Skip to content

පටුනට යන්න

යළි හිස ඔසවා ඇත්තේ ඇයි?

යළි හිස ඔසවා ඇත්තේ ඇයි?

යළි හිස ඔසවා ඇත්තේ ඇයි?

මීට වසර 40කට පමණ පෙර, පොදුවේ කෘමීන් මගින් බෝ වෙන මැලේරියා, කහ උණ සහ ඩෙංගු වැනි රෝග පොළොවේ බොහෝ ප්‍රදේශවලින් මුළුමනින්ම පාහේ තුරන් කර දමා ඇතැයි කල්පනා කෙරිණි. එහෙත් අනතුරුව සිදු වුණේ අනපේක්ෂිත දෙයකි. කෘමීන් මගින් බෝ වෙන රෝග යළි හිස එසවීමට පටන්ගත්තේය.

ඒ ඇයි? එක් දෙයක් නම්, මෙම කෘමීන් සහ උන් රැගෙන යන සමහර ක්ෂුද්‍ර ජීවීන් උන්ව පාලනය කිරීමට භාවිත කරන ලද කෘමි නාශක සහ ඖෂධවලට ඔරොත්තු දීමට පුරුදු වීමයි. ස්වභාවිකවම නව තත්වයන්ට හැඩගැසීමට කෘමීන් හා ක්ෂුද්‍ර ජීවීන් සතු හැකියාවට තවත් රුකුලක් වී තිබෙන්නේ කෘමි නාශක වැඩිපුර භාවිත කිරීම පමණක් නොව, ඖෂධ වැරදියට භාවිත කිරීමය. “ඉතා දිලිඳු පවුල්වල ජනයා මෙම ඖෂධ තම රෝග ලක්ෂණ සමනය කිරීමට ඇති තරම් පමණක් ගෙන, ඊළඟ වතාවේ රෝගය වැලඳුණොත් පසුව භාවිත කිරීමට අතිරික්තයක් තබාගනිති” යයි මදුරුවෝ (සිංහලෙන් නැත) නම් කෘතියේ විස්තර කෙරේ. එසේ අසම්පූර්ණ ආකාරයකින් ප්‍රතිකාර කිරීම හේතුවෙන්, පුද්ගලයාගේ සිරුර තුළ වඩාත් ප්‍රබල ක්ෂුද්‍ර ජීවීන් රැඳී සිට ඖෂධවලට ඔරොත්තු දෙන ක්ෂුද්‍ර ජීවීන්ගේ අලුත් පරම්පරාවක් බිහි කරනවා විය හැකියි.

දේශගුණයේ වෙනසක්

කෘමීන් විසින් බෝ කරන රෝග යළි හිස එසවීමට හේතු පාදක වන්නාවූ ප්‍රධාන සාධකයක් නම්, ස්වභාව ධර්මයේ සහ සමාජයේ වෙනස්කම් සිදුවීමය. මෙහිලා සඳහන් කළ හැකි එක නිදසුනක් නම්, ගෝලීය වශයෙන් දේශගුණයේ වෙනසක් සිදුවීමය. ඇතැම් විද්‍යාඥයන් අපේක්ෂා කරන්නේ ගෝලීය පරිසරය උණුසුම් වීම නිසා රෝග බෝ කරන කෘමීන් දැනට ශීත දේශගුණයක් පවතින ප්‍රදේශවලට සංක්‍රමණය විය හැකි බවයි. මෙය දැනටමත් සිදු වෙමින් තිබිය හැකි බවට ඇතැම් සාක්ෂිද ඇත. හාවඩ්හි වෛද්‍ය පාසැලේ සෞඛ්‍යය සහ ගෝලීය පරිසරය පිළිබඳ ආයතනයේ ආචාර්ය පෝල් ආර්. එප්ස්ටීන් සටහන් කරන්නේ මෙසේයි. “කෘමීන් සහ කෘමීන්ගෙන් වැලඳෙන රෝග (මැලේරියා සහ ඩෙංගු උණ ඇතුළු) අද දින අප්‍රිකාවේ, ආසියාවේ සහ ලතින් අමෙරිකාවේ උන්නතාංශය වැඩි ප්‍රදේශවල දක්නට ඇති බව වාර්තා වෙමින් තිබේ.” මෑතක් වන තුරු කොස්ටාරිකාවේ ඩෙංගු රෝගය පැසිෆික් වෙරළට සීමා වී තිබූ නමුත් දැන් එය කඳුකරයට පැතිර ගොස් ඇති අතර, මුළු රටම ගිලගෙන තිබේ.

එහෙත් වඩාත් උණුසුම් දේශගුණයෙන් ඊටත් වඩා වැඩි යමක් සිදු වේ. ඇතැම් ප්‍රදේශවල මෙම දේශගුණය නිසා ගංගාවල් හුදෙක් මඩ ගොහොරු බවට පත් විය හැකි අතර, තවත් ප්‍රදේශවල තද වැසි හා ගංවතුර නිසා නිසල දිය සහිත පොකුණු හා වලවල්ද බිහි වේ. මේ සංසිද්ධීන් දෙකෙන්ම සිදු වෙන්නේ රැඳී තිබෙන වතුර කඩිති හෝ වලවල් මදුරුවන් බෝ වෙන රජ දහන් බවට පත්වීමයි. වඩාත් උණුසුම් දේශගුණයක් තුළ මදුරුවන්ගේ බෝ වෙන චක්‍රය කෙටි වන අතර, උන්ගේ බෝවීම වඩාත් ශීඝ්‍රව සිදු වේ. එමගින් මදුරුවන් බහුලව සිටින කාලවල් වඩාත් දීර්ඝ වේ. මදුරුවන් වඩාත් ක්‍රියාශීලී වෙන්නේ උණුසුම් දේශගුණයේය. වඩාත් උණුසුම් දේශගුණික තත්වයන්හිදී උෂ්ණත්වය මදුරුවන්ගේ බඩවැල්වලට තදින් දැනෙන අතර, රෝග කාරක ක්ෂුද්‍ර ජීවීන්ගේ ප්‍රජනනය ඒ මගින් තීව්‍ර කරයි. මෙසේ වීමෙන් සිදු වෙන්නේ මදුරුවා එක වරක් විදීමෙන් රෝගය වැලඳීමේ අවදානම වැඩිවීමය. එහෙත්, සැලකිල්ල දැක්විය යුතු තවත් සාධකද තිබේ.

කෘමීන්ගෙන් රෝග වැලඳෙන ආකාරය හදාරමු

මිනිස් සමාජයේ සිදු වෙන වෙනස් වීම්ද කෘමීන්ගෙන් බෝ වෙන රෝගවලට දායක විය හැකියි. එය සිදු වෙන්නේ කෙසේදැයි දැනගැනීම පිණිස, කෘමීන් කරන කාර්යභාරය දෙස අපි සමීප බැල්මක් හෙළමු. බොහෝ රෝග සම්බන්ධයෙන් ගත් කල, රෝග වහනය කිරීමේ දාමයට අයත් පුරුක් අතරින් කෘමියා එක් පුරුකක් පමණක් විය හැකියි. සතෙක් හෝ කුරුල්ලෙක්, තම සිරුරේ කෘමීන් වහනය කිරීමෙන් හෝ උගේ රුධිර පද්ධතියේ ක්ෂුද්‍ර ජීවීන් රඳවා තබාගැනීමෙන් රෝගය බෝ කිරීමේ තෝතැන්නක් ලෙස ක්‍රියා කළ හැකියි. එම සතාට හෝ කුරුල්ලාට මේ අයුරින් නොමැරී ජීවත් විය හැකි නම්, ඌ රෝග බෝ කරන නියැදියක් බවට පත් විය හැකියි.

අමෙරිකා එක්සත් ජනපදයේ කනෙක්ටිකට්හි ලයිම් ප්‍රදේශයේ 1975දී ප්‍රථම වරට නිරීක්ෂණය කොට හඳුනාගනු ලැබූ ලයිම් රෝගය ගැන සලකා බලන්න. ලයිම් රෝගයට තුඩු දෙන බැක්ටීරියා විශේෂය උතුරු අමෙරිකාවට පැමිණියේ මීට අවුරුදු සියයකට පමණ ඉහත මීයන්ගෙන් හෝ යුරෝපයේ සිට නැව්වලින් පැමිණි ගොවිපොළවල ඇති කරන සත්වයන්ගෙන් විය හැකියි. රෝගය වැලඳුණු සතෙකුගේ රුධිරය ඉතා කුඩා කිනිතුල්ලෙකු (Ixodes) විසින් උරා බිවූ පසු, එම බැක්ටීරියාව ජීවිත කාලය පුරාම උගේ බඩවැලේ තැන්පත් වී තිබේ. මෙම කිනිතුල්ලා පසුව වෙනත් සතෙකුව හෝ මිනිසෙකුව කෑ විට, උගේ සිරුරේ රැඳී පැවති එම බැක්ටීරියාව එම සතාගේ හෝ මිනිසාගේ රුධිර පද්ධතියට ඇතුල් විය හැකිය.

එක්සත් ජනපදයේ ඊසාන දිග ප්‍රදේශයේ දිගු කලක් මුළුල්ලේ ලයිම් රෝගය පැවත තිබේ. ලයිම් රෝගයට තුඩු දෙන බැක්ටීරියාව උපදින ප්‍රධාන තෝතැන්න නම් සුදු පැහැති පාද සහිත මීයන්ය. ඉහත සඳහන් කිනිතුල්ලන්ද එම මීයන්ගේ සිරුරේ බහුලව වැඩෙන අතර විශේෂයෙන්ම එසේ වැඩෙන්නේ කිනිතුල්ලන්ගේ වර්ධන කාලයේදීය. එහෙත් පරිණත වූ කිනිතුල්ලෝ මුවන්ගේ සිරුර තම වාසභවනය කරගැනීමට වඩාත් කැමති වන අතර, එහිදී උන් හොඳින් පෝෂණය වී තම වර්ගයා බෝ කරති. හොඳට බඩ කට පුරා ලේ බීගත් විට, පරිණත කිනිතුල්ලාගේ ගැහැනු සතා බිමට වැටී බිත්තර දමන අතර, එම බිත්තරවලින් මතු වන දහස් ගණන් කීටයෝ නැවතත් තම වර්ධන චක්‍රය අලුත් කරති.

තත්වයන්හි වෙනස් වීමක්

රෝග කාරක ක්ෂුද්‍ර ජීවීන් වසර ගණනාවක් සතුන් සහ කෘමීන් සමඟ සහජීවනයෙන් ජීවත් වී ඇත්තේ මිනිසුන්ට කිසිදු රෝගයක් ඇති නොකරමිනි. නමුත් තත්වයන්හි වෙනසක් සිදු වූ විට එක ප්‍රදේශයකට පමණක් සීමා වූ රෝගයක් රටක මුළු මහත් ජනගහනයටම බලපාන්නාවූ වසංගතයක් බවට පත් විය හැකියි. මේ අනුව, එය ප්‍රජාව තුළ ජීවත් වන බොහෝදෙනෙකුට බෝ වෙන රෝගයක් බවට පත් වෙන්නට පුළුවනි. ලයිම් රෝගය සම්බන්ධයෙන් බලන කල, වෙනස් වී ඇත්තේ කුමක්ද?

අතීතයේදී, මුවන්ගේ සිරුරේ වෙසෙන කිනිතුල්ලන් හා මිනිසා අතර ඇති බැඳියාව සීමා කිරීමට ඉවහල් වූයේ මුව ගොදුරු සොයා ගිය වනසතුන්ය. මුල් යුරෝපීය වැසියන් පදිංචි වූ කල ඔවුන් ගොවිපොළවල් සඳහා කැලෑ එළි පෙහෙළි කිරීමෙන් මුවන්ගේ වර්ධනය තවත් පහත වැටුණු අතර, ඒ සමඟම මුවන්ව ගොදුරු කරගන්නාවූ සත්තුද එම කැලෑවලින් ඉවත් වූහ. එහෙත් 1800 මැද භාගයේදී, බටහිරට වෙන්නට කෘෂිකාර්මික ගොවිපොළවල් ආරම්භ කිරීම සඳහා එවන් ගොවිපොළවල් බොහොමයක් අත්හැර දමනු ලැබූ විට යළිත් වනාන්තර වැවෙන්නට පටන්ගති. මුවෝ ආපසු ආහ. නමුත් ඔවුන්ව ගොදුරු කරගන්නාවූ සතුන් ආපසු පැමිණියේ නැත. මෙසේ, මුව ප්‍රජාව ඉතා ශීඝ්‍රයෙන් බෝ වෙන්නට පටන්ගත් අතර, ඒත් සමඟම කිනිතුල්ලන්ගේ වර්ධනයද ඉහළ නැංගේය.

ඊට මද කලකට පසුව, ලයිම් රෝගයට තුඩු දෙන බැක්ටීරියාවන් නැවත මතු වී දශක ගණනාවක් පුරාම සතුන්ගේ ශරීරවල ලැගුම් ගත්තේමිනිසාට තර්ජනයක් ලෙස මතු වෙන්නට පෙරාතුවය. කෙසේවෙතත්, වනාන්තර අද්දරට වෙන්නට නගර නිර්මාණය වූ විට, ළමෝ සහ වැඩිහිටියෝ මහත් සංඛ්‍යාවලින් කිනිතුල්ලන්ගේ රාජධානියට ඇතුල් වෙන්නට පටන් ගත්හ. කිනිතුල්ලෝ මිනිස් සිරුරුවලට ඇතුල් වූහ. මිනිසුන්ට ලයිම් රෝගය වැලඳිණි.

අස්ථාවර ලෝකයක ඇති වන රෝග

ඉහත සඳහන් සංසිද්ධීන්වලින් කියාපාන්නේ රෝගයක් උත්සන්න වී එය පැතිරෙන ආකාරවලින් එකක් පමණි. එමෙන්ම මිනිසාගේ අත්තනෝමතික ක්‍රියාවන් නිසා රෝග යළිත් හිස එසවීමට බලපාන එක් ආකාරයක් පමණි. “කලින් පැවති රෝග සියල්ලක්ම පාහේ යළිත් හිස ඔසවා ඇත්තේ මිනිසා පරිසරයට අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසීම නිසාය” යයි පැහැදිලිව දිස් වෙන අනාගතය (සිංහලෙන් නැත) නම් වූ තම කෘතියේ පරිසරවේදියෙකු වන යූජීන් ලින්ඩෙන් ලියයි. මිනිසා කර ඇති අනවශ්‍ය ඇඟිලි ගැසීම්වලට නිදසුන් කීපයක් මෙන්න: නවීන ප්‍රවාහන ක්‍රමවල ජනප්‍රියත්වය සහ වේගය නිසා ඉතා ශීඝ්‍රයෙන් රෝග කාරක ලොව පුරා පතුරුවන්නට හැකියි. ලොකු කුඩා ජීවීන්ගේ වාසභවනවලට කර ඇති හානි හේතුවෙන් ජෛව විවිධත්වයට තර්ජන එල්ල වී ඇත. “පරිසර දූෂණය වාතයටද හුළඟටද බලපාමින් සතුන්ගේ මෙන්ම මිනිසාගේද ප්‍රතිශක්තිකරණ පද්ධතීන් එක සේ දුර්වල කර” ඇතැයි ලින්ඩෙන් පවසයි. ආචාර්ය එප්ස්ටීන්ගේ ප්‍රකාශය උපුටා දක්වමින් ඔහු තවදුරටත් පවසන්නේ “ලුහුඬින් ගත් කල, මිනිසා පරිසරයට අනවශ්‍ය ලෙස බාධා කිරීම නිසා, ගෝලීය ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වී, ක්ෂුද්‍ර ජීවීන්ට හිතකර තත්වයන් එමගින් වර්ධනය කර දී තිබෙන” බවයි.

දේශපාලන අස්ථාවරබව හේතුවෙන් හටගන්නා යුද්ධ පරිසර පද්ධතියට හානි කරන අතර, ජනයාට හා සතුන්ට සෞඛ්‍යමය අවශ්‍යතා හා ආහාර සපයන යටිතල පහසුකම්ද විනාශ කරනු ඇත. ඒ සමඟම, ප්‍රාණී විද්‍යාව පිළිබඳ අමෙරිකානු කෞතුකාගාරයේ බයෝබුලටින් නම් වූ කෘතියේ සඳහන් පරිදි, “මන්දපෝෂණයෙන් දුර්වල වී සිටින සරණාගතයෝ කඳවුරුවල ගාල් වී, ඒවා තුළ කිටි කිටියේ තදබද වී ගෙවන ජීවන තත්වයන් හේතුකොටගෙන නොයෙක් මාදිලියේ ආසාදනවලට නිරාවරණය වී සිටිති.”

ආර්ථික අස්ථාවරත්වය නිසා රැකියාවන් සඳහා වෙනත් රටවලට ඇදී යෑමට නැතහොත් තමන්ගේම රටේ නගර කරා ඇදී යෑමට මිනිසාට සිදු වී තිබේ. මෙසේ ඔවුන් බොහෝවිට ඇදෙන්නේ අධික ජනගහන ඝණත්වයක් සහිත නගරවලටය. “රෝග කාරකයෝ අධික ජනගහනයක් ඇති නගරවල පිනුම් ගසති” යයි බයෝබුලටින් කෘතිය පැහැදිලි කරයි. නගර ජනගහනය ‘උතුරා යන’ තත්වයට පත් වූ විට, “බොහෝවිට ඊට සරිලන ලෙසට අධ්‍යාපනය, පෝෂණය හා එන්නත්කරණ වැඩසටහන් වැනි අත්‍යවශ්‍ය මහජන සෞඛ්‍ය පහසුකම් නගර වැසියන්ට සපයන්නට බැරිය.” පමණට වඩා අධික ජනගහනයක් පවතින ස්ථානවලද ජලය, අපද්‍රව්‍ය සහ කැළි කසළ බැහැර කිරීමද මහත් අමතර බරක් බවට පත් වෙයි. එමගින් මහජන සනීපාරක්ෂාව සහ පෞද්ගලික සෞඛ්‍යය තත්වය පවත්වාගැනීම අසීරු කාර්යක් වේ. ඒ අතරම කෘමීන් හා වෙනත් රෝග කාරකයන් ශීඝ්‍රයෙන් බෝවීමක් සිදුවෙයි. කෙසේවෙතත්, ඊළඟ ලිපියේ පෙන්වන්නාක් මෙන්, තත්වය බලාපොරොත්තු රහිත නොවේ.

[11වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“කලින් පැවති රෝග සියල්ලක්ම පාහේ යළිත් හිස ඔසවා ඇත්තේ මිනිසා පරිසරයට අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසීම නිසාය”

[7වන පිටුවේ කොටුව⁄පින්තූරය]

බටහිර නයිල් වයිරසය එක්සත් ජනපදය ආක්‍රමණය කරයි

මදුරුවන් මගින් මිනිසාට ආසාදනයවූ බටහිර නයිල් වයිරසය පළමුවෙන්ම හඳුනාගනු ලැබුවේ 1937දී උගන්ඩාවේදීය. පසුව එය මැදපෙරදිග රටවල, ආසියාවේ, පැසිෆික් සාගරයේ රටවල සහ යුරෝපයේ සොයාගැනිණි. වර්ෂ 1999 වන තෙක් බටහිර අර්ධගෝලයේ එය සොයාගැනීමට නොහැකි විණි. කෙසේවෙතත්, එතැන් පටන් එක්සත් ජනපදයේ ආසාදිතයන් 3,000කට වඩා වාර්තා වී ඇති අතර, පුද්ගලයන් 200කට වඩා මිය ගොස් තිබේ.

ආසාදිත පුද්ගලයන් සමහරදෙනෙකුට උණ හා සමාන රෝග ලක්ෂණ තිබුණත් වැඩිදෙනෙකු තමන්ට රෝගය වැලඳී ඇති බවක් කිසිවිටෙකත් දැන සිටියේ නැත. ඉතා කුඩා ප්‍රතිශතයක් තුළ එන්සෙෆලයිටිස් සහ කොඳු ඇට පෙළේ මෙනින්ජයටිස් ඇතුළු බරපතළ අසනීප තත්වයන් දිස් විණි. එහෙත්, බටහිර නයිල් වයිරසය වැළැක්විය හැකි එන්නතක් හෝ විශේෂ ප්‍රතිකාරයක් තවමත් සොයාගෙන නැත. එක්සත් ජනපදයේ රෝග පාලන හා මර්දන ආයතනය අනතුරු අඟවන්නේ, ශරීර ඉන්ද්‍රියයන් බද්ධ කිරීම මගින් හෝ රෝගය වැලඳුණු ලේ දන් දෙන්නෙකුගෙන් ගත් රුධිර ප්‍රවේශනයෙන්හෝ බටහිර නයිල් වයිරසය සිරුරට ඇතුළු විය හැකි බවයි. “බටහිර නයිල් වයිරසය රුධිරයේ තිබෙනවාදැයි පරීක්ෂා කිරීමට දැනට කිසිම ක්‍රමයක් නැත” යයි 2002 රොයිටර් ප්‍රවෘත්ති සේවය වාර්තා කළේය.

[හිමිකම් විස්තර]

CDC/James D. Gathany

[8, 9වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ඔබට ඔබවම ආරක්ෂා කරගත හැක්කේ කෙසේද? කළ යුතු හා නොකළ යුතු දේවල් කිහිපයක්

සෞඛ්‍ය සම්පන්නව සිටීම පිළිබඳව යම් යම් යෝජනා ගැන ලොව වටා රෝගවලට ගොදුරු වී ඇති යම් රටවල වැසියන්ගෙන් පිබිදෙව්! සඟරාව අදහස් විමසුවේය. ඔවුන් දුන් අවවාද හා නිර්දේශ ඔබගේ ප්‍රදේශයටත් උපකාරවත් වන බව ඔබට පෙනිය හැකියි.

පිරිසිදුකම—ආරක්ෂාව සඳහා වැදගත්ම පියවර

ඔබේ නිවස පිරිසිදුව තබාගන්න

“ආහාර අසුරා ඇති භාජන වසා තබන්න. පිසින ලද ආහාර පරිභෝජනය කරන තුරු වසා තබන්න. ආහාර හැළී විසිරී ගිය විට වහාම ඒවා පිස දමන්න. ආහාර ගැනීමෙන් පසු පිඟන් කෝප්ප නොසෝදා පුරා රැයක් තබන්නටවත් පසුවදා උදෑසනට ඉවත් කිරීමේ අටියෙන් ඉතිරි ආහාර ගෙයින් පිටතට තබන්නටවත් එපා. ඒවා වසා තබන්න. නැත්නම් වළලා දමන්න. මන්ද කෘමීන් හා මීයන් වැනි ලෑටි ගාන සත්තු රාත්‍රි කාලයේ ආහාර සොයා එළියේ සැරිසරති. තවද මැටි බිම මත කොන්ක්‍රීට් ස්ථරයක් දැමීමෙන් නිවස පිරිසිදුවටත් කෘමීන්ගෙන් තොරව තබාගැනීමටත් පහසු කරවයි.”—අප්‍රිකාව.

“කෘමීන් ඇදී එන පලතුරු හෝ වෙන ඕනෑම දෙයක් නිවසින් පිටත ගබඩා කර තබන්න. එළුවන්, ඌරන්, කුකුළන් වැනි ගොවිපොළවල ඇති කරන සතුන්නිවසට ඒමට ඉඩ දෙන්න එපා. ගෙවත්තේ ඇති වැසිකිළි ආවරණය කරන්න. මැස්සන් නොඑන සේ, සතුන්ගේ අපද්‍රව්‍ය වහාම වළලා දමන්න, නැතහොත් ඒවා මත තැම්බූ හුණු ඉසින්න. මෙසේ කිරීමෙන් හැකි තරම් දුරට පරිසරය කෘමීන්ගෙන් තොරව තබාගැනීමට ඔබට හැකි වන අතර, ඔබේ අසල්වැසියන් මේ දේවල් නොකළත්, ඔබට හැකියි මේ අන්දමින් ඔවුන්ට හොඳ ආදර්ශයක් තැබීමට.”—දකුණු අමෙරිකාව.

[පින්තූරය]

ආහාර හෝ කසළ ආවරණය කර නොතැබීම ඔබ කෘමීන්ට කෑමකට ආරාධනා කරන්නාක් මෙන්ය

පෞද්ගලික සනීපාරක්ෂාව

“පහසුවෙන් මිල දී ගත හැකි දෙයකි, සබන්. ඔබේ අත් සහ ඇඳුම් සබන් ගා සෝදාගන්න. විශේෂයෙන් මිනිසුන්ව හා සතුන්ව ස්පර්ශ කළ පසු මෙසේ කිරීම වැදගත්ය. සතුන්ගේ මළකුණු ඇල්ලීමෙන් වළකින්න. ඔබේ මුඛය, නාසය සහ ඇස් ඔබේ අත්වලින් ඇල්ලීමෙන් වළකින්න. ඔබ අඳින ඇඳුම් පිරිසිදු ලෙස පෙනෙන්නට තිබුණද, ඒවා නිතරම සෝදාගත යුතුයි. කෙසේවෙතත්, ඇතැම් සුවඳවල් කෘමීන්ව ආකර්ෂණය කරයි. එම නිසා, සුවඳ කවා ඇති සබන් හා සනීපාරක්ෂක නිෂ්පාදන භාවිත කිරීමෙන් වළකින්න.”—අප්‍රිකාව.

රෝග වැළැක්වීමේ උපක්‍රම

මදුරුවන් බෝ වෙන තැන් ඉවත් කරන්න

වතුර ටැංකි සහ රෙදි සෝදන බේසම් ආවරණය කරන්න. වතුර එකතු වෙන පියනක් රහිත සියලුම භාජන ඉවත් කරන්න. මල් පෝච්චිවල වතුර රැඳී තිබෙන්නට ඉඩහරින්න එපා. දවස් හතරකට වඩා තිබෙන ඕනෑම වතුර මඩ වළක මදුරුවන්ට බෝ විය හැකියි.—ගිණිකොණ ආසියාව.

කෘමීන්ට නිරාවරණය වීම අවම කරන්න

කෘමීන් ආහාර ගැනීමට වඩාත් රුචියක් දක්වන වේලාවන් හා එවන් ස්ථානවල ගැවසීමෙන් වළකින්න. නිවර්තන කලාපීය ප්‍රදේශවල වේලාසනින් ඉර බැස යයි. එබැවින්, දෛනික කටයුතු බොහොමයක් සිදු වෙන්නේ බොහෝ කෘමීන් වඩාත් සක්‍රීය වන රාත්‍රි කාලයේදීය. කෘමීන් බෝ කරන රෝග දසත පැතිර ඇති කාලයේදී එළිමහනේ වාඩි වී සිටීම හා නිදාගැනීම රෝග බෝවීමේ අවදානම වැඩි කරයි.—අප්‍රිකාව.

[පින්තූරය]

මදුරුවන් බහුල රටක එළිමහනේ නිදාගැනීම ඇවිත් ඔබව කන්න කියා ඔවුන්ට ආරාධනා කරන්නාක් මෙන්ය

සිරුර හැකි තරම් අඩුවෙන් නිරාවරණය වෙන ඇඳුම් අඳින්න. වනාන්තරවල ඇවිදින විට විශේෂයෙන්ම මෙය වැදගත්ය. කෘමීන් පළවාහරින ආලේපන ඔබේ ඇඳුම්වල හෝ සමේ ගල්වන්න. මෙහිදී සෑම විටම ලේබලයේ ඇති උපදෙස් අනුගමනය කරන්න. එලෙස නිවසින් පිටත එළිමහනක කාලය ගත කිරීමෙන් පසුව ඔබගේ හා ඔබගේ දරුවන්ගේ සිරුරේ කිනිතුල්ලන් එල්ලී සිටිනවාදැයි පරීක්ෂා කර බලන්න. ඔබේ සුරතල් සතුන්ව සෞඛ්‍ය සම්පන්නව හා කෘමීන්ගෙන් තොරව තබන්න.—උතුරු අමෙරිකාව.

කෘමීන් මගින් සතුන්ගෙන් මිනිසුන්ට රෝග බෝ විය හැකි නිසා ගොවිපොළවල ඇති කරන සතුන් ඇල්ලීම අවම කරන්න.—මධ්‍යම ආසියාව.

පවුලේ සියල්ලන්ම මදුරු දැල් පාවිච්චි කරන්න. විශේෂයෙන්ම කෘමි නාශක ගල්වා ඇති දැල් නම් වඩාත් හොඳයි. කෘමීන්ට ඇතුල් වෙන්න බැරි විදිහට දැලක් වැනි යම් ආවරණයක් ජනෙල්වලට දමන්න. එවන් ආවරණ අලුත්වැඩියා කර හොඳ තත්වයකින් තබාගන්න. කෘමීන්ට ඇතුල් විය හැකි වහළේ අගු සහ වඩිම්බුවල විවෘත තැන් තදින් වසා තබන්න. එවන් ආරක්ෂක පියවර ගැනීමට යම් මුදලක් වියදම් විය හැකියි. නමුත්, ඔබට ඔබේ දරුවාව රෝහලට ගෙන යන්නට සිදු වුණොත් නැත්නම් පවුලට ආදායමක් උපයන තැනැත්තෙකුට අසනීප වුණොත්, ඉන් සිදු වෙන පාඩුව ඊට වඩා වැඩියි.—අප්‍රිකාව.

[පින්තූරය]

කෘමීන් අපේ ගෙවල්වල අමුත්තන් නොවිය යුතුයි. උන්ව පලවාහරින්න!

කෘමීන් සැඟවී සිටින තැන් ඔබේ නිවසින් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න. බිත්ති, සීලිං සහ පළුදු සහිත ඉරි තැලී ගිය තැන් හා සිදුරු වසා කපරාරු කරන්න. අතු පිදුරුවලින් සෙවිලි කළ වහලයේ යට කෘමීන්ට ඔරොත්තු දෙන රෙදිවලින් ආවරණය කරන්න. ගොඩගැසී ඇති පත්තර හා රෙදි කැබලිද බිත්තියේ එක ගොඩේ එල්ලා ඇති පින්තූරුද ඉවත් කර දමන්න. ඒවා තුළ කෘමීන් සැඟවී සිටී.—දකුණු අමෙරිකාව.

ඇතැම් අය කෘමීන් සහ මීයන් වැනි ලෑටි ගාන සතුන්ව සලකන්නේ ගෙවල්වල සිටින අමුත්තන් හැටියටයි! නැත. උන් ගෙවල්වල සිටින අමුත්තන් නොවේ. උන්ට නිවෙස තුළට ඇතුල් වෙන්නට ඉඩ දෙන්න එපා. කෘමීන් පළවාහරින ද්‍රව්‍ය හා කෘමි නාශක භාවිත කරන්න. නමුත් ඔබ එය කළ යුත්තේ දී ඇති උපදෙස්වලට අනුව පමණයි. මැස්සන්ව මරා දමන උපකරණ භාවිත කරන්න. අලුත් උපක්‍රම සොයාගැනීමට උත්සාහ කරන්න. එක් කාන්තාවක් රෙදිවලින් රෝලක් මසා, ඊට වැලි පුරවා කෘමීන්ට තම නිවසට ඇතුළු විය නොහැකි වන ලෙස එය තම දොරකඩ යටින් තැබුවාය.—අප්‍රිකාව.

[පින්තූරය]

කෘමීන් පලවාහරින බෙහෙත් ගැල්වූ මදුරු දැල්වල මිල, ඖෂධවල හා රෝහල් බිල්පත්වල මිලට වඩා අඩුය

රෝගවලින් වැළකීමට ගන්නා ඖෂධ

නිසි පෝෂණය ලැබීමෙන්, විවේක ගැනීමෙන් හා නින්ද ලැබීම මෙන්ම ව්‍යායාම කිරීමෙන් රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරගන්න. මානසික පීඩාකාරී තත්වයන්ට ලක්වීමෙන් වළකින්න.—අප්‍රිකාව.

සංචාරකයෝ: රෝග බෝ වෙන ක්‍රම පිළිබඳව නවීනතම තොරතුරු ලබාගන්න. මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් සහ රජයේ අන්තර්ජාල වෙබ් අඩවිවලින් තොරතුරු ලබාගත හැකියි. සංචාරය කරන්නට පෙර, ඔබ යන ප්‍රදේශවලට ගැළපෙන රෝග නිවාරණ ප්‍රතිකාර කලින් ලබාගන්න.

ඔබට අසනීප බවක් දැනේ නම්

වහාම වෛද්‍යවරයෙකු වෙත යන්න

රෝග බොහොමයක් මුලින්ම සොයා ගතහොත් ඒවාට ඉතා පහසුවෙන් ප්‍රතිකාර කළ හැකියි

වැරදි රෝග නිශ්චයවලින් පරෙස්සම් වෙන්න

හැකි නම්, නිවර්තන කලාපීය ප්‍රදේශවල කෘමීන්ගෙන් බෝ වෙන රෝග පිළිබඳව හුරුපුරුදුව සිටින වෛද්‍යවරුන් වෙතට යන්න. ඔබේ සියලු රෝග ලක්ෂණ ගැන හා අතීතයේදී හෝ වේවා ඔබ ගමන් කළ ප්‍රදේශ ගැන ඔබේ වෛද්‍යවරයාට පවසන්න. අවශ්‍ය නම් පමණක් ප්‍රතිදේහ භාවිත කරන්න. එම මාත්‍රාව අවසන් වන තුරුම ගන්න.

[පින්තූරය]

කෘමීන්ගෙන් බෝ වෙන රෝග ලක්ෂණ වෙනත් රෝග ලක්ෂණ හා සමාන විය හැකියි. ඔබ ගිය ස්ථාන මොනවාද යන්න පිළිබඳව සම්පූර්ණ විස්තරයක් ඔබේ වෛද්‍යවරයාට දෙන්න

[හිමිකම් විස්තර]

ලෝක ගෝලය: Mountain High Maps® Copyright © 1997 Digital Wisdom, Inc.

[10වන පිටුවේ කොටුව⁄පින්තූරය]

කෘමීන් Hiv පතුරුවනවාද?

දශකයකට වඩා කාලයක් තුළ කරන ලද හැදෑරීම් හා පර්යේෂණවලින් පසුව, කෘමීන් පිළිබඳ හදාරන විශේෂඥයන් සහ වෛද්‍ය විද්‍යාඥයන් විසින් මදුරුවන් සහ වෙනත් කිසිම කෘමියෙක් HIV හෙවත් ඒඩ්ස් වයිරසය පතුරුවන බවට කිසිදු සාක්ෂියක් සොයාගෙන නැත.

නිදසුනක් වශයෙන්, මදුරුවන් සම්බන්ධයෙන් ගත් කල, එම කෘමියාගේ මුඛයේ කොටස් රුධිරය ඇතුල් කළ හැකි තනි විවරයක් සහිත සිරින්ජයක් මෙන් නොවේ. ඒ වෙනුවට, මදුරුවෝ තම මුඛයේ එක විවරයකින් රුධිරය උරාගෙන තවත් විවරයකින් ඛේට ශ්‍රාවයන් පිට කරති. සැම්බියාවේ, මෝන්ගු නගරයේ දිස්ත්‍රික් සෞඛ්‍යය පරිපාලන කණ්ඩායමක් සමඟ කටයුතු කළ HIV විශේෂඥයෙක් වන තොමස් ඩමාසෝ පැහැදිලි කළේ මදුරුවාගේ ආහාර ජීර්ණ පද්ධතිය මගින් වයිරසය විනාශ කරමින් රුධිරය කොටස්වලට කඩන බවයි. එබැවින් කෘමීන් පහ කරන අපද්‍රව්‍යවල HIV දක්නට නොලැබේ. මැලේරියා පරපෝෂිතයන් මෙන් නොව, HIV මදුරුවාගේ ඛේට ග්‍රන්ථ තුළට ඇතුල් නොවේ.

යම් පුද්ගලයෙකුට HIV වැලඳීමට නම් එම තැනැත්තා ආසාදිත අංශු රාශියකට නිරාවරණය විය යුතුය. මදුරුවෙකු ආහාර ගනිමින් සිටින විට, ඊට බාධා වී ඌ තවත් ගොදුරක් කරා එවෙලේම ඉගිල ගොස් විදියි නම්, උගේ මුඛයේ කොටස්වල ඉතිරි විය හැකි මොන යම් ප්‍රමාණයක හෝ රුධිරය තවත් කෙනෙකුට හානියක් කරන්නට තරම් ප්‍රමාණවත් නොවේ. විශේෂඥයන් පවසන හැටියට, ආවරණය නොකරන ලද තුවාලයක් මත HIV සක්‍රීය රුධිරය සහිත මදුරුවෙකුව තලා පොඩි කළත් HIV වැලඳෙන්නේ නැත.

[හිමිකම් විස්තර]

CDC/James D. Gathany

[7වන පිටුවේ පින්තූර]

මුවන්ගේ සිරුරු තුළ ජීවත් වෙන කිනිතුල්ලෝ (දකුණේ විශාල කර පෙන්වා ඇත) මිනිසුන්ට ලයිම් රෝගය බෝ කරති

වමේ සිට දකුණට: පරිණත ගැහැනු සතා, පරිණත පිරිමි සතා සහ නොමේරූ සුහුඹුලා, සියල්ලම නියම ප්‍රමාණයෙන් පෙන්වා ඇත

[හිමිකම් විස්තර]

All ticks: CDC

[10, 11වන පිටුවේ පින්තූර]

ජලගැලීම්, සනීපාරක්ෂාව නැති තත්වයන් සහ මිනිසා වෙනත් නගර හා රටවල් කරා ඇදී යෑම, කෘමීන්ගෙන් බෝ වෙන රෝග වැලඳීමට දායක වේ

[හිමිකම් විස්තර]

FOTO UNACIONES (from U.S. Army)