Skip to content

පටුනට යන්න

ද්‍රව්‍යවාදය යනු කුමක්ද?

ද්‍රව්‍යවාදය යනු කුමක්ද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

ද්‍රව්‍යවාදය යනු කුමක්ද?

මනුෂ්‍යයන් උපත ලබන්නේ ආත්මික දේට නැඹුරුවාවක් සහ දෙවිට නමස්කාර කිරීමේ අවශ්‍යතාවක් ඇතුවයි. කෙසේවෙතත් මනුෂ්‍යයාව මවා තිබෙන්නේ භෞතික මූලද්‍රව්‍යයන්ගෙන් නිසා ඔහු තුළ ද්‍රව්‍යමය අවශ්‍යතා මෙන්ම ද්‍රව්‍යමය දේවල් භුක්ති විඳීමේ ආශාවක්ද තිබේ. සමහර ක්‍රිස්තියානීන්ට ද්‍රව්‍යමය දේවල් ඇති තරම් තිබේ. ඔවුන් ද්‍රව්‍යාවාදි බව හෝ ආත්මිකව දියුණු නැති බව මින් අදහස් වෙනවාද? අනෙක් අතට දුප්පත් අය ද්‍රව්‍යවාදි පැත්තට වඩා ආත්මික පැත්තට වැඩි නැඹුරුවාවක් දක්වනවා කියා ඉන් අදහස් වෙනවාද?

ද්‍රව්‍යවාදය යනු විශාල මුදල් සම්භාරයක් හෝ දේපළක් සතුව සිටිනවාට වඩා වැඩි යමක් බව ඔබ පිළිගන්නවා නිසැකයි. ඇත්තටම ද්‍රව්‍යවාදය යනු කුමක්ද සහ එහි ඇති අන්තරාවන් මඟහරින්නේ කෙසේද කියා මතු දැක්වෙන බයිබල් ආදර්ශවලින් සලකා බලන්න.

ඔවුහු වස්තුවටත් ගෞරවයටත් උරුමකම් කියූහ

බයිබල් කාලයේ සිටි දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ගෙන් සමහරෙකු වස්තුවටත් ගෞරවයටත් උරුකම් කියූහ. නිදසුනකින් පෙන්වනවා නම් ආබ්‍රහම් “සිව්පාවුන්ගෙන්ද රන් රිදීයෙන්ද ඉතා පොහොසත්ව සිටියේය.” (උත්පත්ති 13:2) යෝබ් “නැඟෙනහිර දිශාවේ සියලු මනුෂ්‍යයන්ට වඩා ශ්‍රේෂ්ඨව සිටියේය.” මන්දයත් විශාල සත්ව රැළවල්ද සේවක පිරිසක්ද ඔහු සතුව තිබුණි. (යෝබ් 1:3) ඊශ්‍රායෙලයේ සිටි දාවිත් සහ සාලමොන් වැනි රජවරු අසීමිත ධන සම්භාරයකට උරුමකම් කියූහ.—1 ලේකම් 29:1-5; 2 ලේකම් 1:11, 12; දේශනාකාරයා 2:4-9.

පළමු ශතවර්ෂයේ තිබූ සභාවන්හිද වත් පොහොසත්කම් තිබූ අය සිටියෝය. (1 තිමෝති 6:17) ලිදියා ‘තියාතිරා නුවර විසූ දම් පැහැති රෙදි විකුණන්නාවූ දේවභක්තික ස්ත්‍රියක් වූවාය.’ (ක්‍රියා 16:14, NW) දම් පැහැති සායම් සහ එයින් නිමැවුණු රෙදි පිළි ඉතා මිල අධික වූ අතර ඒවා නිමවන ලද්දේ ඉහළ තානාන්තර දැරූ පොහොසත් අය සඳහා පමණි. එමනිසා ලිදියාට යම් ප්‍රමාණයක වත් පොහොසත්කමක් තිබෙන්න ඇතැයි කියා සිතිය හැක.

ඒ වගේම බයිබල් කාලයේ සිටි සමහර යෙහෝවාගේ විශ්වාසවන්ත නමස්කාරකයෝ ඉතාමත් දුගී තත්වයකද සිටියෝය. ස්වභාවික විපත්, අනතුරු සහ මරණ හේතුවෙන් සමහර පවුල් දුගීකමට ඇද වැටුණි. (දේශනාකාරයා 9:11, 12) අගහිඟකම් මැද සිටින අයට අන් අය ද්‍රව්‍යමය සම්පත් භුක්ති විඳින ආකාරය බලා සිටීම කොතරම් දුෂ්කර දෙයක් වන්න ඇද්ද! එනමුත් සම්පත් තිබෙන අය ද්‍රව්‍යවාදීන් කියා හෝ සම්පත් නොමැති අය දෙවිට වැඩි සේවයක් පිරිනමන අයයි කියා හෝ ඔවුන් විනිශ්චය කළා නම් එය වැරදි දෙයකි. එසේ පවසන්නේ මන්ද? මීට පිළිතුරු ලබාගැනීම සඳහා ද්‍රව්‍යවාදය යන්නට ඇතුළත් වන මූලික කාරණා සලකා බලන්න.

මුදලට ප්‍රේම කිරීම

එක් විශ්වකෝෂයක ද්‍රව්‍යවාදය යන්න නිර්වචනය කර ඇත්තේ “බුද්ධිමත්ව සලකා බැලිය යුතු දේවල් හෝ ආත්මික දේවල් කෙරෙහි යොමු වනවාට වඩා ද්‍රව්‍යමය දේවල ඇලී ගැලී සිටීම හෝ සිත ඒ මතම යොමු කර තබාගැනීම” ලෙසයි. එමනිසා, ද්‍රව්‍යවාදය ඉස්මතු වන්නේ අපේ ආශාවන්, ප්‍රමුඛතාවන් සහ අපේ ජීවිතය කේන්ද්‍රගත කර තිබෙන දේවල් තුළිනි. මෙය පහත දැක්වෙන බයිබල් ආදර්ශ දෙක තුළින් තහවුරු වෙයි.

අනාගතවක්තෘ යෙරෙමියාගේ ලේකම් ලෙස සේවය කරමින් සිටි බාරුක්ට යෙහෝවා තදින් අවවාද කළේය. එවකට යෙරුසලමේ තිබූ තත්වය නිසාත් සමාජයෙන් එතරම් පිළිගැනීමක් නොලද යෙරෙමියාව ඇසුරු කළ නිසාත් ඔහුහට වාසිදායක තත්වයක් උදා නොවෙන්න ඇති. කොහොම නමුත්, යෙහෝවා ඔහුහට පැවසුවේ මෙවැන්නකි. “නුඹටම මහත් දේවල් ලබාගන්ට නුඹ සොයන්නෙහිද? එසේ නොසොයන්න.” සමහර විට බාරුක් අන් අයගේ වස්තුව හෝ ඔවුන් ද්‍රව්‍යමය ලෙස ලබා තිබෙන ස්ථාවරය කෙරෙහිම සිත සිතා ද්‍රව්‍යවාදි පැත්තට නැඹුරු වන්න ඇති. එනමුත් යෙරුසලමට පැමිණෙන්නාවූ විනාශයෙන් බාරුක්ව ගලවාගන්න බවට යෙහෝවා ඔහුට පොරොන්දු වුණා මිසක ඔහුගේ දේපළ රැක දෙන බවට පොරොන්දු වූයේ නැත.—යෙරෙමියා 45:4, 5.

ද්‍රව්‍යමය දේවලම ඇලී ගැලී සිටි මිනිසෙකු පිළිබඳව යේසුස් නිදර්ශනයක් පෙන්නුම් කළේය. මේ මිනිසා ඔහු සතු දේ දෙවිගේ සේවය පුළුල් කිරීම සඳහා යොදනවා වෙනුවට වස්තුව වටා ඔහුගේ ජීවිතය කේන්ද්‍රගත කර තිබුණි. ඔහු මෙසේ පැවසීය. “මාගේ ගබඩා කඩා දමා, වඩා ලොකු ඒවා ගොඩනඟා, . . . ප්‍රාණය, නුඹට බොහෝ අවුරුදු ගණනකට හොඳ වූ බොහෝ දේ රැස් කර තිබේ. පහසු ගෙන, කා බී, ප්‍රීතියෙන් සිටින්නැයි මාගේ ප්‍රාණයට කියමි.” ඊළඟට යේසුස් මෙසේ පැවසීය. “නමුත් දෙවි ඔහුට කතා කොට: අඥානය, අද රාත්‍රියේදී නුඹේ ප්‍රාණය නුඹෙන් අය කරනු ලැබේ. එවිට නුඹ සූදානම් කරගත් දේ කාට වන්නේදැයි කීවේය. දෙවි කෙරෙහි පොහොසත් නොවී තමාටම වස්තු රැස් කරගන්න අය එයාකාරයයි කීවේය.”—ලූක් 12:16-21.

මෙම වාර්තා දෙකෙහි මූලික හරය කුමක්ද? එයින් අපට පෙන්වා දුන්නේ යම් කෙනෙකු ද්‍රව්‍යවාදි පුද්ගලයෙකු වන්නේ ඔහුට තිබෙන දේ නිසා නොව ද්‍රව්‍යමය දේට ඔහු ප්‍රමඛත්වය දෙනු ලබන ආකාරය අනුවයි. ප්‍රේරිත පාවුල් ඒ ගැන මෙසේ සඳහන් කළේය. “පොහොසත් වීමට ආශා කරන අය පරීක්ෂාවටද, මලපතකටද, මිනිසුන්ව නාස්තියටත් විනාශයටත් පමුණුවන, අඥාන වූ අනතුරුදායක වූ තෘෂ්ණාවලටද වැටෙන්නෝය. මන්ද, මුදලට ප්‍රේම කිරීම සියලු ආකාර හානිකර දේවල මුලක්ය. සමහරු මේ ප්‍රේමය ලුහුබැඳීම නිසා, ඇදහිල්ලෙන් ඈත්ව ගොස්, තමන් විසින්ම පිහියකින් සිරුර පුරා ඇනගත්තාක් මෙන් බොහෝ වේදනාවන් තමන්ට පමුණුවාගෙන තිබේ.” (1 තිමෝති 6:9, 10, NW) පොහොසත් වීමට තිබෙන ආශාව සහ ද්‍රව්‍යමය දේ කෙරෙහි දක්වන ඇල්ම තමයි ප්‍රශ්නවලට මුල් වන්නේ.

ආත්ම සෝදිසියක් කිරීම අවශ්‍යයි

ආර්ථික තත්වය කුමක් වුවත් ක්‍රිස්තියානීන් ද්‍රව්‍යවාදය නමැති උගුලට නොවැටීමට වගබලා ගත යුතුයි. ධනය සතුව තිබෙන බලය මායාවකි. එමගින් ආත්මිකත්වය යටපත් වී යා හැකියි. (මතෙව් 13:22, NW) ඉතාමත් දුක්ඛිත ප්‍රතිඵල සමඟින් අපගේ මනස ආත්මික දේවල් කෙරෙන් ඈත් වී ද්‍රව්‍යමය දේවල් වටා කේන්ද්‍රගත වීම අපටත් නොදැනීම සිදු විය හැකියි.—හිතෝපදේශ 28:20; දේශනාකාරයා 5:10.

මේ නිසා ක්‍රිස්තියානීන් ඔවුන්ගේ ප්‍රමුඛතාවන් සහ ජීවිතය කේන්ද්‍රගත කර තිබෙන්නේ කුමක් වටාද කියා සෝදිසි කර බැලිය යුතුයි. ද්‍රව්‍යමය දේ ස්වල්පයක් හෝ බොහොමයක් තිබුණත් ආත්මික මනසක් ඇති පුද්ගලයන් පාවුල්ගේ අවවාදය අනුගමනය කරමින් ඔවුන්ගේ බලාපොරොත්තු තබන්නේ “වස්තුවේ අස්ථිරකම කෙරෙහි නොව, සියල්ල භුක්ති විඳින පිණිස අපට බහුල ලෙස දෙන්නාවූ දෙවි කෙරෙහිය.”—1 තිමෝති 6:17-19.