Skip to content

පටුනට යන්න

ළමා විය වේගවත් කළ කල්හි

ළමා විය වේගවත් කළ කල්හි

ළමා විය වේගවත් කළ කල්හි

තනි එන්ජිමක් සහිත කුඩා ගුවන් යානය ටිකෙන් ටික එහි වේගය වැඩි කරමින් ධාවන පථයෙන් ඉහළට නැඟී, අඳුරු පැහැති අහස් කුසෙහි පියාසර කිරීමට සැරසෙන විට එහි ශබ්දය අවට ප්‍රදේශය සිසාරා පැතිරෙන්නට විය. මෙම ගුවන්ගත වීම මාධ්‍යවල විශේෂ අවධානයට ලක් වූයේය. මාධ්‍යකරුවෝ මේ සිද්ධියේ සියලුම තොරතුරු වාර්තා කරන්න පටන්ගත්හ. හතරවටින්ම ඡායාරූප ගන්නා ලදි. වාර්තාකරුවන් දිගට හරහට ප්‍රශ්න අසමින් කෙළවරක් නැතිව ඔවුන්ගේ පැසසුම් පළ කරන්නට විය. මේ සියලුදෙනාගේම අවධානයට ලක් වෙමින් සිටියේ කවුද? එම ගුවන් යානයේ සිටි බලපත්‍රයක් තිබූ ගුවන් නියමුවා හෝ වැඩිහිටි පුරුෂයෙකු වූ එහි එකම මඟියා නොවේ. විශේෂ අවධානයට ලක් වූයේ එම මඟියාගේ දියණියයි. ඇගේ වයස අවුරුදු හතක් විය.

එම ගුවන් යානය පියාසර කරවීමට සූදානම්ව සිටියේ එම කුඩා ගැහැනු ළමයායි. කලින් තබා තිබූ වාර්තාවක් බිඳ හෙළීම එහි අරමුණ වූ අතර, ඉතා කාර්යබහුල කාල සටහනකට අනුව දේවල් කළ යුතු විය. මාධ්‍යකරුවෝ මෙම ගුවන් යානය ගොඩ බැස්වීමට නියමිතව තිබූ නැවතුම්පොළට වී බලා සිටියහ. අයහපත් කාලගුණයක් තිබුණද මෙම තිදෙනා ගුවන් යානයට ගොඩ වූහ. කුඩා දැරිය අසුන් ගෙන සිටි ආසනය මත කොට්ටයක් තබා තිබුණේ ගුවන් යානයේ විද්‍යුත් උපකරණ සවි කර තිබූ පුවරුවට ඉහළින් බැලීමට ඇයට හැකි වන ලෙසටයි. පෙඩල සකස් කර තිබුණේ ඇගේ පාද තබාගැනීමට හැකි වන පරිදිය.

මෙම ගුවන් යානයට වැඩි දුරක් පියාසර කිරීමට හැකි වූයේ නැත. හදිසියේ ඇති වූ කුණාටුවක් නිසා ගුවන් යානයේ ගමන් මඟ ක්ෂණිකව වෙනස් වී, එහි එන්ජිම ක්‍රියා විරහිත වීම නිසා එය කඩා වැටුණි. එහි ගමන් ගත් තිදෙනාම ජීවිතක්ෂයට පත් වූහ. මාධ්‍යවේදීන්ගේ මුවින් විගස පිට වූයේ ප්‍රශංසාත්මක වදන් වෙනුවට ශෝකජනක වදන්ය. මේ ඛේදවාචකය සම්බන්ධයෙන් මාධ්‍යය යම් ප්‍රමාණයක වගකීමක් බාරගත යුතුද යන කාරණය ගැන වාර්තාකරුවන් හා කර්තෘවරුන් කිහිපදෙනෙක් කල්පනා කළහ. ගුවන් යානා පැදවීමට කිසිම දරුවෙකුට ඉඩ නොදිය යුතු බවට තරයේ ප්‍රකාශ කිරීමට බොහෝදෙනෙක් පටන්ගත්හ. මේ සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ නීතිද සම්පාදනය කරන ලදි. එනමුත් මහත් ආන්දෝලනයකට තුඩු දුන් එම සිද්ධිය හා ඊට යෙදූ සරල විසඳුම් පිටුපස සැඟවුණු වඩා ගැඹුරු ප්‍රශ්න තිබුණි.

අපේ කාලයේ පවතින නැඹුරුවාවක් ගැන ගැඹුරින් සිතා බැලීමට එම ඛේදවාචකය ඇතැමුන්ට හේතු විය. වැඩිහිටියන් කරන දේවල් කිරීමට කුඩා දරුවන්ව යොමු කිරීම නිසා අද සිටින දරුවන්ගේ ළමා විය වේගවත් කර තිබේ. ඉහත සඳහන් ආකාරයට මෙහි ප්‍රතිවිපාක සැමවිටම දරුණු නොවන බව සැබෑවකි. එනමුත් එසේ කිරීමේ ප්‍රතිවිපාක ඛේදජනක විය හැක. දිගු කාලයක් පුරා බලපෑ හැක. ළමා විය වේගවත් කළ හැකි ආකාර කිහිපයක් අපි දැන් සලකා බලමු.

වේගයෙන් අධ්‍යාපනය ලබා දීම

දෙමාපියන් තම දරුවන්ගේ සාර්ථකත්වය දැකීමට දැඩි උනන්දුවක් දැක්වීම සාමාන්‍ය දෙයකි. නමුත් එම උනන්දුව ඕනෑවට වඩා හිතට ගත් විට දෙමාපියන් ඔවුන්ගේ දරුවන් මත මහත් බරක් පැටවීමට ඉඩ තිබේ. බොහෝ වෙහෙස මහන්සි වී ඉගෙනගැනීමටත් ඉතා ඉක්මනින් දේවල් කිරීමටත් දෙමාපියන් දරුවන් මත පීඩනයක් ඇති කළ හැක. මෙසේ කිරීම බොහෝ අවස්ථාවලදී පටන්ගන්නේ කිසිම හානියක් සිදු නොවන ආකාරයටයි. නිදසුනක් වශයෙන් දෙමාපියන් තමන්ගේ දරුවන්ව පාසැලෙන් පසු ක්‍රීඩා, සංගීතය හා නැටුම් වැනි විවිධ ක්‍රියාකාරකම් සඳහා යොමු කරවීම දැන් දැන් වැඩි වෙමින් පවතී. දරුවන්ව උපකාරක පන්තිවලට යැවීමද මේ කාලයේ බහුලව දක්නට තිබේ.

දරුවෙකුගේ හැකියාවන් වර්ධනය කරගැනීමට ඔවුන්ව දිරිමත් කිරීමේ කිසිදු වරදක් නැති බව අමුතුවෙන් කිව යුතු නැත. කෙසේවෙතත් පමණ ඉක්මවා යෑමේදී අනතුරක් විය හැකිද? අධික ලෙස කාර්යබහුල වැඩිහිටියන් මත ඇති වන පීඩන හා සමාන පීඩන සමහර දරුවන් මත ඇති වන බව දක්නට තිබෙන නිසා අනතුරක් සිදු විය හැකි බව පැහැදිලිය. ටයිම් සඟරාවේ මෙසේ සඳහන් වේ. “කලක් ළමා විය භුක්ති වින්ද කුඩා දරුවෝ දැන් විෂය මාලාවකට යට වී සිටිති. දුව පැන සෙල්ලම් කළ යුතු කෙළිලොල් වියේ පසු වන දරුවන් මහ මෙරක් බඳු බලාපොරොත්තු පොදි බැඳගෙන මෙහෙකාර මී මැස්සන් මෙන් ජීවිතය ගත කරන්නේ කඩිසරවයි.”

ඇතැම් දෙමාපියන්ගේ අපේක්ෂාව වන්නේ තමන්ගේ කුඩා දරුවන් මලල ක්‍රීඩා, සංගීත හෝ නාට්‍ය ක්ෂේත්‍රවල සුපිරි යොවුන් තරු බවට පත් වෙනවා දැකීමයි. ඇතැම් දෙමාපියන් දරුවන් බිහි කිරීමට කලින් සිටම ඔවුන්ව පෙර පාසැල්වල ලියාපදිංචි කරන්නේ තමන් දරුවන්ගෙන් අපේක්ෂා කරන සාර්ථකත්වය ඉටු කරගැනීමේ අරමුණ ඇතිවයි. මේ හැර සමහර මව්වරු දරුවන් මව් කුසෙහි සිටින විට ඔවුන්ට සංගීතය උගන්වන “පූර්ව ප්‍රසූත සරසවි” කියා හඳුන්වනු ලබන ආයතනවලට ඇතුළත් වෙති. මෙහි අරමුණ වන්නේ උපදින්න සිටින දරුවාගේ බුද්ධිය වර්ධනය වීම උත්තේජනය කිරීමයි.

සමහර රටවල වයස අවුරුදු හයටත් කලින් දරුවන්ගේ කියවීමේ හා ගණිත හැකියාව මනිනු ලැබේ. මෙවැනි ක්‍රියාවන් නිසා දරුවන්ට සිදු වන චිත්තවේගීය හානි පිළිබඳව ප්‍රශ්න මතු වී තිබේ. නිදසුනක් වශයෙන් පෙර පාසැලේදී “අසමත්” වන ළමයෙකුට සිදු වන්නේ කුමක්ද? වේගවත් කළ දරුවා නමැති පොතේ කර්තෘ ඩේවිඩ් එල්කින්ඩ් සඳහන් කරන්නේ දරුවන්ව ඉක්මනින්ම හා ඉතා කුඩා කාලයේදීම වර්ග කිරීමට පාසැල්වල නැඹුරුවාවක් තිබෙන බවයි. මෙවන් දෙයක් පාසැල්වල සිදු කරන්නේ දරුවන්ගේ ඉගෙනගැනීමේ කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් නොව, කළමනාකරණ කටයුතු පහසු කිරීමේ අරමුණින් කියා පවසමින් එල්කින්ඩ් කරුණු ගෙනහැර දක්වයි.

නිසි වයසට කලින් සමර්ථ කුඩා වැඩිහිටියන් බවට දරුවන්ව පත් කිරීමේදී යම් දේවල් කැප කිරීමට සිදු වේද? වැඩිහිටියන් මත පැටවී තිබෙන වෙහෙසකර දේවල් ඉසිලීමේ හැකියාව දරුවන් තුළ ඇති කළ යුතුයි කියන මතය අද සමාජය පිළිගෙන තිබීම ගැන එල්කින්ඩ් සිය කනස්සල්ල පළ කරයි. මේ ගැන ඔහු මෙසේ පවසයි. “එයින් පැහැදිලි වන්නේ වැඩි වෙමින් පවතින නොනවතින පීඩන අද සිටින දරුවන් මත පැටවීම ‘සාමාන්‍ය’ දෙයක් ලෙස පිළිගැනීමේ නැඹුරුවාවක් අප අතර තිබෙන බවයි.” ඇත්තෙන්ම, දරුවන් සම්බන්ධයෙන් සාමාන්‍යයයි කියා පවසන දේවල් පිළිබඳව දරන මත ක්ෂණිකව වෙනස් වන බව දක්නට ලැබේ.

ජය කණුව කරා වේගයෙන්

ජීවිතයේ වැදගත්ම දෙය ජයග්‍රහණයයි කියා දරුවන්ට ඉගැන්වීම සාමාන්‍ය දෙයක් කියාත් ඇතැම් විට එසේ කිරීම නැණවත් කියාත් බොහෝ දෙමාපියෝ සිතති. විශේෂයෙන් මෙය සිදු වන්නේ ක්‍රීඩා ක්ෂේත්‍රය සම්බන්ධයෙන්ය. මේ කාලයේ සිටින දරුවන් බොහෝදෙනෙකුව දිරිගන්වන්නේ ඔලිම්පික් පදක්කම් ලබාගැනීමටයි. සුළු මොහොතකට ජය පැන් පානය කිරීමේ හා අනාගතයේදී වැඩිහිටියෙකු වශයෙන් තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන ඇතැම් දරුවන්ව ඔවුන්ගේ ළමා කාලයෙන් ඉවතට තල්ලු කර දමා ඇත. ඇතැම්විට එවැනි කාලයක් කොහෙත්ම භුක්ති විඳීමට ළමයින්ට අවස්ථාවක් නැත.

ජිම්නාස්ටික් ක්‍රීඩාවේ නිරත වන ගැහැනු ළමුන් ගැන සිතා බලන්න. මෙම දරුවන් මෙම ක්‍රීඩාව පටන්ගන්නේ ඉතා ළාබාල වියේදීයි. ඔවුන්ගේ කුඩා සිරුරු ශාරීරික පීඩනයකට ලක් වන දැඩි කාල සටහනකට අනුව සකස් කෙරේ. ඔවුහු ඔලිම්පික් තරඟ සඳහා මානසිකව හා ශාරීරිකව සූදානම් වීමට අවුරුදු ගණනාවක් වැය කරති. අවසානයේදී ජය හිමි වන්නේ අතළොස්සකට පමණි. අවසානයේදී තමන්ට අත් වන දෙය තමන් කුඩා කාලයේ සිට කළ කැප කිරීම් සමඟ සසඳා බලන කල, එය වටිනවා කියා පැරදුණු අයට හැඟෙනු ඇද්ද? ජයග්‍රාහකයන්ට පවා තමන් අත් කරගත් දෙය ඒ සඳහා තමන් කළ කැප කිරීම්වලට සරිලනවාද කියා පසු කාලයකදී සැක මතු විය හැකියි.

සුපිරි ක්‍රීඩා තරුවක් වීමේ දැවෙන ආශාව නිසා එම ගැහැනු ළමුන්ගේ ළමා විය චිත්තවේගීය අතින් වේගවත් විය හැකියි. එනමුත් එවන් දැඩි පුහුණුවක් නිසා මේ දරුවන්ගේ ස්වාභාවිකව සිදු වන ශාරීරික වර්ධනයට බාධා ඇතිවීමට ඉඩ තිබේ. සමහර ළමුන්ගේ අස්ථි වර්ධනය අඩාල වේ. මෙවැනි දරුවන් අතර ආහාර ගැනීමේ අක්‍රමිකතා බහුලව දැකිය හැකියි. බොහෝ අවස්ථාවලදී මල්වර වීම ප්‍රමාද වේ. මෙය වසර ගණනාවකින් පවා ප්‍රමාද විය හැකියි. කෙසේවෙතත් වර්තමානයේ ගැහැනු ළමුන් බොහෝදෙනෙකු මුහුණ දෙන්නේ ඊට ප්‍රතිවිරුද්ධ ගැටලුවකටයි. එය නම් නියමිත කාලයට කලින් මල්වර වීමයි.—ඉහත කොටුව බලන්න.

ළමා විය හැර අන් සියල්ලම ලැබෙන දරුවන්

විනෝදාස්වාදය ගැන ජන මාධ්‍යය ඔස්සේ ප්‍රචාරණය කරන දේවල් ඔබ විශ්වාස කළොත්, ළමා විය ඉතාමත් හොඳින් භුක්ති විඳීම සඳහා ළමයෙකුට සෑම ආකාරයකම සුඛෝපභෝගී දේවල් ඕනෑ තරම් ලබා දිය යුතුයි කියා ඔබ සිතන්නට ඉඩ තිබේ. සමහර දෙමාපියන් රැයක් දවාලක් නොබලා වෙහෙස වී වැඩ කරන්නේ තමන්ගේ දරුවන්ට සැප පහසුකම් සහිත නිවසක්, කෙළවරක් නැති විනෝදාස්වාදයන් හා මිල අධික ඇඳුම් පැළඳුම් ඇතුළු සියලු සැප සම්පත් ලබා දීමටයි.

එහෙත්, එලෙස ඇති දැඩි කරනු ලබන දරුවන් බොහෝදෙනෙක් මත්පැන් පානය කරති. මත්ද්‍රව්‍ය භාවිත කරති. නුරුස්සන ස්වභාවයක් පෙන්වන අතර කැරලිකාර ලෙස හැසිරෙති. මෙයට හේතුව කුමක්ද? මෙයට හේතුව වන්නේ, තමන්ව නොසලකා හැර තිබෙන බවක් ඔවුන්ට හැඟෙන නිසා බොහෝදෙනෙකු දැඩි අමනාපයකින් පසුවීමයි. ඇත්තෙන්ම එය කනගාටුදායක තත්වයකි. දරුවන්ට අවශ්‍ය වන්නේ ආදරය හා සැලකිල්ල දක්වන දෙමාපියන්ය. දරුවන්ගේ මෙම අවශ්‍යතාව සපුරාලීමට තරම්වත් වේලාවක් නොමැති තරමටම කාර්යබහුල දෙමාපියන් සිතන්නේ තමන් වෙහෙස වී වැඩ කරන්නේ දරුවන්ව සන්තෝෂයෙන් තබන්න කියායි. එනමුත් ඔවුන් අතින් සිදු වන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දෙය විය හැකියි.

ආචාර්ය ජූඩිත් පාෆාසි “වත් පොහොසත් සමාජ ආර්ථික මට්ටමක සිටින, මව සහ පියා යන දෙදෙනාම රැකියා කරන” පවුල් ගැන විස්තර කරයි. බොහෝ අවස්ථාවලදී මොවුන් “දරුවන්ට ඕනෑම දෙයක් කරන්න ඉඩ දෙන්නේ, තමන් ද්‍රව්‍යමය දේවල් ලුහුබැඳ යෑමේදී පවුලට ඉන් හානියක් සිදු වන බව ඔවුන්ගේ යටි සිත ඔවුන්ට පවසන නිසයි” කියා ඇය පවසයි. ඇගේ අදහස්වලට අනුව, මෙවැනි දෙමාපියන් තැත් කරන්නේ “මුදලක් ගෙවා යමකින් නිදහස් වන්නාක් මෙන් තමන්ගේ පීතෘත්වයෙන් හා මාතෘත්වයෙන් නිදහස් වීමටයි.”

බොහෝවිට වැඩියෙන්ම හානි සිදු වන්නේ දරුවන්ටයි. සැප සම්පත් ඕනෑ තරම් ඔවුන්ට තිබෙනවා වෙන්න පුළුවනි. එහෙත් ළමා විය සන්තෝෂයෙන් ගත කිරීම සඳහා අවශ්‍ය කරන දෙමාපියන්ගේ කාලය හා ආදරය වැනි අත්‍යවශ්‍යම දේවල් ඔවුන්ට එතරම් ලැබෙන්නේ නැත. මඟ පෙන්වීම, හික්මවීම හා උපදෙස් නොමැති වීම නිසා දරුවෝ වැඩි කල් නොගොස් වැඩිහිටියන් මුහුණ දෙන ප්‍රශ්නවලට මුහුණ දෙති. මේ සඳහා ඔවුන් එතරම් දුරට සූදානම් වී නැත. සමහරවිට කොහෙත්ම සූදානම් නැත. ‘මම මත්ද්‍රව්‍ය භාවිත කළ යුතුද? ලිංගික සම්බන්ධකම් පැවැත්විය යුතුද? කේන්ති යන විට කලහකාරී විය යුතුද?’ බොහෝවිට මේ ප්‍රශ්නවලට ඔවුන් පිළිතුරු සොයාගන්නේ ඔවුන්ගේ මිතුරන්ගෙන් හෝ රූපවාහිනියේ නැත්නම් චිත්‍රපටවල දකින චරිතවලිනි. මෙහි ප්‍රතිඵලය වන්නේ ළමා විය ක්ෂණිකව හා ඛේදජනක අද්දැකීම් සමඟින් අවසන් වීමයි.

තවත් “වැඩිහිටියෙක්” වීම

දෙමාපියන් දෙදෙනෙකු සිටි පවුලක මරණය, වෙන්වීම හෝ දික්කසාදය නිසා මව හෝ පියා අහිමි වන විට, දරුවෝ බොහෝවිට චිත්තවේගීව වේදනා අද්දකිති. තනි මාපිය පවුල් බොහොමයක් සාර්ථකව දිවි ගෙවන බව සැබෑවකි. එනමුත් එවැනි සමහර පවුල්වල දරුවන්ගේ ළමා විය බලහත්කාරයෙන් වේගවත් කර ඇත.

ඇතැම් අවස්ථාවලදී තනි මාපියෙකු තනිකම නිසා වේදනාවෙන් පසුවීම සිතාගත හැකි දෙයකි. කෙසේවෙතත් එහි ප්‍රතිඵලයක් හැටියට සමහර තනි මාපියෝ තමන්ගේ දරුවෙකුට, බොහෝවිට වැඩිමල් දරුවාට පවුලේ වෙනත් “වැඩිහිටියෙකු” කළ යුතු දේවල් කිරීමට ඉඩහරිති. අසරණ තත්වයකට පත්ව සිටීම නිසා තනි මාපියා ඔහුගේ හෝ ඇයගේ කුඩා පුතෙකුට හෝ දියණියකට සෑම දෙයක්ම පැවසීමට ඉඩ ඇත. මෙසේ කිරීමෙන් සිදු වන්නේ එවැනි දෑ දැරීමට තවමත් සූදානම් වී නොමැති දරුවා මත මහත් පීඩනයක් ඇතිවීමයි. සමහර තනි මාපියන් චිත්තවේගීය වශයෙන් පමණ ඉක්මවා දරුවෙකුගේ උපකාරය පැතිය හැකියි.

තවත් සමහර දෙමාපියෝ පවුලේ වැඩිහිටියෙකුගේ කාර්යභාරය බලෙන්ම දරුවෙකු පිට පටවමින් සම්පූර්ණයෙන්ම තමන්ගේ වගකීම්වලින් නිදහස් වෙති. මුල් ලිපියේ සඳහන් කළ කාමන්ට හා ඇගේ අක්කාට මහ පාරට බසින්න සිදු වූයේ එවන් තත්වයකට මුහුණ දෙන්නට සිදු වූ නිසාය. දරුවන් වන ඔවුන්ට නංගිලා මල්ලිලාව දෙමාපියෙකු මෙන් බලාගැනීමට බල කෙරේ. මේ බර ඔවුන්ට උසුලන්න බැරි තරම් බරකි.

බලහත්කාරයෙන් දරුවන්ගේ ළමා විය වේගවත් කිරීම හානිකර ක්‍රියාවක් බව පැහැදිලිය. මෙය හැකි සෑම අවස්ථාවකදීම වැළැක්විය යුතු දෙයකි. කෙසේවෙතත් ශුභ ආරංචියක් ඇත. දරුවන්ට ඔවුන්ගේ ළමා විය සන්තෝෂයෙන් භුක්ති විඳීමට ඉඩ සලසා දීම සඳහා වැඩිහිටියන්ට ඵලදායක පියවර ගත හැක. මේ පියවර මොනවාද? මේ සම්බන්ධයෙන් අතීතයේ පටන් පලදායක බවට තහවුරු වී තිබෙන පිළිතුරු කිහිපයක් අපි දැන් සලකා බලමු.

[16වන පිටුවේ කොටුව]

නිසි වයසට කලින් මල්වර වීම හා බැඳි දුෂ්කරතා

වර්තමානයේ සිටින ගැහැනු ළමුන් අඩු වයසින් මල්වර අවධියට පා තබනවාද? මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් විද්‍යාඥයන් අතර මතභේද පවතී. ඇතමුන් පවසන්නේ දහනවවන සියවස මැදභාගයේදී ගැහැනු ළමුන් මල්වර වීමේ සාමාන්‍ය වයස අවුරුදු 17ක් වුවද අද එය වයස අවුරුදු 13ට වඩා අඩු බවයි. වර්ෂ 1997දී එක්සත් ජනපදයේ ගැහැනු ළමුන් 17,000ක් යොදාගනිමින් කළ අධ්‍යයනයකින් පෙනී යන්නේ සුදු ජාතික ගැහැනු ළමුන්ගෙන් සියයට 15ක් පමණද අප්‍රිකානු සම්භවයක් ඇති අමෙරිකානු ජාතික ගැහැනු ළමුන්ගෙන් සියයට 50ක්ද වයස අවුරුදු අටේදී මල්වර වීමේ මුල් ලක්ෂණ පෙන්නුම් කරන බවයි. කෙසේවෙතත් ඇතැම් වෛද්‍යවරු එම සොයාගැනීම් ගැන සැක පහළ කරන අතර, අඩු වයසකදී සිදු වන එවන් වර්ධනයන් “සාමාන්‍ය” දෙයක් හැටියට සලකන්න එපා කියා දෙමාපියන්ට අනතුරු අඟවති.

මතභේද කෙසේවෙතත් මේ තත්වය නිසා දෙමාපියෝ මෙන්ම දරුවෝද මහත් දුෂ්කරතාවකට මුහුණ දෙති. ටයිම් සඟරාවේ මෙසේ සඳහන් වේ. “ශාරීරික වෙනස්කම්වලට වඩා වැඩියෙන් අපහසුතාවක් ඇති කරවන්නේ දරුවන් නිසි කලට කලින් ලිංගිකව වර්ධනය වීම නිසා ඇති විය හැකි මානසික බලපෑම්ය. එම දරුවන් සිටින්නේ කාන්තාවන්ව ගොදුරු කරගැනීමට මාන බලන මිනිසුන්ගෙන් ආරක්ෂා වන ආකාරය ගැන දැනගත යුතු වයසක නොව, යහපත් පාඩම් කියා දෙන ළමා කතා කියවිය යුතු වයසකයි. . . . ළමා විය පවතින්නේ කෙටි කලකටය. ඒ අවස්ථාව ඇහිරෙන්න ඉඩ නොදිය යුතුයි.” මෙම ලිපියෙහි මනසට තදින්ම බලපෑ හැකි මෙම ප්‍රශ්නය නඟා තිබේ. “වැඩිහිටියෙකු වීම සඳහා මනසින් හා හදවතින් සූදානම් වීමට කලින් හිරිමල් වියේ සිටින ගැහැනු ළමුන් වැඩිහිටියන් මෙන් උස් මහත් වී වැඩුණොත් ඔවුන්ට සදහටම අහිමි වන්නේ කුමක්ද?”

බොහෝ අවස්ථාවලදී ලිංගික සූරාකෑම්වලට ලක්වීම නිසා අහිමි වන්නේ ළමා වියේ අහිංසකකමයි. එක් මවක් කෙළින්ම මෙසේ පැවසුවාය. “නිසි වයසට කලින් ඇඟ පත මහත් වී තිබෙන ගැහැනු ළමුන් [මී මැස්සන්ව ආකර්ෂණය කරන] මල් පැණි වගෙයි. වයසින් වැඩි පිරිමි ළමයින් ඔවුන් වෙතට ඇදී එනවා.” අඩු වයසකදී ලිංගික ක්‍රියාවල හවුල් වීමට ඇති වන පීඩනයට යටවීමෙන් සිදු වන හානි දරුණුයි. එමගින් නව යොවුන් වියේ පසු වන ගැහැනු ළමයෙකුගේ ආත්ම ගරුත්වය හා පවිත්‍ර හෘදය සාක්ෂිය විනාශ වී යා හැකියි. එමෙන්ම ශාරීරික මෙන්ම චිත්තවේගීයවද හානි සිදුවීමටද ඉඩ තිබේ.

[15වන පිටුවේ පින්තූරය]

අධික වැඩ සහිත කාල සටහනක් ගැටලු ඇතිවීමට හේතු විය හැක

[17වන පිටුවේ පින්තූරය]

දරුවන්ව තරඟකාරී මානසිකත්වයකට තල්ලු කර දැමීම හේතුවෙන්, ක්‍රීඩාවලින් හා වෙනත් සෙල්ලම්වලින් ලබන සතුට ඔවුන්ට නොලැබිය හැකියි

[17වන පිටුවේ පින්තූරය]

සැප සම්පත් දෙමාපියන්ගෙන් ලැබිය යුතු ආදරයට හා රැකවරණයට ආදේශකයක් නොවේ