Skip to content

පටුනට යන්න

ප්‍රතිකාර ලබා දීමේ අභියෝගය

ප්‍රතිකාර ලබා දීමේ අභියෝගය

ප්‍රතිකාර ලබා දීමේ අභියෝගය

“බරපතළ නොවන වර්ගයේ දියවැඩියාවක් නැහැ. ඒ ඕනෑම වර්ගයක් බරපතළයි.”—අමෙරිකානු දියවැඩියා සංගමයේ, ඈන් ඩේලි.

“ඔයාගේ ලේවල සැලකිය යුතු වෙනස්කම් තියෙනවා කියා රුධිර පරීක්ෂණවලින් හෙළි වෙලා තියෙනවා. ඔයා දැන්මම ප්‍රතිකාර ලබාගන්නවා නම් හොඳයි.” වෛද්‍යවරිය පැවසූ එම වචන ඩෙබොරාව හරියට කරකවලා අත්හැරියා වගේ වුණා. “එදා රෑ මම ගොඩක් වෙලා කල්පනා කර කර හිටියේ මේක පරීක්ෂණය කරපු අයගේ අතින් සිදු වුණ දෝෂයක් වෙන්න ඇති කියලා. මට ලෙඩක් තියෙනවා කියලා මම පිළිගන්න කැමති වුණේ නැහැ” කියා ඇය පවසනවා.

බොහෝදෙනෙකුට මෙන් ඩෙබොරාටත් හැඟුණේ ඇගේ සෞඛ්‍යය සාමාන්‍යයෙන් හොඳ තත්වයක පවතිනවා කියායි. විටින් විට රෝග ලක්ෂණ මතු වුණත් ඇය ඒවා ගණනකට නොගත්තේ ඒ නිසයි. ඇයට අධික පිපාසයක් දැනුණේ ඇන්ටිහිස්ටමීන් වර්ගයේ බෙහෙත් බොන නිසාත්, නිතරම මූත්‍රා පහ කරන්න සිදු වුණේ ජලය අධිකව පානය කරන නිසාත් කියා ඇය නිගමනය කළා. රැකියාවක් කරන කොයි මවද විඩාවට පත් නොවන්නේයයි සිතමින් ඇඟට දැනුණ තෙහෙට්ටු ගතියත් ඇය ගණනකට ගත්තේ නැහැ.

එහෙත් ප්‍රශ්නයට මුල දියවැඩියාව බව රුධිර පරීක්ෂණයකින් තහවුරු වුණා. ඩෙබොරාට මෙය පිළිගැනීම පහසු දෙයක් වුණේ නැහැ. “මම කාටවත් මගේ ලෙඩේ ගැන කිව්වේ නැහැ” කියා ඇය පවසනවා. “රෑ ඔක්කොමලා නිදාගත්තාට පස්සේ මම ඔහේ කල්පනා කර කර ඇඬුවා.” ඩෙබොරා හා සමානව, තමන්ට දියවැඩියාව ඇති බව දැනගත් විට සමහර අය තුළ එකවිට හැඟීම් සමුදායක් හටගන්නවා. අසහනය සහ කෝපය පවා ඔවුන් තුළ හටගන්න පුළුවන්. “මම කාලයක් එක දිගට ඇඬුවා” කියා කැරන් ඇගේ අද්දැකීම විස්තර කරනවා.

අසාධාරණයයි පෙනෙන්න තිබෙන යම් කනගාටුදායක සිද්ධියකට මුහුණ දෙන විට මෙවැනි ප්‍රතිචාරයක් දැක්වීම සාමාන්‍යයි. එහෙත් දියවැඩියා රෝගීන්ට පුළුවන් අන්‍යයන්ගේ උපකාරය ඇතුව ඔවුන්ගේ තත්වයට හොඳින් හැඩගැහෙන්න. “මගේ රෝගී තත්වය භාරගන්න මට සාත්තු කළ හෙදිය මට උපකාර කළා” කියා කැරන් පවසනවා. “ඇඬුවාට කමක් නැහැ කියලා ඇය මාව සැනසුවා. අඬලා මගේ හැඟීම් ඔක්කොම පිට කරලා දැම්මාට පස්සේ මගේ හිත හදාගෙන තත්වයට හැඩගැහෙන්න මට පුළුවන් වුණා.”

බරපතළ වීමට හේතුව

දියවැඩියාව “ජීවිතයේ ශක්තිය උපදවන ක්‍රියාවලියේ අක්‍රමිකතාවක්” ලෙස හඳුන්වා තිබෙන්නේ හොඳ හේතු ඇතුවයි. ග්ලූකෝස් පරිවෘත්තීය (ග්ලූකෝස් ශක්තිය බවට පෙරළීමේ) ක්‍රියාවලිය සිදු කිරීමට ශරීරය අසමත් වූ විට අතිවැදගත් ක්‍රියාවලීන් කිහිපයක්ම ඇණ හිටින්න පුළුවන්. සමහරවිට මෙයින් ජීවිතය අනතුරේ හෙළන ප්‍රතිඵල අත්වීමටද ඉඩ තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වෛද්‍ය හාවි කැට්සෙෆ් පවසන්නේ මේ ආකාරයටයි. “මිනිස්සු දියවැඩියාව නිසාම මැරෙන්නේ නැහැ. ඔවුන් මැරෙන්නේ එයින් ඇති වන සංකූලතාවන් නිසයි. සංකූලතාවන් වළක්වන්න නම් අපිට හරිම ලෙහෙසියි. හැබැයි ඒවා හටගත්තාට පස්සේ [ඒවාට] හරියට ප්‍රතිකාර කරන්න අපිට බැහැ.” a

දියවැඩියාවෙන් පෙළෙන අයට බලාපොරොත්තුවක් ඇද්ද? ඇත්තෙන්ම තිබෙනවා. හැබැයි ඔවුන් රෝගයේ බරපතළකම තේරුම්ගෙන විධිමත් සැලැස්මකට අනුව ප්‍රතිකාර ලබාගත යුතුයි. b

ආහාර පාලනය හා ව්‍යායාමය

පළමු වර්ගයේ දියවැඩියාව වැළැක්විය නොහැකි වුණත්, ප්‍රවේණි සාධක එයට කොතෙක් දුරට බලපානවාද යන්නත් ප්‍රතිශක්ති පද්ධතියෙන් එල්ල වන ප්‍රහාර මැඩපැවැත්විය හැක්කේ කෙසේද යන්නත් විද්‍යාඥයන් අධ්‍යයනය කරමින් සිටිනවා. (8වෙනි පිටුවෙහි “ග්ලූකෝස්හි ක්‍රියාකාරිත්වය” යන කොටුව බලන්න.) “දෙවෙනි වර්ගයේ දියවැඩියාවේදී නම් තත්වය වඩාත් ශුභවාදියි” කියා දියවැඩියාව වැලඳුණ විට ඔබේ මානසික හා කායික සෞඛ්‍යය රැකගත හැකි අයුරු (සිංහලෙන් නොමැත) යන පොතෙහි සඳහන් වෙනවා. “ප්‍රවේණි සාධක නිසා අවදානම් තත්වයක සිටින බොහෝදෙනෙකුට පෙනී ගොස් තිබෙන්නේ, සමබර ආහාර වේලක් ගන්නා විටත් නිතරම ව්‍යායාමයේ යෙදෙන විටත් රෝග ලක්ෂණ මතුවීම තමන්ට වළක්වාගත හැකි බවයි. මෙසේ කිරීමෙන් ශරීර සෞඛ්‍යය රැකගන්නටද ශරීරයේ බර නිසි ලෙස පවත්වාගන්නටද ඔවුන් සමත් වී තිබෙනවා.” c

කාන්තාවන් පිළිබඳව කළ පුළුල් අධ්‍යයනයක් ගැන වාර්තාවක් ඉදිරිපත් කළ අමෙරිකානු වෛද්‍ය සංගමයේ ජර්නලය ව්‍යායාමයේ වටිනාකම අවධාරණය කළා. “එක් කෙටි කාල සීමාවක් ඇතුළත ව්‍යායාම කරන විටදී පවා, පැය 24කට වඩා වැඩි කාලයක් පුරා [ශරීර සෛල මගින්] ඉන්සියුලින් ආධාරයෙන් උරාගන්නා ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වන” බව එම අධ්‍යයනයෙන් හෙළි වුණා. එමනිසා, එම වාර්තාවේ අන්තිම නිගමනය වුණේ, “ඇවිදීමෙන් සහ වෙහෙසී ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීමෙන් කාන්තාවන්ට දෙවෙනි වර්ගයේ දියවැඩියාව වැලඳීමේ අවදානම සෑහෙන දුරට අඩු කරගත හැකි” බවයි. සතියේ වැඩි දින ගණනකදී හෝ හැකි නම් සෑම දිනයකදීම අඩුම තරමින් විනාඩි 30ක්වත් සමබර ව්‍යායාම් කරන්න කියා එම පර්යේෂකයන් නිර්දේශ කරනවා. සමහරවිට ඇවිදීම තරම් පහසු ව්‍යායාමයක් ප්‍රමාණවත් විය හැකියි. අමෙරිකානු දියවැඩියා ආයතනය අනුග්‍රහයෙන් දියවැඩියාව පිළිබඳ සම්පූර්ණ අත්වැලක් (ADA, සිංහලෙන් නොමැත) යන පොතෙහි විස්තර කර තිබෙන පරිදි ඇවිදීම “හොඳම, වඩාත්ම සුරක්ෂිත මෙන්ම වියදම අඩු ව්‍යායාමය විය හැකියි.”

එහෙත් දියවැඩියා රෝගීන් ව්‍යායාමයේ යෙදිය යුත්තේ වෛද්‍ය අධීක්ෂණය යටතෙයි. මෙයට එක් හේතුවක් වන්නේ, දියවැඩියාව මගින් රුධිරවාහිනි පද්ධතියටත් ස්නායුවලටත් හානි සිදු කිරීම හේතුවෙන් රුධිර ගමනාගමනය සහ ස්පර්ශය නමැති සංවේද ඉන්ද්‍රිය දුර්වල වීමයි. එමනිසා, නොදැනුවත්වම පාදයේ සිදු වන සුළු සීරීමක් පවා පැසවී විශාල තුවාලයක් බවට පත්වීමට ඉඩ තිබෙනවා. මෙය ඉතා භයානක තත්වයක් වන අතර විගස ප්‍රතිකාර නොලැබුවොත් පාදයෙන් කොටසක් කපා ඉවත් කිරීමටද සිදු විය හැකියි. d

එහෙත් සැලැස්මකට අනුව ව්‍යායාම් කිරීම දියවැඩියාව පාලනය කිරීමට මහෝපකාරී වෙනවා. ඉහත සඳහන් ADA අනුග්‍රහයෙන් සම්පූර්ණ අත්වැලක් යන පොතෙහි සඳහන් කරන්නේ, “නිතිපතා ව්‍යායාම් කිරීමෙහි ඇති ප්‍රයෝජන පිළිබඳව පර්යේෂකයන් අධ්‍යයනය කරන්න කරන්න, ඔවුන් එයට පක්ෂව තිබෙන සාක්ෂි තව තවත් රැස් කරගන්නවා” කියායි.

ඉන්සියුලින් ප්‍රතිකාරය

ආහාර පාලනය හා නිතිපතා ව්‍යායාම් කිරීමට අමතරව දිනපතාම ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කර බලා කිහිප වතාවක්ම ඉන්සියුලින් විදගැනීමටද දියවැඩියාවෙන් පෙළෙන බොහෝදෙනෙකුට සිදු වෙනවා. ආහාර පාලනය හා හොඳ සැලැස්මකට අනුව ව්‍යායාම් කිරීම තුළින් තම සෞඛ්‍ය තත්වය හොඳ මට්ටමකට ගෙන ඇති දෙවෙනි වර්ගයේ දියවැඩියා රෝගීන් කිහිපදෙනෙකුට හැකි වී තිබෙනවා, තාවකාලිකව වුණත් ඉන්සියුලින් ප්‍රතිකාරය නතර කර දමන්න. e පළමු වර්ගයේ දියවැඩියාව ඇති කැරන්ට පෙනී ගියේ ව්‍යායාමයේ යෙදෙන විට ඇය විදගන්නා ඉන්සියුලින් වඩා පලදායී ලෙස ක්‍රියාත්මක වන බවයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් දිනපතාම විදගන්නා ඉන්සියුලින් ප්‍රමාණය සියයට 20කින් අඩු කරගැනීමට ඇය සමත් වී තිබෙනවා.

කෙසේවෙතත්, ඉන්සියුලින් ප්‍රතිකාරය ලබාගැනීමට සිදු වෙනවා නම් රෝගියා අධෛර්යයට පත් නොවිය යුතුයි. “ඉන්සියුලින් ප්‍රතිකාරය අවශ්‍යයි කියන එකෙන් අදහස් කරන්නේ නැහැ ඔබ අතින් යම් අතපසු වීමක් සිදු වී ඇති බව” කියා දියවැඩියා රෝගීන් කිහිපදෙනෙකුව බලාගන්නා සුදුසුකම් ලත් හෙදියක් වන මේරි ඈන් පවසනවා. “ඔබට වැලඳිලා තිබෙන්නේ මොනම වර්ගයේ දියවැඩියාවක් වුණත්, ඔබේ රුධිර සීනි මට්ටම ගැන පරෙස්සම් වී එය පාලනය කරගන්නවා නම් ඉදිරියේදී ඇති විය හැකි වෙනත් සෞඛ්‍ය ගැටලු අවම කරගන්න පුළුවන්.” ඇත්තෙන්ම මෑතකදී කළ අධ්‍යයනයකින් හෙළි වුණේ, තම රුධිර සීනි මට්ටම ගැන ඉතා සුපරීක්ෂාකාරීව සිටි පළමු වර්ගයේ දියවැඩියා රෝගීන්ට “දියවැඩියාව නිසා හටගන්නා අක්ෂි, වකුගඩු හා ස්නායු පද්ධතිය ආශ්‍රිත ආබාධ වැලඳීමේ ප්‍රවණතාව සෑහෙන දුරට අඩු වූ” බවයි. නිදසුනක් වශයෙන්, අක්ෂි ආබාධ (retinopathy) වැලඳීමේ අවදානම සියයට 76කින් අඩු වුණා! රුධිර සීනි මට්ටම පාලනය කිරීමට දැඩි වෑයමක් දරන දෙවෙනි වර්ගයේ දියවැඩියා රෝගීන් පවා ඒ හා සමානව ප්‍රයෝජන අත් කරගන්නවා.

ඉන්සියුලින් විදීම සඳහා වැඩියෙන්ම භාවිත කෙරෙන උපකරණ වන සිරිංජවලට හා ඉන්සියුලින් පෑන්වලට සවි කර ඇත්තේ ඉතා සියුම් විදින කටුයි. මෙමගින් ඉන්සියුලින් ප්‍රතිකාරයේදී දැනෙන අපහසුතාව හා වේදනාව අවම කරන්න පුළුවන්. මේරි ඈන් පවසන පරිදි, “සාමාන්‍යයෙන් මුල්ම වරට දෙන ඉන්ජෙක්ෂන් එක තමයි දරාගන්න අමාරු. ඊට පස්සේ, ගොඩක් ලෙඩ්ඩුන් කියන්නේ ඔවුන්ට කිසිම දෙයක් දැනෙන්නේ නැහැයි කියලා.” ඉන්සියුලින් ශරීරගත කළ හැකි ක්‍රම කිහිපයක් තිබෙනවා. වේදනාව හට නොගන්නා සේ සම තුළට කටුවක් යවන ස්වයංක්‍රීය විදින උපකරණයක් (automatic injectors) සහ ජෙට් එකක් මෙන් ඉතා වේගයෙන් සම තුළට ඉන්සියුලින් විදින අධිවේගී විදින උපකරණයක් (jet injectors) මාර්ගයෙන්ද, විශේෂ විදින කටුවක් යොදාගනිමින් දින දෙක තුනක් සම තුළ රඳවා තැබිය හැකි කැතීටරයක් මාර්ගයෙන්ද එසේ කිරීමට හැකියි. මෑත වසරවලදී, සාක්කුවේ දැමිය හැකි පේජර් යන්ත්‍රයක ප්‍රමාණයෙන් යුත් ඉන්සියුලින් පොම්පය බහුතරයකගේ සිත් ගෙන තිබෙනවා. කැතීටරයක් ආධාරයෙන් ශරීරයේ දෛනික අවශ්‍යතාවලට අනුව විටින් විට ඉන්සියුලින් මුදාහැරීමට සකස් කළ හැකි මෙම උපකරණය මගින් වඩාත් නිවැරදි හා පහසු ආකාරයකින් ඉන්සියුලින් ශරීරගත කිරීමට පුළුවන්.

නිතරම දැනුවත් වන්න

දියවැඩියාව සඳහා හැමෝටම හරි යන එක ප්‍රතිකාර ක්‍රමයක් නැති බව පිළිගත යුතුයි. තෝරාගත යුත්තේ කුමන ප්‍රතිකාර ක්‍රමයද යන්න පිළිබඳව පෞද්ගලික තීරණයක් ගැනීමට පෙර යමෙකු සලකා බැලිය යුතු වටිනා කාරණා කිහිපයක්ම තිබෙනවා. “ඔබ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුගේම අධීක්ෂණය යටතේ සිටියත් ඔබ ගන්නා ප්‍රතිකාරය ගැන අන්තිම තීරණය ගත යුත්තේ ඔබමයි.” මේරි ඈන්ගේ අදහස එයයි. ඇත්ත වශයෙන්ම, “දියවැඩියා රෝගියෙකුට තම රෝගය පාලනය කරගත හැකි ආකාරය පිළිබඳව මනා අවබෝධයක් නොදී වෛද්‍යමය ප්‍රතිකාර ලබා දීම, සම්මත වෛද්‍ය ප්‍රමිති බාල කිරීමක් හා කොහෙත්ම පිළිගත නොහැකි සාත්තු ක්‍රමයක් වශයෙන්ද සැලකිය හැකි” බව දියවැඩියා රෝගීන්ට සාත්තු කිරීම (සිංහලෙන් නැත) නමැති ජර්නලයේ සඳහන් වෙනවා.

දියවැඩියා රෝගීන් තම රෝගය පිළිබඳව දැනුම පුළුල් කරගනිත්ම රෝගය සමඟ වඩා හොඳින් කටයුතු කිරීමටත්, වඩාත් දීර්ඝ මෙන්ම නිරෝගී ජීවිත ගත කිරීමටත් ඔවුන්ට හැකියි. කොහොම වුණත්, රෝගය පිළිබඳව ප්‍රයෝජනවත් වන ලෙස දැනුවත් වෙන්න නම් ඉවසීම අවශ්‍යයි. දියවැඩියාව වැලඳුණ විට ඔබේ මානසික හා කායික සෞඛ්‍යය රැකගත හැකි අයුරු නමැති පොතේ එය පැහැදිලි කරන්නේ මේ ආකාරයටයි. “ඔබ රෝගය පිළිබඳව සෑම දෙයක්ම එක වරම ඉගෙනගැනීමට ගියොත් මනස අවුල් වී ලබාගත් තොරතුරු ටික ප්‍රායෝගිකව අදාළ කරගැනීමට ඔබට නොහැකි වෙයි. අනික, ඔබට වඩාත්ම ප්‍රයෝජනවත් වන තොරතුරු ටික ඔබට ලබාගත හැක්කේ පොත්පත්වලින් නොවෙයි. එය තීරණය වන්නේ . . . ඔබේ ජීවන රටාවේ සිදු කරන වෙනස්කම්වලට අනුව ඔබේ රුධිර සීනි මට්ටම අඩු වැඩි වන ආකාරය අවබෝධ කරගැනීම මතයි. මෙය ඉගෙනගත හැක්කේ කාලයාගේ ඇවෑමෙන් හා බොහෝ අත්හදා බැලීම් කිරීමෙන් පසුවයි.”

නිදසුනකට, ඔබේ තත්වය ඉතා හොඳින් අවබෝධ කරගැනීම මගින් රුධිර සීනි මට්ටම විගස ඉහළ නැංවීමට තුඩු දිය හැකි මානසික පීඩනය ඔබේ ශරීරයට බලපාන්නේ කෙසේද කියා ඉගෙනගැනීමට පුළුවන්. “දැන් අවුරුදු 50ක් තිස්සේ මට දියවැඩියාව තියෙනවා. ඉතිං මගේ ශරීරය මට යම් අනතුරු ඇඟවීමක් කරන විට මම එය හොඳින් තේරුම්ගන්නවා” කියා කෙන් පවසනවා. ඔහුගේ ශරීරය දෙන අනතුරු ඇඟවීම්වලට “අවනත වීම” ප්‍රයෝජනවත් වී තිබෙන බව කෙන්ගේ අද්දැකීමයි. මන්ද වයස අවුරුදු 70 පසු කර සිටින ඔහු තවමත් පූර්ණ කාලීන රැකියාවක යෙදෙමින් සිටිනවා!

පවුල් සාමාජිකයන් දක්වන සහයෝගයේ ඇති වටිනාකම

දියවැඩියා රෝගියෙකු ප්‍රතිකාර ලබන විට පවුලේ සාමාජිකයන්ගෙන් ලැබෙන සහයෝගය ඉතාමත් වැදගත් බව අමතක නොකළ යුතුයි. දියවැඩියාව වැලඳී සිටින දරුවන් හා තරුණ තරුණියන්ට රෝගය මනා ලෙස පාලනය කිරීමට දායක වන “ප්‍රධානතම සාධකය වන්නේ ඔවුන්ගේ පවුල් ජීවිතයේ සාර්ථකත්වය විය හැකි” යයි එක් ග්‍රන්ථයක සඳහන් වෙනවා.

පවුලේ සාමාජිකයන් දියවැඩියාව ගැන දැනුවත් වීම සහ රෝගියා වෛද්‍ය පරීක්ෂණවලට යන විට ඔහු සමඟ මාරුවෙන් මාරුවට යෑම පවා ප්‍රයෝජනදායකයි. රෝගය පිළිබඳව දැනුමක් ලැබීම, රෝගියාට සහයෝගය දැක්වීමට සහ අනතුරුදායක රෝග ලක්ෂණ හඳුනාගෙන ඒ අනුව නිසි පියවර ගැනීමට ඔවුන්ට වඩාත් පහසු කරවනවා. වයස අවුරුදු හතරේ සිට පළමු වර්ගයේ දියවැඩියාවෙන් පෙළෙන ඔහුගේ බිරිඳ පිළිබඳව ටෙඩ් පවසන්නේ මෙහෙමයි. “බාබ්‍රාගේ සීනි මට්ටම හොඳටම බහිද්දී මට තේරෙනවා. එයා කතා කර කර ඉන්න ගමන් එකපාරටම නිශ්ශබ්ද වෙනවා. හොඳටම දහඩිය දානවා. ඒ වගේම කිසිම හේතුවක් නැතුව එයාට කේන්ති යනවා. ඒ විතරක් නොවෙයි, එයාට යම් දේවල් කරන්න ගොඩක් වෙලාත් යනවා.”

ඒ හා සමානව, කෙන්ගේ මුහුණ සුදුමැළි වී ඔහුගේ ඇඟේ ශීතල තෙත් ගතියක් ඇති වන විටත්, ඔහුගේ හැසිරීම වෙනස් වන විටත් ඔහුගේ බිරිඳ කැතරීන් ඔහුට විසඳීමට ඉතාම සරල ගණිත ගැටලුවක් දෙනවා. කෙන් පිළිතුරු දෙන විට ඔහුගේ මනස අවුල් වී ඇති බව තේරෙනවා නම්, තීරණ ගත යුත්තේ ඇය විසින්ම බවත් ඔහුව යථා තත්වයට ගැනීම සඳහා ඇය පියවර ගත යුතු බවත් කැතරීන් වටහාගන්නවා. කෙන් හා බාබ්‍රා යන දෙදෙනාම ඔවුන්ගේ රෝගය පිළිබඳව දැනුවත් වී සිටින ප්‍රේමණීය මෙන්ම මුළුමනින්ම විශ්වාස කළ හැකි කලත්‍රයන් සිටීම බොහෝ සෙයින් අගය කරනවා. f

ප්‍රේමණීය පවුල් සාමාජිකයන් සහයෝගය දක්වන්නත් කරුණාවන්තව හා ඉවසිලිවන්තව කටයුතු කරන්නත් වෑයම් කළ යුතුයි. රෝගියෙකුට සාර්ථක ලෙස අභියෝගවලට මුහුණ දීමටත්, ඔහුගේ රෝගී තත්වය හොඳ අතට පවා හැරවීමටත් එම ගුණාංග දායක විය හැකියි. කැරන්ගේ පුරුෂයා ඇයට ආදරේ බව නිතර නිතරම ඇයට සහතික කළා. එයින් ඇත්තටම යහපත් ප්‍රතිඵල ඇති වුණා. කැරන් එය විස්තර කරන්නේ මෙසේයි. “‘මිනිසුන්ට ජීවත් වෙන්න කෑම බීම අවශ්‍යයි. ඔයාටත් කෑම බීම වගේම ඉන්සියුලින් ටිකකුත් අවශ්‍යයි’ කියලා නයිජල් මට කිව්වා. මේ කරුණාවන්ත නමුත් ප්‍රායෝගික වචනවලින් මගේ හිතට ලොකු හයියක් ආවා.”

රුධිර සීනි මට්ටම අඩු වැඩිවීමත් සමඟ දියවැඩියා රෝගියෙකුගේ චිත්ත ස්වභාවයේ යම් වෙනසක් සිදු විය හැකි බවත් පවුලේ අය හා හිත මිතුරන් තේරුම්ගත යුතුයි. “සීනි මට්ටම අඩු වැඩිවීමත් එක්කම මගේ හිතට වේදනාවක් දැනෙද්දී මම කාත් එක්කවත් කතාවට යන්නේ නැහැ. මගේ හැසිරීම වෙනස් වෙනවා. ඉක්මනට කේන්ති යනවා, කලකිරෙනවා. හැබැයි ඊට පස්සේ මට හිතෙනවා ඇයි මං පොඩි ළමයෙක් වගේ හැසිරුණේ කියලා. හැබැයි අනිත් අය තේරුම්ගන්නවා නම් ඇයි මට ඒ වගේ හැඟීම් ඇති වෙන්නේ කියලා මට ලැජ්ජාවක් හිතෙන්නේ නැහැ. ඒත් එක්කම මම වෑයම් කරනවා ඒ හැඟීම් පාලනය කරන්න” කියා එක් කාන්තාවක් විස්තර කරනවා.

විශේෂයෙන්ම තම හිතමිතුරන්ගේ හා පවුලේ සාමාජිකයන්ගේ සහයෝගය ඇතුව රෝගියෙකුට පුළුවන් දියවැඩියාව මනා ලෙස පාලනය කරන්න. බයිබල් ප්‍රතිපත්තිද ඔහුට උපකාරවත් විය හැකියි. ඒ කෙසේද?

[පාදසටහන්වල]

a හෘද ආබාධ, රුධිර වාහිනි පිපිරීම නිසා හටගන්නා අංශභාගය (stroke), වකුගඩු ආබාධ, පර්යන්ත ධමනි රෝගය (peripheral arterial disease) සහ ස්නායුවල දුර්වලතා ඇතිවීම එවැනි සංකූලතාවන් කිහිපයක්. පාද වෙතට රුධිර ගමනාගමනය දුර්වල වීම නිසා තුවාල හටගන්න පුළුවන්. තුවාල සුව කරගත නොහැකි බරපතළ තත්වයකට පත් වූ විට ආබාධිත පාදය කපා ඉවත් කර දැමීමටද සිදු විය හැකියි. ඒ වගේම, වැඩිහිටියන් අතර අන්ධභාවය ඇතිවීමට ප්‍රධානතම හේතුව වන්නේ දියවැඩියාවයි.

b පිබිදෙව්! විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් නිර්දේශ කරන්නේ නැහැ. තමාට දියවැඩියාව ඇති බව යමෙකු සැක කරන්නේ නම්, රෝගය වැළැක්වීම හා පාලනය කිරීම පිළිබඳව අද්දැකීම් ලත් වෛද්‍යවරයෙකු හමු විය යුතුයි.

c බඳ ප්‍රදේශය මහත් වීම උකුල් ප්‍රදේශය මහත් වීමට වඩා වැඩි අවදානමක් ඇති කරන බව පෙනෙන්න තිබෙනවා.

d දුම්පානය හෘදයටත් රුධිර සංසරණ පද්ධතියටත් හානි පමුණුවන නිසාත් රුධිරවාහිනි සිහින් කරවන නිසාත් දුම්පානය කරන්නන් සිටින්නේ වැඩි අවදානම් තත්වයකයි. පාදයක් කපා ඉවත් කිරීමට සිදු වන දියවැඩියා රෝගීන්ගෙන් සියයට 95ක්ම දුම්පානය කරන්නන් බව එක් ග්‍රන්ථයක සඳහන් වෙනවා.

e ඉන් කිහිපදෙනෙකු මුඛ ඖෂධීය ප්‍රතිකාරයෙන්ද ප්‍රයෝජන ලැබුවා. ඉන්සියුලින් වැඩියෙන් මුදාහැරීමට අග්න්‍යාසය තුළ උත්තේජනයක් ඇති කරවන, රුධිරයේ සීනි මට්ටම නඟින වේගය අඩාල කරවන සහ ඉන්සියුලින් ප්‍රතිවිරෝධය පවා අඩු කරවන ඖෂධ වර්ග මෙයට ඇතුළත් වෙනවා. (සාමාන්‍යයෙන් පළමු වර්ගයේ දියවැඩියාව සඳහා මුඛ ඖෂධීය ප්‍රතිකාර නිර්දේශ කරන්නේ නැහැ.) දැනට පෙත්තක් වශයෙන් ඉන්සියුලින් ගිල දැමිය නොහැක්කේ, ප්‍රෝටීනයක් වන එය රුධිර ධාරාවට එකතු වීමට පෙර ජීර්ණය වන නිසයි. ඉන්සියුලින් ප්‍රතිකාරය සහ මුඛ ඖෂධීය ප්‍රතිකාරය ලබන නිසාම ව්‍යායාමය හා ආහාර පාලනය අවශ්‍ය නැහැයි කියා නොසිතිය යුතුයි.

f දියවැඩියා රෝගීන්ට නිතරම හැඳුනුම්පතක් රැගෙන යෑමටත් තමන්ට දියවැඩියාව ඇති බව සඳහන් කරන ආභරණයක් පැළඳීමටත් වෛද්‍ය අධිකාරීන් නිර්දේශ කරනවා. එසේ කිරීමෙන් හදිසි අවස්ථාවකදී ජීවිතය බේරාගැනීමට පවා පුළුවන්. උදාහරණයකට, රුධිර සීනි මට්ටම පහත බසින විට, රෝගියාට වෙනත් සෞඛ්‍ය ගැටලුවක් ඇති බව හෝ අධිකව මත්පැන් පානය කර ඇති බව පවා වැරදි ලෙස නිගමනය කිරීමට ඉඩ තිබෙනවා.

[6වන පිටුවේ කොටුව⁄පින්තූරය]

යෞවනයන්ටත් වැලඳෙනවාද?

දියවැඩියාව “දැන් යෞවනයන්ටත් වැලඳෙන රෝගයක් බවට පත් වෙලා” කියා නිව් යෝක්හි මවුන්ට් සයිනයි වෛද්‍ය විද්‍යාලයේ අන්තෝසර්ග ග්‍රන්ථි අධ්‍යයනය කරන ප්‍රධාන පෙළේ වෛද්‍යවරයෙක් මෙන්ම පීඨාධිපතියෙක් වන ආතර් රූබන්ස්ටයින් පවසනවා. ඇත්තෙන්ම, සාමාන්‍යයෙන් දියවැඩියාව වැලඳෙන වයස දැන් එන්න එන්නම පහත වැටෙනවා. දියවැඩියාව පිළිබඳ විශේෂඥවරියක් වන වෛද්‍ය රොබින් එස්. ගෝලන්ඩ් දෙවෙනි වර්ගයේ දියවැඩියාව ගැන සඳහන් කරමින් පැවසුවේ මෙසේයි. “අවුරුදු දහයකට කලින් අපි වෛද්‍ය විද්‍යාව ඉගෙනගන්න ශිෂ්‍යයන්ට කියා සිටියේ මේ රෝගය අවුරුදු 40න් පහළ අයට වැලඳෙන්නේ නැහැයි කියා. හැබැයි දැන් අවුරුදු 10න් පහළ ළමයින්ටත් එය වැලඳෙනවා.”

දැන් වැඩි වැඩියෙන් යෞවන වියේදීම දියවැඩියාව වැලඳෙන්නේ ඇයි? සමහරවිට එය ප්‍රවේණි සාධක නිසා විය හැකියි. නමුත් ශරීරයේ බර ප්‍රමාණය හා පරිසරයත් එයට බලපාන්න ඉඩ තිබෙනවා. පසුගිය අවුරුදු 20 ඇතුළත ස්ථූලතාවෙන් පෙළෙන ළමුන්ගේ සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වී තිබෙනවා. මෙයට හේතුව කුමක්ද? “පහුගිය අවුරුදු 20 ඇතුළත ආහාර ගැනීමේ පුරුදුවල හා ශාරීරික ක්‍රියාකාරකම්වල සෑහෙන වෙනසක් සිදු වී තිබෙනවා” කියා රෝග පාලනය හා මර්දනය පිළිබඳ එ.ජ. ආයතනවල සේවය කරන වෛද්‍ය විලියම් ඩීට්ස් පිළිතුරු දෙනවා. “ගෙදරින් පිට පිළියෙළ කරන ලද ආහාර ගැනීමට වැඩියෙන් නැඹුරු වීම, උදේ ආහාර වේල නොගැනීම, කෘත්‍රිම රසකාරක යෙදූ බීම වර්ග හා කඩිනම් ආහාර වැඩි වැඩියෙන් අනුභව කිරීම, පාසැල්වල [ශාරීරික අධ්‍යාපනය] නමැති විෂයට අඩු අවධානයක් දීම සහ විවේක කාලය අයින් කිරීම මේ වෙනස් වීම් සමහරක් වෙයි.”

දියවැඩියාව හැදුණොත් හැදුණාමයි. එය නිට්ටාවටම සුව කළ නොහැකියි. ඒ නිසා දියවැඩියාවෙන් පෙළෙන එක් නහඹරයෙකුගේ මේ අවවාදය පිළිගැනීම නුවණට හුරුයි. “කඩචෝරු කන්න එපා. ශරීර යෝග්‍යතාව හොඳින් රැකගන්න.”

[8, 9වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ග්ලූකෝස්හි ක්‍රියාකාරිත්වය

ට්‍රිලියන ගණනකින් යුත් ශරීරයේ සෛලවලට ශක්තිය සපයන්නේ ග්ලූකෝස්. එහෙත් සෛලවලට ඇතුල් වීම සඳහා එයට “යතුරක්” අවශ්‍යයි. ඒ යතුර තමයි අග්න්‍යාසය මගින් මුදාහරින රසායනික ද්‍රව්‍යයක් වන ඉන්සියුලින්. පළමු වර්ගයේ දියවැඩියාව වැලඳුණු විට ශරීරය ඊට අවශ්‍ය ඉන්සියුලින් ප්‍රමාණය නිපදවන්නේ නැහැ. දෙවෙනි වර්ගයේ දියවැඩියාවේදී ශරීරය ඉන්සියුලින් නිෂ්පාදනය කළත් එය බොහෝවිට ප්‍රමාණවත් නොවෙයි. g ඒ වගේම, සෛල තුළට ඉන්සියුලින් ඇතුල් වීම වළක්වන ඉන්සියුලින් ප්‍රතිරෝධය නමැති තත්වයද හටගන්නවා. දියවැඩියා වර්ග දෙකේදීම ඇති වන ප්‍රතිඵලය එකයි. එනම්, සෛල හාමතෙන් පෙළීම හා රුධිරයේ සීනි මට්ටම භයානක ලෙස ඉහළ යෑමයි.

පළමු වර්ගයේ දියවැඩියාව වැලඳෙන විට, පුද්ගලයෙකුගේ ප්‍රතිශක්ති පද්ධතිය මගින් අග්න්‍යාසය තුළ ඇති ඉන්සියුලින් නිපදවන බීටා සෛලවලට ප්‍රහාර එල්ල කරනවා. ඒ නිසා, පළමු වර්ගයේ දියවැඩියාව ස්වප්‍රතිශක්ති කාණ්ඩයේ රෝගයක් (autoimmune disease) ලෙස හඳුන්වන අතර, එය ප්‍රතිශක්ති කාරක දියවැඩියාව ලෙසත් හැඳින්විය හැකියි. ප්‍රතිශක්ති පද්ධතියෙන් එල්ල වන එවැනි ප්‍රහාරවලට හේතු විය හැකි කාරණා කිහිපයක් වන්නේ වයිරස, විෂකර රසායනික ද්‍රව්‍ය සහ ඇතැම් ඖෂධ වර්ගයි. එකම පවුලේ කිහිපදෙනෙකුටම පළමු වර්ගයේ දියවැඩියාව වැලඳෙන නිසාත්, එය වඩාත්ම සුලභව දක්නට ලැබෙන්නේ කොකේසියානු ජාතිකයන් අතර වන නිසාත්, ප්‍රවේණි සාධකද යම් ආකාරයකින් බලපානවායයි සිතන්න පුළුවන්.

දෙවෙනි වර්ගයේ දියවැඩියාවේදී ප්‍රවේණි බලපෑම ඊටත් වඩා ප්‍රබලයි. ඒත් එය වැඩියෙන්ම වැලඳෙන්නේ කොකේසියානු නොවන අයටයි. එය වඩාත්ම සුලභව දක්නට ලැබෙන්නේ ඕස්ට්‍රේලියානු හා අමෙරිකානු මුල් වැසියන් අතරයි. ලෝකයේ ජනයා අතරින් දෙවෙනි වර්ගයේ දියවැඩියාව වැඩියෙන්ම වැලඳී තිබෙන්නේ අමෙරිකානු මුල් වැසියන්ටයි. ප්‍රවේණි හා ස්ථූලතාව අතර ඇති සම්බන්ධයද, අධික බර මගින් ප්‍රවේණි සාධක හේතුවෙන් හටගන්නා ඉන්සියුලින් ප්‍රතිරෝධය වැඩි කරවන ආකාරයද පර්යේෂකයන් අධ්‍යයනය කරමින් සිටිනවා. h පළමු වර්ගයේ දියවැඩියාව මෙන් නොව දෙවෙනි වර්ගයේ දියවැඩියාව ප්‍රධාන වශයෙන්ම වැලඳෙන්නේ අවුරුදු 40න් ඉහළ අයටයි.

[පාදසටහන්වල]

g දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්ගෙන් සියයට 90කටම වැලඳී ඇත්තේ දෙවෙනි වර්ගයේ දියවැඩියාවයි. කලින් මෙය හැඳින්වූයේ “ඉන්සියුලින් මත රඳා නොපවතින” හෝ “වැඩිහිටියන්ට වැලඳෙන” දියවැඩියාව ලෙසයි. කෙසේවෙතත්, එම යෙදුම් මගින් රෝගය නිවැරදිව විස්තර නොකෙරේ. මන්ද දෙවෙනි වර්ගයේ දියවැඩියාවෙන් පෙළෙන අයගෙන් සියයට 40ක් තරම් විශාල සංඛ්‍යාවකට ඉන්සියුලින් අවශ්‍යයි. ඒ වගේම, දෙවෙනි වර්ගයේ දියවැඩියාව ඇති යෞවනයන් සංඛ්‍යාව ඇත්තෙන්ම තැතිගන්වනසුලුයි. එම යෞවනයන්ගෙන් සමහරෙක් තවම නහඹර වියට පා තබාවත් නැහැ.

h සාමාන්‍යයෙන් යමෙකු ස්ථූල පුද්ගලයෙකු බව පවසන්නේ ඔහු හෝ ඇය තම නියම බර ප්‍රමාණයට වඩා සියයට 20ක් හෝ ඊට වඩා වැඩි වන විටයි.

[පින්තූරය]

ග්ලූකෝස් අණුවක්

[හිමිකම් විස්තර]

Pacific Northwest National Laboratory අනුග්‍රහයෙනි

[9වන පිටුවේ කොටුව]

අග්න්‍යාසයේ ක්‍රියාකාරිත්වය

ආනමාලු ගෙඩියක පමණ ප්‍රමාණයකින් යුත් අග්න්‍යාසය පිහිටා ඇත්තේ ආමාශයට පිටුපසින්. දියවැඩියාව පිළිබඳ එක්තරා අත්වැලක (The Unofficial Guide to Living With Diabetes) පවසන පරිදි, “දවස පුරාම ග්ලූකෝස් මට්ටම අඩු වැඩි වෙත්ම, නියම ඉන්සියුලින් ප්‍රමාණය මුදාහැරීම මගින් නිරෝගී අග්න්‍යාසයක් නිරන්තර මෙන්ම සුවිශේෂී ක්‍රියාවලියක් සිදු කරමින්, රුධිරයේ සීනි මට්ටම නිසි ලෙස පවත්වාගන්නවා.” ඉන්සියුලින් හෝමෝනය නිපදවන්නේ අග්න්‍යාසය තුළ තිබෙන බීටා සෛල මගිනුයි.

අවශ්‍ය ඉන්සියුලින් ප්‍රමාණය නිපදවීමට බීටා සෛල අසමත් වූ විට රුධිරයේ සීනි මට්ටම ඉහළ ගොස් අධි ග්ලූකෝසියාව (hyperglycemia) නමැති තත්වය හටගන්නවා. මෙහි ප්‍රතිවිරුද්ධ තත්වය හඳුන්වන්නේ අව ග්ලූකෝසියාව (hypoglycemia) යනුවෙනුයි. අග්න්‍යාසය සමඟ අත්වැල් බැඳගනිමින් ක්‍රියා කරන අක්මාව රුධිරයේ සීනි සුදුසු මට්ටමක පවත්වාගැනීමට උපකාරවත් වෙනවා. එසේ කරන්නේ ග්ලූකෝස් අතිරික්තය ග්ලයිකෝජන් බවට පරිවර්තනය කර තැන්පත් කරගැනීම මගිනුයි. අග්න්‍යාසය අණ කරන විට අක්මාව ග්ලයිකෝජන් නැවත ග්ලූකෝස් බවට පරිවර්තනය කරමින් එය ශරීරයේ ප්‍රයෝජනය උදෙසා මුදාහරිනවා.

[9වන පිටුවේ කොටුව⁄පින්තූරය]

සීනිවල ක්‍රියාකාරිත්වය

ගොඩක් පැණි රස කෑමෙන් දියවැඩියාව වැලඳෙනවා යන්න සාමාන්‍යයෙන් පවතින වැරදි මතයක්. ප්‍රවේණි බලපෑම් නිසා රෝගය වැලඳීමේ ප්‍රවණතාව ඇති පුද්ගලයන්ට අවදානම වැඩි කරවන්නේ කන සීනි ප්‍රමාණය නොව මහත් වීම බව වෛද්‍යමය වශයෙන් ලැබී ඇති සාක්ෂිවලින් හෙළි වී තිබෙනවා. කොහොම වුණත්, සීනිවල පෝෂණ ගුණය ඉතාමත් අඩු නිසාත් එය ස්ථූලතාවට තුඩු දිය හැකි නිසාත් එය අධිකව කෑම සෞඛ්‍යයට අහිතකරයි.

තවත් වැරදි මතයක් වන්නේ සීනි කෑමට දියවැඩියා රෝගීන් තුළ අසාමාන්‍ය ආශාවක් තිබෙනවා යන්නයි. ඇත්ත වශයෙන්ම, පැණි රස කෑම සඳහා අනිත් අයට තිබෙන ආශාවමයි ඔවුන්ටත් තිබෙන්නේ. දියවැඩියාව නිසි ලෙස පාලනය නොකළොත් බඩගින්නක් හටගන්න පුළුවන්. ඒත් එය පැණි රස කෑම සඳහාම ඇති වන බඩගින්නක් නොවෙයි. දියවැඩියා රෝගීන්ට පැණි රස කෑම තහනම් නොවුණත් ආහාර වේල සැලසුම් කරන විට තමන් ගන්නා සීනි ප්‍රමාණය ගැනත් අවධානය යොමු කළ යුතුයි.

පලතුරුවලින් හා එළවළුවලින් ලබාගන්නා සීනි වර්ගයක් වන ෆෘක්ටෝස් අධිකව කෑමෙන් සතුන් තුළ ඉන්සියුලින් ප්‍රතිරෝධය හා දියවැඩියාව පවා ඇති විය හැකි බව මෑතකදී කළ අධ්‍යයනවලින් හෙළි වී තිබෙනවා. මෙහිදී බලපා තිබෙන්නේ එම සතුන්ගේ

[8, 9වන පිටුවේ රූප සටහන්⁄පින්තූර]

දියවැඩියාව ගැන සරල විස්තරයක්

අග්න්‍යාසය

නිරෝගී පුද්ගලයෙක්

ආහාර ගත් පසු, රුධිරයේ ඉහළ යන සීනි මට්ටමට ප්‍රතිචාරය දක්වමින් අග්න්‍යාසය අවශ්‍ය ඉන්සියුලින් ප්‍රමාණය මුදාහරිනවා

පේශිමය සෛල හා වෙනත් සෛලවල තිබෙන ප්‍රතිග්‍රාහකයන් මත ඉන්සියුලින් අණු සවි වෙනවා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, පිවිසුම් මාර්ග විවෘත වී ග්ලූකෝස් අණු ඇතුල් වෙනවා

ග්ලූකෝස් උරාගන්නා අතර එය පේශිමය සෛල මගින් දහනය වෙනවා. මෙසේ, රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය තත්වයට පත් වෙනවා

පළමු වර්ගයේ දියවැඩියාව

අග්න්‍යාසයේ ඇති ඉන්සියුලින් නිපදවන බීටා සෛල ප්‍රතිශක්ති පද්ධතිය මගින් විනාශ කරනු ලබනවා. එහි ප්‍රතිඵලය වන්නේ ඉන්සියුලින් නිෂ්පාදනය නොවීමයි

ඉන්සියුලින්හි උපකාරය නොමැතිව සෛල තුළට ඇතුල් වීමට ග්ලූකෝස්වලට නොහැකියි

දෙවෙනි වර්ගයේ දියවැඩියාව

බොහෝවිට අග්න්‍යාසය ඉන්සියුලින් නිපදවන්නේ සීමිත වශයෙනුයි

ප්‍රතිග්‍රාහක ඉන්සියුලින්වලට දක්වන සංවේදිතාව අඩු වූ විට රුධිරයෙන් ග්ලූකෝස් උරාගැනීම සඳහා විවෘත විය යුතු පිවිසුම් මාර්ග ක්‍රියාත්මක නොවෙයි

අතිවැදගත් ක්‍රියාවලීන් ඇණහිටීමට සලස්වමින් හා රුධිර වාහිනිවල බිත්ති තුවාල කරමින් රුධිරයේ සීනි මට්ටම ඉහළ නඟිනවා

[රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

සෛලය

ප්‍රතිග්‍රාහකයක්

පිවිසුම් මාර්ගය

ඉන්සියුලින්

ග්ලූකෝස්

න්‍යෂ්ටිය

[රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

රුධිර වාහිනිය

රතු රුධිරාණු

ග්ලූකෝස්

[හිමිකම් විස්තර]

Man: The Complete Encyclopedia of Illustration/J. G. Heck

[7වන පිටුවේ පින්තූරය]

නිසි ආහාර පාලනය දියවැඩියා රෝගියෙකුට අත්‍යවශ්‍යයි

[10වන පිටුවේ පින්තූර]

දියවැඩියා රෝගීන්ට සාමාන්‍ය ක්‍රියාකාරකම්වල යෙදිය හැකියි