Skip to content

පටුනට යන්න

ස්ථූලතාව ලෝක ව්‍යාප්ත වසංගතයක් බවට පත් වී තිබේද?

ස්ථූලතාව ලෝක ව්‍යාප්ත වසංගතයක් බවට පත් වී තිබේද?

ස්ථූලතාව ලෝක ව්‍යාප්ත වසංගතයක් බවට පත් වී තිබේද?

“සංවර්ධිත වූ ධනවත් රටවල ජීවන රටාවේ අතුරු පලයක් ලෙස ස්ථූලතාව ගණන් ගැනුණද දැන් දැන් එය දියුණු වෙමින් පවතින රටවලටද පැතිරී යන” බව බ්‍රිතාන්‍යයේ සෞඛ්‍යය පිළිබඳ එක් සඟරාවක (The Lancet) කියැවේ. පෝෂණය සම්බන්ධව කටයුතු කරන විද්වතුන් අනතුරු අඟවන්නේ ස්ථූලතාව හා සම්බන්ධ රෝග “ලෝක ව්‍යාප්ත වසංගතයක්” බවට පත් වී ඇති බවයි. ඊට දියවැඩියාව, අධිරුධිර පීඩනය, පිළිකාව හා හෘද්වාහිනී රෝගද වැනි රෝග අයත් වේ.

පසුගිය අවුරුදු අට තුළදී චීනයේ වෙසෙන පිරිමින්ගේ ස්ථූලතාව තුන් ගුණයකින්ද ගැහැනුන්ගේ ස්ථූලතාව දෙගුණයකින්ද වැඩි වී තිබේ. මේ අනුව, මෙහි සිටින අධිරුධිර පීඩනයෙන් පෙළෙන්නන්ගේ සංඛ්‍යාව එක්සත් ජනපදයේ සිටින සංඛ්‍යාවට සමානයි. දියවැඩියා රෝගය ඇති බවට අලුතින් සොයාගත් රෝගීන්ගෙන් සීයට පනහකට වඩා වැඩි සංඛ්‍යාවක් සිටින්නේ ඉන්දියාවේ හා චීනයේයි. ඊජිප්තුවේ දියවැඩියා රෝගයෙන් පෙළෙන්නන්ගේ සංඛ්‍යාව එක්සත් ජනපදයේ සිටින සංඛ්‍යාවට සමාන වන අතර එම රටේ කාන්තාවන්ගෙන් හරි අඩක්ම ස්ථූලතාවෙන් පෙළෙන්නන්ගේ කොටසට අයත්ය. මෙක්සිකෝවේ සෑම ප්‍රදේශයකම වෙසෙන සියලුම සමාජ මට්ටම්වලට අයත් ජනයා අතර ස්ථූලතාවෙන් පෙළෙන්නන්ගේ සංඛ්‍යාව ශීඝ්‍ර වශයෙන් ඉහළ නැඟීමත් සමඟ දියවැඩියා රෝගීන්ගේ සංඛ්‍යාවද වැඩි වී තිබේ. ඉතා දුප්පත් රටවල් වන අප්‍රිකාවේ සහරා කාන්තාරයට දකුණින් පිහිටි රටවල පවා ස්ථූලතාවෙන් හා දියවැඩියාවෙන් පෙළෙන්නන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතී.

සමහර රටවල මේද බහුල කඩිනම් ආහාර ගැනීම නිසා ස්ථූලතාව ඇති විය හැකි වුවත් ප්‍රධාන වශයෙන් මෙයට බලපාන සාධකයක් නම් ආහාර නිෂ්පාදනය කරන්නෝ “කෑම වඩාත් රසවත් කිරීම” සඳහා ඒවාට වැඩියෙන් සීනි දැමීමයි. ඊට අමතරව ආසියාතිකයන් හා අප්‍රිකානුවන් වැඩිපුර තෙල් කෑමට ගැනීම නිසා අමතර කැලරි ප්‍රමාණයක්ද එයින් ලැබේ. දියුණු තාක්ෂණය යොදාගැනීම නිසා ආහාර නිපදවන කර්මාන්තයට හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයට මිනිස් ශ්‍රමය අවශ්‍ය වන්නේ ස්වල්ප වශයෙනි. මිනිසුන්ට අවශ්‍ය වී තිබෙන්නේ අඩුවෙන් වැඩ කර වැඩියෙන් විවේක ගන්නයි. දැන් පරිගණක හා රූපවාහිනි සෑම තැනකම ප්‍රචලිත වී ඇති නිසා වැඩ කරන අයට ව්‍යායාම ලැබෙන්නේ අල්ප වශයෙනි. තවද “ඊ-මේල් භාවිතයට පැමිණීමත් සමඟම පණිවිඩ එහා මෙහා රැගෙන යෑම නතර වී තිබෙනවා පමණක් නොව සෙසු සේවකයන්ව මුණගැසී ඔවුන් සමඟ සමඟ කතා කිරීමට අසුනෙන් නැඟිට ඔවුන් ළඟට යෑමත් නතර වී ඇත.”

විශේෂයෙන්ම විනෝදාංශවල හා ශාරීරික ක්‍රියාකාරකම්වල අඩුවෙන් නියැලෙන ප්‍රදේශවල වෙසෙන දරුවන් අතරද ස්ථූලතාව ශීඝ්‍රයෙන් වැඩි වන බව දක්නට තිබෙන නිසා අධ්‍යාපනික කටයුතුවල යෙදීම හා පෝෂණය අතර ඇති සම්බන්ධතාව ගුරුවරුන් විසින් අවබෝධ කරගැනීමේ හදිසි අවශ්‍යතාවක් තිබේ. කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය පිළිබඳ පාසැලේ ගේල් හැරිසන් අවවාද කරන්නේ දේශීය මට්ටමෙන් ස්ථූලතාව වැළැක්වීම සඳහා යම් සැලසුම් යොදනවාට අමතරව වසංගතයක් සේ පැතිර යන ස්ථූලතාව හා සම්බන්ධ රෝග සමඟ කටයුතු කිරීමට නම් “ලෝක ව්‍යාප්ත පරිමාණයකින් එය වැළැක්වීම සඳහා යම් පොදු වැඩසටහනක් දියත් කිරීම අත්‍යවශ්‍ය බවයි. මීට ප්‍රතිපත්තිමය ක්‍රියාදාමයක් මෙන්ම විශේෂඥ ඥානයද පොදු කාර්ය සංවිධානයේ සහභාගිත්වයද” අවශ්‍ය වන බව ඇය පෙන්නුම් කරයි.