Skip to content

පටුනට යන්න

මිහිමඬලේ වැඩියෙන්ම භාවිතයට ගැනෙන ගෙඩි වර්ගයක්

මිහිමඬලේ වැඩියෙන්ම භාවිතයට ගැනෙන ගෙඩි වර්ගයක්

මිහිමඬලේ වැඩියෙන්ම භාවිතයට ගැනෙන ගෙඩි වර්ගයක්

මිහිමඬල පුරා සැරිසරා ඇති අද්විතීය ගෙඩි වර්ගයක් තිබේ. එය කෑමද බීමද සපයයි. එම ගෙඩි දරන ගස නිවර්තන දිවයින්වලට විශිෂ්ටත්වයක් ගෙන දෙන්නකි. අප කතා කරමින් සිටින්නේ කුමන ගෙඩිය ගැනද? පොල් ගෙඩිය ගැනයි. එය මිහිමඬලේ වැඩියෙන්ම භාවිතයට ගැනෙන ගෙඩියකි.

නිවර්තන දේශගුණික කලාපයෙන් පිටත සිටින ජනයාගේ නෙත් පොල් ගස් වෙත දිවෙන විට ඔවුන්ගේ මනසට නැඟෙන්නේ නිවර්තන දේශගුණික කලාපයක නිවාඩුවක් ගත කිරීම පමණයි. එහෙත් නිවර්තන දේශගුණික කලාපවල වෙසෙන්නන්ට මේ ගස කප් රුකකි. “වසරකට බොහෝ දවස් තිබෙන්නාක් මෙන් එහි ගෙඩිවලින් ලැබෙන ප්‍රයෝජනද බොහෝය” කියා ඉන්දුනීසියානුවෝ පවසති. පිලිපීනයේ මෙවැනි කියමනක් ඇත. “පොල් ගසක් සිටුවන්නා භාජන, ඇඳුම් පැළඳුම්, ආහාර පාන මෙන්ම හිසට සෙවනක්ද, දරුවන්ට උරුමයක්ද සිටුවයි.”

මෙම කියමන අතිශයෝක්තියක් නොවේ. පොල්—ජීවන වෘක්ෂය (සිංහලෙන් නොමැත) නමැති පොතට අනුව, පොල් ගස “ඉවුම් පිහුම් සඳහා තෙල්ද, කෑම බීමද පමණක් නොව වහළ සෙවිල්ලීමට කොළද, ලණු හා පැදුරු සඳහා කොහුද, භාජන හා විසිතුරු භාණ්ඩ වශයෙන් භාවිත කළ හැකි කටුද, සීනි හා මත්පැන් සෑදීමට ගන්නා පුෂ්ප මංජරියේ ඇති පැණි රස යුෂද සපයයි.” එම පොතෙහි මෙසේද සඳහන් වේ. “ලීය පවා නියම අතට කැපූ විට භාවිතයට ගත හැකියි.” ඇත්ත වශයෙන්ම, ඉන්දියන් සාගරයේ මාලදිවයින්වල වෙසෙන්නන් විසින් පොල් ගසේ කොටස්වලින් බෝට්ටු තනනු ලැබූ අතර ඔවුහු ඒවායින් අරාබියට හා පිලිපීනයට යාත්‍රා කළෝය. එහෙත් පොල් වවන්නන්ට වඩා වැඩියෙන් මුහුදේ සැරිසරා ඇත්තේ පොල් ගෙඩියයි.

මුහුදේ සැරිසරන බීජයක්

ප්‍රමාණවත් වර්ෂාපතනයක් තිබේ නම්, නිවර්තන මුහුදු තීරයන්හි පොල් සරුවට වැඩේ. ඇතැම් ප්‍රදේශවල මිනිසුන් මෙම බහු ප්‍රයෝජන පොල් සිටුවිය හැකි නමුත් මිහි මත ඈත හුදකලා ප්‍රදේශවලට පවා එය මිනිසාගේ උපකාරයක් නොමැතිව සැරිසරා ඇත. නොයෙකුත් ආකාරවලින් බීජ ව්‍යාප්ත වන අතර, පොල් ගෙඩිය ව්‍යාප්ත වන්නේ මුහුදු ජලය ප්‍රයෝජනයට ගනිමිනි. මේ හේතුවෙන් ජගත් සංචාරකයෙකු ලෙස සාර්ථකත්වයක් ලැබීමට එයට හැකි වී තිබේ.

පොල් ගෙඩියක් පැහුණු විට එය බිමට වැටේ. සමහර අවස්ථාවලදී, මෙම පැහුණු ගෙඩිය වෙරළ දිගේ ජලයට පෙරළී යයි. එවිට වඩදිය මගින් පොල් ගෙඩිය මුහුදට ගසාගෙන යයි. එහි කෙඳි සහිත ලෙල්ලේ සෑහෙන්න වාතය පිරී ඇති නිසා එය ජලයේ පහසුවෙන් පාවෙයි. පොල් ගෙඩිය තිබෙන්නේ පැසිෆික් අටොලක (කොරල් පරයකින් වට වූ කළපුවක) නම්, එයට පාවී යා හැක්කේ කලපුවේ අනෙක් පැත්තට පමණි. එහෙත් එය දියඹට ඇදී ගියොත් බොහෝ ඈතකට සැරිසැරීමට එයට හැකියි.

ලුණු වතුර නිසා වෙනත් බීජ බොහෝමයක් විනාශ වී යතත්, ඝන පොල් ලෙල්ල පසාරු කරගෙන යෑමට එයට දිගු කාලයක් ගත වේ. මාස තුනක් වැනි කාලයක් තිස්සේ වුවද පහසුවෙන් මුහුදු වතුරට ඔරොත්තු දෙන්න පොල් ගෙඩියට හැකියි. සමහරවිට එය කිලෝමීටර් ගණනාවක් ඈතට පාවී ගියත් සුදුසු වෙරළකට ගොඩ ගැසූ විට සාර්ථකව රෝපණය වේ. ලොව වටා නිවර්තන මුහුදු තීරයන් බොහෝමයකට පොල් පැතිරුණේ මෙයාකාරයෙන් විය හැක.

නිවර්තන ප්‍රදේශවලට ආවේණික රසය

නිවර්තන ප්‍රදේශවලින් පිටත සිටින ජනයා පොල් ගැන සිතන විට, එය විස්කෝතු වර්ග රසගන්වන්නක්යයි සිතිය හැක. කෙසේවුවද, ගිනිකොනදිග ආසියාවට ගිය විට පොල් ඇත්තෙන්ම බහු ප්‍රයෝජන පල වර්ගයක් බව ඔබ දැනගනු ඇත. පැසිෆික් ඇන්ඩ් සවුත්ඊස්ට් ඒෂියන් කුකිං නම් පොතට අනුව “හවායි සිට බැංකොක් දක්වා ඇති සියලු රටවල, පළාත්වල මෙන්ම දිවයින්වල ආහාර පිළියෙළ කිරීමේදී නැතුවම බැරි රසකාරකයකි පොල්.” මෙම පොතෙහි තවදුරටත් සඳහන් වන පරිදි, එම පළාත්වල වෙසෙන්නන්ගේ “ජීවිතයට අත්‍යවශ්‍ය දෙයකි පොල්. ඉන් පෝෂණය ලබාගන්නා ඔවුහු . . . . පොල්වලින් විවිධ රසයන් ඇති නොයෙක් කෑම ජාති සාදති.”

එසේනම්, නිවර්තන කලාපීය මුළුතැන්ගෙවල්වල ආඩම්බරයෙන් සිටීමට පොල්වලට හැකි වී තිබීමට හේතුව ඉතා සරලයි. එම හේතුව වන්නේ වතුර, කිරි සහ පිසින තෙල් සැපයීමයි. හොඳින් පැහීමට පෙර කොළ පැහැතිව තිබෙන එය මිහිරි පානයක් සහිත කුරුම්බා ගෙඩියකි. රසවත් ප්‍රබෝධය ගෙන දෙන පානයක් වන එය බොහෝවිට මාර්ගය දෙපස වෙළඳ සැල්වල විකුණනු ලැබේ. පොල් කිරි ලබාගන්නේ ගාගත් පොල්වලට වතුර දමා මිරිකාගැනීමෙනි. පොල් කිරි සුප් හා සෝස්වලට මෙන්ම පිටි මෝලිවලට රසය හා සාරය මුසු කරයි.

පොල්වලින් පිසින තෙල් ලබාගැනීම සඳහා ගොවියා පැහුණු පොල් ගෙඩිය දෙකට පළා, වියළීම සඳහා අව්වට දමයි. වියළුණු පසු පොල් මදය නැතහොත් කොප්පරා කටුවෙන් වෙන් කරගෙන ඉන් තෙල් ලබාගත හැකියි. නිවර්තන පළාත්වල ප්‍රධාන පිසින තෙල පොල් තෙල් වන අතර බටහිර රටවල එය බොහෝවිට භාවිත කරන්නේ මාගරින්, අයිස් ක්‍රීම් සහ විස්කෝතු සෑදීමටය.

පොල් කැඩීම පහසු කාර්යයක් නොවේ. බොහෝවිට, පොල් කඩන්නා ගහට නැඟ පොල් කඩයි. වෙනත් අය පොල් කඩන්නේ පිහියක් සවි කළ දිග පොල්ලක් භාවිත කිරීමෙන්ය. ඉන්දුනීසියාවේ නම් එම කාර්යය කිරීමට වඳුරන්ව පුහුණු කර තිබේ. හොඳටම පැහුණු ගෙඩියක් ලබාගන්න අවශ්‍ය අයට කළ හැකි සරලම දෙය වන්නේ එයම ගහෙන් ගැලවී වැටෙන තුරු බලා සිටීමය.

එය කොහොම කැඩුවත් විවිධාකාරයෙන් එය ප්‍රයෝජනයට ගන්නා අය එය සල්ලි ඉල්ලමක් කරගෙන ඇති අතර බොහෝදෙනෙකුට එය අගනා ආහාර උල්පතක්ද වේ. එබැවින් ඔබ පින්තූරයකින් හෝ සැබෑවටම පොල් ගසක් දකින ඊළඟ වතාවේදී එය නිවර්තන මුහුදු වෙරළ ලස්සන කරන විසිතුරු ගසකට වඩා වැඩි දෙයක් බව සිහියට නඟාගන්න. මිහිමඬලේ තිබෙන ඉතා ප්‍රයෝජනවත්ම ගෙඩියක් නිපදවන ගහක් දෙසයි ඔබ මේ බලා සිටින්නේ.

[18වන පිටුවේ කොටුව⁄පින්තූර]

පොල් පිළිබඳ සිත්ගත් තතු

පොල් කකුළුවා පොල් පලදාව අගය කරන්නේ මිනිසුන් පමණක් නොවේ. දිවා කාලයේ පොළොවේ වළක වෙසෙන පොල් කකුළුවාට රාත්‍රි කාලයේදී මංගල භෝජනයකි පොල්. පොල් ගෙඩියක් පැළීමට මිනිසුන්ට මන්නයක් පාවිච්චි කිරීමට සිදු වුවත් මෙම උපායශීලී කකුළුවා සෑහෙන වෙහෙසක් දරමින් පොල් ගෙඩිය දෙකට පැළෙන තුරුම එය ගලක ගසයි. පොල් අඩංගු ආහාරයක් ඌට හොඳටම සෑහෙන බවයි පෙනෙන්න තිබෙන්නේ. ඌට හැකියි වසර 30කට වැඩි කලක් ජීවත් වීමට!

රූපලාවන්‍යවලත් පොල් පොල් තෙල් සමට සුදුසු කදිම තෙලක් නිසා තොල් සායම් කූරු සාදන්නෝ සහ හිරුට නිරාවරණය වීමේදී සම දුඹුරු පැහැගන්වන බෙහෙත් දියර සාදන්නෝ එයින් ප්‍රයෝජන ගනිති. එමෙන්ම ඔබ බෙහෙවින් පෙන නඟින ශාක සාර සබන් හෝ ෂැම්පෝ භාවිත කරනවා නම් එහි බොහෝදුරට පොල් තෙල් අඩංගු විය හැක.

[පින්තූර]

මුහුදු තරණයන්වලදී නොනැසී පවතින්න පොල්වලට හැකියි

පොල් කකුළුවා

පොල් පැළය

[හිමිකම් විස්තර]

Godo-Foto

[17වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Top right inset: Godo-Foto