Skip to content

පටුනට යන්න

මත්ද්‍රව්‍ය නොමැති ලොවක් ළඟදීම

මත්ද්‍රව්‍ය නොමැති ලොවක් ළඟදීම

මත්ද්‍රව්‍ය නොමැති ලොවක් ළඟදීම

මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර ලොවක් ගැන ඔබට සිතාගන්න පුළුවන්ද?

එවන් ලොවක් ඇති කිරීම සඳහා එකට එක් වී ක්‍රියා කරමු කියා එක්සත් ජාතීන්ගේ මහා ලේකම් කෝෆි අන්නන් සියලුම ජාතීන්ට ඇරයුම් කළේය. ඔහු මෙසේ පැවසුවේය. “අපේ දරුවන්ගෙන් බොහෝදෙනෙකුව ගිලගෙන තිබෙන මෙම කුරිරු උවදුරට, මෙම නපුරු දෙයට එරෙහිව සටන් කිරීමට අප නව ක්‍රම නිර්භීතව ගත යුතුයි.”

ලොව පුරා සිදු කෙරෙන නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය හා බෙදාහැරීම අඩු කිරීමට නායකයන් එකඟ විය හැකි වුවත්, එසේ කිරීම අසීරු අභියෝගයකි. එක්සත් ජාතීන්ගේ මහා සභා රැස්වීමේ විශේෂ සැසිවාරයක සභාපති ලෙස කටයුතු කළ යුක්‍රේනයේ හෙනාඩි යූඩොවෙංකෝ මෙසේ සඳහන් කළේය. “වසරකට ඩොලර් බිලියන 400කට වඩා වැඩි මුදලක් ගනු දෙනු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම වැඩිම ලාභ ලබන රහසිගතව සිදු කරන ව්‍යාපාරයකි. . . . ලෝක මූල්‍ය වෙළඳපොළ දූෂ්‍ය කරමින් එය අස්ථාවර කිරීමේ හැකියාව ඊට තිබේ.” ඔහු තවදුරටත් මෙසේද සඳහන් කළේය. “මත්ද්‍රව්‍ය ගැටලුව ලොව පුරා දක්නට තිබෙන දෙයකි. කිසිම ජාතියක් මෙම තර්ජනයෙන් නිදහස් කියා සිතිය නොහැක.”

අනතුරුදායක මත්ද්‍රව්‍යවලින් තොර ලොවක් ගැන සිතීම දුෂ්කරයි. මත් උවදුර තුරන් කර දැමීමට මිනිස් ආණ්ඩු අසමත් වී තිබෙන බව සනාථ වී ඇත. කෙසේවෙතත්, සෑම ආකාරයකම චිත්තවේගීය, ශාරීරික හා ආත්මික අවශ්‍යතාවන් සපුරාලනු ලබන පාරාදීසයක් මේ පොළොවේ ඇති කරන බවට සර්වබලධාරී දෙවි කර තිබෙන පොරොන්දුව ඉටු වන බව නම් නිසැකයි. එය ඉටු කිරීමෙන් ඔහුව වළක්වන්න සමත් කිසිවෙක් හෝ කිසිවක් නැත. (ගීතාවලිය 145:16; ලූක් 23:43; 2 පේතෘස් 3:13) අනාගතවක්තෘ යෙසායා සඳහන් කළ පරිදි දෙවි පැවසූ වචනයක් ‘ඔහු වෙතට හිස්ව හැරී නෑවිත්, ඔහු කැමති දෙය සිදු කොට, ඔහු නියම කළ කාරණය සඵල කරනවා ඇත.’—යෙසායා 55:11.

එම පොරොන්දු කෙරෙහි බලාපොරොත්තු තැබීමෙන් දැන් පවා අපව විස්මයට පත් කළ හැකි ප්‍රයෝජන භුක්ති විඳිය හැකියි. උදාහරණයක් හැටියට මත්ද්‍රව්‍ය පාවිච්චි කළ එඩ්මූන්ඩූගේ අද්දැකීම සලකා බලන්න. ධර්මිෂ්ඨ නව ලොවක් පිළිබඳව බයිබලයේ සඳහන් පොරොන්දුව ඔහු ආදරයෙන් වැලඳගැනීම නිසා තමාගේ ජීවිතය ගැන දෙවරක් සිතා බලන්න ඔහු තුළ පෙලඹීමක් ඇති විය. ඔහු දැන් මෙසේ පවසයි. “මගේ කාලය කා දමමින් මම කළේ මොන තරම් මෝඩ වැඩක්ද!” දෙවිගේ අනුමැතිය ලබාගැනීමට තිබෙන ආශාව නිසා දැන් ඔහු මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් දුරුව සිටින්න පෙලඹී සිටියි. ඔව්, දෙවි ගැනත් ඔහුගේ පොරොන්දු ගැනත් තිබෙන දැනුම, “සැබෑ ධර්මිෂ්ඨකමින්ද පක්ෂපාතකමින්ද දෙවිගේ කැමැත්තට අනුව මවන ලද අලුත් පෞද්ගලිකත්වය [පැළඳගැනීමට]” අප තුළ පෙලඹීමක් ඇති කළ හැකියි.—එපීස 4:24, NW.

කලක් මත්ද්‍රව්‍ය පාවිච්චි කළ දහස් ගණනක් දෙනා දැන් තමන්ගේ මැවුම්කරු සමඟ සමීප සබඳතාවක් ප්‍රීතියෙන් භුක්ති විඳිති. ඔවුන් ගැන සලකා බලද්දී ගීතිකාකරු පැවසූ මෙම වදන්වල විශේෂ අර්ථයක් තිබේ. “යෙහෝවා, මාගේ යෞවන වයසේ පව්වත් මාගේ අපරාධවත් සිහි නොකළ මැනව. යෙහෝවා, ඔබගේ යහපත්කම නිසා ඔබගේ කරුණාව පරිද්දෙන් මා සිහි කළ මැනව. යෙහෝවා යහපත්ය, අවංකය. එහෙයින් ඔහු පව්කාරයන්ට මාර්ගය උගන්වන්නේය.” (ගීතාවලිය 25:7, 8) හිතුවක්කාර දරුවන්ට පවා වෙනස් විය හැකි බව දැනගන්න ලැබීම එවන් දරුවන් සිටින දෙමාපියන්ට මොන තරම් සැනසිල්ලක්ද! අත්නෑර දිගටම වෑයම් කිරීමෙන් තම දරුවන්ට මත් උවදුරෙන් මිදී, දෙවිගේ නව ලොවේදී යථාර්ථයක් බවට පත් වන ‘සැබෑ ජීවිතය අල්ලාගැනීම’ සඳහා උපකාර කරන්න දෙමාපියන්ට පුළුවනි.—1 තිමෝති 6:19.

[10වන පිටුවේ පින්තූර]

දෙවිගේ නව ලොවේ ජීවත් වීමේ අපේක්ෂාව, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන බොහෝදෙනෙකුට ඔවුන්ගේ ජීවිත වෙනස් කරගැනීම සඳහා පෙලඹීමක් ඇති කර තිබේ