Skip to content

පටුනට යන්න

කෘමීන්ගෙන් වැලඳෙන රෝග වර්ධනය වෙමින් තිබෙන ගැටලුවකි

කෘමීන්ගෙන් වැලඳෙන රෝග වර්ධනය වෙමින් තිබෙන ගැටලුවකි

කෘමීන්ගෙන් වැලඳෙන රෝග වර්ධනය වෙමින් තිබෙන ගැටලුවකි

ලතින් අමෙරිකාවේ නිවසක රාත්‍රියේ නිදාගන්නා වේලාවය ඒ. මවක් තම කුඩා පුතුට සුව පහසු නින්දක් ලබාගැනීම සඳහා සියල්ල සකස් කර ආදරයෙන් ඔහුට ශුභ රාත්‍රියක් පතන්නීය. එහෙත් රෑ ඝනාන්ධකාරයේ දිළිසෙනසුලු, කලු පැහැයෙන් යුත් සෙන්ටිමීටර් 3කට වඩා මඳක් අඩු දිගකින් යුත් ‘හාදු මකුණා’ ලෙසින් හැඳින්වෙන කෘමියෙක් නිවසේ දරුවා නිදන ඇඳට උඩින් පිහිටි සීලිමේ කුඩා සිදුරකින් එම දරුවා නිදන ඇඳ මතට වැටේ. දරුවාට කිසිවක් දැනෙන්නේ නැත. නිදන දරුවාගේ මුහුණ මත වැටී සිටින ඌ ඉතා සියුම් ලෙස උගේ තුඩකින් දරුවාගේ මුහුණේ සම මතුපිටට විදියි. මේ මකුණා ඉතා ගිජු ලෙස ලේ උරා බොන කල, පරපෝෂිතයන්ගෙන් පිරි අපද්‍රව්‍යද ඌ බැහැර කරයි. නින්දේදීම තම මුහුණ කසන්නට පටන්ගන්නා දරුවා අන්තිමේදී කසමින් ඇති වූ තුවාලයට මකුණාගේ අපද්‍රව්‍යද අතුල්ලයි.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම දරුවා ෂාගා නමින් හැඳින්වෙන රෝගයට ගොදුරු වෙයි. සතියක් හෝ දෙකක් ඇතුළත ඔහුට තද උණක් සෑදී ඔහුගේ සිරුර ඉදිමෙයි. ඔහු උණෙන් හා සිරුර ඉදිමීමෙන් සුවය ලැබුවත්, එම පරපෝෂිතයන් ඔහුගේ ශරීර පද්ධතිය තුළ ජීවත් වීමට පටන්ගන්නේ ඔහුගේ හෘදය වස්තුව, ස්නායු සහ අභ්‍යන්තර පටක ආක්‍රමණය කරමිනි. කිසිම රෝග ලක්ෂණයක් නැතිව වසර 10ක් හෝ 20ක් ගත වෙන්නට පුළුවනි. එහෙත් ඒ අතරතුර ඔහුගේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ තුවාල හටගත හැකිය. මොළය ආසාදනවලට ගොදුරු විය හැකියි. අන්තිමේදී හෘද රෝග තත්වයකින් මිය යන්නට පුළුවනි.

මෙම මනඃකල්පිත විස්තරයෙන් යථාර්ථවාදීව විස්තර කෙරෙන්නේ ෂාගා රෝගය කෙනෙකුට වැලඳිය හැකි අන්දමයි. ලතින් අමෙරිකාවේ, මිලියන ගණනක් මෙම මරණයේ හාදුව ලැබීමේ අවදානමේ සිටිනවා විය හැකියි.

මිනිසාගේ බහුපාද සහයකයා

“මිනිසාට උණත් සමඟම බහුලව වැලඳෙන රෝග අතරින් වැඩි ප්‍රමාණයක්ම බෝ වෙන්නේ කෘමීන් නිසාය,” යනුවෙන් බ්‍රිතාන්‍ය විශ්වකෝෂය (සිංහලෙන් නැත) පවසයි. ජනයා සාමාන්‍යයෙන් “කෘමියා” යන වචනය පොදුවේ භාවිත කරන්නේ මැස්සන්, මැක්කන්, මදුරුවන්, උකුණන්, කුරුමිණියන් වැනි පාද හයක් සහිත නියම කෘමීන්ට පමණක් නොව, නමුත් කීඩෑවන් සහ කිනිතුල්ලන් වැනි පාද අටක් සහිත සතුන්ටත්ය. විද්‍යාඥයෝ මේ සියලු කෘමීන්ව ආර්ත්‍රොපෝඩා වංශයට ලැයිස්තුගත කරති. මෙම ආර්ත්‍රොපෝඩා වංශය සත්ව රාජධානියේ විශාලතම වංශයයි. අඩුතරමින් සොයාගෙන ඇති ජීවීන් මිලියනයක් මීට අයත් බව පිළිගැනේ.

මෙම කෘමීන්ගෙන් බහුතරයක් මිනිසාට හානිකර නැත. සමහරක් කෘමීන් ඉතා ප්‍රයෝජනවත්ය. මොවුන් නොමැතිව මිනිසුන් හා සතුන් ආහාර සඳහා ගන්නා බොහොමයක් පැලෑටි හා ශාකවල පරාගණය සිදු වන්නේවත් පල නිපදවෙන්නේවත් නැත. ඇතැම් කෘමීන්ගෙන් බැහැරවන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණයට උපකාරවත් වෙයි. කෘමීන් බොහොමයක් මුළුමනින්ම පාහේ පැලෑටිවලින් පෝෂණය වෙන අතර, එක්තරා වර්ගවල කෘමීහු වෙනත්වර්ගවල කෘමීන්ව ආහාරයට ගනිති.

එහෙත්, මිනිසුන්ට සහ සතුන්ට ඉතා වේදනාකාරී ලෙස විදිමින් හෝ මහත් ගණනින් අසල ගැවසීමෙන් හිරිහැර කරන කෘමීන් සිටින බව නොකිවමනාය. ඇතැම් කෘමී වර්ග අස්වනු කා දමා නැති නාස්ති කරති. කෙසේවෙතත්, රෝග පතුරුවමින් මරණය ළඟා කරවන්නේ වඩාත් දරුණුම කෘමීන්ය. “දාහත්වෙනි සියවසේ සිට 20වෙනි සියවසේ මුල් භාගය දක්වා අතර කාලය තුළදී මිනිසාට වැලඳුණු රෝග සහ සිදු වූ මරණවලට වඩාත්ම වගකිව යුතු වූ හේතුව නම්” කෘමීන් මගින් බෝ වෙන රෝගයයි එක්සත් ජනපද රෝග පාලන සහ මර්දන ආයතනයේ ඩ්වාන් ගෙබ්ලර් සඳහන් කරයි.

දැනට, සෑම 6දෙනෙකුගෙන් එක්කෙනෙකුටම වැලඳී ඇති රෝග බෝවී ඇත්තේ කෘමීන් මගිනි. මිනිසාට වද වේදනා ඇති කරනවාට අමතරව, කෘමීන් මගින් බෝ වෙන රෝග හේතුවෙන් විශේෂයෙන් දියුණු වෙමින් පවතින රටවලට තදබල මූල්‍යමය බරක් පැටවී තිබෙන අතර, එම රටවලට එය දරන්නට බැරි තරම්ය. එසේම, හදිසියේ කඩා පාත් වූ වසංගතයක් නිවාරණය කිරීමටද බරපතළ වියදමක් දැරීමට සිදු වෙයි. වර්ෂ 1994දී ඉන්දියාවේ බටහිර ප්‍රදේශයට පැතිර ගිය එවන් වසංගතයක් නිසා එම රටෙන් සහ ලෝක ආර්ථික සම්පත්වලින් ඩොලර් බිලියන ගණනක් වැය කරන්නට සිදු වූ බව කියැවේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි, එවන් සෞඛ්‍ය ගැටලු පාලනය කරගන්නා තෙක්, ලෝකයේ දිලිඳුම රටවලට ආර්ථික වශයෙන් ප්‍රගතියක් ලබන්නට නොහැකි වනු ඇත.

කෘමීන් අපව රෝගී කරන අන්දම

කෘමීහු රෝග වාහකයන් ලෙස ප්‍රධාන ක්‍රම දෙකකින් ක්‍රියා කරති. පළමුව යාන්ත්‍රික වහනය මගිනි. එනම්, එය හරියට මිනිසුන් තමන්ගේ අපිරිසිදු සපත්තුවලින් කැත කුණු නිවෙසට රැගෙන එන්නට හැකිවාක් මෙන්, “ගෙමැස්සන් තමන්ගේ පාදවලින් ක්ෂුද්‍ර ජීවීන් මිලියන ගණනාවක් මහා පරිමාණවලින් රැගෙන ආ හැකි අතර, මේවායින් රෝග ඇති විය හැකි” යයි බ්‍රිතාන්‍ය විශ්වකෝෂය පවසයි. නිදසුනක් වශයෙන් මැස්සන් අසූචිවලින් රෝගකාරක රැගෙන ගොස් අපේ ආහාර පාන මත වසන්නට පුළුවනි. මේ මගින් සිරුර ඉතා දුබල කරවන මෙන්ම මාරාන්තික රෝග වන, උණ සන්නිපාතය, පාචනය සහ කොලරාව පවා බෝ කරවිය හැකියි. තවද ලෝකයේ අන්ධභාවයට ප්‍රධානතම හේතුව වූ ට්‍රැකෝමා නම් වූ රෝගය පතුරුවාලීමට මැස්සන් දායක වෙයි. ට්‍රැකෝමා රෝගයෙන් සිදු වෙන්නේ ඇසේ තාරා මණ්ඩලයේ ඉදිරි පැහැදිලි කොටස වූ අක්ෂි පේශී හෙවත් කුණිතය නම් වූ කොටස පලුදු කිරීමයි. ලොව වටා මිනිස්සු 50,00,00,000ක් පමණදෙනා මේ භයානක විපතෙන් දුක් විඳිති.

කැළි කසළ මත යෙහෙන්වැජඹෙන කැරපොත්තන්ද රෝග යාන්ත්‍රික ලෙස වහනය කරන්නවුන් බවට සැක කෙරේ. මීට අමතරව, විශේෂයෙන් දරුවන් අතර දක්නට ලැබෙන ඇදුම රෝගයේ ඉහළ යෑමක් ඇති වෙන්නේ දරුවන් කැරපොත්තන්ට ආසාත්මිකතාවක් දැක්වීම නිසා යන්න විශේෂඥයන්ගේ අදහසයි. නිදසුනක් වශයෙන්, තමාට වැලඳුනු ඇදුම රෝගය නිසා හුස්මගැනීමේ අපහසුවෙන් රාත්‍රි ගණනාවක්ම ගත කළ 15හැවිරිදි ඈෂ්ලි නම් වූ ගැහැනු ළමයා ගැන සිතා බලන්න. ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරිය ඇගේ පෙනහලුවල ක්‍රියාකාරිත්වයට සවන් දීමට සූදානම් වන අතරතුර, ඈෂ්ලිගේ කමිසයෙන් ඉවතට වැටුණු කැරපොත්තෙක් පරීක්ෂණ මේසය හරහා දිව ගියේය.

කෘමීන්ගේ සිරුරු තුළ රෝග

කෘමීන්ගේ සිරුරු තුළ වයිරස්, බැක්ටීරියා හෝ පරපෝෂිතයන් ගබඩා කරගෙන සිටින විට, තවත් දෙවෙනි ක්‍රමයකින් තවත් කෙනෙකුට රෝග බෝ කළ හැකියි. එසේ කරන්නේ විදීමකින් හෝ වෙන යම් ක්‍රමයකින් විය හැකියි. මේ අන්දමින් මිනිසුන් හට රෝග වහනය කරන්නේ කෘමීන්ගෙන් කුඩා ප්‍රතිශතයක් පමණි. නිදසුනක් වශයෙන්, මදුරු වර්ග දහස් ගණනක් සිටින නමුත් මැලේරියා රෝගය වහනය කරන්නේ ඇනෝෆිලස් නම් වූ වර්ගය පමණි. මෙය (ක්ෂය රෝගයට පසුව) ලෝකයේ තිබෙන වඩාත් මාරාන්තික රෝග අතුරින් දෙවෙනි තැන ගනී.

එහෙත්, තවත් මදුරු වර්ග රෝග ගණනාවක් බෝ කරති. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ වාර්තා කරයි. “රෝග වාහක කෘමීන් සියල්ලන්ම අතුරින් වඩාත් මාරාන්තික කෘමියා වන්නේ මදුරුවාය. මැලේරියා, ඩෙංගු සහ කහ උණ පතුරුවන මදුරුවන් සෑම වසරකම මිලියන ගණනක්දෙනාගේ මරණවලට හා තවත් මිලියන සිය ගණනක් රෝගීන්ගේ දුක් පීඩාවලට වගකිව යුතුය.” පොළොවේ ජනගහනයෙන් අඩුම තරමින් සියයට 40කට මැලේරියාව වැලඳීමේ අවදානම තිබෙන අතර සියයට 40ක් ඩෙංගු වැලඳීමේ අවදානමක සිටිති. බොහෝ ප්‍රදේශවල, එක් පුද්ගලයෙකුට මේ රෝග දෙකම වැලඳිය හැකියි.

ඇත්ත වශයෙන්ම, තමන් තුළ ඇති රෝග රැගෙන යන්නේ මදුරුවන් පමණක්ම නොවේ. සෙට්සි මැස්සන් යන නමින් හැඳින්වෙන මැසි වර්ගය ප්‍රොටසෝආවන් ගෙන යන අතර, එමගින් ඇති වන නින්ද යෑමේ රෝගය (sleeping sickness) සිය දහස් ගණන් ජනයාට බලපා ඇති හෙයින් තමන්ගේ සරුසාර ප්‍රදේශයන් අත්හැර යෑමට මුළු ප්‍රජාවන්ටම සිදු වී තිබේ. ගංගා අන්ධකම (river blindness) ඇති කරවන පරපෝෂිතයන් වහනය කිරීම මගින් කලු මැස්සන් අප්‍රිකානුවන් 4,00,000කගේ පමණ ඇස් අන්ධ කරවා ඇත. තවද වැලි මැක්කන් ලෙයිෂ්මෙනියාසිස් නමැති රෝග විශේෂය ඇති කරවන ප්‍රොටසෝආවන් රැගෙන යන අතර, ලොව වටා සියලුම වයස් මට්ටම්වල සිටින මිලියන ගණනක්දෙනෙකුට දැනටමත් මෙම රෝග බලපා ඇත්තේ ඔවුන්ව දුර්වල කරමින්, දරුණු තුවාල ඇති කරමින් සහ බොහෝවිට මාරාන්තික ප්‍රතිඵල ඇති කරමිනි. සෑම තැනකම පැතිර ඇති මැක්කන් තුළ පටිපණුවන්, එන්සෙෆලයිටිස්, ටියුලරේමියා සහ මහාමාරිය පවා වැජඹීමට පුළුවන් අතර, මහාමාරිය හෙවත් කලු මරණය නම් රෝගය නිසා මධ්‍යම යුගවලදී යුරෝපීය ජනගහනයෙන් තුනෙන් එකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් වසර හයක පමණ කාලයක් ඇතුළත මරුමුවට පත් වූහ.

උකුණෝ, කීඩෑවෝ සහ කිනිතුල්ලෝ ටයිෆස් රෝගවලට අමතරව, තවත් විවිධාකාර අසනීප තත්වයන් ඇති කරවන රෝග කාරක වහනය කරති. ලොව වටා සමශීතෝෂ්ණ රටවල වෙසෙන කිනිතුල්ලන්ට, සිරුර ඉතා දුර්වල කිරීමට හැකියාවක් ඇති ලයිම් රෝගය බෝ කළ හැකිය. එය එක්සත් ජනපදයේ සහ යුරෝපයේ වාහක කෘමීන්ගෙන් වඩාත් බහුලව බෝ වෙන රෝගය වේ. ස්වීඩනයේ එක් අධ්‍යයනයකින් හෙළි වූයේ සංක්‍රමණික කුරුල්ලන්ට සැතපුම් දහස් ගණනක් දුරට කිනිතුල්ලන් රැගෙන යා හැකි බවත්, එමගින් උන් යන නව ප්‍රදේශවලට රෝග හඳුන්වා දීමට හැකියාවක් ඇති බවත්ය. “වෙනත් සියලු ආර්ත්‍රොපෝඩාවන් (මදුරුවන් හැර) විසින් මිනිසුන් වෙත රැගෙන යන රෝග සංඛ්‍යාවට වඩා කිනිතුල්ලන් පතුරුවන රෝග සංඛ්‍යාව වැඩි බව” බව බ්‍රිටැනිකා පවසයි. ඇත්තෙන්ම, එක් කිනිතුල්ලෙකුට විවිධ රෝග වර්ග තුනකට හේතු පාදක වන රෝග කාරක ක්ෂුද්‍ර ජීවීන් ගෙන යා හැකි අතර, එක් සපාකෑමක දී ඒ සියලු ක්ෂුද්‍ර ජීවීන් එම පුද්ගලයාගේ සිරුරට ඇතුළු කිරීමට ඌ සමත්ය!

රෝගවලින් “නිවාඩුවක්”

කෘමීන් රෝග කාරක වහනය කරන බව 1877 වන තෙක් විද්‍යාත්මකව ඔප්පු කර තිබුණේ නැත. එතැන් පටන්, මෙම රෝග වාහක කෘමීන් පාලනය කිරීමට හා තුරන් කිරීමට ඉතා මහා පරිමාණයේ ව්‍යාපෘති දියත් කර තිබේ. වර්ෂ 1939දී ඩීඩීටී නමැති කෘමි නාශකය මේ සඳහා යොදා ගැනුණු අතර, කෘමීන් විසින් ඇති කරලීමට හේතු වන රෝග 1960ගණන් වන විට අප්‍රිකාවෙන් පිටත විසු මහජනයාගේ සෞඛ්‍යයට තර්ජනයක් ලෙසට තවදුරටත් සලකනු ලැබුවේ නැත. රෝග වාහක කෘමීන්ව පාලනය කරනවා වෙනුවට අවධානය යොමු කෙරුණේ ඖෂධ යොදාගෙන හදිසි රෝගීන්ට ප්‍රතිකාර කිරීමටයි. මේ නිසා කෘමීන් සහ ඔවුන් වාසය කරන තැන් ගැන හැදෑරීම කෙමෙන් කෙමෙන් අඩපණ වී ගියේය. අලුත් ඖෂධද සොයාගනිමින් තිබූ අතර, ඕනෑම රෝගයකට ප්‍රතිකාර කිරීමට සමත් “දිව්‍ය ඖෂධයක්” විද්‍යාවෙන් සොයාගැනේවියයි පෙනෙන්නට තිබිණි. ලෝකය මෙම බෝ වෙන රෝගවලින් “නිවාඩුවක්” භුක්ති විඳිමින් සිටියේය. එහෙත්, එම නිවාඩුව අවසන් වීමට තිබිණි. ඒ මන්ද කියා ඊළඟ ලිපියේ සාකච්ඡා කෙරෙනවා ඇති.

[3වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

අද දින පුද්ගලයන් හයදෙනෙකුගෙන් එක්කෙනෙක් කෘමීන් විසින් බෝ කරන රෝගවලින් පෙළෙයි

[3වන පිටුවේ පින්තූරය]

හාදු මකුණා

[4වන පිටුවේ පින්තූරය]

ගෙමැස්සෝ කැරපොත්තන් මෙන් රෝග කාරක ද්‍රව්‍යයන් තම පාදවල රැගෙන යති

[5වන පිටුවේ පින්තූර]

කෘමීන් බොහොමයක් තමන්ගේ සිරුරු තුළ රෝග ගෙන යති

කලු මැස්සෝ ගංගා අන්ධකම බෝ කරති

මදුරුවෝ මැලේරියා, ඩෙංගු සහ කහ උණ බෝ කරති

උකුණන්ට ටයිෆස් උණ බෝ කළ හැකියි

මැක්කා එන්සෙෆලයිටිස් සහ වෙනත් රෝග බෝ කිරීමට දායක වෙයි

සෙට්සි මැස්සා නින්ද යෑමේ රෝගය බෝ කරයි

[හිමිකම් විස්තර]

WHO/TDR/LSTM

CDC/James D. Gathany

CDC/Dr. Dennis D. Juranek

CDC/Janice Carr

WHO/TDR/Fisher

[4වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Clemson University - USDA Cooperative Extension Slide Series, www.insectimages.org