Skip to content

පටුනට යන්න

මිලියන ගණනක් පැමිණෙනු ඇත—ඔබ එහි සිටිනු ඇද්ද?

මිලියන ගණනක් පැමිණෙනු ඇත—ඔබ එහි සිටිනු ඇද්ද?

මිලියන ගණනක් පැමිණෙනු ඇත—ඔබ එහි සිටිනු ඇද්ද?

◼ කොතැනද? ඒ ලොව වටා ස්ථාන සිය ගණනක පැවැත්වීමට නියමිත “දෙවිව මහිමවත් කරන්න” නමැති දිස්ත්‍රික් සමුළුව පවත්වන ස්ථානයේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් සංවිධානය කර තිබෙන එම දින තුනේ වැඩසටහන සැලසුම් කර ඇත්තේ දෙවිට ප්‍රේම කරන සියලුදෙනාටම ඔවුන්ගේ ගෞරවය ලැබීමට වටින මැවුම්කරුව මහිමයට පත් කරන ආකාරයකට ජීවත් වීමට උපකාර කිරීම සඳහායි.

සමුළුවේ පළමු දිනයේ තේමාව ‘යෙහෝවා, මහිමය ලබන්න ඔබ වටින්නෙහිය’ යන්නයි. (එළිදරව් 4:11, NW) “මැවිල්ල දෙවිගේ මහිමය ප්‍රකාශ කරයි” යන මාතෘකාවෙන් යුත් කතාව තුළින් යෙහෝවාගේ ගුණාංග ‘සාදා තිබෙන දේවලින් පැහැදිලිව වටහාගන්න’ හෝ ‘පැහැදිලිව දකින්න’ අපට උපකාර කරයි. (රෝම 1:20, NW) දෙවිගේ වචනයෙහි අපේ කාලය ගැන කලින් කියා තිබෙන වැදගත් සිදුවීම් මනසෙහි පැහැදිලිව තබාගැනීමට “මහිමාන්විත අනාවැකිමය දර්ශන අපව මහත් සේ පොලඹවයි” යන මාතෘකාවෙන් යුත් මූලික ඇමතුමේදී සහභාගි වී සිටින සියල්ලන්ට දිරිගන්වයි. කොටස් තුනකින් යුත් “ආමොස්ගේ අනාවැකිය—අපගේ කාලය සඳහා එහි ඇති පණිවුඩය” යන කතා මාලාවේදී එම පුරාණ අනාවැකිමය අනතුරු ඇඟවීම අපේ කාලයට අදාළ වන ආකාරය කෙරෙහි අවධානය දෙයි. යෙහෝවා තම ඉපැරණි ජනයාට දුන් දේශය පිළිබඳ අප තුළ ඇති අගය තව වැඩි කිරීමට “සරුසාර දේශය—පාරාදීසයේ පෙරදැක්මක්” යන මාතෘකාවෙන් යුත් කතාව ඉවහල් වනු ඇත.

සමුළුවේ දෙවන දිනයේදී ගීතාවලිය 96:3 මත පදනම් වූ ‘ඔහුගේ මහිමය ජාතීන් අතරේ ප්‍රකාශ කරන්න’ යන මාතෘකාවෙන් යුත් කතාව ඉදිරිපත් කෙරෙනවා ඇත. අනෙකුත් කතා අතරෙහි “කැඩපතක් මෙන් යෙහෝවාගේ තේජස පිළිබිඹු කරන්න” යන මාතෘකාවෙන් යුත් කතා මාලාවක්ද තිබේ. මෙම කොටස් තුනකින් යුත් කතාවේදී අපේ දේශනා සේවය වඩාත් බලපෑමෙන් යුක්තව ඉටු කරන අන්දම පෙන්වා දෙනු ඇත. “නිකරුණේ වෛර කරනු ලැබ” යන මාතෘකාවෙන් යුත් කතාවෙන් පසු යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ හැම සමුළුවකම විශේෂ අංගයක් වන කැපවීම සහ බව්තීස්මය පැවැත්වෙයි. දිවා භාගයේදී “‘නාඳුනන අයගේ හඬින්’ පරෙස්සම් වෙන්න” යන මාතෘකාවෙන් යුත් කතාවේදී “වංචනික වචනවලින්” මුළා කිරීමට මාන බලන “බොරු ගුරුවරු” පිළිබඳව කාලෝචිත උපදෙස් රැසක් ගෙනහැර දක්වයි. (2 පේතෘස් 2:1, 3, NW) එම දිනය අවසන් වන්නේ “අපේ දරුවෝ—අගනා උරුමයකි” යන මාතෘකාවෙන් යුත් කතාවෙනි. එම අවස්ථාව මාපියන්ටත් දරුවන්ටත් සතුටුදායක එකක් වන බව නොඅනුමානයි.

සමුළුවේ අවසන් දින තේමාව “දෙවිගේ මහිමය සඳහා සියල්ල කරන්න” යන්නයි. (1 කොරින්ති 10:31) “යෞවනයන් යෙහෝවාට ප්‍රශංසා කරමින් සිටින අන්දම” යන මාතෘකාවෙන් යුත් කතාවට අද්දැකීම්ද ඇතුළත් වෙයි. උදෑසන වැඩසටහනට විනාඩි 45ක නාට්‍යයක් ඇතුළත් වන අතර එහි මාතෘකාව වන්නේ “විරුද්ධාවාදිකම් මැද නිර්භීතව සාක්ෂි දැරීම” යන්නයි. ආගම බොහෝ අවස්ථාවන්වලදී ප්‍රවෘත්තිවල විශේෂාංගයක් වී තිබෙන නිසා ප්‍රසිද්ධ ඇමතුමේදී “අද දින දෙවිව මහිමයට පත් කරමින් සිටින්නෝ කවරහුද?” යන ප්‍රශ්නය සාකච්ඡාවට බඳුන් කරයි. “යෙහෝවාගේ මහිමය උදෙසා ‘බොහෝ පල දරමින් සිටින්න’” යන මාතෘකාවෙන් යුත් කතාවත් සමඟ සමුළුව ඉතා පොලඹවනසුලු ලෙසින් අවසන් වනු ඇත.

මෙහි සඳහන් කළේ “දෙවිව මහිමවත් කරන්න” යන තේමාවෙන් යුත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික් සමුළුවේදී ඉදිරිපත් කෙරෙන කතා අතුරින් කිහිපයකි. ඔබ දින තුනටම සහභාගි වීමට කැමැත්තෙන් සිටින බව නිසැකයි. ඔබට ළඟම තිබෙන සමුළුව පවත්වන ස්ථානය දැනගැනීම සඳහා ඔබ ප්‍රදේශයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍යය ශාලාවෙන් හෝ මෙම සඟරාවේ ප්‍රකාශකයන්ගෙන් ඒ ගැන විමසන්න.