Skip to content

පටුනට යන්න

ක්‍රිස්තියානි එක්සත්කමට හැම අතින්ම එක සමාන වීම අවශ්‍යද?

ක්‍රිස්තියානි එක්සත්කමට හැම අතින්ම එක සමාන වීම අවශ්‍යද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

ක්‍රිස්තියානි එක්සත්කමට හැම අතින්ම එක සමාන වීම අවශ්‍යද?

අද දින ආගම්වල පවතින අසමඟිය පොදු ලක්ෂණයක් වී ඇති බවයි පෙනෙන්න තිබෙන්නේ. එකම පල්ලියට යන ජනයා තුළ පවා ආගමික ඉගැන්වීම් සහ හැසිරීම පිළිබඳ එකිනෙකට පටහැනි විවිධ මතයන් තිබිය හැකියි. එක් ලේඛිකාවක් පැවසුවේ මෙලෙසය. “එකම දෙවි කෙරෙහි විශ්වාසය තබන දෙන්නෙක්ව සොයාගන්න එක ලේසි නැහැ. හැම මනුෂ්‍යයෙක්ම දෙවි පිළිබඳව තමන්ටම ආවේණික සංකල්පයන් පිහිටුවාගෙන තිබෙන බවයි පෙනෙන්න තිබෙන්නේ.”

මීට සම්පූර්ණයෙන්ම පටහැනිව, ප්‍රේරිත පාවුල් පළමුවන සියවසේදී කොරින්තියේ සිටි ක්‍රිස්තියානීන්ට අවවාද කළේ “එකඟතාවෙන් යුතුව කතා කරමින් . . . එකම මනසින් හා එකම ආකාරයට සිතීමෙන් නිසි ලෙස එක්සත් වන” ලෙසය. (1 කොරින්ති 1:10, NW) අද දින සමහරු පාවුල්ගේ අවවාදය විවේචනයට ලක් කරති. ඔවුන් තර්ක කරන්නේ, ‘හැම කෙනාම වෙනස්. ඉතින් ක්‍රිස්තියානීන් හැමෝටම එකම විදිහට හිතන්න හෝ එකම විදිහට ක්‍රියා කරන්න කියලා බල කිරීම වැරදියි’ කියාය. එහෙත් පාවුල් ඇත්තෙන්ම නිර්දේශ කරමින් සිටියේ රොබෝවරුන් මෙන් කීකරු වීමටද? බයිබලයෙහි පෞද්ගලික නිදහසට ඉඩ සලසයිද?

එක්සත්කම යනු එක සමාන වීම නොවේ

පාවුල් ලියූ වෙනත් ලිපියක ඔහු ක්‍රිස්තියානීන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේ “කල්පනා ශක්තිය” යොදාගනිමින් දෙවිට සේවය කරන්න කියාය. (රෝම 12:1, NW) එසේනම්, ඔහු උත්සාහ කරමින් සිටියේ කොරින්ති සභාවේ සාමාජිකයන්ව කල්පනා ශක්තියක් නැති රොබෝවරුන් කිරීමට නොවන බව පැහැදිලියි. එහෙත් “එකම මනසින් හා එකම ආකාරයට සිතීමෙන් නිසි ලෙස එක්සත් වන” ලෙස ඔහු ඔවුන්ට පැවසුවේ මන්ද? පාවුල් මෙම අවවාදය දුන්නේ කොරින්ති සභාවේ බරපතළ ගැටලුවක් උද්ගත වී තිබූ බැවිනි. බෙදීම් හටගෙන තිබූ නිසා සමහරුන් අපොලොස්ව තම නායකයා වශයෙන් සැලකූ අතර, වෙනත් අය පාවුල්ට හෝ පේතෘස්ට අනුග්‍රහය දැක්වූහ. තවත් සමහරුන් පිළිගත්තේ යේසුස්ව පමණයි. එම අසමඟිය සභාවේ සාමයට තර්ජනයක් වූ හෙයින් එය සුළු පටු එකක් නොවීය.

පාවුල්ට වුවමනා වූයේ, එෆීසයේ ක්‍රිස්තියානීන්ට තමා පසු කලක උපදෙස් දුන් සේම, කොරින්තිවරුන්ද ‘එක්සත් කරවන සමාදානය නමැති බැඳීම තුළ ආත්මයේ එකමුතුකම පවත්වාගන්නවා’ දැකීමටයි. (එෆීස 4:3, NW) ඔහු සහෝදරයන්ට උනන්දු කරමින් සිටියේ අසමඟියෙන් සිටින කණ්ඩායම්වලට හෝ ලබ්ධීන්ට නොබෙදී එක්සත්ව යේසුස් ක්‍රිස්තුස්ව අනුගමනය කිරීමටයි. මේ ආකාරයෙන් ඔවුන් එකම අරමුණක් ඔස්සේ සාමකාමීව එකඟතාවයකින් ගමන් කරනු ඇත. (යොහන් 17:22) එබැවින්, පාවුල් කොරින්තිවරුන්ට අවවාද කරමින් ඉල්ලා සිටියේ තමන්ගේ චින්තනය යළි සකස් කරගෙන එක්සත්කම වැඩිදියුණු කරන මෙන් මිස එක සමාන වන මෙන් නොවේ.—2 කොරින්ති 13:9, 11.

ආගමික ඉගැන්වීම් සම්බන්ධ කාරණාවලදීද එක්සත්කම වැදගත්. “එක දෙවි කෙනෙක් සහ පියෙක්” පමණක් සිටින්නාක් මෙන් ඇත්තෙන්ම “එක ඇදහිල්ලක්” පමණක් තිබෙන බව යේසුස්ගේ අඩිපාරේ යන්නෝ තේරුම්ගනිති. (එෆීස 4:1-6, NW) මෙබැවින්, දෙවි සිය වචනය තුළින් ඔහු ගැනත් ඔහුගේ අරමුණු ගැනත් හෙළි කර තිබෙන සත්‍යය සමඟ තම විශ්වාසයන් එකඟ වන බව ක්‍රිස්තියානීහු සහතික කරගනිති. දෙවි කවුද, ඔහුට අවශ්‍ය කුමක්ද යන්න සම්බන්ධයෙන් තමන් විශ්වාස කරන දේ තුළ ඔවුහු එක්සත්ව සිටිති. දෙවිගේ වචනයෙහි දී ඇති පැහැදිලි සදාචාර ප්‍රමිතිවලට එකඟවද ඔවුහු ජීවත් වෙති. (1 කොරින්ති 6:9-11) මෙයාකාරයෙන් ක්‍රිස්තියානීහු ආගමික ඉගැන්වීම් සම්බන්ධයෙන්ද සදාචාරාත්මකවද එක්සත්ව වෙසෙති.

වෙනස් මත දරන විට

කෙසේවුවද, ජීවිතයේ සෑම තත්වයකදීම සිතිය යුතු හා කළ යුතු දේ සම්බන්ධයෙන් ක්‍රිස්තියානීන්ට පවසා ඇති බවක් මින් අදහස් නොකෙරේ. බොහෝ කාරණාවලදී පෞද්ගලික තේරීම් කිරීමට තිබේ. උදාහරණයක් සලකා බලන්න. රූපවලට පූජා කළ ආහාර අනුභව කිරීම සම්බන්ධයෙන් පළමු සියවසේදී කොරින්තියේ සිටි ක්‍රිස්තියානීන් බොහෝදෙනෙකුට සැකයක් පහළ විය. එම ආහාර අනුභව කිරීම බොරු නමස්කාරයේ ක්‍රියාවකට සමාන බව ඇතැමුන් දැඩි සේ විශ්වාස කළද, තවත් සමහරෙකුට හැඟුණේ එම ආහාර ගෙන ආවේ කොහෙන්දැයි සොයා බැලීම එතරම් වැදගත් නොවන බවය. මෙවැනි සංවේදනීය ප්‍රශ්නයක් සම්බන්ධයෙන් සලකා බලද්දී, ක්‍රිස්තියානීන් කළ යුතු දේ සම්බන්ධයෙන් පාවුල් නීතියක් දැමුවේ නැත. ඒ වෙනුවට, ඔහු පිළිගත්තේ එම කාරණය සම්බන්ධයෙන් වෙනස් තීරණ ගැනීමට ජනයාට හැකි බවය. a1 කොරින්ති 8:4-13.

අද දින, රැකියාව, සෞඛ්‍යය, විනෝදය හෝ පෞද්ගලික තීරණයක් ගත යුතු වෙනත් පැත්තක් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදු වන විට, එක් ක්‍රිස්තියානියෙකු තවත් ක්‍රිස්තියානියෙකුට වඩා වෙනස් තීරණයක් ගත හැකියි. එලෙස වෙනස් තීරණ ගැනීම නිසා සමහරුන් පැකිලිය හැක. විවිධ අදහස් දැරීමෙන් සභාවේ වියවුලක් හෝ භේද ඇති වෙයිද කියා ඔවුන් කල්පනා කිරීමට ඉඩ ඇත. කෙසේවුවද, එවැන්නක් අනිවාර්යයෙන්ම සිදු වන්නේ නැත. සංගීත නිර්මාණකරුවන්ට මිහිරි සංගීතයන් අසීමිත ගණනක් බිහි කිරීමට තිබෙන්නේ සීමිත ස්වර කීපයක් පමණි. එලෙසම, ක්‍රිස්තියානීන් තම තේරීම් කරන්නේ දේවප්‍රතිපත්තිවල සීමා ඇතුළතයි. කෙසේවුවත්, ඇතැම් පෞද්ගලික තීරණ ගනිද්දී ඔවුන්ට නිදහසේ තේරීමක් කළ හැකියි.

පෞද්ගලික තේරීම්වලට ගරු කරමින් ක්‍රිස්තියානි එක්සත්කම රැකගත හැක්කේ කෙසේද? ප්‍රධාන සාධකය ප්‍රේමයයි. දෙවිට ප්‍රේම කිරීම අපව පොලඹවන්නේ ඔහුගේ ආඥාවලට කැමැත්තෙන්ම යටත් වීමටයි. (1 යොහන් 5:3) පෞද්ගලික කාරණාවලදී හෘදය සාක්ෂියට එකඟව තීරණ ගන්න අන්‍යයන්ට තිබෙන අයිතියට ගරු කිරීමට අපව පොලඹවන්නේ සෙසු ජනයා කෙරෙහි තිබෙන ප්‍රේමයයි. (රෝම 14:3, 4; ගලාති 5:13) ආගමික ඉගැන්වීමක් සම්බන්ධ කාරණයකදී පළමු සියවසේ පාලක මණ්ඩලයේ අධිකාරිත්වයට යටත් වූ අවස්ථාවේදී පාවුල් කදිම ආදර්ශයක් තැබුවේය. (මතෙව් 24:45-47; ක්‍රියා 15:1, 2) ඒත් සමඟම ඔහු සැමට දිරිගැන්නුවේ පෞද්ගලික තීරණවලට ඉඩහැර ඇති කාරණා සම්බන්ධයෙන් සෙසු ක්‍රිස්තියානීන්ගේ හෘදය සාක්ෂියට ගරු කිරීමටය.—1 කොරින්ති 10:25-33.

පැහැදිලිවම, හෘදය සාක්ෂියට එකඟව බයිබල් ප්‍රතිපත්තිවලට පටහැනි නොවන තීරණ ගන්නා කිසිවෙකුව හෙළා නොදැකිය යුතුය. (යාකොබ් 4:12) අනික් අතට, පක්ෂපාත ක්‍රිස්තියානීන් අන්‍යයන්ගේ හෘදය සාක්ෂිය පලුදු වන තරමටම හෝ සභාවේ එක්සත්කමට හානි පැමිණෙන තරමටම තම පෞද්ගලික අයිතිවාසිකම් පිළිබඳව දැඩි ලෙස ක්‍රියා නොකරනු ඇත. දෙවිගේ වචනයෙහි පැහැදිලිවම තහනම් කර තිබෙන දෙයක් කිරීමටද ඔවුන් නිදහස යොදා නොගත යුතුය. (රෝම 15:1; 2 පේතෘස් 2:1, 19) දෙවිට ඇති ප්‍රේමය දෙවිගේ චින්තනයට අනුව අපේ හෘදය සාක්ෂිය පුහුණු කිරීමට අපව පෙලඹවිය යුතුය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, අපව සෙසු ඇදහිලිවන්තයන් සමඟ එක්සත් කරවනු ඇත.—හෙබ්‍රෙව් 5:14.

[පාදසටහන]

a උදාහරණයක් වශයෙන්, ක්‍රිස්තියානීන් වීමට පෙර රූප නමස්කාරයේ යෙදුණු සමහරෙකුට එවැනි ආහාරයක් අනුභව කිරීම සහ නමස්කාරයේ ක්‍රියාවක හවුල් වීම අතර වෙනස වටහාගැනීමට නොහැකි වුණා විය හැක. එමෙන්ම වඩා දුර්වල ක්‍රිස්තියානීන් වැරදි අදහසක් ඇති කරගෙන පැකිලීමට ඉඩ කඩ තිබීමද තවත් හේතුවක් විය.