Skip to content

පටුනට යන්න

“මුහුණු දහසකින් යුත් බෙරය”

“මුහුණු දහසකින් යුත් බෙරය”

“මුහුණු දහසකින් යුත් බෙරය”

සෙනිගාලයේ පිබිදෙව්! ලේඛක විසින්

“එය තප්පුලයි, ක්‍රීක් හඬ නඟයි, විලාප නඟයි හා යටි ගිරියෙන් කෑගසයි. ඒ වගේම කොඳුරයි, සිංදු කියයි. . . . එයට අසීමිත පරාසයකින් යුත් නාද නිකුත් කළ හැකියි. එය මුහුණු දහසකින් යුත් බෙරයයි.” මෙම ලේඛකයාට මෙවැනි දේවල් උපකල්පනය කිරීමට මඟ පෑදුවේ කුමක්ද? වෙන කිසිවක් නොවෙයි, අප්‍රිකාවේ භාවිත කරන ජෙම්බේ බෙරයයි.

දකුණු අප්‍රිකානු ගෝත්‍රිකයන් අතර බෙර සම්ප්‍රදායේ ප්‍රධාන තැනක් ගන්නේ ජෙම්බේ බෙරයයි. ජෙම්බේ බෙර තාල ගැමි සංස්කෘතියේ විවිධ අවස්ථාවන්වලදී, එනම් විවාහයකදී, මරණයකදී, දරුවෙකුගේ ඉපදුණ විටදී, වෙනත් උත්සවවලදී, අස්වැන්න නෙළීමේදී, ඒ විතරක් නොවෙයි අලුත් ඇඳුම් මිල දී ගන්නා විටදීද වාදනය කරනු ලබනවා.

ජෙම්බේ බෙර විවිධ හැඩවලින් හා ප්‍රමාණයෙන් දක්නට තිබෙනවා. ජෙම්බේ බෙර ගිනියා, බර්කින ෆාසො, මාලි, සෙනිගාලය වැනි එක් එක් රටවලට ආවේණික වූ හැඩයෙන් යුක්තයි. මෙම භාණ්ඩය සාදා තිබෙන්නේ ශක්තිමත් ලී කොටයකින්. බෙර කඳ සාදා තිබෙන්නේ ලී කොටයේ මැද කොටස ඉවත් කර කුහරයක් ඇති කරලයි. සමහර අය මෙයට චාම් මෝස්තර යොදන අතර තවත් සමහරු අලංකාරය සඳහා සංකීර්ණ කැටයම් යොදනවා.

කඳ කොටස සම්පූර්ණයෙන්ම නිම වූ පසු දක්ෂ බෙර සාදන්නෙක් මේ ලී සැකිල්ල අද්විතීය සංගීත භාණ්ඩයක් බවට පත් කරයි. පළමුව, අවශ්‍ය කරන හඬ ලබාගැනීමට හැකි වන පරිදි නිශ්චිත ප්‍රමාණයක් දක්වා මෙම සැකිල්ල නියනෙන් කපා, සූරා වැලි කඩදාසියෙන් මැද ඔප දමයි. සමහරවිට මෙම අත්කම් ශිල්පියා එය ඇතුළට පාම් තෙල් ආලේප කර අව්වේ වේළාගනී. මෙසේ කිරීමෙන් දැවය ආරක්ෂා වෙයි.

මෙහි බෙර මුහුණ ආවරණය කර තිබෙන්නේ එළු හමෙන් වන අතර එය වටකුරු වානේ පටියකින් සවි කර තිබෙනවා. එයට තවත් බෙර ලණු රාශියක් එක් වී තිබෙන අතර මේවා වළලු දෙකකට සම්බන්ධයි. බෙර සාදන්නා මෙම ලණු කොපමණ තද කළ යුතුද? එසේ කිරීම රඳා පවතින්නේ ඔහුට ලබාගැනීමට අවශ්‍ය කරන තාලය මතයි. ඔහු මෙම බෙරය සුසර කරන අතරතුරේදී විටින් විට ඔහුගේ ප්‍රියතම තාලය වාදනය කර බලයි.

ජෙම්බේ බෙර තාලයට අප්‍රිකානුවන්ගේ මෙන්ම ආගන්තුකයන්ගේද සිත් ඇදී යයි. දක්ෂ සංගීතකරුවන් විසින් සැණෙකින් වාදනය කරන තාලවලට ඔබට සවන් දෙන්න අවස්ථාවක් ලැබී තිබෙනවා නම් “මුහුණු දහසකින් යුත් බෙරය” ඔබට කිසිදා අමතක නොවනු ඇති බව සහතිකයි.