Skip to content

පටුනට යන්න

යෞවනයෝ සහ මත්ද්‍රව්‍ය

යෞවනයෝ සහ මත්ද්‍රව්‍ය

යෞවනයෝ සහ මත්ද්‍රව්‍ය

“ඔවුන්ගේ මරණය වළක්වාගත නොහැකි වූවාද?”

මෙම ප්‍රශ්නය අසා තිබුණේ බ්‍රසීලයේ පළ වන වේජා නමැති සඟරාවේ කවරයෙහිය. එම වදන් සමඟ ප්‍රසන්න පෙනුමක් තිබෙන යෞවනයන් කිහිපදෙනෙකුගේ ඡායාරූපද දක්නට තිබිණ. ඔවුහු සියලුදෙනාම මත්ද්‍රව්‍ය භාවිතයට ගොදුරු වූ අය වූහ.

අහිතකරයි කියා දැන සිටියද ජනයා දිගටම මත්ද්‍රව්‍ය භාවිත කරයි. එසේ භාවිත කිරීම නිසා ජීවිත විනාශ වීමද අඛණ්ඩව සිදු වේ. මත්ද්‍රව්‍ය භාවිතය නිසා සෞඛ්‍ය වියදම්, රැකියාවල පලදායීතාව අඩුවීම, වැටුප් අහිමි වීම හා අපරාධ හේතුවෙන් අමෙරිකා එක්සත් ජනපදයේ වාර්ෂිකව ඩොලර් බිලියන 100ක පාඩුවක් සිදු වන බවට ගණන් බලා තිබේ. එනමුත් ඇතැම්විට වැඩියෙන්ම පාඩු විඳින්නේ දරුවන්ය. බ්‍රසීලයේ ජූර්නාල් ඩා ටාර්ඩෙහි පළ වූ එක් අධ්‍යයන වාර්තාවකට අනුව වයස අවුරුදු 10ත් 17ත් අතර සිටින නහඹරයන්ගෙන් සියයට 24.7ක් මේ වන විටත් මොනයම් හෝ මත්ද්‍රව්‍යයක් අත්හදා බලා තිබේ.

අමෙරිකා එක්සත් ජනපදයේ මත්ද්‍රව්‍ය භාවිත කරන නහඹරයන්ගේ ගණන පසුගිය වසර කිහිපය තුළ යම් ප්‍රමාණයකින් අඩු වුවද එහි වෙසෙන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින යෞවන දරුවන්ගේ ගණන පුදුමදනවනසුලුයි. එහි උසස් පෙළ පන්තිවල සිටින සිසුන් ගැන සිතා බලන්න. එක් අධ්‍යයනයකට අනුව පසුගිය අවුරුද්දේදී සියයට 37ක් අඩුම තරමින් මරිජුවානාවත් අත්හදා බලා තිබේ. පස්දෙනෙකුගෙන් එක් අයෙක් පසුගිය මාසයේදී ඒවා භාවිත කර තිබිණ. එමෙන්ම දහදෙනෙකුගෙන් ආසන්න වශයෙන් එක් අයෙක් පසුගිය අවුරුද්දේදී එක්ස්ටසි නම් මත්ද්‍රව්‍ය අත්හදා බලා ඇත. සියයට හයකට වැඩි පිරිසක් විසින් LSD අත්හදා බලන ලදි.

ලොව නන් දෙසින් පැමිණෙන වාර්තාවලින් හෙළි වෙන දේවල් තැතිගන්වනසුලුයි. බ්‍රිතාන්‍යයේ ජාතික සංඛ්‍යා ලේඛන කාර්යාලය මෙසේ වාර්තා කරයි. “වයස අවුරුදු 11ත් 15ත් අතර සිසුන්ගෙන් සියයට 12ක් පසුගිය අවුරුද්දේදී මත්ද්‍රව්‍ය භාවිත කර ඇත. . . . වැඩියෙන්ම භාවිත කර තිබෙන මත්ද්‍රව්‍ය වන්නේ ගංජායි [මරිජුවානායි].” මෙහිදී වැඩියෙන්ම තැතිගන්වනසුලු දෙය වූයේ “තුනෙන් එකකට (සියයට 35කට) වැඩි පිරිසකට මත්ද්‍රව්‍ය එක් වර්ගයක් හෝ ඊට වැඩිගණනක් ලැබීමයි.”

යෞවනයන් “වෙරි වෙන තුරුම බීම දවසින් දවස වැඩි වන සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබෙන” බව යුරෝපීය සංගමයේ අනුග්‍රහයෙන් පිළියෙළ කරන වාර්තාවකින් අනාවරණය වේ. මෙම වාර්තාවේ මෙසේද සඳහන් වේ. “අනතුරු, ප්‍රචණ්ඩකාරී ක්‍රියා හා විසවීම් වැනි කෙටි වේලාවකින් දැකිය හැකි අහිතකර ප්‍රතිවිපාක ගණනාවක් මෙන්ම වැඩීමට සම්බන්ධ ගැටලු හා සමාජීය ගැටලුද මත්ද්‍රව්‍ය භාවිතය හා බැඳී පවතී.” ජපානයෙන් පැමිණෙන වාර්තාවකට අනුව “ජපානයේ සිටින නහඹරයන් බොහෝ අවස්ථාවලදී භාවිත කරන මත්ද්‍රව්‍ය වන්නේ කාබනික ද්‍රාවණයි. මෙය වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කිරීමට මඟ පෑදිය හැකියි.”

මේ දේවල් ගැන සලකා බලද්දී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කෝෆි අන්නන් පැවසූ මේ දෙය ගැන පුදුම විය යුතු නැත. “මත්ද්‍රව්‍ය සමාජය සුනු විසුණු කර දමයි. අපරාධ සඳහා තෝතැන්නක් නිර්මාණය කරයි. ඒඩ්ස් වැනි රෝග පතුරුවා හරියි. අපේ තරුණ තරුණියන්ගේ ජීවිත හා අපේ අනාගතය විනාශ කර දමයි.” මත්ද්‍රව්‍ය ජාවාරම සහ මත්ද්‍රව්‍ය හා බැඳි මිනීමැරුම් වැනි අපරාධවලට වගකිව යුත්තේ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ පුද්ගලයන්ය. මීට අමතරව, මත්ද්‍රව්‍ය භාවිත කිරීම නිසා බොහෝදෙනෙක් අපරාධවලට ගොදුරු වෙති. තුවාල වෙති. දුර දිග නොබලා අවදානම් සහිත ලෙස ලිංගික සබඳතා පවත්වති. ඔබේ පවුලට මෙය බලපාන්නේ නැහැ කියා ඔබ සිතනවා නම්, ඒ ගැන දෙවරක් සිතන්න! එක්සත් ජනපද ආණ්ඩුවේ එක් වාර්තාවක මෙසේ සඳහන් විය. “මත්ද්‍රව්‍ය දුප්පතුන්ට හෝ සුළුතරයකට හෝ නගර මධ්‍යයේ ජීවත් වෙන අයට පමණක් බලපාන ගැටලුවක් නොවේ. . . . රටේ විවිධ ප්‍රදේශවල ජීවත් වෙන නොයෙකුත් තරාතිරම්වලට අයත් ජනයා මත්ද්‍රව්‍ය භාවිත කරයි. මත්ද්‍රව්‍ය භාවිතය සෑම කෙනෙකුටම බලපාන ගැටලුවකි.”

එහෙත් බොහෝ අවස්ථාවලදී මත්ද්‍රව්‍ය භාවිතයේ අනතුර දෙමාපියන් තේරුම්ගන්න විට ඔවුන් ප්‍රමාද වැඩිය. බ්‍රසීලයේ තරුණියකට සිදු වූ දෙය සලකා බලන්න. “ඇය මත්පැන් පානය කළා” කියා ඇගේ අක්කා වන රෙජිනා පවසන්නීය. a “පවුලේ අය සිතුවේ එය සෙල්ලක්කාරකමට කරන හානියක් නැති දෙයක් හැටියටයි. නමුත් ඇය යාළු වී සිටි පිරිමි ළමයින් සමඟ එකතු වී මත්ද්‍රව්‍ය අත්හදා බලන්න හේතු වූයේ එදා ඇය කළ එම ක්‍රියාවයි. ඇය කළ දේවලින් කිසිම හානියක් වෙන්නේ නැහැ කියා සිතමින් මගේ දෙමාපියන් ඇයට සැලකූ නිසා පසුව ඇගේ තත්වය පාලනය කරගත නොහැකි තරමට බරපතළ වුණා. අවස්ථා කිහිපයකදීම ඇය ආ ගිය අතක් දැනගන්න ලැබුණේ නැහැ. පොලීසිය මිය ගිය ගැහැනු ළමයෙකුගේ මළ සිරුරක් සොයාගන්න සෑම අවස්ථාවකදීම තාත්තාගෙන් ඇහැව්වා සොයාගත් මළ සිරුරු මගේ නංගිගේද කියලා. නංගි කළ දේවල් නිසා මගේ පවුලේ අය මානසිකව සෑහෙන වේදනාවක් වින්දා.”

තරුණ තරුණියන් මත්ද්‍රව්‍යවලට ඇදී යෑමට හේතු වන මූලික කාරණා පහක් ජගත් සෞඛ්‍ය සංවිධානය මෙසේ ගෙනහැර දක්වයි.

(1) තමන් වැඩිහිටියන් බව පෙන්වීමටත්, තමන්ටම තීරණගැනීමට හැකි බව පෙන්වීමටත් ඔවුන්ට වුවමනාය

(2) තම ආශ්‍රිතයන් සමඟ එකට පෑහී කටයුතු කිරීමට ඔවුන්ට වුවමනාය

(3) ජීවිතය සැහැල්ලුවෙන් ගත කරන්න හා සතුටක් ලබන්න ඔවුන් කැමතිය

(4) අවදානම් සහිත දේවල් කිරීමට හා කැරලිකාර ස්වභාවයක් පෙන්වීමට ඔවුන් කැමතිය

(5) කුතුහලය සන්සිඳුවා ගැනීමට තිබෙන ආශාව.

ජීවිතය විනාශ කරන මෙම මඟෙහි යෑමට තරුණයෙකු නැඹුරු වීමට තිබෙන ඉඩ කඩ වැඩිවීමට මත්ද්‍රව්‍ය ලබාගැනීමට තිබෙන හැකියාව මෙන්ම ඔහුගේ ආශ්‍රිතයන්ද හේතු වේ. “මගේ දෙමාපියන් මත්ද්‍රව්‍ය ගැන මට කිසිම දෙයක් කියලා තිබුණේ නැහැ. පාසැලේදී ගුරුවරුන් මේ ගැටලුව ගැන කතා කළත්, ඒ ගැන එච්චර විස්තර කළේ නැහැ” කියා බ්‍රසීලයේ වෙසෙන යෞවනයෙකු වන ලූවීස් ඇන්ටෝන්යෝ පවසයි. වයස අවුරුදු 14දී ඔහු මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න පටන්ගත්තේ පාසැලේ මිතුරන්ගේ පෙරැත්තය නිසාය. පසු කාලයේදී ඔහු මත්ද්‍රව්‍ය ගැනීම නතර කරන්න උත්සාහ කරද්දී, ඔහුට මත්ද්‍රව්‍ය ලබා දුන් ඔහුගේ “යාළුවන්” කියා පැවසූ අය උල් පිහියක් බෙල්ලට තබා මේ පුරුද්ද නතර නොකරන ලෙසට තර්ජනය කළෝය.

ඔබේ දරුවන් මේ අනතුරට ගොදුරු විය හැකි බව ඔබ තේරුම්ගෙන තිබෙනවාද? මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඔබේ දරුවන්ව ආරක්ෂා කරගැනීමට මේ වන විට ඔබ කර තිබෙන්නේ මොනවාද? තමන්ගේ දරුවන්ව මත් උවදුරෙන් ආරක්ෂා කරගැනීමට දෙමාපියන්ට හැකි මාර්ග කිහිපයක් ඊළඟ ලිපියේදී සාකච්ඡා කෙරේ.

[පාදසටහන]

a සමහර නම් වෙනස් කර ඇත.

[4වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“මත්ද්‍රව්‍ය සමාජය සුනු විසුණු කර දමයි. අපරාධ සඳහා තෝතැන්නක් නිර්මාණය කරයි. ඒඩ්ස් වැනි රෝග පතුරුවා හරියි. අපේ තරුණ තරුණියන්ගේ ජීවිත හා අපේ අනාගතය විනාශ කර දමයි.”—කෝෆි අන්නන්, එ.ජා. මහා ලේකම්

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Veja, Editora Abril, May 27, 1998