තත්වය කවදා හෝ හොඳ අතට හැරේවිද?
තත්වය කවදා හෝ හොඳ අතට හැරේවිද?
වර්තමානයේ, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ මෙම කාරණය ගැන සැලකිලිමත් වෙන වෙනත් කණ්ඩායම් රෝග අධීක්ෂණය කිරීමේ හා පාලනය කිරීමේ වැඩසටහන් දියත් කරගෙන යති. විවිධ ආයතන තොරතුරු බෙදාහරින අතර, රෝග පාලනය කළ හැකි නව ක්‍රම හා නව ඖෂධ ගැන පර්යේෂණ කිරීමට උත්සුක වෙති. මේ සියල්ලම කරන්නේ වර්ධනය වෙමින් තිබෙන ගැටලුවක් වන කෘමීන්ගෙන් බෝ වෙන රෝගවලට විසඳුම් සෙවීමේ අටියෙනි. පුද්ගලයන්ට හා යම් ප්‍රජාවන්ට තමන් දැනුවත් වෙන්නටත් තමන්වම ආරක්ෂා කරගන්නටත් බොහෝ දේ කළ හැකියි. එහෙත්, පුද්ගලයන්ව ආරක්ෂා කිරීම ලොව වටා රෝග පාලනය කිරීමට සමාන දෙයක් නම් නොවේ.
බොහෝ විශේෂඥයන් විශ්වාස කරන්නේ රෝග පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගිතාවක් සහ විශ්වාසයක් ගොඩනැඟීම අතිවැදගත් බවයි. “ශීඝ්‍ර ගෝලීයකරණය හේතුවෙන් අවශ්‍යතාවක් පැන නැඟී තිබේ. එය නම්, සෑම තැනකම සිටින මිනිස්වර්ගයා තමන්ගේ වාස භූමිය තමන් වෙසෙන ප්‍රදේශය, තමන් වෙසෙන ප්‍රාන්තය, රට හෝ අර්ධගෝලය පමණක්ය යන දෘෂ්ටියෙන් ඔබ්බට යෑමය.” මෙසේ ලීවේ පුලිට්සර් ත්‍යාගය දිනාගත් ලෝරී ගැරෙට් නම් කතුවරිය විසින් පැමිණෙන වසංගතය—අසමබර ලෝකයක අලුතින් හිස ඔසවන රෝග (සිංහලෙන් නැත) නම් වූ තම ග්‍රන්ථයේය. “ක්ෂුද්‍ර ජීවින් හා ඔවුන්ගේ වාහකයන් මිනිසා විසින් ඇති කර තිබෙන දේශ සීමාවන් කිසිවක් හඳුනන්නේ නැත.” එක් රටක වසංගතයක් පටන්ගත් විට, සැණෙකින් ඒ පිළිබඳව අසල්වැසි රටවල් පමණක් නොව මුළු මහත් ලෝකයම සැලකිල්ල යොමු කරයි.
ඇතැම් ආණ්ඩු සහ ජනයා මොන යම් හෝ මැදිහත්වීමක් ගැන සිටින්නේ සැකයෙනි. තමන්ගේ දේශ සීමාවට එපිටින් පැමිණෙන රෝග නිවාරණ වැඩසටහන් ගැනද සිටින්නේ සැකයෙනි. මීට අමතරව, දේශපාලන අදූරදර්ශීකම හා වාණිජමය ගිජුකම එක්සත් ජාත්‍යන්තර ප්‍රයත්නවලට වැට කඩොලු බඳී. එසේනම්, මිනිසා වයිරස් රෝගවලට එරෙහිව කරන යුද්ධයේදී ක්ෂුද්‍ර ජීවීන් ජයගනීවිද? එසේ ජයගනීවි කියා සිතන යූජීන් ලින්ඩෙන් කතුවරයා මෙසේ සඳහන් කරයි. “මේ යුද්ධය අනික් පැත්තට හැරවීමට තව ඇත්තේ ස්වල්ප කලක් පමණි.”
බලාපොරොත්තුව සඳහා හේතු
අසනීප සමඟ ගැටෙන තරඟයේදී විද්‍යාත්මක සහ තාක්ෂණික ප්‍රගතිය තිබෙන්නේ බොහෝ පසුපසිනි. ඇත්ත වශයෙන්ම, කෘමීන්ගෙන් බෝ වෙන රෝග මිනිසාගේ සෞඛ්‍යයට තර්ජනය එල්ල කරන අන්තරායන් බොහොමයකගෙන් එකක් පමණි. එහෙත්, බලාපොරොත්තුව සඳහා හේතු තිබේ. ජීවීන් අතර ඇති සංකීර්ණ සබඳතා හැදෑරීමේ මුල් අවදියේ සිටින විද්‍යාඥයන් හඳුනාගෙන ඇති දෙයක් නම්, පොළොව යථා තත්වයට පත් කරගැනීමට එයටම ඇති හැකියාවය. අපේ ග්‍රහයා තුළ ඊටම ආවේනික වූ එක්තරා ස්වාභාවික ක්‍රියාවලියක් හෙවත් යාන්ත්‍රණයක් ඇත. ස්වභාවික පද්ධතීන් යළිත් යථා තත්වයට පත් කරගැනීමට ඒ තුළින් හැකියාවක් තිබේ. නිදසුනක් වශයෙන්, කලකදී එළි පෙහෙළි කර තිබූ බිමක බොහෝවිට යළිත් ගස් කොළන් වැවේ. එවිට ක්ෂුද්‍ර ජීවීන්, කෘමීන් සහ සතුන් අතර ඇති සබඳතා කල් යත්ම ස්ථාවර තත්වයකට පත් වෙයි.
ඊටත් වඩා වැදගත්ම කාරණය නම්, ස්වභාව ධර්මයේ මේ සියුම් නිර්මාණය මැවුම්කරුවෙකු ගැන කියාපෑමයි. එනම්, මූලාරම්භයේදී පොළොවේ යාන්ත්‍රණය ස්ථාපිත කළ දෙවි කෙනෙකු ගැන කතා කිරීමයි. පොළොවේ මැවිල්ල පිටුපස උසස් බුද්ධියක් තිබිය යුතු බවට බොහෝ විද්‍යාඥයෝ එකඟ වෙති. එසේය, කාරණා ගැන බැරෑරුම් ලෙස සිතන අයට දෙවි කෙනෙකුගේ පැවැත්ම ප්‍රතික්ෂේප කරන්නට බැරිය. මැවුම්කරු වන යෙහෝවා දෙවි සර්වබලධාරි ප්‍රේමනීය කෙනෙකු බව බයිබලය විස්තර කරයි. ඔහු අපේ සන්තෝෂය ගැන ගැඹුරින් උනන්දු වෙයි.
බයිබලය තවදුරටත් පැහැදිලි කරන දෙයක් නම්, පළමු මිනිසාගේ කැමැත්තෙන්ම කරන ලද පාපය හේතුකොටගෙන මිනිසා අසම්පූර්ණකම, අසනීප හා මරණය උරුම කරගෙන ඇති බවයි. මින් අදහස් කරන්නේ මිනිසා සදාකාලයටම විනාශ වීමට නියම කර ඇති බවද? නැත! දෙවිගේ අරමුණ නම් පොළොව පාරාදීසයක් කිරීමයි. ඔව්, ලොකු කුඩා සියලු සතුන් සමඟ මිනිසාට සුව පහසුව ජීවත් විය හැකි තැනක් බවට පත් කිරීමයි. කිසිම ජීවියෙක්, එනම් විශාල මෘගයෙකු හෝ ඉතා කුඩා කෘමීයෙකු පවා මිනිසාට කිසිම තර්ජනයක් නොකරන ලෝකයක් ගැන බයිබලය පුරෝකථනය කරයි.—යෙසායා 11:6-9.
එසේම, සමාජීය හා භූගෝලීය වශයෙන් එවන් තත්වයන් පවත්වාගෙන යන්නට මිනිසාටද යම් භූමිකාවක් තිබෙන බව නොකිවමනාය. දෙවි මිනිසාට අණ කළේ පොළොව ‘බලාගැනීමටය.’ (උත්පත්ති 2:15) අනාගත පාරාදීසයකදී, මැවුම්කරුගේම මඟ පෙන්වීම් කීකරුව අනුගමනය කරමින් මිනිසා පරිපූර්ණ ලෙස එම කාර්යභාරය ඉෂ්ට කරනවා ඇති. මෙසේ, ‘තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන’ කාලයක් ගැන අපට ඉදිරියේදී බලා සිටිය හැකියි.—යෙසායා 33:24.