Skip to content

පටුනට යන්න

ඔබේ දරුවන්ව ආරක්ෂා කරගත හැකි අයුරු

ඔබේ දරුවන්ව ආරක්ෂා කරගත හැකි අයුරු

ඔබේ දරුවන්ව ආරක්ෂා කරගත හැකි අයුරු

මත් ගතියක් ඇති කරවන ද්‍රව්‍ය අනිසි ලෙස භාවිත කිරීමෙන් දරුවන්ව ආරක්ෂා කරගැනීමේදී අතිවැදගත් කාර්යභාරයක් පැවරෙන්නේ දෙමාපියන්ටයි. ඔවුන් දරුවන්ට හොඳ ආදර්ශයක් තැබිය යුතු අතර, තමන්ගෙන් ඕනෑම දෙයක් අසා දැනගැනීමට ප්‍රස්තාව දරුවන්ට ලබා දිය යුතුයි.”—ඩොනා ෂාලාලා, එ.ජ. සෞඛ්‍යය හා මානව සේවා දෙපාර්තමේන්තුවේ ලේකම්.

මත්ද්‍රව්‍යවලට එරෙහිව කරන සටනේ ඉදිරියෙන්ම සිටින්නේ දෙමාපියන් වන ඔබයි. කනගාටුවට කරුණක් වන්නේ, සියලුම දෙමාපියන් ඔවුන්ගේ කාර්යභාරයේ වැදගත්කම තේරුම්ගෙන නොතිබීමයි. බ්‍රසීලයේ වෙසෙන ඉරනෙවූ නම් යෞවනයා මෙසේ සිහිපත් කරයි. “මගේ තාත්තා හැම තිස්සේම වැඩ. එයාට අපිත් එක්ක කතා කරන්න තිබුණේ ටික වේලාවයි. මත්ද්‍රව්‍ය ගැන කිසිම අවවාදයක් අපිට කවදාවත් ලැබුණේ නැහැ.”

ඊට වෙනස්ව බ්‍රසීලයේ වෙසෙන තවත් යෞවනයෙකු වන ආලෙක්සාන්ඩ්‍රොස් සිහිපත් කරන මේ දෙය සලකා බලන්න. “මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අය ගැන ටීවී එකේ වැඩසටහන් යද්දී ඒවා බලන්න කියලා මගේ තාත්තා මගේ මල්ලිලාටත් මටත් කතා කළා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණ අය අද්දකින දරුණු තත්වය ගැන තාත්තා අපට පෙන්නුවා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන වෙනත් යෞවනයන්ව අපි පාසැලේදී දැකලා තියෙනවාද කියලා තාත්තා ඒ වගේ අවස්ථාවලදී අපෙන් ඇහැව්වා. මේ විදිහට මත්ද්‍රව්‍ය භාවිතයේ තියෙන අනතුරු ගැන තාත්තා අපට අවවාද කළා.”

මත්ද්‍රව්‍යවල තිබෙන අනතුරු ගැන ඔබේ දරුවන් සමඟ ඔබ සාකච්ඡා කර තිබෙනවාද? මෙය කිරීමට නම් මුලින්ම ඔබ මේ ගැන දැනුවත් වීම අවශ්‍යයි. තහනම් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමෙන් ආත්මික වශයෙන් හානි සිදු වන බව තේරුම්ගැනීමට දරුවන්ට උපකාර කරන්න ක්‍රිස්තියානි දෙමාපියන්ට හැකියි. බයිබලය අපව උනන්දු කරවන්නේ ශාරීරිකව මෙන්ම ආත්මිකව සියලු ආකාර අපවිත්‍රකම්වලින් අපේ සිරුරු කැලැල් කර නොගන්න කියායි. (2 කොරින්ති 7:1) දරුවන්ව ආරක්ෂා කරගැනීම සඳහා යොදාගත හැකි ප්‍රබල අවියක් වන්නේ නිතිපතා ඔවුන් සමඟ බයිබල් පාඩමක් පැවැත්වීමයි. a

“විශ්වාසවන්ත මිතුරා”

විශ්වාසය තැබිය හැකි සබඳතාවක් ඔබ ඔබේ දරුවන් සමඟ ඇති කරගැනීමද වැදගත්. යෙහෝවා ඔහුගේ භූමික දරුවන්ට ‘විශ්වාසවන්ත මිතුරෙකි.’ (යෙරෙමියා 3:4, NW) ඔබේ දරුවාට ඔබ විශ්වාසවන්ත මිතුරෙක්ද? ඔබේ දරුවාට ඔබ ඇත්තටම සවන් දෙනවාද? ඔබේ දරුවා ඔහුගේ ගැටලු කිසිම බයක් සැකක් නැතුව ඔබ සමඟ පවසනවාද? ඔබ ඉක්මන් වන්නේ ප්‍රශංසා කරනවාට වඩා හෙළාදැකීමටද? ඔබේ දරුවාව වඩාත් හොඳින් හඳුනාගැනීමට කාලය වෙන් කරගන්න. ඔහුට හෝ ඇයට මිතුරන් සිටිනවාද? ඒ මිතුරන් කවුද? වැදගත් කාරණයක් වන්නේ බයිබලය සපයන මෙම අවවාදයයි. “මුළා නොවන්න. නරක ආශ්‍රයෙන් හොඳ පුරුදු නැති වන්නේය.” (1 කොරින්ති 15:33, NW) දැඩි සීමා පැනවීමට හෝ ප්‍රේමණීය ලෙස හික්මවීමට පසුබට වන්න එපා. බයිබලයේ මෙසේ පවසයි. “නුඹේ පුත්‍රයාට දඬුවම් කරන්න. එවිට ඔහු නුඹට නිශ්චලභාවය දෙන්නේය.”—හිතෝපදේශ 29:17.

එමෙන්ම ඔබේ දරුවා මුහුණ දෙන අනතුරු සැහැල්ලුවට නොගන්න. තමන්ගේ දරුවන් වැදගත් නම්බුකාර පවුල්වල අය නිසා ඔවුන් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමේ උගුලට වැටෙන්නේ නැහැ කියා සමහර දෙමාපියන් ඒ ගැන එතරම් තැකීමක් නොකර හේතු දැක්වීමට පුළුවනි. එනමුත් වෛද්‍ය ජූසේ එන්රීකේ සිල්වෙරා මේ ගැන මෙසේ පැහැදිලි කරයි. “මත්ද්‍රව්‍ය වෙළෙන්දන් කැමති වැදගත් පවුල්වල දරුවන් සමඟ මිත්‍රකම් ඇති කරගන්නයි. මොකද එසේ කිරීමෙන් තමයි ඔවුන්ගේ ව්‍යාපාරය සරු වෙන්නේ.” ඔව්, වැදගත් නම්බුකාර පවුලක යෞවනයෙකුව මත්ද්‍රව්‍ය උගුලට හසු කරගත්තොත් අනිත් යෞවනයන්ද ඔහුව අනුගමනය කිරීමට ඉඩ තිබේ.

එනිසා යථාර්ථවාදී වන්න. මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමේදී දැකිය හැකි මුල්ම ලක්ෂණ කිහිපයක් හඳුනාගන්න. නිදසුනක් වශයෙන් ඔබේ දරුවා එකපාරටම හුදකලා වීමට පටන්ගෙන තිබේද? දරුවා මානසික පීඩනයකින් පෙළෙන බවක් දකින්න තිබෙනවාද? ඔහුට හෝ ඇයට දේවල් රුස්සන්නේ නැද්ද? වෙනදාට වඩා ඔහු මුරණ්ඩුද? කිසිම හේතුවක් නැතුව පරණ මිතුරන්ගෙන් හා පවුලේ සාමාජිකයන්ගෙන් ඔහු ඈත් වී සිටිනවාද? මෙම ලක්ෂණ දැකගත හැකි නම් දරුවා ගැන සැලකිලිමත් වීමට ඔබට හේතු තිබිය හැකියි.

ප්‍රශංසා කිරීමට වටින වෑයම් දෙමාපියන් දැරුවත් සමහර දරුවන් මත්ද්‍රව්‍යවල බලපෑමට හසුවීම හා ඒවා අත්හදා බැලීම කනගාටුවට කරුණකි. ඔබේ දරුවා මේ තත්වයට පත් වුවහොත් ඔබ කළ යුත්තේ කුමක්ද?

දරුවෙක් මත්ද්‍රව්‍ය භාවිත කරන විට

“මගේ මල්ලි මත්ද්‍රව්‍ය පාවිච්චි කරන බව මගේ දෙමාපියන් දැනගන්නකොට එයා මාස කිහිපයක් තිස්සේ ඒවා පාවිච්චි කරමිනුයි හිටියේ. තමන්ගේ දරුවන් කවදාවත් මත්ද්‍රව්‍ය නම් ගන්නේ නැහැ කියා ඔවුන් සිතූ නිසා, ඒ ගැන දැනගත් මුල්ම අවස්ථාවේදී ඔවුන් සෑහෙන්න කලබල වුණා. ඒ ගැන දැනගත් විගස මගේ තාත්තා කළේ මල්ලිට දරුණු ලෙස පහර දීමයි” කියා ඉරනෙවූ පවසයි.

දරුවෙක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරමින් සිටින බව දැනගන්න ලැබෙන අවස්ථාවේදී දෙමාපියෙකු දක්වන මුල්ම ප්‍රතික්‍රියාව වන්නේ කේන්ති යෑම, බලාපොරොත්තු කඩවීම හා තමන්ට යමක් කළ නොහැකි වීම ගැන හැඟීම් ඉස්මතු වීම යනාදිය විය හැකියි. කෙසේවෙතත් එ.ජ. අධ්‍යාපන දෙපාර්තමේන්තුව පළ කළ තොරතුරු පත්‍රයක මෙම අවවාදය දී තිබේ. “කලබල වෙන්න එපා! ඔබටම දොස් කියාගන්නත් එපා. දැන් කළ යුතු වැදගත් දෙය වන්නේ සන්සුන් වී සිදු වෙමින් තිබෙන දෙය ගැන සොයා බැලීමයි. . . . මත්ද්‍රව්‍ය ගැනීම වැළැක්විය හැකි පුරුද්දකි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම ප්‍රතිකාර කළ හැකි රෝගයකි.”

කාරුණික වන්න. ස්ථිර වන්න. මෙසේ සිටීමෙන් තත්වය දරුණු අතට හැරීම වළක්වාගත හැකියි. ඔබට අධික ලෙස කේන්ති යෑම හෝ ඔබ බලාපොරොත්තු සුන් කරගැනීම, ඔබේ දරුවාගේ සුවවීමට බාධාවක් විය හැකියි. එමෙන්ම ඔබට වුවමනා කරන්නේ ඔබේ දරුවාට ඔහුගේ බුද්ධිය පාවිච්චි කරමින් නිවැරදි තීරණ ගන්න වැඩිහිටියෙකු ලෙස වර්ධනය වීමට උපකාර කිරීමටයි. එනිසා මත්ද්‍රව්‍ය ගැනීම අත්හැර දැමීමෙන් ලැබෙන ප්‍රයෝජන තේරුම්ගැනීම සඳහා ඔබේ දරුවා සමඟ අවංකව කතා බහ කරමින් ඔහුට කරුණු ඒත්තුගැන්වීමට අවශ්‍ය කරන කාලය ගන්න. හිතුවක්කාර දරුවෙකුගේ සිතේ තිබෙන අදහස් දැනගැනීමට වෑයම් කරන්න. සවන් දීමට කැමැත්තක් දක්වන්න.—හිතෝපදේශ 20:5.

ඉරනෙවූ තවදුරටත් මෙසේ සිහිපත් කරයි. “පසුව මගේ දෙමාපියන් වෙනත් ක්‍රම අත්හදා බලමින් මගේ මල්ලිට උපදෙස් දෙන්න පටන්ගත්තා. ඔහු යන ගමන් සීමා කළා. සෑම දවසකම පාසැලේ එකම යාළුවන්ම හමු වෙන එක වැළැක්වීම සඳහා මල්ලි යන පන්ති මාරු කළා. ඔහු වෙනත් අය සමඟ පවත්වන ඇසුරු කිරීම් පාලනය කරන් පටන්ගත්තා. ඒ වගේම එයාටත් පවුලේ අනිත් අයටත් වැඩි අවධානයක් දෙන්නත් පටන්ගත්තා.”

තම දරුවන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරමින් සිටි බව දැනගත් විට ඇතැම් දෙමාපියන් සාර්ථක ලෙස මැදිහත් වී ඇති අයුරු සලකා බලන්න.

සාර්ථක ලෙස මැදිහත් වීම

බ්‍රසීලයේ සාඕ පවුලෝ නගරයේ වෙසෙන මාර්සෙලූ මෙසේ පැහැදිලි කරයි. “අපි අද්දැක්ක නරකම දෙය එයයි. අපේ තරුණ පුතාලා දෙන්නාගේ හැසිරීමේ කිසිම වෙනසක් මගේ භාර්යාවවත් මමවත් දැක්කේ නැහැ. හුඟාක් අවස්ථාවලදී පුතාලා තවත් තරුණයන් එක්ක කෑම කෑවේ අවන්හල්වලිනුයි. අපි හිතුවේ පුතාලාගේ යාළුවන්ව අපි හොඳට දන්නවා කියලයි. අපේ පුතාලා දෙන්නා මරිජුවානා ගන්නවා කියලා අපේ යාළුවෙක් කිව්ව වේලාවේදී අපිට ඒක වාවගන්න බැරි වුණා. කොහොමවුණත් පස්සේ අපි පුතාලා දෙන්නාගෙන් ඒ ගැන ඇහැව්වාම එයාලා කෙළින්ම ඇත්ත පිළිගත්තා.”

මාර්සෙලූ ඔහුගේ පුතුන් දෙදෙනා සමඟ කටයුතු කළේ කෙසේද? ඔහු මෙසේ පවසයි. “අපිට දැනුණු වේදනාව යටපත් කරගන්න මගේ භාර්යාවටත් මටත් බැරි වුණා. ඒ වුණත් අපි හෙළා දැක්කේ ඔවුන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එකයි. පුද්ගලයන් හැටියට ඔවුන්ගේ තිබෙන වටිනාකම ගැන අපි සැක සහිත අදහස් පළ කරන්න ගියේ නැහැ. එතැන් පටන් අපි දෙන්නා තබාගත් ඉලක්කය වුණේ මත්ද්‍රව්‍ය ගැනීමේ පුරුද්දෙන් මිදෙන්න අපේ පුතාලාට උදව් කිරීමයි. අපි අදහස් කළ දේ ගැන අපි එයාලා එක්ක විවෘතව කතා කළා. අපි දාපු කොන්දේසි පුතාලා දෙන්නම පිළිගත්තා. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුත් මගේ වැඩවලට සහය වීමත් ඔවුන් දිගටම කරගෙන යන්න අපි ඉඩ දුන්නා. ආයේ ඔවුන්ට තනියම විනෝද වීමට අපි ඉඩ දුන්නේ නැහැ. අපේ ආදරය අපි විශේෂ අවස්ථාවලදී පමණක් නෙමේ, හැමදාම ඔවුන්ට පෙන්නුවා. මම ගොඩනැඟිලි ඉදිකරන්නෙක් හැටියට වැඩ කළ නිසා මට පුළුවන් හැම අවස්ථාවකදීම ඔවුන්වත් වැඩට අරං ගියා. පවුලේ අය වෙනදාට වඩා වැඩියෙන් විනෝද වෙන්නත් අනාගතය ගැනත් ජීවිතයේ වටිනා ඉලක්ක තබාගැනීමේ අවශ්‍යතාව ගැනත් කතා කරන්න පටන්ගත්තා.” මෙසේ තම දරුවන්ට මත්ද්‍රව්‍ය ගැනීමේ නරක පුරුද්දෙන් මිදීමට උපකාර කරන්න මාර්සෙලූට හා ඔහුගේ භාර්යාවට හැකි විය.

බ්‍රසීලයේ වෙසෙන තවත් පියෙකුගේ අද්දැකීමත් සලකා බලන්න. ඔහුගේ පුතා වන රොබෙර්ටූ මෙසේ සිහිපත් කරයි. “මගේ මල්ලි මත්ද්‍රව්‍ය ගන්නවා කියලා තාත්තා දැනගත් වේලාවේදී එයාට බැණවදිමින් දඬුවම් කරනවා වෙනුවට, තාත්තා කළේ එයා මල්ලිගේ මිතුරෙක් කියලා පෙන්වමින් මල්ලිගේ විශ්වාසය දිනාගන්ත එකයි. මල්ලිගේ යාළුවන් හා එයා නිතර යන එන තැන් තාත්තා දැනගත්තා. එයාට මත්ද්‍රව්‍යවත් ඒ වගේ මිතුරන්වත් අවශ්‍ය නැහැ කියන එක ඒත්තුගන්වන්න තාත්තා පටන්ගත්තා. රෑ නිදිමරාගෙන මල්ලිව හොයමින් කාලය ගත කරන්න කැමති නැහැ කියලා තාත්තා එයාට කිව්වා.” දුෂ්කර තත්වයකට පත්ව සිටි එම යෞවනයාට මත්ද්‍රව්‍යවලින් මිදෙන්න උපකාර කිරීමේදී ඔහුගේ කුඩම්මා ඇගේ ස්වාමිපුරුෂයාට හොඳ සහයෝගයක් දුන්නාය. කල් දමන්නේ නැතුව දරුවාට නිවසේදී උපකාර කිරීමට ඔවුහු දෙදෙනාම තීරණය කළහ.—“උපකාර ලබාගැනීම” නමැති කොටුව බලන්න.

අත් නොහරින්න!

මේ “අවදානම් සහිත තීරණාත්මක කාලවලදී” දරුවන් ඇති දැඩි කිරීම වෙහෙසකර, අභියෝගාත්මක කාර්යයක් විය හැකියි. (2 තිමෝති 3:1, NW) එහෙත් ඔබේ චිත්තවේගීය හා ආත්මික අවශ්‍යතා ඔබ කෙදිනකවත් නොසලකා නොහැරිය යුතුයි. (මතෙව් 5:3 NW) හිතෝපදේශ 24:10හි සඳහන් මෙම වදන් කොතරම් සැබෑද! “නුඹ විපත්ති දවසේදී කලකිරෙන්නෙහි නම් නුඹේ ශක්තිය අල්පය.” සැබෑ ක්‍රිස්තියානින් සමඟ ඇසුරු කිරීමෙන් සෑහෙන්න ශක්තියක් ලබාගත හැකියි. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවල පවත්වනු ලබන රැස්වීම්වලදී ඔබට අවශ්‍ය සහය හා දිරිගැන්වීම ලබාගත හැකියි.—හෙබ්‍රෙව් 10:24, 25.

දෙවි කෙරෙහි ඇදහිල්ල තැබීමට ඔබේ පවුලේ අයට ඉගැන්වීම, ඇත්තෙන්ම මත්ද්‍රව්‍යවලින් ආරක්ෂා විය හැකි හොඳම ක්‍රමය විය හැකියි. යම් ජීවිත මඟක ගමන් කරන්නම කියා දෙවි යෞවනයන්ට බල කරන්නේ නැත. නමුත් ඔහු නැණවත් උපදෙස් සපයයි. ගීතාවලිය 32:8හි සඳහන් වන පරිදි දෙවි මෙසේ පවසයි. “ඔබට උගන්වන්නෙමි. ඔබ විසින් යා යුතු මාර්ගයෙහි ඔබට ගුරුකම් දෙන්නෙමි. මාගේ ඇස ඔබ කෙරේ යොමු කොට ඔබට දැනමිතිකම් දෙන්නෙමි.” ප්‍රේමණීය පියෙකු වැනි වූ ස්වර්ගයේ සිටින දෙවිගේ ආශාව වන්නේ චිත්තවේගීය, ශාරීරික හා ආත්මික වශයෙන් යෞවනයන්ට සිදු වන හානිවලින් ඔවුන්ව ආරක්ෂා කරගැනීමටයි. (හිතෝපදේශ 2:10-12) තමන්ගේ දරුවන්ව “යෙහෝවාගේ හික්මවීමෙන්ද, මනස පුහුණු කිරීමෙන්ද ඇති දැඩි කරන්න” අදිටන් කරගෙන සිටින දෙමාපියන්ට උපකාර කරන්නද දෙවි කැමැත්තෙන් සිටින බවට නිසැක වන්න.—එපීස 6:4, NW.

කෙසේවෙතත් වත්මන් සමාජය තුළ දරුවන්ව ඇති දැඩි කිරීමේදී මුහුණ දීමට සිදු වන පීඩන ඇතැම් අවස්ථාවලදී ඉතාමත් අසීරු විය හැකියි. යම් සහනයක් තිබේද?

[පාදසටහන]

a මත්ද්‍රව්‍යවල තිබෙන අනතුරු වැනි විෂයන් ගැන තම දරුවන් සමඟ සාකච්ඡා කිරීමට දෙමාපියන්ට උපකාරවත් වන තොරතුරු යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබේ. උදාහරණයක් හැටියට, යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු නමැති පොතේ 33වන හා 34වන පරිච්ඡේද බලන්න.

[8වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“මත්ද්‍රව්‍ය ගැනීම වැළැක්විය හැකි පුරුද්දකි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම ප්‍රතිකාර කළ හැකි රෝගයකි.”එ.ජ. අධ්‍යාපන දෙපාර්තමේන්තුව

[6වන පිටුවේ කොටුව]

උපකාර ලබාගැනීම

තම දරුවන්ව මත්ද්‍රව්‍යවලින් මුදාවගැනීම සඳහා වෛද්‍යවරුන්ගේ උපකාරය ලබාගැනීම හොඳම ක්‍රියාමාර්ගය බව සමහර දෙමාපියන් තීරණය කළ හැකියි. තමන් සොයන්නේ මොන වගේ ප්‍රතිකාර ක්‍රමයක්ද කියා තීරණය කළ යුත්තේ දෙමාපියන්මයි. එනමුත් පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ලබා දෙන ප්‍රතිකාරවල ගුණාත්මකභාවය එකිනෙකට වෙනස් වන නිසා යම් ප්‍රතිකාරයක් ලබාගැනීමට කලින් දෙමාපියන් ඒ ගැන හොඳින් සොයා බැලීම නුවණට හුරුයි. බ්‍රසීලයේ සාඕ පවුලෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන මනෝ වෛද්‍ය අතූර් ගෙර්රා ඩී අන්ද්‍රාදි පවසන පරිදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ප්‍රතිකාර ලබන අයගෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන් සුවය ලබන්නේ සියයට 30ක් පමණයි. මේ නිසා, වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නත් තම දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන් ලබන සුවය ගැන දෙමාපියන් හොඳ සැලකිල්ලක් දැක්විය යුතුය.

[7වන පිටුවේ කොටුව⁄පින්තූර]

මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ට එයින් මිදීමට උපකාර

ඔබ මත්ද්‍රව්‍යවලින් නිදහස් වෙන්න වෑයම් කරමින් සිටින යෞවනයෙක්ද? බයිබලය කියවීමෙන් හා කියවන දේවල් අදාළ කරගැනීමෙන් නැවත යථා තත්වයට පත් වෙන්න ඔබ දරන වෑයම්වලින් හොඳ ප්‍රතිඵල ලබාගත හැකි බව ඔබ තේරුම්ගනීවි. මේ වන විට ඔබ තුළ තිබිය හැකි වේදනාත්මක චිත්තවේගයන්ගෙන් බොහොමයක් ගැන ගීතාවලිය පොතේ සඳහන් වන නිසා විශේෂයෙන් එම පොත කියවීම ඔබට ප්‍රයෝජනවත් වීමට ඉඩ තිබේ. ඔබේ ගැඹුරු සිතුවිලි වගුරුවමින් දෙවිට කරන අවංක යාච්ඤාවලින් ඔබට උපකාර ලැබෙනු ඇත. (පිලිප්පි 4:6, 7) ඔහු ඇත්තටම ඔබ ගැන සැලකිල්ල දක්වන බවත් ඔහු කැමති ඔබ සාර්ථක වෙනවා දකින්න බවත් ඔබට දැනෙන්න පටන්ගනු ඇත. එනමුත් තමන්ගේ නිදහස් කැමැත්තට විරුද්ධව කටයුතු කරන්න කියා දෙවි කිසිවෙකුට බල කරන්නේ නැති නිසා මත්ද්‍රව්‍ය ගැනීමේ පුරුද්ද අත්හරින්න අවංක ආශාවක් ඔබට තිබීම ඉතා වැදගත්. බොහෝ අවස්ථාවලදී දෙවිගේ උපකාරය අද්දුටු ගීතිකාකාර දාවිත් මෙසේ පැවසුවේය. “මම ඉවසිල්ලෙන් යෙහෝවා ගැන බලා සිටියෙමි. ඔහු කන් යොමා මාගේ මොරගැසීම ඇසුවේය. ඔහු භයානක වළකින්, හැල්පතෙන්, මා ඔසවා, පර්වතයක් පිට මාගේ පා තබා, මාගේ ගමන් ස්ථිර කළේය.” (ගීතාවලිය 40:1, 2) තමන්ව අපවිත්‍ර කරවන පුරුදුවලින් මිදී දෙවිට සේවය කරන අයටද ඒ ආකාරයෙන් උපකාර ලැබේ.

[5වන පිටුවේ පින්තූරය]

“අනතුරු ගැන මගේ තාත්තා අපිට අවවාද කළා”—ආලෙක්සාන්ඩ්‍රොස්

[8වන පිටුවේ පින්තූරය]

මත්ද්‍රව්‍ය භාවිත කිරීමෙන් සිදු වන ශාරීරික හා ආත්මික හානි ගැන ඔබේ දරුවන්ට අනතුරු ඇඟවීමට කාලය ගන්න

[8වන පිටුවේ පින්තූරය]

ඔබේ දරුවා ඇසුරු කරන අය ගැන සුපරීක්ෂාවෙන් සිටින්න

[8, 9වන පිටුවේ පින්තූරය]

දේවල් සන්සුන්ව විසඳාගැනීමෙන් නරක තත්වයන් තව තවත් නරක අතට හැරීම වළක්වාගත හැකියි