Skip to content

පටුනට යන්න

නරඹමු කෙසෙල් වගාවක්

නරඹමු කෙසෙල් වගාවක්

නරඹමු කෙසෙල් වගාවක්

දකුණු අප්‍රිකාවේ පිබිදෙව්! ලේඛක විසින්

කෙසෙල් කන්න මං හරි ආසයි. මං හිතන විදිහට වැඩිදෙනෙක් කෙසෙල් කන්න කැමතියි. කෙසෙල් රසයෙන් විතරක් නෙවෙයි විටමින්, ඛණිජ ලවණ හා තන්තුවලිනුත් අනූණයි. මෙම පෝෂ්‍යදායී පලතුර පිළිබඳව වැඩි යමක් දැනගන්න ඔබ කැමතිද? මෑතකදී වගාකරුවෙකු සහ ඔහුගේ බිරිඳ කෙසෙල්වල ඇති පුදුමාකාර ප්‍රතිජනන ශක්තිය ගැන මට පැවසුවා.

ටෝනි සහ මරී (ඉහත දැක්වෙන) වගා කරන්නේ දකුණු අප්‍රිකාවේ ලිම්පොපෝහි පළාතක් වන ලවූබූහියි. ඔවුන් සතු හෙක්ටෙයාර් 55ක් වූ ගොවිපොළෙහි ඔවුන් විවිධ බෝග වගා කරනවා. කොහොමනමුත් ඔවුන්ගේ ප්‍රධාන වගාව කෙසෙල්. මෙම ජනප්‍රිය පලතුර ගැන වැඩි යමක් අපට පවසන්න ටෝනි කැමැත්තෙන් ඉන්නවා.

වර්ධනය සහ දේශගුණික තත්වයන්

“හොඳම පස් වර්ගයේ සෑහෙන්න මැටි අඩංගු වන අතර එය වැලි සහිත හෝ ගල් සහිත පසක් නොවෙයි” කියා ටෝනි පැහැදිලි කරයි. “එම පස පොළොවේ ගැඹුරට යන තෙක් විහිද යා යුතු අතර දිය සීරාවත් බැස යා යුතුයි. සාමාන්‍යයෙන් කෙසෙල් හොඳට වැඩෙන්නේ අධික සීතලෙන් තොර ප්‍රදේශවලයි. ඇත්ත වශයෙන්ම, ඒවා සරුවට වැඩෙන්නේ උෂ්ණාධික දේශගුණයන් පවතින ප්‍රදේශවලයි. ලවූබූහි සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වයේ විෂමතාව සෙල්සියස් අංශක 12ත් 35ත් අතර වෙයි.” වර්ෂාපතනය ගැන අහනකොට ටෝනි මෙසේ කියයි. “කෙසෙල්වලට ක්‍රමානුකූල වර්ෂාපතනයක් අවශ්‍යයි. එහෙමත් නැත්නම් සතිපතා ඊට ජලය සපයන නිශ්චිත ක්‍රමයක් තිබිය යුතුයි.”

කෙසෙල් පැළය ගහක් මෙන් පෙනිය හැකි නමුත් එහි කඳ සෑදී තිබෙන්නේ ලීයෙන් නොව පත්‍ර පාද එකක් මත එකක් පිහිටීමෙනුයි. එය ගසක් නෙවෙයි ඇත්තෙන්ම එය යෝධ පැළෑටියක්. පොළොවෙන් යට පිහිටා ඇති නියම නාරටිය හඳුන්වන්නේ රයිසෝමයක් වශයෙනි. රයිසෝමයෙන් මුල් අදින්න පටන්ගන්න අතර පසුව පත්‍රත් අන්තිමේදී දම්පැහැති මලත් හටගනියි. රයිසෝමයෙන් හටගන්නා මොරෙයියන් අලුත් පැළ බවට පත් වෙයි.

කෙසෙල් පැළවල වර්ධන අදියර තුනක් තිබෙන අතර ප්‍රාදේශීය ගොවියන් ඒවා හඳුන්වන්නේ “ආච්චි, දුව සහ මිනිබිරිය” වශයෙනුයි. (ඡායාරූපය බලන්න.) “ආච්චි” මේ වසරේ පල දරන අතර “දුව” ඊළඟ වසරේ පල දරයි. තුන්වන වසරේ “මිනිබිරිය” පල දරයි. “මිනිබිරියන්” අතිමහත් සංඛ්‍යාවක් තම “මව” අසලින් මෙලොව එළි දකියි. මෙම “ළදැරියන්” දණහිසේ උසට පැමිණෙන විට යෝග්‍යම පැළය ඉතුරු කර අනිත් ඒවා කප්පාදු කර ඉවත් කරනු ලබයි.

ඇවරි කීපයකින් සමන්විත කැනක් බවට පත් වෙන දම් පාට විශාල කෙසෙල්මුව පොළොව යට ඇති රයිසෝමයෙන් ඉහළට වැඩෙන්නේ පැළයේ මැද නාරටිය ඔස්සෙයි. අන්තිමේදී ඉහළම තිබෙන පත්‍ර දෙක අතරින් මතු වන එය පහළට නැමෙයි. මුවේ නිපත්‍ර වැටී යන විට නොවැඩුණු කෙසෙල් ගෙඩි 10 සිට 15 අතර ප්‍රමාණයකින් සමන්විත ඇවරි නිරාවරණය වෙයි. මේ පිළිබඳ එතරම් දැනුමක් නොමැති අයෙකු එය දකින්නේ යටිකුරු අතට ඒවා වැඩෙන්නාක් මෙනි. එක ඇවරියක ඇඟිලි මෙන් දිස් වෙන කෙසෙල් ගෙඩි 20ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වැඩෙයි.

කපන අවදිය

දම් පාට කෙසෙල්මුව මතු වෙන අවදියේ සිට කැන කපන අවදිය තෙක්, මාස තුනේ සිට හය දක්වා කාලයක් ගත විය හැකියි. එය වසරේ එක් එක් කාලයට අනුව වෙනස් වෙයි. මෙම පලතුර කඩාගන්නේ කොළ පැහැතිව තිබෙන විට වුවත් එසේ කඩන්නේ කෙසෙල් ගෙඩි හොඳින් පැසුණායින් පසුවයි. විකිණිය හැකි ඇවරියක සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 35ක් පමණ වෙයි. කැන කැපූ විට ඉටි රෙද්දකින් ආවරණය කරන්නේ ගබඩා කිරීම සඳහා ප්‍රවාහණය කරන විට සිදු වන තැලීම් සීරීම්වලින් වළක්වාගැනීමටයි. එහිදී ගෙඩි තුනත් හයත් අතර ප්‍රමාණයකින් යුත් කුඩා ඇවරිවලට වෙන් කර, දිලීර නාශකයක් යොදයි.

ඉන්පසු, දකුණු අප්‍රිකාවෙහි නම් ඒවා වැක්ස් ආලේප කළ වාරික්තයන් සහිත කාඩ්බෝඩ් පෙට්ටිවල අසුරා ඉදවන කාමරයට ගෙන යනු ලබයි. මෙහිදී එතිලින් ගෑස් මගින් ඉදීමේ ක්‍රියාවලිය සිදු කරවයි. a මෙම පෙට්ටි මෙහි දවසක් හෝ දෙකක් පාලිත උෂ්ණත්වයක තිබෙන්න හරින අතර ඉන්පසු පාරිභෝගිකයා වෙත ප්‍රවාහණය කෙරෙයි.

“අපේ පස හින්දාද මන්දා ලවූබූවල කෙසෙල් අනිත් ඒවාට වඩා රසයි කියලයි මට හිතෙන්නේ. මම පැත්තක් අරන් වගෙයි නේද? ඒත් කනගාටුවට කරුණක් නම්, අපි ඉන්නේ අපනයනය කරන නගරවලින් ඉතා ඈතකයි. ඒ නිසා මේ රටේදී විතරයි ඒවා කන්න ලැබෙන්නේ” කියා ටෝනි සිනාසී පැවසුවා.

ඔබේ සෞඛ්‍යයට හිතකරයි

කෙසෙල්වල පොටෑසියම් බහුලව ඇත. “ඔබේ අස්ථි ශක්තිමත් කිරීමටත්, අධිරුධිර පීඩනය වැළැක්වීමටත්, අංශභාගය ඇතිවීමේ අවදානම අඩු කිරීමටත් මෙම පෝෂ්‍ය පදාර්ථයට හැකි බව අධ්‍යයන ගණනාවකින්ම පෙන්වයි” කියා හෙල්ත් සඟරාවේ කෙසෙල් පිළිබඳව ලියැවුණු ලිපියක පවසලා තියෙනවා. තවදුරටත් එම සඟරාවේ මෙසේද පවසයි. “උත්පාදක දෝෂයන්ට එරෙහිව සටන් කරන B විටමිනයක් වන ෆෝලික් අම්ලයද කෙසෙල්වල අඩංගුය. එය ගර්භිණීව සිටින හෝ දරුවෙකු ඉපදවිය හැකි වයසක සිටින කෙනෙකුට අත්‍යවශ්‍යය.” අස්ථිවලට කැල්සියම් උරාගැනීමට උපකාර කරන හා ඒවාට ශක්තිය ලබා දෙන මැග්නීසියම් වැනි වෙනත් වටිනා ඛණිජ ලවණද කෙසෙල්වල අඩංගුයි.

ඔබේ ශරීරයට ප්‍රමාණවත්ව හෝ කොහෙත්ම සෑදිය නොහැකි අත්‍යවශ්‍ය සියලුම ඇමයිනෝ අම්ල ඇතුළු ඇමයිනෝ අම්ල 18ක් කෙසෙල් ගෙඩියක තිබෙන ප්‍රෝටීනයේ අඩංගුයි. මෙම පලතුර සියයට 22ක් කාබෝහයිඩ්‍රේටවලින් සමන්විත වන අතර ඉතා පහසුවෙන් දිරවන නිසා එය ක්ෂණික ශක්තියක්ද ලබා දෙයි. මරීද සතුටෙන් මෙසේ පවසයි. “විටමින් A, B සහ C උපදවන හොඳ උල්පතක්, කෙසෙල්. ඒ වගේම, බඩගින්න යටපත් කරන ගතියක් ඒවාවල තියෙන නිසා එක වතාවකට හුඟක් කන්න කෙනෙක් පෙලඹෙන්නේ නැති වෙයි.” ඔබට එය ගුණදායක මෙන්ම ඉතා රසැති ආහාරයක් වන නිසා කාලා බලන්න. අඩුම තරමින් එකක්වත්!

[පාදසටහන]

a ස්වාභාවික ලෙස කෙසෙල් ඉදෙන විට ඒවාවලින් එම ගෑස් වර්ගයම ශ්‍රාවය කෙරෙන අතර එය ඉදීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කරයි. මෙබැවින්, කොළ පාට කෙසෙල් අතර ඉදුණු කෙසෙල් ගෙඩි කීපයක් තැබීම ඒවා ඉදවීමේ තවත් ක්‍රමයක්.

[14වන පිටුවේ රූප සටහන/පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

පත්‍රය

මල/කෙසෙල් ගෙඩි

කෙසෙල් කඳ

රයිසෝම

භූමි මට්ටම

මුල

[හිමිකම් විස්තර]

රූප සටහන: The Complete Encyclopedia of Illustration/J. G. Heck ආශ්‍රිතයෙන් වූ චිත්‍රයක්

[17වන පිටුවේ රූප සටහන/පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

ආච්චි

දුව

මිනිබිරිය

[15වන පිටුවේ පින්තූර]

කැනක් බවට පත් වෙන දම් පාට විශාල කෙසෙල් මුව

[හිමිකම් විස්තර]

පින්තූරය Kazuo Yamasaki විසිනි

[16වන පිටුවේ පින්තූර]

කපන අවදිය (වමේ); මඟ එන අලුත් පලදාව (ඉහළ)