Skip to content

පටුනට යන්න

දිව්‍ය සාරධර්ම ක්‍රියාත්මක කරන ආණ්ඩුවක්

දිව්‍ය සාරධර්ම ක්‍රියාත්මක කරන ආණ්ඩුවක්

දිව්‍ය සාරධර්ම ක්‍රියාත්මක කරන ආණ්ඩුවක්

සෑම ජාතියකටම හා භාෂාවකටම අයත් ජනයා සඳහා එක ආණ්ඩුවක් පමණක් තිබෙන ලෝකයක් ගැන සිතා බලන්න. ඉතා උසස් සාරධර්ම සුරකින බවට ප්‍රසිද්ධ වී තිබෙන සහ යුද්ධ, වෛරය, අපරාධ, දිලිඳුකම, දූෂණය, අසනීප හා මරණය පවා සම්පූර්ණයෙන්ම නැති කර දමන ආණ්ඩුවක් සිතේ මවාගන්න!

‘නියමයි, ඒත් ඒක නං වෙන්න බැරි දෙයක්’ කියා ඔබ සිතිය හැකියි. නැහැ, ඒක වෙන්න බැරි දෙයක් නෙවෙයි. ඇත්ත වශයෙන්ම, එය ස්ථිර දෙයක්. යේසුස් ක්‍රිස්තුස් එවැනි ආණ්ඩුවක් ගැන පොරොන්දු වී තිබෙනවා. ඔහු තම අනුගාමිකයන්ට ඒ ගැන යාච්ඤා කරන්න ඉගැන්නුවා. “එහෙයින් ඔබ යාච්ඤා කළ යුත්තේ මෙයාකාරයටයි: ‘ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමය විශුද්ධ වේවා. ඔබගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා.’”—මතෙව් 6:9, 10, NW.

ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනකායක් එය දන්න නිසා හෝ අසා ඇති නිසා සමහරවිට එම යාච්ඤාවේ වචන ඔබට හුරු ඇති. එහෙත් එම වචනවලින් ඇත්තෙන්ම පවසන්නේ කුමක්ද කියා ඔබ කවදා හෝ හොඳින් කල්පනා කර තිබේද? පොළොව මත දෙවිගේ කැමැත්ත ඉටුවීම සමඟ රාජ්‍යය සම්බන්ධ වී තිබෙන බව සැලකිල්ලට ගන්න. එසේනම්, දෙවිගේ රාජ්‍යය යනු කුමක්ද? එමෙන්ම අපේ පොළොව සම්බන්ධයෙන් දෙවිගේ කැමැත්ත කුමක්ද?

දෙවිගේ රාජ්‍යය යනු . . .

රාජ්‍යයක් යනු රජ කෙනෙකුගේ මූලිකත්වයෙන් පවතින ආණ්ඩුවක්. දෙවිගේ රාජ්‍යය යනු යෙහෝවා දෙවි සිය විශ්වනීය පරමාධිපත්‍යය ප්‍රකාශ කරන මාධ්‍යයක්. එය ඔහුගේ පුත් වූ යේසුස් ක්‍රිස්තුස්ගේ මූලිකත්වයෙන් පවතින රාජකීය ආණ්ඩුවක්. පොළොව සම්බන්ධයෙන් දෙවිගේ කැමැත්ත ගැන බලන කල, ගීතාවලිය 37:10, 11හි සරලව හා පැහැදිලිව මෙසේ ප්‍රකාශ කර තිබෙනවා. “මද කලකින් දුෂ්ටයා නැති වන්නේය. එසේය, නුඹ ඔහුගේ ස්ථානය පරීක්ෂා කර බලන්නෙහිය. ඔහු සම්බ නොවන්නේය. නමුත් මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුම කරගන්නෝය; ඔවුහු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.”

ඉතින් මෙම ලෝකයේ පිරිහෙමින් පවතින සාරධර්ම නිසා ඔබට අපේක්ෂා භංගත්වයේ හැඟීමක් ඇති වී තිබේ නම් අධෛර්යය නොවන්න. ළඟදීම ලෝක තත්වයන්වල හා සාරධර්මවල විශාල වෙනසක් සිදු වනු ඇතැයි බයිබලයේ පොරොන්දු වෙයි. දෙවිගේ සාරධර්ම ක්‍රියාත්මක කිරීම සඳහා නොබෝ කලකින් පොළොව පුරා දෙවිගේ කැමැත්ත ඉටු කරන බවට වූ පොරොන්දුව බලාපොරොත්තු ඇතුව සිටීම සඳහා ස්ථිරසාර පදනමක් වෙයි.

දෙවිගේ රාජ්‍ය පොරොන්දු කෙරෙහි විශ්වාසය තැබීමට ඉගෙනගැනීම මගින් අපේ සුරක්ෂිතභාවයේ හැඟීම වැඩි කරගත හැකියි. එම රාජ්‍ය පාලනය සමඟ සම්බන්ධව තිබෙන සාරධර්ම ගැන සලකා බලන්න. ‘එන්න, යෙහෝවාගේ ක්‍රියාවන්, එනම් ඔහු පොළොවෙහි සිදු කළ විනාශයන් බලන්න. ඔහු පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්වන්නේය.’ (ගීතාවලිය 46:8, 9) සාමය සහ සුරක්ෂිතභාවය සඳහා මොන තරම් කදිම පොරොන්දුවක්ද!

දෙවිගේ රාජ්‍යයේ රජු වන යේසුස් ක්‍රිස්තුස් පිළිබඳව ගීතාවලිය 72:12-14හි සඳහන් අනාවැකියක මෙසේ පවසයි. “ඔහු මොරගසන දිලිඳාද උපකාරකාරයෙක් නැති දුප්පතාද මුදාහරින්නේය. ඔහු දුප්පතුන් සහ දිලිඳුන් කෙරෙහි අනුකම්පා කරන්නේය. දිලිඳුන්ගේ ප්‍රාණයන් ගලවන්නේය. ඔහු ඔවුන්ගේ ප්‍රාණය පීඩාවෙන්ද බලාත්කාරයෙන්ද මුදන්නේය. ඔවුන්ගේ ලේ ඔහුගේ ඇස් හමුවෙහි අනර්ඝ වන්නේය.”

බයිබල් සාරධර්ම

බයිබලයේ උසස් කොට දක්වන සාරධර්ම සමහරක් සලකා බලන්න. “තම ආත්මික අවශ්‍යතාව ගැන සැලකිලිමත් වන අය සන්තෝෂවත්ය.” (මතෙව් 5:3, NW) තවත් එකක් මෙන්න. “නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් යෙහෝවා කෙරෙහි විශ්වාස කරන්න. නුඹේ සියලු මාර්ගවලදී ඔහුව සලකන්න. එවිට ඔහු නුඹේ මාවත් සමතලා කරනවා ඇත.”—හිතෝපදේශ 3:5, 6.

අප පිළිපැදීමට තෝරගන්න සාරධර්ම සම්බන්ධයෙන් අප සියල්ලන්ම ගණන් දිය යුතුයි කියාද බයිබලය අපට උගන්වයි. දේශනාකාරයා 11:9හි ඇති දේ සලකා බලන්න. “තරුණය, නුඹේ යෞවන වයසේදී ප්‍රීති වෙන්න. නුඹේ යෞවන දවස්වල නුඹේ සිත නුඹ සන්තෝෂ කෙරේවා. නුඹේ සිතේ මාර්ගවලත් නුඹේ ඇස්වලට පෙනෙන හැටියටත් හැසිරෙන්න. නමුත් මේ සියල්ල ගැන දෙවි නුඹ විනිශ්චයට පමුණුවන බව දැනගන්න.” අපේ ක්‍රියා සඳහා ගණන් දිය යුතු බව හිතෝපදේශ 2:21, 22හි කෙළින්ම සඳහන් කර තිබෙනවා. “අවංක අයවල් දේශයෙහි වාසය කරන්නෝය. නිර්දෝෂ අයවල්ද එහි නැවතී සිටින්නෝය. නමුත් දුර්ජනයෝ දේශයෙන් සිඳදමනු ලබන්නෝය. ද්‍රෝහිකම් කරන්නෝද එයින් උදුරා දමනු ලබන්නෝය.”

ධර්මිෂ්ඨ ආණ්ඩුවක් පිළිබඳ මෙම නිශ්චිත බලාපොරොත්තුව ඇතුව දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් වර්ධනය කරගැනීම මොන තරම් ප්‍රයෝජනවත්ද! දෙවිගේ රාජ්‍යයේ යටත්වැසියන් වීමට ආශාවෙන් සිටින අය සමඟ ඇසුරු කිරීමෙන්, ඔහුගේ තේජශ්‍රීයෙන් යුත් රාජ්‍ය පාලනයට යටත් වීමට හා එම රාජ්‍යය මගින් වර්ධනය කිරීමට අනුබල දෙන පුදුමාකාර සාරධර්මවල ප්‍රතිඵල අද්දැකීමටද අපට හැකි වනු ඇත.

[26වන පිටුවේ පින්තූර]

මොළොක් ගුණ ඇති අය “දේශය උරුම කරගන්නෝය.” එමෙන්ම “ඔවුහු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.”—ගීතාවලිය 37:11.