Skip to content

පටුනට යන්න

ඇයි මාව දරුකමට හදාගන්න දුන්නේ?

ඇයි මාව දරුකමට හදාගන්න දුන්නේ?

යෞවන අය අසති . . .

ඇයි මාව දරුකමට හදාගන්න දුන්නේ?

“ඒක හරියට නිදන්ගත ආබාධයකින් පෙළෙනවා හා සමාන දෙයක්. එහෙමත් නැත්නම් හදවතේ තියෙන සුව කළ නොහැකි රෝගයක් වගේ.”—රොබට්.

මෙලොව එළිය දුටු මොහොතේදීම දරුකමට හදාගැනීමට දී තිබුණාවූ පුද්ගලයෙකු ඔහුගේ ජීවිතය පිළිබඳව විස්තර කළේ එලෙසයි. “අපි වගේ අයගේ ජීවිත කාලය පුරාවටම හිතේ තිබෙන එකම ආශාව වන්නේ මගේ නියම පවුලේ අය කවුද? ඔවුන් ජීවත් වන්නේ කොහේද? ඔවුන් මාව අත්හැරියේ ඇයි? කියන ප්‍රශ්නවලට උත්තර ලබාගැනීමයි” කියා ඔහු තවදුරටත් පැවසුවා.

චැන්ටියෙල් නමැති යෞවනියගේ පියාවත් දරුකමට හදාගනයි තිබුණේ. ඇගේ ඇත්ත ආච්චියි සීයායි කවුද කියා නොදන්න එක ඇයට දුකක් බවයි ඇය කියා සිටින්නේ. “මගේ මාමලා නැන්දලා සහ ඥාති සහෝදර සහෝදරියන්ගේ ආශ්‍රය මගෙන් උදුරගෙන කියලා මට හැඟෙනවා” කියා ඇය පවසනවා. දරුකමට හැදී වැඩුණ හැම දරුවෙකුටම මෙසේ හැඟෙන්නේ නැහැ. ඒත් සමහරෙකුට එසේ හැඟෙනවා. ඒ ඇයි කියා අපි දැන් බලමු.

කෝපවීමට හේතුව

මාපියන්ගෙන් ඔවුන්ව වෙන් කරලා කියා දැනගැනීම දරුවෙකුගේ මනස වියවුල් කරන වේදනාකාරී අද්දැකීමක් විය හැකියි. පුංචි සන්දියේම දරුකමට හදාගැනීමට දී තිබුණ කැට්රීනා මෙවැන්නක් කියා සිටිනවා. “මාව මේ ලෝකෙට බිහි කළ අම්මා වෙන කෙනෙකුට මාව හදාගන්න දුන්නේ ඇයි කියන එක මට තේරුම්ගන්න බැරි වුණ නිසා මගේ හිතේ ලොකු කේන්තියක් තිබුණා. මට හිතුණේ මගේ අම්මා මාව අත්හැරියේ මම කැත නිසා එහෙම නැත්නම් මාව දැක්කහම ආදරේ කරන්න හිතෙන්නේ නැති නිසා වෙන්න ඇති කියලායි. ඇය මට අවස්ථාවක් දුන්නා නම් ඇයට මං ගැන ආඩම්බර වෙන්න හේතු මම පෙන්වනවා. මගේ අම්මා ගැන හිතෙන හැම මොහොතකම මගේ කේන්තිය වැඩි වෙනවා.”

කැට්රීනාව හදා වඩා ගත් දෙමාපියන් සමඟ ඇයට තිබූ සබඳතාවටද විශාල හානියක් එල්ල වුණා. “මට හිතුණා මාව හදාගත්තු දෙමාපියන් මගේ ඇත්ත අම්මාගෙන් මාව උදුරගත්තා කියලා. ඉතිං මගේ කේන්තිය එයාලා පිටින් යැව්වා” කියා ඇය පවසනවා. මෙයින් පෙනී යන්නේ යම් අවස්ථාවල තමාව දරුකමට හදාගන්න දුන් බව දැනගත් විට යමෙකු කෝපයෙන් ක්‍රියා කළ හැකි බවයි.

එවැනි කෝපාවිෂ්ට හැඟීම් තිබීම අනතුරුදායක වෙන්න පුළුවන්. කැට්රීනා මෙන් ඔබත් සමහරවිට වැරදි විදිහට හෝ වැරදි පුද්ගලයන්ගෙන් ඔබේ කෝපය පිරිමහගන්න පෙලඹිය හැකියි. බයිබලයේ උපදෙස් දෙන්නේ ‘තරහෙන් වැළකී උදහස අත්හරින්න’ කියායි. (ගීතාවලිය 37:8) එය කරන්නේ කොහොමද? ‘විචාර බුද්ධිය ඇති මනුෂ්‍යයා ඉක්මනට නොකිපෙයි’ කියාත් බයිබලයේ පවසා තිබෙනවා. (හිතෝපදේශ 19:11, NW) ඔබේ තත්වය දෙස විචාර බුද්ධියකින් බැලීමෙන් ඔබේ කෝපය සමනය කරගැනීමට ඔබට හැකියාවක් ලැබෙනවා. ඒ කොහොමද?

වැරදි නිගමන නිවැරදි කරගැනීම

ඔබේ කෝපය තව තවත් වැඩි කරන යම් නිගමනයන් නැවත සලකා බැලීමට විචාර බුද්ධිය උපකාරවත් වේවි. උදාහරණයකට, ඔබ හදා වඩා ගැනීමට දුන් දරුවෙකු නම් ඔබේ මාපියන් වෙන කෙනෙකුට ඔබව දුන්නේ ඔබට අකමැති වූ නිසා කියා ඔබ සිතනවාද? කැට්රීනාට හැඟුණේ එලෙසයි. නමුත් සැමවිටම හේතුව එයද? ඔබේ මාපියන් එසේ කිරීමට පෙලඹුණේ ඇයි කියා ස්ථිර වශයෙන් කියන්න අපහසුයි. නමුත් එවැනි නිෂේධාත්මක නිගමනයකට නොඑළඹීමට සාධාරණ හේතු තිබෙනවා. ඇත්තටම මාපියන් ඔවුන්ගේ දරුවන්ව වෙන කෙනෙකුට හදාගැනීමට දෙන්නේ ඇයි? බොහෝ අවස්ථාවල ඔවුන්ට වෙනත් විකල්පයක් නැහැයි කියා හැඟෙන නිසයි.

මෝසෙස්ගේ උදාහරණය සලකා බලන්න. බයිබලයේ නික්මයාම පොතේ දෙවන පරිච්ඡේදයේ මෙවන් වාර්තාවක් අපට සපයනවා. මිසරයේ පාරාවෝ ඊශ්‍රායෙලයේ සියලු පිරිමි දරුවන්ව ඝාතනය කිරීම සඳහා නියෝගයක් නිකුත් කළ විට යොඛෙබෙද් ඇගේ කුඩා පුත් මෝසෙස්ව මාස තුනක් සඟවා තබාගත්තා. අන්තිමට, ඔහුව තවදුරටත් සඟවා තබාගැනීමට ඇයට නොහැකි වුණා. ඒත් ඇගේ දරුවාව මරනවා ඇස් දෙකින්ම දකින්න බැරි නිසා “තවත් ඔහු සඟවාගන්ට නොහැකි වූ කල්හි ඈ පන් පෙට්ටියක් ගෙන ඒකේ කීල් සහ ලාටු ගා දරුවා එහි තබා [නයිල්] ගං ඉවුරේ පන්ගස් අතරේ තැබුවාය.”—නික්මයාම 2:3.

ඇගේ දරුවාව මෙලෙස දමා යෑම ඇයට ඉතාමත් අමාරු කාර්යයක් වූ බවට කිසි සැකයක් නැහැ. එලෙස කරනවා හැර වෙනත් විකල්පයක් ඇයට තිබුණේ නැහැ. පුතුට තිබූ ආදරය නිසා ඔහුට වැඩිම යහපතක් සිදු වේවියි කියා සිතූ දේ කිරීමට ඈ පෙලඹුණා. ඇගේ දුව කුඩා මල්ලිව කවුරුන් හෝ ආරක්ෂාකාරීව රැගෙන යන තුරු ඒ අසල රැකවල් කරමින් සිටීම මෙහිදී සැලකිල්ලට ගත යුතු කාරණයක්. ඇය එසේ කරන්න ඇත්තේ කනස්සල්ලෙන් සිටි ඇගේ මවගේ බලවත් ඉල්ලීම උඩ වෙන්න ඇති.

දරුවෙකුව හදාගැනීමට දෙන්නේ සැමවිටම මෙවැනි හේතුවක් නිසාම නොවෙයි කියා පිළිගත යුතුයි. නමුත් චේතනා බොහෝදුරට සමානයි. “මම ඉපදෙනකොට මගේ අම්මා අවිවාහකයි. ඇගේ පවුලේ තව සහෝදර සහෝදරියන් සිටි නිසා මාව හදා වඩා ගන්න එක ඇගේ පවුලට ලොකු බරක් වීමට ඉඩ තිබුණා. මගේ වැඩි යහපතට මාව හදාගන්න දෙන එක තමයි කරන්න තියෙන හොඳම දේ කියලා මගේ අම්මා හිතන්න ඇති.”

වෙනත් පවුල්වලට දරුවන් හදාගැනීමට දීමට හේතු බොහෝමයක් තිබෙන බව සත්‍යයක්. නමුත් මෙම උදාහරණවලින් පෙන්නුම් කරන්නේ මවක් එවන් තීරණයක් ගැනීමට හේතු වන්නේ දරුවා කෙරෙහි වෛරයක් තිබීමවත් දරුවාගේ යම් අඩු පාඩුවක් තිබීමවත් නොවන බවයි. බොහෝවිට ඊට හේතු වන්නේ වෙනත් කෙනෙකු තමාට වඩා හොඳින් දරුවාව හදා වඩා ගනීවි කියා මව අවංකව විශ්වාස කිරීමයි.

ලබන්නාවූ ආදරය අගය කිරීම

ඇයි මාව හදාගන්න දුන්නේ යන කාරණය ගැන සලකා බැලීමේදීද විචාර බුද්ධිය ඔබට උපකාරවත් වෙන්න පුළුවන්. නැවත මෝසෙස්ගේ උදාහරණය සලකා බලන්න. සුළු වේලාවක් ගත වූ පසු ‘පාරාවෝගේ දුව ඔහුව රැගෙන ගිය අතර ඇගේම පුත්‍රයා මෙන් ඔහුව ඇති දැඩි කළාය.’ (ක්‍රියා 7:21) මෙම දරුවා හෙළා දකින ලද හෙබ්‍රෙව් ජාතිකයෙක් කියා පාරාවෝගේ දුව දැන සිටියත් ඔහුව ආරක්ෂා කරන්නට ඇය පෙලඹුණේ ඇයි? ‘මෙන්න දරුවා අඬමින් සිටියේය. එවිට ඈ ඔහු කෙරෙහි අනුකම්පා කළාය’ කියා බයිබලයේ සඳහන් වෙයි. (නික්මයාම 2:6, නව අනුවාදය) ඇත්තෙන්ම මෝසෙස්ව හදාගැනීමට දුන්නේ ඔහු කෙරෙහි ඇති වූ වෛරය නිසා හෝ අකමැත්ත නිසා හෝ නෙමෙයි. ආදරය නිසයි.

අද කාලයේ බොහෝවිට දෙමාපියන් ඔවුන්ගේ දරුවන්ව අනාථ කළත් ඔවුන්ගේ දෙමව්පියන් එසේ කර නැති බවත් ඔවුන්ව හොඳින් බලා කියා ගැනීම සඳහා කිසියම් ආයතනයකට හෝ කෙනෙකුට භාර දී තිබෙන බවත් දරුකමට හදාගැනීමට දී තිබෙන බොහෝ දරුවන් තේරුම්ගෙන තිබෙනවා. ඒ වගේම, කිසියම් කෙනෙකු ඔහුගේ රැකවරණය යටතේ ඔවුන්ව හදා වඩා ගත්තේ ඔවුන්ට දැක්වූ ආදරය නිසා කියාත් ඔවුන් වටහාගෙන තිබෙනවා. ඔබේ අද්දැකීමත් මේ හා සමාන විය නොහැකිද? ඔබ ලද ආදරය ගැන කල්පනා කර බැලීමෙන් සහ එය අගය කිරීමෙන් ඔබට දැනෙන වේදනාව සමනය කරගත හැකියි.

ඔබව හදා වඩා ගත් පවුලේ අයගේ ආදරයට අමතරව වෙනත් අයගේ ආදරයද ඔබට ලබාගත හැකියි. ඔබ ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයෙක් නම් ඔබට ආදරය කරන බොහෝ ආත්මික අම්මලා, තාත්තලා සහ සහෝදර සහෝදරියන්ගේ හොඳ ඇසුර භුක්ති විඳීමට ඔබට හැකියි. (මාක් 10:29-30) ක්‍රිස්තියානි වැඩිමහල්ලෝ “සුළඟෙන් මුවා වෙන ඉඩමක් සහ කුණාටුවෙන් ආවරණයක් මෙන්ද වියළි ප්‍රදේශයක ජල ගංගා මෙන්ද විඩා වූ දේශයක මහ පර්වතයක සෙවණ මෙන්ද” විය හැකියි. (යෙසායා 32:2) මේරූ ක්‍රිස්තියානීන් කෙරෙහි විශ්වාසය තබා ඔබට හිතෙන දේ ඔවුන්ට පැවසීමට පසුබට වෙන්න එපා.

ක්‍රිස්තියානි සභාව සමඟ හොඳ බැඳීමක් ඇති කරගත යුතුයි කියා රොබට්ට හැඟෙනවා. “මට තවමත් හිස්බවක් දැනෙනවා. ඒත් මගේ ආත්මික පවුලෙන් ලැබෙන ආදරය නිසා ඒ හිස්බව යටපත් වෙනවා” කියා රොබට් පවසයි.

ඔබට සාර්ථක විය හැකියි

වැරදි නිගමනයන්ට එළඹීමෙන්ද නිෂේධාත්මක ලෙස සිතීමෙන්ද වළකින්න. මෙයට ඇතුළත් වෙනවා ඔබ දරුකමට හදාගත් ළමයෙක් නිසා ඔබට සාර්ථක විය නොහැකියි යන සිතුවිල්ලත්. එවැනි නිෂේධාත්මක සිතුවිලි නිසා ඔබ කලකිරීමට පත් විය හැකියි. (හිතෝපදේශ 24:10) එසේ සිතීම යථාර්ථවාදී නැහැ.

මෝසෙස්ට ලැබුණාවූ හැම අනගි ප්‍රස්තාවකින්ම ඔහු ප්‍රයෝජන ලැබූ බව අමතක කරන්න එපා. “ඊජිප්තුවරුන්ට තිබුණු සියලු ප්‍රඥාව මෝසෙස්ට ඉගැන්වීය. ඇත්තෙන්ම, ඔහු තම වචනවලින්ද ක්‍රියාවලින්ද බලවත් විය” කියා බයිබලයේ සඳහන් වී තිබෙනවා. (ක්‍රියා 7:22) සියල්ලටම වඩා ඔහු ආත්මික උපදෙස් ලබාගත්තා. ඒ නිසා ඔහුට සිය ස්වර්ගික පියා වන යෙහෝවා සැබෑ පුද්ගලයෙක් වුණා. (හෙබ්‍රෙව් 11:27) ඔහු ජීවිතයේ සාර්ථකත්වය අද්දුටුවාද?

පසු කාලයකදී මෝසෙස් මිලියන තුනකට වඩා ජනකායක් සිටි බලසම්පන්න ජාතියක නායකයා බවට පත් වුණා. ඒ වගේම ඔහු ප්‍රොපේතවරයෙක්, විනිශ්චයකාරයෙක්, අණ දෙන නිලධාරියෙක්, ඉතිහාසඥයෙක් මෙන්ම ව්‍යවස්ථා ගිවිසුමේ මැදහත්කරුද බයිබලයේ පළමු පොත් පහේ ලේඛකයාද වූවා. ඊට අමතරව, යෝබ් පොත සහ 90වන ගීතිකාව ලිවීම පිළිබඳ ගෞරවය හිමි වන්නෙත් ඔහුටයි. ඇත්තෙන්ම මෝසෙස් ඉතා සාර්ථක ජීවිතයක් ගත කළා. ඒ හා සමානව දරුකමට හදාගැනීමට දී තිබෙන බොහෝ දරුවන් සාර්ථක වී තිබෙනවා. ඔබටත් සාර්ථක විය හැකියි.

රොබට් සාර්ථක ලෙස දුවෙකු සහ පුතෙකු ඇති දැඩි කළ අතර මේ වෙනකොට ක්‍රිස්තියානි සභාවේ වැඩිමහල්ලෙකු ලෙසද සේවය කරමින් සිටියි. දරුකමට හදාගැනීමට දුන් දරුවෙකු ලෙස සිය පසුගිය අවුරුදු ගැන සිහි කරමින් ඔහු පවසන්නේ මෙයයි. “වෙනස් කරන්න බැරි දේවල් ගැනම හිත හිතා ඉන්නේ නැතිව දැන් තියෙන ආශීර්වාද අගය කරන්න මම ඉගෙනගෙන තියෙනවා.”

ඔබ දැන් කැපකරු මාපිය සෙවණේ හෝ දරුකමට හදාගැනීමට දුන් දරුවෙකු සේ හැදී වැඩෙනවා නම් යම් අවස්ථාවල නිෂේධාත්මක හැඟීම් ඇති විය හැකියි. ඒත් එම හැඟීම් වෙනුවට ශුභවාදී හැඟීම් ඇති කරගන්න වෑයම් කරන්න. දෙවිට ප්‍රසන්න දේවල් ‘මෙනෙහි කරනවා නම් සමාදානයේ දෙවි ඔබ සමඟ සිටින’ බව පිලිප්පි 4:8, 9හි පොරොන්දු වෙනවා. ඔබව හදා වඩා ගන්නා දෙමාපියන් සමඟ ජීවත් වීමේදී සාර්ථක වීමට ගත හැකි වෙනත් ප්‍රායෝගික පියවර මොනවාද? මතු ලිපියකින් එම ප්‍රශ්නයට පිළිතුරු ලැබෙයි.

[24වන පිටුවේ පින්තූර]

යම් කෙනෙකු ඔබව ඔහුගේ නිවසේ සාමාජිකයෙකු ලෙස හදාගැනීමෙන් ඔප්පු වන්නේ ඔහු ඔබට ආදරය සහ සැලකිල්ල දක්වන බවයි