Skip to content

පටුනට යන්න

“නිහඬ මාරයෙකි” දියවැඩියාව

“නිහඬ මාරයෙකි” දියවැඩියාව

“නිහඬ මාරයෙකි” දියවැඩියාව

කෙන්ට වයස අවුරුදු 21ක්ව සිටියදී පැහැදිලි කළ නොහැකි සන්සිඳුවාගන්න බැරි පිපාසයක් දැනෙන්න පටන්ගත්තා. ඒ වගේම, නිතර නිතර මූත්‍රා පහ කිරීමටද සිදු වුණා. අවසානයේදී ඔහුට සිදු වුණා විනාඩි 20න් 20ට පමණ වැසිකිළි යෑමට. වැඩි කල් යෑමට පෙර, කෙන්ගේ අතේ පයේ බර ගතියක් දැනෙන්න පටන්ගත්තා. නිතර ඇඟට තෙහෙට්ටු ගතියක්ද පෙනීම බොඳ වී යන බවක්ද ඔහුට දැනුණා.

තත්වය නරක අතට හැරුණේ කෙන්ට වයිරස් උණක් බෝ වූ විටයි. වෛද්‍ය පරීක්ෂණයකින් පසුව හෙළි වුණේ ඔහුට උණ පමණක් නොවෙයි, පළමු වර්ගයේ මධුමේහය නැත්නම් දියවැඩියාවද (Type 1 diabetes mellitus) වැලඳී තිබුණ බවයි. එක්තරා රසායනික ක්‍රියාවලියක අක්‍රමිකතාවක් හේතුවෙන් හටගන්නා මෙම තත්වය නිසා යම් පෝෂ්‍ය පදාර්ථ ශරීරයට උරාගත නොහැකි වෙනවා. මෙහිදී ප්‍රධාන වශයෙන්ම උරාගත නොහැකි වන්නේ රුධිරයේ පවතින සීනි වර්ගයක් වන ග්ලූකෝස්. කෙන්ගේ රුධිරයේ සීනි ප්‍රමාණය සාමාන්‍ය මට්ටමකට බැස්සේ සති හයක්ම රෝහල්ගත වී සිටීමෙන් අනතුරුවයි.

එය අවුරුදු 50කට පෙර සිදු වූ සිද්ධියක්. ගෙවී ගිය එම කාලය තුළදී ප්‍රතිකාර ක්‍රම සෑහෙන දුරට දියුණු වී තිබෙනවා. එහෙත් කෙන් තවමත් දියවැඩියාවෙන් පීඩා විඳින අතර එම තත්වයට මුහුණ දෙන්නේ ඔහු පමණක්ම නොවෙයි. ලෝ වටා මිලියන 140කට අධික පිරිසකට මෙම රෝගය වැලඳී ඇති බව ගණනය කර තිබෙන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි එම සංඛ්‍යාව වර්ෂ 2025 වන විට දෙගුණයකින් වැඩි විය හැකියි. දියවැඩියා රෝගයේ ව්‍යාප්තිය විශේෂඥයන්ගේ සැලකිල්ලට භාජන වී තිබීම පුදුමයට කාරණයක් නම් නොවෙයි. එක්සත් ජනපදයේ දියවැඩියා රෝගීන්ට ප්‍රතිකාර කරන එක්තරා සායනයක සහකාර අධ්‍යක්ෂකවරිය වන වෛද්‍ය රොබින් එස්. ගෝලන්ඩ් අදහස් දක්වන්නේ මේ ආකාරයටයි. “අපිට හමු වන දියවැඩියා රෝගීන්ගේ සංඛ්‍යාව ගැන හිතලා බලද්දී මේක වසංගතයක ආරම්භයක් ලෙස සලකන්නත් පුළුවන්.”

දැන් නන්දෙසින් පැමිණෙන මෙම කෙටි වාර්තාව වෙතට අවධානය යොමු කරමු:

ඉන්දියාව: අඩුම තරමින් මිලියන 30කට දියවැඩියාව වැලඳී තිබෙනවා. “අවුරුදු 15කට පමණ ඉහතදී වයස අවුරුදු 40න් පහළ රෝගීන් සිටියේ අතළොස්සයි. ඒත් අද රෝගීන් දෙදෙනෙකුගෙන් එක්කෙනෙක් අයත් වන්නේ මේ වයස් කාණ්ඩයටයි” කියා එක් වෛද්‍යවරයෙක් පවසනවා.

එක්සත් ජනපදය: මිලියන 16කට ආසන්න සංඛ්‍යාවක් මෙම රෝගයෙන් පෙළෙන අතර සෑම වසරකදීම එම සංඛ්‍යාවට අලුත් රෝගීන් 8,00,000ක් පමණ එකතු වෙනවා. තමන්ට රෝගය වැලඳී ඇති බව මිලියන ගණනක් නොදනියි.

ඕස්ට්‍රේලියාව: ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දියවැඩියා ආයතනය පවසන පරිදි, “21වන ශතවර්ෂයේ වඩාත්ම සංකීර්ණ සෞඛ්‍ය ගැටලු අතරින් එකක් වන්නේ දියවැඩියාවයි.”

සිංගප්පූරුව: වයස අවුරුදු 30ත් 69ත් අතර ජනයාගෙන් තුනෙන් පංගුවක් පමණ දියවැඩියාවෙන් පීඩා විඳිනවා. අවුරුදු දහයක් තරම් ළාබාල දරුවන් ඇතුළු තවත් බොහෝ දරුවන්ටද එම රෝගය වැලඳී ඇති බව නිර්ණය කර තිබෙනවා.

සමහරවිට දියවැඩියාව තිබෙනවා කියා යමෙකු දැනගන්නේ එය වැලඳී සෑහෙන කාලයක් ගත වුණාට පසුවයි. ඒ නිසා ප්‍රතිකාර කිරීමේ අභියෝගය තවත් වැඩි වෙනවා. ඒෂියාවීක් සඟරාවේ මෙසේ සඳහන් වෙනවා. “බොහෝවිට මුල් අවදියේදී ඇති වන රෝග ලක්ෂණ එතරම් කැපීපෙනෙන්නේ නැති නිසා දියවැඩියාව වැලඳී ඇති බව හඳුනා නොගනී.” දියවැඩියාව නිහඬ මාරයෙක් ලෙස හඳුන්වා තිබෙන්නේ ඒ නිසයි.

මෙම අක්‍රමිකතාවේ ව්‍යාප්තිය සහ එහි බරපතළකම සැලකිල්ලට ගනිමින් ඊළඟ ලිපිවල මතු දැක්වෙන ප්‍රශ්න සාකච්ඡා කෙරේ.

● දියවැඩියාව වැලඳෙන්නේ ඇයි?

● එම අක්‍රමිකතාවෙන් පෙළෙන්නන්ට එය සමඟ සාර්ථකව කටයුතු කළ හැක්කේ කෙසේද?

[4වන පිටුවේ කොටුව⁄පින්තූරය]

නමක සුල මුල

“ඩයබීටීස් මෙලයිටස්” යන යෙදුම සෑදී තිබෙන්නේ “පිට වී යෑම” යන අරුත් ඇති ග්‍රීක් වචනයකින් සහ “පැණි මෙන් මිහිරි” යන අරුත් ඇති ලතින් වචනයකින්. මෙම වචන දෙක මගින් රෝගය මනා ලෙස විස්තර කෙරෙනවා. මන්ද දියවැඩියා රෝගියෙකු පානය කරන ජලය කෙළින්ම මුඛයේ සිට මූත්‍රා පද්ධතියට ගොස් ශරීරයෙන් පිට වී යන නිසයි. ඒ වගේම, මූත්‍රාවල සීනි අඩංගු වන නිසා එය පැණි රසයි. ඇත්තෙන්ම දියවැඩියාව තිබෙනවාද කියා පරීක්ෂා කර බැලීමට වඩාත් පහසු ක්‍රම සොයාගැනීමට පෙර කළ එක් පරීක්ෂණයක් වූයේ, රෝගියාගේ මූත්‍රා ටිකක් කුහුඹි ගුලක් ළඟ වත් කර බැලීමයි. කුහුඹි මූත්‍රාවලට වහනවා නම් ඉන් ඇඟවූයේ මූත්‍රාවල සීනි අඩංගු වූ බවයි.