Skip to content

පටුනට යන්න

ළමා විය ආදරයෙන් රැකගන්න කල

ළමා විය ආදරයෙන් රැකගන්න කල

ළමා විය ආදරයෙන් රැකගන්න කල

ළමා විය සන්තෝෂයෙන් ගත කිරීම බොහෝදුරට රඳා පවතින්නේ දෙමාපියන්ගෙන් ලැබෙන නිසි සැලකිල්ල මතයි. එසේනම්, දෙමාපියන්ගෙන් ලැබෙන නිසි සැලකිල්ලට අයත් වන දේවල් මොනවාද? මේ කාරණය සම්බන්ධයෙන් දෙනු ලබන මෙම උපදෙස් ඔබ අසා තිබෙනවා විය හැකියි. ඔබේ දරුවන් වෙනුවෙන් කාලය වෙන් කරන්න. ඔවුන්ට සවන් දෙන්න. හොඳ මඟ පෙන්වීම් ඔවුන්ට ලබා දෙන්න. ඔවුන්ගේ ප්‍රීතිය හා දුක බෙදාගනිමින් ඔවුන්ව තේරුම්ගන්න. දෙමාපියෙකු වශයෙන් ඔබේ අධිකාරිය අත් නොහරිමින් ඔවුන්ට සැබෑ මිතුරෙකු වන්න. නිතර නිතර සඳහන් කරනු ලබන එම ප්‍රතිපත්ති දෙමාපියන්ට ඔවුන්ගේ කාර්යය හොඳින් ඉටු කිරීමට උපකාරවත් වන බව අමුතුවෙන් කිව යුතු නැත. එනමුත් ඉහත සඳහන් කළ දේවලටත් වඩා අත්‍යවශ්‍ය මෙන්ම වඩා වැදගත් දේවල් කිහිපයක්ද තිබේ. මුල් තැනක් දිය යුත්තේ මේ දේවලටයි.

දෙමාපියන්ගේ නිසි සැලකිල්ල දරුවන්ට ලබා දීමේදී පහත දැක්වෙන බයිබල් ප්‍රතිපත්තිවලට වැදගත් තැනක් හිමි වන බව ලොව පුරා සිටින දෙමාපියෝ දශලක්ෂ ගණනක් අද්දකිති. මෙයට හේතුව කුමක්ද? පවුල නමැති විධිවිධානය මුලින්ම ඇති කළේ බයිබලයේ ඥානවන්ත කර්තෘ වන යෙහෝවා දෙවි වීම ඊට හේතුවයි. (උත්පත්ති 1:27, 28; 2:18-24; එපීස 3:15) මේ නිසා දරුවන්ව ඇති දැඩි කිරීම සම්බන්ධයෙන් මඟ පෙන්වීම් ලබාගැනීම සඳහා තිබෙන හොඳම මූලාශ්‍රය වන්නේ ඔහුගේ ආනුභාවයෙන් ලියා තිබෙන වචනයයි. කෙසේවෙතත්, දරුවන්ගේ ළමා විය වේගවත් කිරීමේ වර්තමාන නැඹුරුවාව සම්බන්ධයෙන් අපට නැණවත් උපදෙස් ලබා දීමට බයිබලය වැනි පැරණි පොතකට හැක්කේ කෙසේද? මේ කාරණයට අදාළ වන ශුද්ධ ලියවිල්ලේ සඳහන් ප්‍රතිපත්ති කිහිපයක් අපි දැන් සලකා බලමු.

‘දරුවන්ට පුළුවන් ප්‍රමාණයට’

ඊසාක්ගේ පුත් යාකොබ්ට දරුවන් දොළොස්දෙනෙකුට වඩා වැඩියෙන් සිටියේය. ඔහු සිය පවුලේ අය සමඟ ගමනක් යන අතරේදී පැවසූ නැණවත් වදන් කිහිපයක් බයිබලයේ මෙසේ වාර්තා කර තිබේ. ‘දරුවන් ළාබාලය. මාගේ ස්වාමින් [යාකොබ්ගේ වැඩිමල් සොහොයුරා වූ ඒසව්] ස්වකීය මෙහෙකරුවාට ඉස්සර වී යත්වා. මම දරුවන්ට යන්ට පුළුවන් ප්‍රමාණයට හෙමිහිට එන්නෙමි.’—උත්පත්ති 33:13, 14.

ඔහුගේ දරුවන් කුඩා වැඩිහිටියන් නොවූ බව යාකොබ් දැන සිටියේය. ඔවුහු “ළාබාල” වියේ පසු වූහ. එමෙන්ම ඔවුහු වැඩිහිටියන් මෙන් ශක්ති සම්පන්න අය නොවූහ. ඔවුන්ට අන් අයගේ උපකාරය වැඩියෙන් අවශ්‍ය විය. තමන් ගමන් කරන වේගයෙන්ම ගමන් කිරීමට දරුවන්ට බල නොකරමින් ඔවුන්ගේ වේගයට සරිලන ලෙස යාකොබ් සෙමින් ගමන් කළේය. මෙහිදී ඔහු ආදර්ශයට ගත්තේ, දෙවි ඔහුගේ දරුවන් ලෙස සලකන මිනිසුන් සමඟ කටයුතු කිරීමේදී පෙන්වන ප්‍රඥාවයි. අපේ ස්වර්ගික පියා අපේ සීමාවන් දනියි. ඔහු අසාධාරණ ලෙස දේවල් වැඩියෙන් කිරීම අපෙන් අපේක්ෂා කරන්නේ නැත.—ගීතාවලිය 103:13, 14.

සමහර සතුන් අතර පවා එවන් ප්‍රඥාවක් දැකිය හැකියි. මෙයට හේතුව දෙවි එම සතුන්ව ‘සහජ ඥානයක්’ ඇතුව මවා තිබීමයි. (හිතෝපදේශ 30:24, NW) නිදසුනක් වශයෙන් කුඩා පැටවුන් සිටින අලි රංචුවක ගමන් කරන සෑම ලොකු අලියෙකුම ගමන් කරන්නේ පැටවුන්ගේ වේගයෙන් බව සොබාදහම ගැන හදාරන අයගේ නිරීක්ෂණයට ලක් වී තිබේ.

නවීන සමාජයේ සිටින ඇතැම් පිරිස් දෙවිගේ ප්‍රඥාව අනුගමනය කරන්නේ නැත. එනමුත් ඔවුන් කරන දෙය ඔබ කළ යුතු නැත. ඔබේ දරුවා “ළාබාල” බව මතක තබාගන්න. වැඩිහිටියෙකු කරන දේවල් කරන්නත් වැඩිහිටියන්ගේ වගකීම් උසුලන්නත් දරුවන්ට නොහැකි බවද අමතක නොකරන්න. නිදසුනක් වශයෙන් ඔබ තනි මාපියෙකු නම් ඔබේ දුෂ්කර පෞද්ගලික ගැටලු ඔබේ දරුවාට පැවසීමට ඔබ තුළ ඇති වන පෙලඹීමට එරෙහිව සිටින්න. ඒවා දරුවාට පවසනවා වෙනුවට එම ගැටලු විසඳාගැනීමට ඔබට උපකාර කළ හැකි මේරූ වැඩිහිටි මිත්‍රයෙකුට ඒවා පවසන්න. මෙම තැනැත්තා බයිබලයේ සඳහන් නැණවත් උපදෙස් අදාළ කරගැනීමට ඔබට උපකාර කළ හැකි කෙනෙකු නම් වඩාත් හොඳයි.—හිතෝපදේශ 17:17.

එම ප්‍රතිපත්තියට අනුව කටයුතු කරමින් ඔබේ දරුවාගේ ළමා විය වේගවත් කිරීමෙන් ළමා වියේ සුන්දර කෙළිලොල් බවට සීමා මායිම් වැට ඉණි බඳින්න එපා. දැඩි කාල සටහනකට අනුව හැඩගස්වන්න එපා. කිසි විටකත් වෙනස් නොකරන විදිහට දේවල් සැලසුම් නොකරන්න. අන්ධ ලෙස වර්තමාන ලෝකයේ වේගයට සමාන වෙනවා වෙනුවට, ඔබේ දරුවාට සරිලන වේගයෙන් දේවල් කිරීමට ඔහුට ඉඩ දෙන්න. බයිබලය නැණවත් ලෙස මෙසේ උපදෙස් දෙයි. ‘ලෝකයේ අච්චුව තුළ ඔබව හිර කිරීමට ඔබ අවට තිබෙන ලෝකයට ඉඩ නොදෙන්න.’—රෝම 12:2, ෆිලිප්ස්.

‘හැම කාරණයකටම නිසි කාලයක් ඇත’

තවත් නැණවත් බයිබල් ප්‍රතිපත්තියක මෙසේ සඳහන් වේ. “හැම දෙයටම ප්‍රස්තාවක්ද මේ මහ පොළොවෙහි හැම කාරණයකටම නිසි කාලයක්ද ඇත.” වැඩ කිරීමටද කාලයක් තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැත. පාසැලේ වැඩ, ගෙදර දොරේ වැඩ හා ආගමික කටයුතු ඇතුළුව බොහෝ වැඩ දරුවන්ට කරන්න තිබේ. කෙසේවෙතත් “සිනාසෙන්නට කාලයක්” සහ “නටන්නට කාලයක්” තිබෙන බවද බයිබලයේ එම කොටසෙහිම සඳහන් වේ.—දේශනාකාරයා 3:1, 4, නව අනුවාදය.

සාධාරණ මට්ටමකින් කෙළිලොල් බව පෙන්වමින් සෙල්ලම් කිරීමට, සිනහසීමට හා ළමා වියේ ශක්තිය පිට කිරීමට විශේෂ අවශ්‍යතාවක් දරුවන්ට තිබේ. ඉගෙනගැනීමටත්, පාසැලෙන් පසු ක්‍රියාකාරකම්වල හවුල් වීමටත්, වෙනත් බැරෑරුම් වගකීම් ඉටු කිරීමටත් දවසේ මුළු කාලයම යොදවන්න සිදු වුවහොත්, ඔවුන්ට අවශ්‍ය කරන දෙයක් වන සෙල්ලම් කිරීමට කාලයක් ඔවුන්ට ලැබෙන්නේ නැත. මෙහි ප්‍රතිඵලයක් හැටියට දරුවන් අමනාපයකින් හා කලකිරුණු ස්වභාවයකින් පසු විය හැකියි.—කොලොස්සි 3:21.

එම බයිබල් ප්‍රතිපත්තියම වෙනත් ආකාරවලින්ද අදාළ කළ හැකි ආකාර සලකා බලමු. නිදසුනක් වශයෙන්, හැම කාරණයකටම නිසි කාලයක් තිබෙන නිසා, ළමා විය ළමයෙකු හැටියට ගත කළ යුතු බව ඉන් අදහස් කරන්නේ නැද්ද? ඔව් කියා ඔබ මෙයට පිළිතුරු දීමට ඉඩ තිබුණද ඔබේ දරුවන් සැමවිටම එයට එකඟ නොවිය හැකියි. බොහෝ අවස්ථාවලදී කුඩා පිරිමි හා ගැහැනු ළමුන් වැඩිහිටියන් කරන දේවල් කරන්න කැමතියි. නිදසුනක් වශයෙන් වැඩිහිටි කාන්තාවන් මෙන් අඳින්න, පළඳින්න ගැහැනු ළමුන්ට මහත් ආශාවක් තිබිය හැකියි. මල්වර වීම කලින් ආරම්භ වීම නිසා තමන් දැන් වැඩිහිටියෙකු කියා පෙන්වීමේ දැඩි වුවමනාවක් ඔවුන්ට දැනෙන්න ඉඩ තිබේ.

එවන් නැඹුරුවාවක තිබෙන අනතුරු නැණවත් දෙමාපියෝ තේරුම්ගනිති. සදාචාරය පිරිහුණු වර්තමාන ලෝකයේ දැකිය හැකි ඇතැම් වෙළෙඳ දැන්වීම් හා විනෝදාස්වාදයන් මගින් දරුවන්ව හඳුන්වා දෙන්නේ ලිංගික කාරණා ගැන දන්න මේරූ අය ලෙසයි. සිරුර හැඩගැන්වීම, විවිධ ආභරණ පැළඳීම හා කාමුක හැඟීම් උද්දීපනය කෙරෙන ලෙස ඇඳ පැළඳ සිටීම කුඩා දරුවන් අතර බහුලව දැකිය හැකියි. මෙම තත්වය දවසින් දවස වැඩි වෙමින් පවතී. එනමුත් ළමුන්ව ලිංගික අපචාර ක්‍රියාවලට යොදවාගැනීමට මාන බලමින් සිටින මිනිසුන්ව ආකර්ෂණය කරන ආකාරයට දරුවන්ට ඇඳ පැළඳ සිටීමට ඉඩ දෙන්නේ කුමකටද? දරුවන්ගේ වයසට සරිලන ලෙස ඇඳුම් ඇඳීමට ඔවුන්ට උපකාර කිරීමෙන් මෙම බයිබල් ප්‍රතිපත්තිය අදාළ කරගැනීමට දෙමාපියන්ට හැකියි. “නුවණැත්තා විපත්තිය දැක සැඟවෙයි.”—හිතෝපදේශ 27:12.

තවත් නිදසුනක් සලකා බලන්න. ක්‍රීඩාව දරුවන්ගේ ජීවිතවල මුල්තැනට දැමීමෙන් ඔවුන්ගේ ජීවිත අසමබර විය හැකියි. එවන් ජීවිතයක හැම දෙයකටම නිසි කාලයක් ලැබෙන්නේ නැත. බයිබලය නැණවත් ලෙස මෙසේ අවවාද සපයයි. “ශාරීරික ව්‍යායාමයෙන් ප්‍රයෝජන ටිකය. නමුත් දේවභක්තියට, දැන් තිබෙන ජීවිතය ගැනත් මතු පැමිණෙන ජීවිතය ගැනත් පොරොන්දුව තිබෙන බැවින් එය සියලු දේ සඳහා ප්‍රයෝජනවත්ය.”—1 තිමෝති 4:8, NW.

“ජයග්‍රහණය හැම දෙයකටම වඩා වටී” කියන මානසිකත්වය වැලඳගැනීමට ඔබේ දරුවන්ට ඉඩ නොදෙන්න. මොනවා වුණත් ජයග්‍රහණය ලබාගැනීමට දරුවන්ව උනන්දු කිරීමෙන් හා දැඩි ලෙස තරඟකාරී වීමට ඔවුන්ට ඉඩ දීමෙන්, ක්‍රීඩාවලට හවුල් වීමෙන් හා සෙල්ලම් කිරීමෙන් ලබන සතුට බොහෝ දෙමාපියෝ දරුවන්ගෙන් පැහැරගනිති. මේ නිසා ඇතැම් දරුවන්ට හැඟෙන්නේ ජයග්‍රහණය ලබාගැනීම සඳහා වංචා කිරීමේ හෝ සෙසු ක්‍රීඩකයන්ට තුවාල පවා සිදු කිරීමේ කිසි වරදක් නැති බවයි. එවැනි දේවල් කරන්න සිදු වෙනවා නම්, ජයග්‍රහණයේ කිසිදු වටිනාකමක් නැත!

ආත්ම-දමනය පෙන්වීමට ඉගෙනගැනීම

හැම දෙයකටම කාලයක් තිබෙනවා කියන දෙය ඉගෙනගැනීම දරුවන්ට බොහෝවිට දුෂ්කර දෙයකි. යමක් වුවමනා වූ විට එය ලැබෙන තෙක් ඉවසිලිවන්තව බලා සිටීම ඔවුන්ට ලෙහෙසි නැත. සමාජය ක්ෂණික වින්දනයට ලොල්වීම මෙම තත්වය තවත් දරුණු අතට හරවයි. “ඔබට වුවමනා කරන දෙය ගන්න, දැන්ම ගන්න!” කියන පණිවිඩය බොහෝ අවස්ථාවලදී මාධ්‍යය මගින් ඉදිරිපත් කරයි.

එවැනි බලපෑම්වලට හසු වී ඔබේ දරුවන්ට සව් සැප දී, ඔවුන්ව නරක් නොකරන්න. “වින්දනය ලබාගැනීමට තිබෙන ආශාව ප්‍රමාද කිරීමේ හැකියාව චිත්වේගීය වර්ධනයට බලපාන වැදගත් දෙයකි. ආත්ම හික්මවීම හා සමාජයට අනුකූල වීම, වර්තමානයේ වැඩි වෙමින් පවතින පාසැල් ඇතුළත හා පිටත දරුවන් සිදු කරන ප්‍රචණ්ඩකාරී ක්‍රියා මැඩලීමට ඉවහල් වන ප්‍රබල ඖෂධයකි” කියා එක් පොතක (The Child and the Machine) සඳහන් වේ. දරුවන්ව ඇති දැඩි කිරීමේදී උපකාරවත් වන තවත් බයිබල් ප්‍රතිපත්තියක මෙසේ සඳහන් වේ. “මෙහෙකරුවෙකු බාල වියේ සිටම සව් සැප දී ඇති කළත්, අන්තිමේදී ඔහු තුළ කළගුණ සැලකීමක් නැත.” (හිතෝපදේශ 29:21, න.අ.) මෙම ශුද්ධ ලියවිලි පාඨයේ ඍජුව කතා කරන්නේ යෞවන මෙහෙකාරයෙකු ගැන වුවත්, එම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැඟීමෙන් දරුවන්ට ඉමහත් ප්‍රයෝජන අත් වන බව බොහෝ දෙමාපියන් අද්දැක තිබේ.

‘යෙහෝවාගේ හික්මවීම හා මනස පුහුණු කිරීම’ කියා බයිබලයේ සඳහන් දෙයද දරුවන්ගේ අවශ්‍යතා අතර ප්‍රමුඛත්වයක් හිමි වන දෙයකි. (එපීස 6:4, NW) දරුවන්ට ආත්ම-දමනය හා ඉවසීම වැනි ගුණාංග වර්ධනය කරගැනීමට ප්‍රේමණීය හික්මවීම උපකාරවත් වේ. ජීවිත කාලය පුරාම සන්තෝෂය හා දේවල් ඉටු කරගැනීමෙන් ලබන තෘප්තිය අද්දැකීමට එම ගුණාංගවලින් ලැබෙන්නේ මහත් පිටිවහලකි.

ළමා වියට එල්ල වන සියලු තර්ජන නිම වන කල

ඔබ මෙසේ කල්පනා කරන්නට ඉඩ තිබේ. ‘මේ වගේ ප්‍රයෝජනවත් ප්‍රතිපත්ති ලියා තබන්නට ආනුභාවය දුන් ඥානවන්ත හා ප්‍රේමණීය දෙවි ඇත්තෙන්ම අරමුණ කළේ අද පවතිනවා වගේ ලෝකයක් බිහිවීමද? ආදරය හා රැකවරණය වෙනුවට බොහෝවිට අනතුරුදායක දේවල් පිරි ලෝකයක දරුවන් ඇති දැඩි වෙනවා දැකීම ඔහුගේ කැමැත්ත වීද?’ යෙහෝවා දෙවි සහ ඔහුගේ පුත් ක්‍රිස්තුස් යේසුස් විවිධ වයස් මට්ටම්වල සිටින දරුවන් ඇතුළු මුළු මනුෂ්‍යවර්ගයාටම ප්‍රේම කරන බව දැනගන්න ලැබීම ඔබට සහනයක් විය හැකියි. ඔවුන් දෙදෙනා එක්ව අද පොළොවේ පවතින දුෂ්ටකම් ළඟදීම පහ කර දමනු ඇත.—ගීතාවලිය 37:10, 11.

එම සාමකාමී සන්තෝෂවත් කාලය කලින්ම දකින්න ඔබ කැමතිද? ඉතාමත් අලංකාර ලෙස බයිබලයේ විස්තර කර තිබෙන මේ දසුන සිතින් මවාගන්න. “වෘකයා බැටළු පැටවා සමඟ වාසය කරන්නේය. දිවියාද එළුපැටවා සමඟ ලගින්නේය. වස්සාද තරුණ සිංහයාද තර සතාද එක්ව සිටින්නෝය. කුඩා දරුවෙක් උන් ගෙන යන්නේය.” (යෙසායා 11:6) බොහෝ අවස්ථාවලදී ළමා විය කුරිරු ලෙස විනාශ කර දමන, හිත් පිත් නොමැතිව එය වේගවත් කරවන ලෝකයක සිටින අපට, මනුෂ්‍යවර්ගයාට පොළොව මත එවන් දීප්තිමත් අනාගතයක් දෙවි පොරොන්දු කර තිබෙන බව දැනගන්න ලැබීමෙන් ලැබෙන්නේ මොන තරම් සැනසිල්ලක්ද! පැහැදිලිවම, මැවුම්කරුගේ අපේක්ෂාව ළමා විය අහිමි වෙනවා දැකීමවත් එය වේගවත් කරවනවා දැකීමවත් නොව, එය සන්තෝෂයෙන් භුක්ති විඳිනවා දැකීමයි. එය ආදරයෙන් රැකගන්නවා දැකීමයි.

[18වන පිටුවේ පින්තූරය]

පෞද්ගලික ගැටලු දරුවාට පවසා ඔහු මත පීඩනයක් ඇති නොකර, ඒවා වෙනත් වැඩිහිටියෙකු සමඟ කතා කරන්න

[19වන පිටුවේ පින්තූරය]

සෙල්ලම් කිරීම දරුවන්ගේ අවශ්‍යතාවකි