්‍යුත් ක්ෂේත්‍රවල පිහිටීමට බාධා කරන ඕනෑම දෙයක් හඳුනාගනී. මෙම හැකියාව එක් එක් මත්ස්‍ය වර්ගය අනුව වෙනස් වේ. d මේ හැකියාව නිසා බාධාවන් හා ගොදුරු පමණක් නොව ගැහැනු හෝ පිරිමි සතෙකුව සොයාගැනීමටද විද්‍යුත් මත්ස්‍යයන්ට පුළුවනි.

දේහගත මාලිමාවක්

ඔබේ සිරුරේ මාලිමාවක් තිබුණා නම් ඔබේ ජීවිතය මොන වගේ වෙයිද කියා සිතා බලන්න. කවදාවත් ඔබව අතරමං වන එකක් නැහැ. මීමැස්සන් හා සැමන් මත්ස්‍ය පවුලට අයත් ට්‍රවුට් නමැති මාළුවා ඇතුළු සතුන් ගණනාවකගේ සිරුරේ පියවි ඇසට නොපෙනෙන ස්වභාවිකව පවතින චුම්භක ද්‍රව්‍යයක් වන මැග්නටයිට් ස්ඵටික නොහොත් කාන්දම් ගල්වල ඇති ස්ඵටික තිබෙන බව විද්‍යාඥයන් සොයාගෙන ඇත. මෙම ස්ඵටික අඩංගු සෛල ස්නායු පද්ධතියට සම්බන්ධ වී ඇත. මේ නිසා මීමැස්සන්ට හා ට්‍රවුට් මසුන්ට චුම්භක ක්ෂේත්‍ර සොයාගැනීමේ හැකියාව තිබේ. මීවදයක් සෑදීමට තැනක් සොයාගැනීමේදී හා ගමන් බිමන් යෑමේදී මඟ පෙන්වීමක් ලෙස මීමැස්සන් යොදාගන්නේ පොළොවේ තිබෙන චුම්භක ක්ෂේත්‍රයයි.

මුහුදු පතුලේ තිබෙන මංඩි සහිත ජලයේ ජීවත් වන බැක්ටීරියා වර්ග සතුවද මැග්නටයිට් තිබෙන බව පර්යේෂකයන් සොයාගෙන ඇත. මංඩි කැලතුණු විට පොළොවේ චුම්භක ක්ෂේත්‍රය මැග්නටයිට්වලට බලපෑම් කරන නිසා, එම බැක්ටීරියාවලට නිවැරදි දිශාව සොයාගත හැකියි. ප්‍රතිඵලයක් ලෙස උන් මුහුදු පත්ලේ පිහිටි සිය වාසස්ථාන කරා යොමු වේ. එසේ නොවන්නට උන් මිය යනු ඇත.

කුරුල්ලන්, කැස්බෑවන්, සැමන් මත්ස්‍යයන් හා තල්මසුන් ඇතුළු බොහෝ සංක්‍රමණික සතුන්ටද චුම්භක සංවේද ඉන්ද්‍රියයන් තිබෙන බව සිතිය හැකියි. කෙසේවෙතත් උන් එම සංවේද ඉන්ද්‍රියයන් මත පමණක් රඳා සිටින බවක් නොපෙනේ. විවිධ සංවේද ඉන්ද්‍රියයන්වල ආධාරයෙන් උන් දේශ දේශාන්තර හරහා ගමන් කරන බව පෙනෙන්න තිබේ. නිදසුනක් වශයෙන් සැමන් මත්ස්‍යයා උගේ ජන්ම භූමියට යළි පැමිණීම සඳහා උන් සතු ප්‍රබල ආඝ්‍රාණ ඉන්ද්‍රියය යොදාගන්න බව පෙනේ. ස්ටාලිං කියා හඳුන්වන යුරෝපයේ වෙසෙන කුරුලු වර්ගයක් උන්ගේ ගමන් මඟ සොයාගන්නේ හිරුගේ පිහිටීමට අනුවයි. තවත් සමහර කුරුල්ලන් උන්ගේ ගමන් මඟ සොයාගන්නේ තරුවල පිහිටීම ආධාරයෙනි. එනමුත් මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන හවඩ් සී. හියුස් විසින් රචිත සුවිශේෂි සංවේදනයන්මිනිස් අද්දැකීම් අභිභවා යන ලොවක් නමැති පොතෙහි (සිංහලෙන් නොමැත) ඔහු මෙසේ සඳහන් කළේය. “මේ දේවල් ඇතුළු සොබාදහමේ අභිරහස් තේරුම්ගැනීම සඳහා අපට යෑමට තිබෙන දුර අතිවිශාල බවට කිසිදු සැකයක් නැත.”

කාටවත් නැති කන්

මිනිසුන් සමඟ සසඳන කල බොහෝ සතුන්ට පුදුමාකාර ශ්‍රවණ හැකියාවක් තිබේ. අප සවනට (තත්පරයකට චක්‍ර) හර්ට්ස් 20 සිට 20,000ක පරාසයක් අතර තිබෙන ශබ්ද ඇසෙන නමුත් බල්ලන්ට හර්ට්ස් 40 සිට 46,000ක පරාසයක තිබෙන ශබ්ද ඇසේ. අශ්වයන්ගේ එම ප්‍රමාණය හර්ට්ස් 31ත් 40,000ත් අතර වේ. අලින්ට හා ගවයන්ට හර්ට්ස් 16 තරම් අඩු අවධ්වනි පරාසයේ තිබෙන (මිනිසුන්ගේ ශ්‍රවණ හැකියාවට මදක් අඩු) ශබ්ද පවා ඇසෙයි. අඩු සංඛ්‍යාතයන් වැඩි දුරක් ගමන් කරන නිසා කිලෝමීටර් හතරක් තරම් ඈත සිට වුවත් එකිනෙකාට තොරතුරු දැනුම් දෙන්න අලින්ට හැකියාවක් තිබෙන බව පෙනේ. ඇත්තෙන්ම භූමිකම්පා හා දරුණු කාලගුණික කැලඹීම්වලදී අවධ්වනි ශබ්ද නිකුත් වන හෙයින් ඒවා ගැන කලින් දැනගැනීමට එම සතුන් දක්වන ප්‍රතිචාරයන් අපට උපකාරවත් වන බව ඇතැම් පර්යේෂකයෝ පවසති.

කෘමීන්ටද පුළුල් ශ්‍රවණ හැකියාවක් තිබේ. උන් සමහරෙකුගේ ශ්‍රවණය තිබෙන්නේ අධිධ්වනි මට්ටමේය. එනම් මිනිසුන්ගේ ශ්‍රවණයට වඩා අෂ්ටක දෙකකට වඩා වැඩි මට්ටමේය. තවත් සමහරුන්ගේ ශ්‍රවණය අවධ්වනි පරාසයේ පවතී. කෘමීන් කිහිපදෙනෙකුට ඇසෙන්නේ උන්ගේ හිසෙහි හැර සිරුරෙහි අනෙකුත් සෑම කොටසකම පාහේ පිහිටා තිබෙන කර්ණපටලය හා සමාන සිහින්, පැතලි පටකවල උපකාරයෙනි. තවත් සමහර කෘමීන්ට ඇසෙන්නේ උන්ගේ සිරුරේ තිබෙන සියුමැලි කේශවල ආධාරයෙනි. මෙම කේශවලට ශබ්ද පමණක් නොව මිනිසෙකු අතක් සොලවන විට ඇති වන ඉතාමත් සුළු සුළං රොදක් පවා දැනෙයි. මැස්සන්ට පහර දෙන්න ඉතාමත් අමාරු දෙයක් වීමට හේතුව උන් සතු එම සංවේදීතාවයි.

කෘමියෙකුගේ අඩි ශබ්දය අසන්න ලැබුණොත්! ඒ ගැන සිතා බලන්න. විස්මය දනවනසුලු එවන් ශ්‍රවණ හැකියාවක් ලෝකයේ සිටින පියාසර කරන එකම ක්ෂීරපායී පක්ෂියා වන වවුලාට තිබේ. අඳුරේදී තමන්ගේ ගමන් මඟ හඳුනාගැනීමටත් තමන් පිට කරන ශබ්දයේ දෝංකාරය නොහොත් සෝනාරය මාර්ගයෙන් කෘමීන්ව ගොදුරු කරගැනීමටත් වවුලන්ට විශේෂිත ශ්‍රවණ හැකියාවක් තිබීම අවශ්‍යයි. e මේ සම්බන්ධයෙන් මහාචාර්ය හියුස් මෙසේ පවසයි. “නවීන තාක්ෂණය යොදා සාදා තිබෙන සබ්මැරීනයකට වඩා සංකීර්ණ සෝනා පද්ධතියක් ගැන සිතා බලන්න. එම සෝනා පද්ධතිය පහසුවෙන්ම ඔබේ අල්ලේ තබාගත හැකි කුඩා වවුලෙකු විසින් භාවිත කරනු ලැබීම ගැනත් සිතා බලන්න. දුර, වේගය මෙන්ම ගොදුරු කරගන්න විශේෂිත කෘමි වර්ගයක් පවා හඳුනාගැනීම සඳහා වවුලා කරන සියලුම ක්‍රියාවන් සිදු කෙරෙන්නේ ඔබේ මහපට ඇඟිල්ලේ නියපොත්තට වඩා කුඩා වූ මොළයක් මගිනි!”

ශබ්දය ආධාරයෙන් නිවැරදිව දේවල් හඳුනාගැනීම රඳා පවතින්නේ සංඥා නිකුත් කරනු ලබන හඬේ ස්වභාවය මත නිසා “ඕනෑම ඔපෙරා ගායකයෙකු තුළ ඊර්ෂ්‍යාවක් ඇති කරවන ආකාරයෙන් තමන් නිකුත් කරන ශබ්දවල තාරතාව පාලනය කිරීමේ හැකියාව” වවුලන්ට තිබේය කියා එක් ආශ්‍රේය ග්‍රන්ථයක සඳහන් වේ. f පෙනෙන විදිහට ඇතැම් වවුල් වර්ගවල නාස්පුඩුවල තිබෙන සමින් සෑදුණු පෙතිවල ආධාරයෙන් ශබ්ද කදම්බයක් ලෙස නාභිගත කළ හැකියි. සුවිශේෂ වස්තුවක් වැනි එම හැකියාව නිසා වවුලන්ට මොන තරම් සංකීර්ණ සෝනා පද්ධතියක් හිමි වී තිබෙනවාද කියනවා නම් මිනිසෙකුගේ හිසකෙස් ගහක් තරම් වූ වස්තුවක් පවා හඳුනාගත හැකි “ධ්වනිගත රූප” නිපදවීමට උන්ට පුළුවනි!

ශබ්ද නිකුත් කර එහි දෝංකාරය ආධාරයෙන් දේවල් හඳුනාගැනීමේ හැකියාව වවුලන් හැර අඩුම තරමින් තවත් කුරුලු වර්ග දෙකකට තිබේ. ආසියාවේ හා ඕස්ට්‍රේලියාවේ වෙසෙන තුරිතයන් හා දකුණු අමෙරිකාවේ වෙසෙන තෙල් කුරුල්ලන් මෙම වර්ග දෙකට අයත් වේ. කෙසේවෙතත් මුන් එම හැකියාව යොදාගන්නේ උන් ලැගුම් ගන්න අන්ධකාර ගුහාවන් තුළ එහෙ මෙහෙ යෑමටයි.

මුහුදු ජීවීන්ගේ සෝනාරය

දත් තල්මසුන්ද සෝනාරය මගින් දේවල් හඳුනාගත්තද මෙය සිදු වන ආකාරය පිළිබඳ නිවැරදි තොරතුරු විද්‍යාඥයන් තවමත් සොයාගෙන නැත. ඩොල්ෆින්ගේ සෝනා ක්‍රියාත්මක වීම ඇරඹෙන්නේ උන් නිකුත් කරන සුවිශේෂ වූ ටික්-ටික් හඬක් සමඟිනි. මෙම හඬ නිකුත් වනවා කියා සිතන්නේ උන්ගේ ස්වරාලයෙන් නොව නාසයෙනි. ඩොල්ෆින් මසුන්ගේ නළලෙහි පිහිටි මේද සහිත පටකවලින් සමන්විත මොල්ලිය මගින් ශබ්දය කදම්භයක් බවට පත් කර ඉදිරියේ තිබෙන දේවල් “ආලෝකවත්” කරයි. ඩොල්ෆින් මසුන් පිට කරන ශබ්දවල දෝංකාරය උන්ට ඇසෙන්නේ කෙසේද? උන්ගේ කන්වලින් නොව උන්ගේ හනුවල පහළ කොටසෙහි පිහිටි ඉන්ද්‍රියයන් මගිනි. මේවා මැද කනටද සම්බන්ධව පවතී. තවත් සුවිශේෂී දෙයක් වන්නේ ඩොල්ෆින් මසුන්ගේ නළලෙහි පිහිටි මොල්ලියේ තිබෙන මේදය හා සමාන මේද ප්‍රමාණයක් මෙම ප්‍රදේශයෙහිද පිහිටා තිබීමයි.

ඩොල්ෆින් මසුන්ගේ සෝනා මගින් නිකුත් කරන ටික් හඬ ගැබෝ ක්‍රියාකාරිත්වය කියා හඳුන්වනු ලබන ගණිතමය තරංග ආයාමයට විස්මිත ලෙස සමාන වේ. එමගින් ඔප්පු වන්නේ ඩොල්ෆින් මසුන්ගේ එම හඬ “ගණිතමය ලෙස පරිපූර්ණ සෝනා සංඥාවකට සමාන” වන බවයි කියා හියුස් පවසයි.

සෝනා මගින් නිකුත් කරන ටික් හඬ මුමුනන ආකාරයෙන් නැඟීමට හෝ ඩෙසිබල් 220ක් තරම් වූ කන් බිහිරි කරවන හඬක් බවට පත් කිරීමට ඩොල්ෆින් මසුන්ට ප්‍රබල හැකියාවක් තිබේ. මොන තරම් ප්‍රබල හඬක්ද? ඝෝෂාකාරී රොක් සංගීතයෙන් නිකුත් වන්නේ ඩෙසිබල් 120ක හඬකි. එමෙන්ම කාලතුවක්කුවකින් පවා නිකුත් වන්නේ ඩෙසිබල් 130ක හඬකි. එම හඬවලට වඩා ප්‍රබල හඬවල් නිකුත් කළ හැකි සෝනාරයක් තිබෙන ඩොල්ෆින් මසුන්ට මීටර් 120ක දුරක සිට වුවත් සෙන්ටිමීටර් අටක තරම් වූ කුඩා බෝලයක් පවා හඳුනාගත හැකියි. නිසල දිය යටදී ඊටත් වඩා දුරක පිහිටි දේවල් පවා උන්ට හඳුනාගත හැකියයි විශ්වාස කෙරේ.

සත්ව ලෝකය තුළ දැකිය හැකි විස්මිත සංවේද ඉන්ද්‍රියයන් ගැන සිතන විට ඔබ තුළ ගෞරවනීය හැඟීමක් මෙන්ම පුදුමයක් ඇති වන්නේ නැද්ද? නිහතමානී දැන උගත් අයට එවන් හැඟීමක් ඇති වේ. එම හැඟීම අපව ආපසු ගෙන යන්නේ අපව සාදා තිබෙන්නේ කෙසේද නමැති ප්‍රශ්නය වෙතයි. ඇතැම් සතුන්ට හා කෘමීන්ට තරම් තියුණු සංවේදන හැකියාවන් අපට නොමැති බව සැබෑවකි. එසේ වුණත් අප අවට පරිසරයේ තිබෙන දේවල් නිරීක්ෂණය කිරීමේදී කල්පනා කරබැලීමට පෙලඹීමක් ඇති වන්නේ අප තුළ පමණි. එවන් පෙලඹීමක් ඇති වන්නේ මන්ද? ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය තේරුම්ගැනීමට පමණක් නොව උන් සිටීමේ අරමුණ වටහාගැනීමට මෙන්ම ජීවීන් අතර අපට හිමි තැන දැනගැනීමට අප වෑයම් කරන්නේ මන්ද?

[පාදසටහන්වල]

a පලා පොළඟුන් වර්ග 100ක් පමණ සිටින අතර උතුරු අමෙරිකාවේ වාසය කරන විෂකුරු පොළඟුන් වන තඹ ඔළුවා, රැට්ල් ස්නේක් හා දිය සෙරෙප්පුවා එම වර්ගවලට අයත් වේ.

b යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන ජීවය—මෙහාට පැමිණියේ කෙසේද? පරිණාමයෙන්ද නැතහොත් මැවීමෙන්ද? (සිංහලෙන් නොමැත) නමැති පොත කියවීමට පරිණාමවාදය හා බුද්ධිමත් නිර්මාණ හා සම්බන්ධ ප්‍රශ්න පිළිබඳව උනන්දුවක් දක්වන පාඨකයන්ට ආරාධනා කෙරේ.

c දිය යට සිටින විට මිනිසුන්ගෙන්ද සියලුම සජීවී සතුන්ගෙන්ද ඉතා කුඩා නමුත් හඳුනාගත හැකි ප්‍රමාණයේ විද්‍යුත් ක්ෂේත්‍රයක් නිකුත් වේ.

d මෙහි සඳහන් කර තිබෙන විද්‍යුත් මත්ස්‍යයන් නිපදවන්නේ ඉතාමත් සුළු විදුලියක් පමණි. වැඩි වෝල්ටීයතාවක් නිපදවමින් සතුන්ව සිහිනැති වීමට සලස්වන විද්‍යුත් මඩුවන් හා විදුලි ආඳන් සමඟ මෙම වර්ගයට අයත් මසුන්ව පටලවා නොගත යුතුයි. මෙසේ උන් වැඩි විදුලියක් නිපදවන්නේ සතුරන්ගෙන් ආරක්ෂා වීමට හා ගොදුරු ඩැහැගැනීමටයි. අශ්වයෙකුව පවා මරන්න විදුලි ආඳන්ට පුළුවනි.

e වවුල් වර්ග 1,000ක් පමණ සිටිති. වවුලන්ට පේන්නේ නැති බව බොහෝදෙනෙකු සිතුවද උන්ට දේවල් හොඳින් පෙනෙයි. සියලුම වර්ගවලට අයත් වවුලන් දේවල් සොයාගන්නේ ශබ්දය ආධාරයෙන් (සෝනා මගින්) නොවේ. පලතුරු වවුලන් වැනි ඇතැම් වවුල් වර්ග ආහාර සොයාගැනීම සඳහා රාත්‍රි කාලයේදී උන්ට තිබෙන තියුණු දෘෂ්ටි හැකියාව යොදාගනී.

f වවුලෝ හර්ට්ස් 20,000 සිට 1,20,000ක් හෝ ඊට වඩා වැඩි ගණනක් දක්වා පැතිරුණු සංඛ්‍යාතයකින් යුත් ශබ්ද ඇතුළත් සංඥා නිකුත් කරති.

[29වන පිටුවේ කොටුව⁄පින්තූර]

කෘමියෙනි පරෙස්සම් වන්න!

“සෑම දවසකම අඳුර වැටීගෙන යද්දී [අ.එ.ජ.] ටෙක්සස්හි සැන් ඇන්ටෝනියෝ නගරය අසල පිහිටි කඳු අතරින් දක්නට ලැබෙන දෙය ඇත්තෙන්ම විස්මය දනවනසුලුයි” කියා සුවිශේෂි සංවේදකයන්—මිනිස් අද්දැකීම් අභිභවා යන ලොවක් නමැති පොතේ සඳහන් වේ. “දුර සිට බලන විට ඔබට සිතිය හැක්කේ පොළොව යටින් ඉහළ නඟින අතිදැවැන්ත කලු පැහැති වලාකුළක් ඔබ දැක්කා කියායි. කෙසේවෙතත් එය සැඳෑ අහස අඳුරු කරවන දුම් වලාපටලයක් නොව දශලක්ෂ 20ක් තරම් වූ වලිග සහිත මෙක්සිකන් වවුලන් රාශියක් බ්‍රැකන් ගුහාවෙන් එළියට එන දසුනකි.”

ඉතා මෑතකදී කළ ගණන් බැලීමකට අනුව බ්‍රැකන් ගුහාවේ වවුලන් දශලක්ෂ 60ක් පමණ සිටිති. උන් රාත්‍රි කාලයේදී මීටර් 3,000ක් පමණ ඉහළ අහසේ පියාසර කරමින් උන්ගේ ප්‍රියතම ආහාරය වන කෘමීන්ව සොයා යති. වවුලන් නිකුත් කරන අතිධ්වනි ශබ්දවලින් හටගන්න ඝෝෂාකාරීබවින් අනිවාර්යයෙන්ම රාත්‍රි අහස පිරී ගියද උන් කිසිවිටෙකත් වියවුල් වන්නේ නැත. මීට හේතුව, මෙම සුවිශේෂී ක්ෂීරපායි සත්වයන් සෑම එකෙකුටම තමාගේම ශබ්දයේ දෝංකාරය නිෂ්චිතවම හඳුනාගත හැකි අතිශය සංකීර්ණ ඉන්ද්‍රියයන් පද්ධතියක් පිහිටා තිබීමයි.

[පින්තූරය]

බ්‍රැකන් ගුහාව

[හිමිකම් විස්තර]

Courtesy Lise Hogan

[පින්තූරය]

වලිග සහිත මෙක්සිකන් වවුලා—සෝනාරය

[හිමිකම් විස්තර]

© Merlin D. Tuttle, Bat Conservation International, Inc.

[27වන පිටුවේ පින්තූරය]

මීමැස්සා—පෙනීම සහ චුම්භක සංවේදනය

[27වන පිටුවේ පින්තූරය]

රන්වන් රාජාලියා—පෙනීම

[27වන පිටුවේ පින්තූරය]

මඩුවා—විද්‍යුත් සංවේදනය

[27වන පිටුවේ පින්තූරය]

ස්ටාලිං—පෙනීම

[27වන පිටුවේ පින්තූරය]

සැමන්—ආඝ්‍රාහණය

[27වන පිටුවේ පින්තූරය]

මෝරා—විද්‍යුත් සංවේදනය

[හිමිකම් විස්තර]

U.S. Fish & Wildlife Service, Washington, D.C.

[27වන පිටුවේ පින්තූරය]

කැස්බෑවා—පෙනෙන විදිහට චුම්භක සංවේදනය

[28වන පිටුවේ පින්තූරය]

අලියා—අඩු සංඛ්‍යාතයක් සහිත ශ්‍රවණය

[28වන පිටුවේ පින්තූරය]

බල්ලා—අධිසංඛ්‍යාතයක් සහිත ශ්‍රවණය

[29වන පිටුවේ පින්තූරය]

ඩොල්ෆින්—සෝනාරය