Skip to content

පටුනට යන්න

දරුකමට හදාගැනීමට දුන් ළමයෙක් හැටියට මට ඇති අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද?

දරුකමට හදාගැනීමට දුන් ළමයෙක් හැටියට මට ඇති අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද?

යෞවන අය අසති . . .

දරුකමට හදාගැනීමට දුන් ළමයෙක් හැටියට මට ඇති අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද?

“මගේ ඇත්ත දෙමාපියන් ගැන මොනවත් මම දන්නේ නැහැ. ඒක මට හරිම දුකක්.”—බාබරා, වයස අවුරුදු 16යි.

“මම ඉපදුනේ කොහේද කියලවත් මගේ දෙමාපියන් කවුද කියලවත් මම දන්නේ නැහැ. සමහරක් වෙලාවට රෑට මම ඒ ගැන කල්පනා කරනවා.”—මැට්, වයස අවුරුදු 9යි.

“මාව හදාගත්ත දෙමාපියන් එක්ක බහින්බස් වීමක් ඇති වුණාම මම හිතනවා මගේම දෙමාපියන් නම් මාව මීට වඩා හොඳට තේරුම්ගනියි කියලා. ඇත්තටම එහෙම හිතන එක හරිම වැරදියි. හැබැයි මම කවදාකවත් ඒ වගේ දෙයක් ඒ අයට කියලා නැහැ.”—කුවින්ටානා, වයස අවුරුදු 16යි.

දරුකමට හදාගැනීමට දුන් හැම දරුවෙකුම මොනයම් හෝ ගැටලුවකට මුහුණ දෙනවා. ඒ ගැන කිසිම සැකයක් නැහැ. යෞවනයන් බොහෝදෙනෙකු ඉහත පැහැදිලි කර තිබෙන ආකාරයේ හැඟීම් සමඟ පොරබදනවා. හුඟදෙනෙකු සිතන්නේ තමන්ව ජාතක කළ මාපියන්ව හොයාගන්න පුළුවන් නම් හෝ ඒ අය සමඟ ජීවත් වෙන්න ලැබෙනවා නම් ඒක මීට වඩා සතුටක් කියලා. මෙයට අමතරව එම දරුවන් වෙනත් අභියෝගවලටද මුහුණ දෙයි.

දරුකමට හදාගැනීමට දුන් සමහර දරුවන් තුළ තිබෙන අශූභවාදී නිගමනයන් පිළිබඳව මීට පෙර ලිපියේ අප සාකච්ඡා කළා. a දරුකමට හදා වඩා ගැනීමට දුන් දරුවෙකු වශයෙන් ප්‍රීතියෙන් ජීවත් වීමට නම් එවන් අධෛර්යය කරවන සිතුවිලිවලට එරෙහිව සටන් කළ යුතුයි. උද්ගත විය හැකි වෙනත් අභියෝගයන් සමහරක් මොනවාද? එමෙන්ම ඒවා විසඳාගැනීමට ඔබට ගත හැකි ප්‍රායෝගික පියවර මොනවාද?

ඔවුන්ද මගේ “නියම” දෙමාපියන්?

දහතුන් හැවිරිදි ජැක් තමාව බිහි කළ අම්මා ගැන දිගින් දිගටම හිතන්න පටන්ගත්තා කියා පවසනවා. මෙය තමන්ව හදා වඩා ගත් මාපියන් සමඟ යම් යම් ගැටලු ඇතිවීමට හේතුවක් වුණා. “මට කේන්ති ගියාම මම කියනවා ‘ඔයා මගේ අම්මා නෙමෙයිනේ. ඒ නිසා මේ විදිහට දඬුවම් කරන්න ඔයාට බැහැ’ කියලා.” ඔහු අතීත සිදුවීම් සිහිපත් කරමින් එසේ පැවසුවා.

ඔබට පෙනෙනවා ඇති ජැක්ට බැරෑරුම් ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වුණු බව. ඒ තමයි ඔහුගේ “නියම” අම්මා කවුද යන ප්‍රශ්නය. ඔබත් දරුකමට හදාගැනීමට දුන් දරුවෙකු නම් මෙම ගැටලුව ඔබේ මනසටත් වද දෙනවා ඇති. ඔබේ ඇත්ත මාපියන් දැන් සිටින මාපියන්ට වඩා ඔබට හොඳින් සලකාවිය යන සිතුවිල්ල සමඟ ඔබ පොරබදනවා විය හැකියි. ඇත්තටම යම් කෙනෙකුව “නියම” මාපියන් ලෙස සැලකීමට හේතු වන එකම කාරණය වන්නේ දරුවෙකුව මෙලොවට බිහි කිරීම පමණද?

ජැක්ව හදා වඩා ගත් මව එසේ සිතුවේ නැහැ. ඔහු ඒ ගැන පවසන්නේ මෙසේයි. “මගේ අම්මා කියන්නේ, ‘මමයි ඔයාගේ නියම අම්මා. ඔයාව වදපු අම්මා කෙනෙක් හිටියට, මම තමයි ඔයාගේ නියම අම්මා’ කියලයි.” වැඩිහිටියන් දරුවෙකුව තමන්ගේ නිවසේ සාමාජිකයෙක් ලෙස පිළිගෙන ඉඳුම් හිටුම්, කෑම බීම සපයමින් දරුවාව උස් මහත් කරමින්, ඔහුගේ හැම අවශ්‍යතාවක්ම ඉටු කරයි නම් සත්‍ය වශයෙන්ම “නියම” මාපියන් වන්නේ එම වැඩිහිටියන්. (1 තිමෝති 5:8) ඔබ ජීවත් වන ප්‍රදේශයේ නීත්‍යනුකූල බලධාරීන් පවා ඔබේ නියම මාපියන් ලෙස සලකන්නේ ඔබට රැකවරණය ලබා දෙන අයවයි. දෙවිත් ඔබේ නියම මාපියන් ලෙස ඔවුන්ව පිළිගන්නවාද?

අතීතයේ දරුකමට හදාගැනීමට දී තිබීම පිළිබඳ සුපතළ සිද්ධිය තමයි යේසුස් ක්‍රිස්තුස් සම්බන්ධ සිද්ධිය. යේසුස් වඩුවෙකු වූ යෝසෙප්ගේම පුත්‍රයා නොවෙයි. නමුත් යෝසෙප් තමාගේම පුත්‍රයෙකු ලෙස ඔහුව හදා වඩා ගත්තා. (මතෙව් 1:24, 25) යේසුස් වයසින් මුහුකුරා යද්දී ඔහු, යෝසෙප්ගේ පිය අයිතියට එරෙහිව කටයුතු කළාද? නැහැ. හදා වඩා ගත් පියා වන යෝසෙප්ට කීකරු වීම දෙවිගේ කැමැත්ත බව යේසුස් තේරුම්ගත්තා. ඒ වගේම ඊශ්‍රායෙල් දරුවන්ට යෙහෝවා දී තිබූ නීතියත් ඔහු හොඳින් දැන සිටියා. මොකක්ද ඒ නීතිය?

ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න

‘ඔබේ පියාටද මවුටද ගෞරව කරන්න’ කියා ලියවිලිවල යෞවන අයට පවසනවා. (ද්විතීය කථාව 5:16) බයිබලයෙහි “ගෞරවය” යන වචනය බොහෝවිට යොදාගන්නේ ගැඹුරු සැලකිල්ලක් දැක්වීම සහ අන් අයව උසස් කොට සැලකීම යන්න ඇඟවීමටයි. ඔබට පුළුවන් ඔබව හදා වඩා ගත් මාපියන්ට කාරුණික වීමෙන්, ඔවුන්ගේ තත්වයට ගරු කිරීමෙන්, ඔවුන්ගේ අදහස්වලට ඇහුම්කන් දීමෙන් සහ ඔබෙන් යම් සාධාරණ වගකීමක් ඉටු කරන ලෙස ඉල්ලා සිටි විට එය නොපිරිහෙළා ඉටු කිරීමෙන් ඔවුන් කෙරෙහි වූ ගෞරවය පෙන්වන්න.

ඔබව හදා වඩා ගත් මාපියන් යම් අවස්ථාවල අසාධාරණයි කියා පෙනුනොත්? ඒ වගේ දෙයක් සිදු වෙන්න පුළුවන්. මන්දයත් බිහි කළ මාපියන් හෝ හදා වඩා ගත් මාපියන් ඇතුළු හැම මාපියෙක්ම අසම්පූර්ණයි. ඔවුන්ගේ දුර්වලකම් නිසා කීකරු වීම සෑහෙන අභියෝගයක් විය හැකියි. එවන් අවස්ථාවලදී ඔබ හදා වඩා ගැනීමට දී ඇති දරුවෙක්ය යන කාරණය නිසා ඔවුන්ට කීකරු වීමට එතරම් බැඳී නැහැයි කියා ඔබට සිතිය හැකියි. ඇත්තටම ඔබ කීකරු වීමට බැඳී නැද්ද?

මෙහිදී යේසුස්ගේ තත්වය දෙස බැලීමම ඔබට උපකාරවත් විය හැකියි. ඔහු පරිපූර්ණ කෙනෙක් බව මතක තබාගන්න. (හෙබ්‍රෙව් 4:15; 1 පේතෘස් 2:22) ඒත් ඔහුව හදාගත් පියාවත් ඔහුව වැදූ මවවත් සම්පූර්ණ අය නෙමෙයි. එමනිසා යම් අවස්ථාවල යේසුස් තම මාපියන් අතින් අඩු පාඩු සිදු වෙනවා දකින්න ඇති. යේසුස් යෝසෙප්ගේ අසම්පූර්ණ මූලිකත්වයට හෝ මවක් වශයෙන් මරියා අතින් සිදු වූ අඩු පාඩුවලට විරුද්ධ වෙමින් කැරලිගැසුවාද? නැහැ. යේසුස් හැදී වැඩෙමින් තම මාපියන්ට ‘යටත්ව සිටි’ බව බයිබලයේ අපට කියවන්න ලැබෙනවා.—ලූක් 2:51.

ඔබේ අදහස් සහ ඔබව හදා වඩා ගත් මාපියන්ගේ අදහස් නොගැළපෙන විට ඔවුන් වැරදියි කියා ඔබ සිතිය හැකියි. නමුත් ඔබත් අසම්පූර්ණයි කියා පිළිගත යුතුයි. එමනිසා බොහෝවිට වරද ඔබේ අතේ වීමට ඉඩ තිබිය හැකියි. ඒ නිසා කවුද හරි කවුද වැරදි කියා සොයනවාට වඩා යේසුස්ගේ ආදර්ශය අනුගමනය කිරීම තමයි කරන්න තියෙන හොඳම දේ කියා ඔබට සිතෙන්නේ නැද්ද? (1 පේතෘස් 2:21) ඔබ එසේ කරනවා නම්, කීකරුකම පෙන්වීම ඔබට පහසු වේවි. මේ සියලුදේටම වඩා ඔබේ මාපියන්ට කීකරු වීමට විශේෂ හේතුවක් තිබෙනවා.

“දරුවෙනි, සියලු කාරණාවලදී ඔබේ දෙමාපියන්ට කීකරු වන්න. මන්ද, ස්වාමීන් තුළ මෙය ඉතා ප්‍රසන්න වූ දෙයකි.” එසේ සඳහන් වන්නේ බයිබලයේ. (කොලොස්සි 3:20, NW) ඔබ කීකරු වන විට ස්වර්ගික පියා ඒ ගැන සතුටු වෙනවා. (හිතෝපදේශ 27:11) ඔබ සතුටෙන් සිටිනවා දකින්න ඔහු කැමති නිසා ඔබ කීකරුකම ඉගෙනගන්නවාට ඔහු කැමතියි. ඔහුගේ වචනයේ කීකරු වන්න කියා දිරිගන්වන්නේ එය ‘ඔබේ ශුභ සිද්ධියත් පොළොවෙහි බොහෝ කල් ජීවත් වීමටත්’ හේතු වන්නක් ලෙස සඳහන් කරමිනුයි.—එෆීස 6:3, NW.

ඔබව හදා වඩා ගත් මාපියන් සමඟ ඇති සබඳතාව ශක්තිමත් කරගැනීම

ඔබව හදා වඩා ගත් මාපියන් සමඟ හොඳ සබඳතාවක් ඇති කරගැනීමට ගෞරවය දැක්වීම සහ කීකරුකම පෙන්වීමට වඩා දෙයක් අවශ්‍ය වෙනවා. උණුසුම සහ ආදරය තිබෙන පරිසරයක් ඔබේ නිවස තුළ තිබෙනවාට ඔබ කැමති බව නිසැකයි. එවන් පරිසරයක් ගොඩනැඟීමේ වගකීම ඔබව හදාගත් මාපියන් සතුයි. ඒ වගේම ඒ සඳහා ඔබ අතිනුත් සිදු විය යුතු වැඩකොටසක් තිබෙනවා. ඒ මොකක්ද?

මුලින්ම, ඔබේ මාපියන්ව දැනහඳුනා ගැනීමට මං සොයන්න. ඔවුන්ගේ පසුබිම් ගැන, ඔවුන්ගේ ජීවිතය පිළිබඳව, ඔවුන් උනන්දු වන දේවල් ගැන තොරතුරු විමසන්න. ඔබට තිබෙන යම් ගැටලුවක් විසඳගන්න ඔවුන්ගේ උදව් උපකාර පතන්න. මේ සඳහා ඔවුන් විවේකයෙන් සහ නිරවුල් මනසකින් සිටින අවස්ථාවන් යොදාගන්න. (හිතෝපදේශ 20:5) දෙවෙනි එක, ගෙදර දොරේ වැඩ කටයුතුවලට ඔබෙන් සහයෝගය ඉල්ලීමට ප්‍රථම සහයෝගය දීමට හැකි ක්‍රම සොයා බලන්න.

ඔබව බිහි කළ මාපියන් පිළිබඳව කුමක්ද කිව හැක්කේ? ඔබ ඔවුන්ව සොයා යෑමට හෝ ඔවුන් ඔබව සොයා ඒමට තීරණය කළොත් එයින් ඔබේ හදා වඩා ගත් මාපියන් සමඟ තිබෙන ඔබේ සබඳතාවට යම් බලපෑමක් ඇති වේවිද? මීට ඉහතදී නම් දරුවන්ව හදාගැනීමට භාර දෙන ආයතන දරුවන්ගේ තොරතුරු ඔවුන්ව බිහි කළ මාපියන්ටවත් එම මාපියන්ගේ විස්තර දරුවන්ටවත් සපයන්නේ නැහැ. නමුත් දැන් බොහෝ රටවල නීති ලිහිල් වී තිබෙන අතර හදා වඩා ගැනීමට දුන් දරුවන්ට ඔවුන්ව බිහි කළ දෙමාපියන් පිළිබඳ කොහෙත්ම මතකයක් නැති විටදී වුණත් ඔවුන්ව ඒ අයට මුණගස්වා තිබෙනවා. හැබැයි සමහර විට ඔබ ජීවත් වන ප්‍රදේශයේ නීති මීට වඩා වෙනස් විය හැකියි.

තත්වයන් කුමක් වුවත් ඔබව බිහි කළ මාපියන්ව සොයා යෑම හෝ නොයෑම ඔබේ පෞද්ගලික තීරණයක්. එමෙන්ම එය ලෙහෙසි පහසු තීරණයක් නොවීමටත් ඉඩ තිබෙයි. මෙම ගැටලුව පිළිබඳව දරුකමට හදාගැනීමට දී තිබෙන යෞවනයෙකුට විවිධ අදහස් තිබිය හැකියි. සමහරෙකුට තමන්ව බිහි කළා වූ මාපියන්ව සොයාගැනීමට තිබෙන්නේ බලවත් ආශාවක්. සමහරෙකුගේ තීරණය ඒක නෙමෙයි. බොහෝ යෞවනයන් තම හදා වඩා ගත් මාපියන් සමඟ තිබෙන සබඳතාවට හානියක් නොවන ආකාරයෙන් තමන්ව බිහි කළ මාපියන්ව මුණගැසී තිබෙනවා. එමනිසා මෙයින් අනිවාර්යයෙන්ම ගැටලුවක් පැනනඟියි කියා සිතන්න අවශ්‍ය නැහැ.

ඔබව හදාගත් මාපියන්ගෙන් සහ අවශ්‍ය නම් ක්‍රිස්තියානි සභාවේ මේරූ මිත්‍රයන්ගෙන් උපදෙස් පතන්න. (හිතෝපදේශ 15:22) යම් පියවරක් ගැනීමට පෙර ඔබේ අදහස් ගැන හොඳින් සිතා බලන්න. “බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ පියවර හොඳට බලාගනියි.” එසේ සඳහන් වන්නේ හිතෝපදේශ 14:15හියි.

ඔබව බිහි කළ මාපියන් සමඟ යම් සබඳතාවක් පැවැත්වීමට ඔබ තීරණය කරනවා නම් ඔබව හදා වඩා ගත් මාපියන්ට ඔබ තුළ තිබෙන ආදරයේ සහ ගෞරවයේ වෙනසක් නොවන බවට සහතික කරමින් ඔවුන්ගේ බිය සැක දුරු කිරීමට දැඩි උත්සාහයක් දරන්න. එලෙස ඔබව කලකට ඉහතදී බිහි කළ සහ දරුකමට හදාගැනීමට දුන් මාපියන්වත් දැනගැනීමට හැකි අතර ඔබව ඇති දැඩි කර පුහුණු කළ මාපියන් සමඟ තිබෙන යහපත් සබඳතාවත් පවත්වාගැනීමට ඔබට හැකි වෙයි.

ඔබේ ස්වර්ගික පියා සමඟ තිබෙන සබඳතාව ශක්තිමත් කරගන්න

තමන්ව අත්හැර දමාවිය යන බිය, දරුකමට හදාගැනීමට දී තිබෙන බොහෝ දරුවන්ට තිබෙන ප්‍රශ්නයක්. තමන්ගේ මාපියන්ව තමන්ට අහිමි වූ ලෙසම හදා වඩා ගත් මාපියන්ද තමන්ට අහිමි වේවියයි ඔවුන් කනස්සලු වෙනවා. එවන් බියක් තිබීම තේරුම්ගත හැකියි. මෙම නැණවත් වදන් මතක තබාගන්න. “ප්‍රේමයෙහි බියක් නැත. සම්පූර්ණ ප්‍රේමය බිය දුරු කරන්නේය.” (1 යොහන් 4:18, NW) ඔබ ආදරය කරන අය නැති වේවිය යන බියට ඔබව රෝගාතුර කිරීමට ඉඩ නොදෙන්න. ඒ වෙනුවට, ඔබේ නිවසේ සිටින අය ඇතුළුව අන් අය කෙරෙහි ප්‍රේමය වර්ධනය කරගන්න. හැම දෙයකටම වඩා ස්වර්ගික පියා වන යෙහෝවා දෙවි කෙරෙහි ඇති ප්‍රේමය ශක්තිමත් කරගන්න. මන්ද ඔහු කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබිය හැකි අතර ඔහු කෙදිනකවත් තම විශ්වාසවන්ත දරුවන්ව අත්හරින්නේ නැහැ. ඔබේ බිය සැක දුරු කිරීමට ඔහුට හැකියි.—ෆිලිප්පි 4:6, 7.

බයිබලය කියවීම දෙවිට ළංවීමටත්, සතුටෙන් පලදායි ජීවිතයක් ගත කිරීමටත් උපකාරවත් වුණා කියා කියන්නේ කුඩා කලදීම දරුකමට හදාගැනීමට දී තිබුණා වූ කැත්රීනායි. ඇය කියන විදිහට යෙහෝවා සමඟ සමීප සබඳතාවක් තිබීම “හරි වැදගත්. මොකද අපේ ස්වර්ගික පියා දන්නවා අපේ හිතට දැනෙන දේ.” කැත්රීනා ආසම බයිබල් පදේ ගීතාවලිය 27:10යි. එහි කියන්නේ ‘මාගේ පියාද මවුද මා අත්හැරියෝය, නමුත් යෙහෝවා මා පිළිගන්නේය.’

[පාදසටහන]

[30වන පිටුවේ පින්තූරය]

ඔබව හදා වඩා ගත් මාපියන්ව දැනහඳුනා ගැනීමට මං සොයන්න