Skip to content

පටුනට යන්න

නින්ද කාලය කා දැමීමක්ද අත්‍යවශ්‍යම දෙයක්ද?

නින්ද කාලය කා දැමීමක්ද අත්‍යවශ්‍යම දෙයක්ද?

නින්ද කාලය කා දැමීමක්ද අත්‍යවශ්‍යම දෙයක්ද?

ඇතමෙකු නින්ද සලකන්නේ කාලය අපතේ යැවීමක් ලෙසයි. දවස මුළුල්ලේම ව්‍යාපාරික කටයුතුවල නියැලීම හා හිතමිතුරන් සමඟ කල් ගෙවීම ඇතුළත් කාර්යබහුල දින චර්යාවකට වැඩි කැමැත්තක් දක්වන ඔවුන් නින්දට යන්නේ අවදිව සිටීමට නොහැකි වන තරමටම වෙහෙසට පත් වූ විට පමණයි. අනික් අතට, රාත්‍රියක් රාත්‍රියක් පාසාම පහන් වන තෙක්ම නිදි යහනේ එහෙට මෙහෙට පෙරළෙමින් නිදි සුව නොලබන අය වෙර දරන්නේ රාත්‍රියේදී කෙසේ හෝ සුව නින්දක් ලබාගැනීමටයි.

සමහරෙකු සුව නින්දක් නොලබා පීඩා විඳින අතරතුරම තවත් සමහරෙකු අවදිව සිටීමට මහත් ආශාවකින් සිටින්නේ ඇයි? අප නින්ද සැලකිය යුත්තේ කාලය කා දමන දෙයක් වශයෙන්ද නැත්නම් අත්‍යවශ්‍යම දෙයක් වශයෙන්ද? එම ප්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීම සඳහා අප නිදාගෙන සිටින විටදී සිදු වන්නේ කුමක්ද යන්න තේරුම්ගත යුතුයි.

නින්දට වැටීම හා බැඳි අභිරහස්

යමෙකුව නින්දට වැටීමට සලස්වන්නේ කුමක්ද යන්න තවමත් අභිරහසක්ව පවතියි. කොහොමවුණත්, නින්ද යනු මොළය මගින් පාලනය වන සංකීර්ණ ක්‍රියාවලියක් බවත් එය පැය 24කින් සමන්විත ජෛව ඔරලෝසුවකට අනුව ක්‍රියාත්මක වන බවත් පර්යේෂකයන් සොයාගෙන ඇත.

අප වයසට යත්ම අපේ නිදාගැනීමේ පුරුදු වෙනස් වේ. අලුත උපන් බිලිඳෙක් නිතර නිතර කෙටි වේලාවකට නිදාගන්නා අතර සම්පූර්ණයෙන්ම දවසකට පැය 18ක් පමණ නිදාගනියි. නින්ද පිළිබඳ ප්‍රවීණයන්ට අනුව සමහර වැඩිහිටියන්ට දවසකට පැය තුනක නින්දක් ප්‍රමාණවත් වුවත් වෙනත් අයට පැය 10ක් දක්වාම අවශ්‍ය වේ.

සමහර නහඹරයන්ට උදේට නැඟිටගන්න අමාරු වීමට හේතුවද අපේ ජෛව ඔරලෝසුවේ සිදු වන වෙනස් වීම් මගින් පැහැදිලි වන බව මෑතකදී සිදු කළ පර්යේෂණවලින් හෙළි වී ඇත. මල්වර වයසේදී ජෛව ඔරලෝසුව ඉදිරියට ඇදී යන බවක් පෙනෙන්ට තිබේ. යෞවනයන් ප්‍රමාද වී නිදාගැනීමට හා ප්‍රමාද වී අවදි වීමට කැමැත්තක් දක්වන්නේ ඒ නිසයි. මෙම ප්‍රමාද වීම සාමාන්‍ය දෙයක් වන අතර නහඹර වියේ මැද භාගයේදී හෝ ඉන්පසුව එය නැති වී යයි.

අපේ ජෛව ඔරලෝසුව පාලනය වන්නේ රසායනික ද්‍රව්‍ය කිහිපයක් මගිනි. ඒවායින් බොහොමයක් දැනටමත් හඳුනාගෙන තිබේ. නිදිමත ඇති කරනවායයි පිළිගැනෙන මෙලටොනින් නම් හෝමෝනය ඉන් එකකි. මෙලටොනින් නිපදවෙන්නේ මොළය තුළයි. තවද නින්ද යෑමට පෙර ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලියේ වේගය අඩාල වීමට හේතු වන්නේද එය බවට සමහර විද්‍යාඥයෝ විශ්වාස කරති. මෙලටොනින් මුදාහරින විට ශරීර උෂ්ණත්වය සහ මොළය දක්වා රුධිර ගමනාගමනය අඩු වන අතර අපේ මාංශ පේශිවල දැඩිබව ක්‍රමක්‍රමයෙන් අඩු වී ඒවායේ සවිමත්බව නැති වී යයි. පුද්ගලයෙකු නින්ද නමැති අභිරහස් ලෝකයට පිවිසුණ පසුව සිදු වන්නේ කුමක්ද?

‘සොබාදහමේ ප්‍රධාන පෝෂකයා’

නින්දට ගොස් පැය දෙකක පමණ කාලයක් ගත වූ පසු අපේ ඇස් එහෙට මෙහෙට සෙලවෙන්න පටන්ගනියි. මෙය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව නින්ද ප්‍රධාන අදියර දෙකකට බෙදීමට විද්‍යාඥයන්ට පුළුවන් විය. ඒ තමයි REM (ඇස් වේගවත්ව චලනය වන නිද්‍රා කාලය) සහ REM නොවන නිද්‍රා කාලය. තවද, REM නොවන නින්ද ක්‍රමානුකූලව වඩාත් ගැඹුරු නින්දකට මඟ පාදන තවත් අදියර හතරකට බෙදා දැක්විය හැකියි. සුවදායී රාත්‍රි නින්දකදී REM නින්ද කිහිප වතාවක්ම ඇති වන අතරතුර REM නොවන නින්දද මාරුවෙන් මාරුවට ඇති වේ.

සිහින වැඩියෙන්ම දකින්නේ REM නින්දේදීයි. ශරීරයේ මාංශ පේශි උපරිම වශයෙන් විවේක ගන්නේද ඒ කාලය තුළදීයි. අවදි වූ පසු පුද්ගලයාගේ ඇඟට ප්‍රබෝධයක් දැනෙන්නේ ඒ හේතුවෙනි. ඊට අමතරව, සමහර පර්යේෂකයන් විශ්වාස කරන්නේ අලුතින් රැස් කරගත් තොරතුරු අපේ දිගු-කාලීන මතකයට ස්ථිර වශයෙන්ම ඇතුල් වන්නේ මේ නිද්‍රා කාලය තුළදී කියායි.

ගැඹුරු නින්දේදී (REM නොවන නින්දේ 3වන සහ 4වන අදියරවලදී) අපේ රුධිර පීඩනය සහ හෘද ස්පන්දන වේගය පහත මට්ටමකට බහින අතර රුධිර සංසරණ පද්ධතියට විවේකයක් ලබා දීමටත් හෘදය හා රුධිරවාහිනි ආශ්‍රිත රෝග (cardiovascular disease) ඇතිවීම වැළැක්වීමටත් මෙය උපකාරවත් වේ. තවද, REM නොවන නින්දේදී වර්ධක හෝමෝන නිෂ්පාදනය ඉහළම මට්ටමක පවතියි. සමහර නහඹරයන්ගේ සිරුරු තුළ දිවා කාලය ඇතුළත නිපදවන වර්ධක හෝමෝන ප්‍රමාණයට වඩා 50 ගුණයක්ම නිපදවෙන්නේ රාත්‍රි කාලයේදීය.

පෙනෙන විදිහට, නින්ද අපේ ආහාර රුචියටද බලපායි. ෂේක්ස්පියර්ගේ එක්තරා කියමනක දක්නට ලැබෙන පරිදි නින්ද සැබවින්ම “ජීවිතය නමැති බොජුනේ ප්‍රධාන පෝෂකයා” වන බව විද්‍යාඥයන් සොයාගෙන තිබේ. අපගේ මොළය නින්දේ ඌනතාව හඳුනාගන්නේ ආහාර ඌනතාවක් ලෙසටයි. අප නිදා සිටින විට ප්‍රමාණවත් ලෙස ආහාර ගෙන ඇති බව සංඥා කරන ලෙප්ටින් නම් හෝමෝනය අපේ ඉන්ද්‍රියයන් තුළින් ස්‍රාවය කෙරේ. අප සුදුසු වේලාවට නිදා නොගත් විට අපේ ශරීරයෙන් ස්‍රාවය වන ලෙප්ටින් ප්‍රමාණය අඩු වන අතර කාබෝහයිඩ්‍රේට් පරිභෝජනය කිරීමට අප තුළ අසාමාන්‍ය ආශාවක් හටගනියි. එමනිසා ප්‍රමාණවත් නින්දක් නොලැබීම කාබෝහයිඩ්‍රේට් වැඩි වැඩියෙන් පරිභෝජනයට මඟ පෑදිය හැකි අතර මෙය ස්ථූලතාවට හේතු වන්නට පුළුවන.—26වන පිටුවේ දැක්වෙන “දවාලේ කෙටි නින්දක්” නමැති කොටුව බලන්න.

නිරෝගී සෞඛ්‍යයකට අත්‍යවශ්‍යයි

ඒ විතරක් නොවෙයි, සෛල වියපත් වීම කෙරෙහි යම් බලපෑමක් කරන සහ පිළිකාවලට පවා තුඩු දෙන බව කියැවෙන යම් අණු වර්ගයක් (free radicals) තුළ සිදු වන පරිවෘත්තීය ක්‍රියාවලිය නින්ද මගින් පහසු කරවයි. චිකාගෝ විශ්වවිද්‍යාලයේ මෑතකදී කළ අධ්‍යයනයකදී යහපත් සෞඛ්‍යයකින් යුත් තරුණයන් 11දෙනෙකුට දවස් හයක් පුරාම නිදාගන්න දුන්නේ දවසකට පැය හතරක් පමණයි. දවස් හය අවසන් වූ පසු ඔවුන්ගේ ශරීරවල සෛල ක්‍රියාත්මක වෙමින් තිබුණේ වයස අවුරුදු 60ක කෙනෙකුගේ මෙනි. තවද ඔවුන්ගේ ශරීරයේ ඉන්සියුලින් මට්ටම දියවැඩියා රෝගීන්ගේ හා සමාන විය! සුදුසු තරමින් නින්ද නොලැබීමෙන් සුදු රුධිරාණු සහ කෝර්ටිසෝල් හෝමෝනය නිෂ්පාදනයට පවා බාධා ඇති වන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ආසාදනවලටත් රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝගවලටත් ගොදුරු වීමේ ප්‍රවණතාවද වැඩි වේ.

නිරෝගී කායික හා මානසික සෞඛ්‍යයකට නින්ද අත්‍යවශ්‍ය වන බවට කිසිම සැකයක් නැත. අමෙරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆඩ් විශ්වවිද්‍යාලයේ නින්ද පිළිබඳව පර්යේෂණ පැවැත්වූ මුල්ම ආයතනය පිහිටෙවූ පර්යේෂක විලියම් ඩමෙන්ට්ගේ අදහසට අනුව “අප කොතරම් කාලයක් ජීවත් වෙයිද යන කාරණය පිළිබඳව ප්‍රධාන වශයෙන් ඉඟියක් සපයන්නේ නින්ද බව පෙනෙන්ට තිබේ.” බ්‍රසීලයේ සවෝ පවුලෝහි නින්ද ගැන අධ්‍යයනය කරන ආයතනයක සේවය කරන පර්යේෂක ඩෙබෝරා සූෂෙකී මෙසේ අදහස් දැක්වීය. “ප්‍රමාණවත් නින්දක් නොලැබූ ශරීරයක් තුළ සිදු වන්නේ කුමක්ද කියා මිනිසුන් හරි හැටි දැනගෙන සිටියා නම්, නින්ද කාලය කා දැමීමක් හෝ කම්මැලි අයට සීමා වූ දෙයක් බව නිගමනය නොකරාවී.”—ඉහත දැක්වෙන කොටුව බලන්න.

එහෙත් සෑම ආකාරයේ නින්දක්ම ප්‍රබෝධය ගෙන දෙනවාද? රාත්‍රිය පුරාම නිදාගෙන අවදි වූ පසුත් කිසි ප්‍රාණවත්බවක් නැති බව ඇතමෙකුට දැනෙන්නේ ඇයි? ඊළඟ ලිපියේදී නිදාගැනීමේ ප්‍රධාන අක්‍රමිකතා කිහිපයක් හඳුන්වා දී සුවබර නින්දක් ලබාගත හැකි අන්දමද පැහැදිලි කර දෙයි.

[26වන පිටුවේ කොටුව⁄පින්තූරය]

නින්ද අහිමි වීමේ බලපෑම්

කෙටි-කාලීන බලපෑම්:

නිදිබර ගතිය

◼ චිත්ත ස්වභාවයේ ක්ෂණික වෙනස් වීම්

◼ කෙටි-කාලීන මතකය දුර්වල වීම

◼ යම් ක්‍රියාකාරකම් ගැන සිතා බලා ඒවා සැලසුම් කිරීමටත් ඒවායේ යෙදීමටත් නොහැකි වීම

◼ අවධානය රඳවා තබාගැනීමට නොහැකි වීම

දිගු-කාලීන බලපෑම්:

ස්ථූලතාව

◼ අකාලෙට වයසට යෑම

◼ විඩාව

◼ ආසාදන, දියවැඩියාව, හෘදය හා රුධිර වාහිනි ආශ්‍රිත රෝග සහ ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිත රෝග වැළඳීමේ අවදානම වැඩිවීම

◼ දිගු-කාලීනව මතක ශක්තිය දුර්වල වීම

[26වන පිටුවේ කොටුව⁄පින්තූරය]

දවාලේ කෙටි නින්දක්

යම් කිසි දවසකදී දිවා ආහාරයෙන් පසු ඔබට තදබල නිදිමතක් දැනී තිබෙනවාද? මෙය අනිවාර්යයෙන්ම ඔබ ප්‍රමාණවත් ලෙස නින්ද නොලැබූ බවට ලක්ෂණයක් නොවේ. දේහ උෂ්ණත්වය ස්වභාවිකව පහත බසින නිසා දවාලේ නිදිබර ගතියක් දැනීම සාමාන්‍ය දෙයකි. ඊට අමතරව, හයිපොක්‍රීටින් නැතහොත් ඔරෙක්සින් ලෙස හඳුන්වන මොළයේ නිපදවෙන ප්‍රෝටීනයක් අවදිව සිටීමට අපට උපකාරවත් වන බව විද්‍යාඥයන් මෑතකදී සොයාගෙන ඇත. හයිපොක්‍රීටින් සහ ආහාර අතර ඇති සම්බන්ධය කුමක්ද?

ආහාර ගත් පසු අපේ ශරීරය තුළ බඩ පිරී ඇති බව අඟවන ද්‍රව්‍යයක් වන ලෙප්ටින් නිපදවයි. එහෙත් ලෙප්ටින් හයිපොක්‍රීටින් නිෂ්පාදනයට බාධා ඇති කරයි. වෙනත් ආකාරයකින් පවසනවා නම් මොළයේ ලෙප්ටින් ප්‍රමාණය වැඩි වෙත්ම හයිපොක්‍රීටින් ප්‍රමාණය අඩු වන අතර නිදිබර ගතිය එන්න එන්නම වැඩි වේ. ඇතැම් රටවල ජනයා වැඩ කරන දවස්වලදී දිවා ආහාරයෙන් පසු විවේකයක් අරගෙන කෙටි වේලාවක් නිදාගන්නේ සමහරවිට ඒ නිසා වන්නට පුළුවන.

[25වන පිටුවේ ප්‍රස්තාරය]

(මුද්‍රිත පිටපත බලන්න)

නින්දේ විවිධ අදියර

සරල කරන ලද ප්‍රස්තාරයක්

නින්දේ විවිධ අදියර

අවදිව සිටීම

REM

නොවන නින්ද

නොගැඹුරු නින්ද 1

2

3

ගැඹුරු නින්ද 4

1 2 3 4 5 6 7 8

නිදන පැය ගණන

[24, 25වන පිටුවේ පින්තූරය]

නිරෝගී කායික හා මානසික සෞඛ්‍යයකට ප්‍රමාණවත් නින්ද අත්‍යවශ්‍යයි

[25වන පිටුවේ පින්තූරය]

නින්දේදී වර්ධක හෝමෝන නිෂ්පාදනය ඉහළම මට්ටමක පවතී