Skip to content

පටුනට යන්න

වෙනස් වන සාරධර්මවලින් සිදු වන පාඩුව ඔබට දැනේද?

වෙනස් වන සාරධර්මවලින් සිදු වන පාඩුව ඔබට දැනේද?

වෙනස් වන සාරධර්මවලින් සිදු වන පාඩුව ඔබට දැනේද?

“රට මුහුණ පාමින් සිටින වැදගත්ම ගැටලුව කුමක්ද?” එම ප්‍රශ්නය එක්සත් ජනපදයෙහි කළ සමීක්ෂණයකදී අසනු ලැබූ විට වැඩිදෙනෙක් තමන් වඩාත්ම කල්පනා කරන්නේ පවුලේ හා සදාචාරත්වයේ පහත වැටීම ගැනයයි පැවසුවා. මෙලෙස හැඟෙන්නේ ඔවුන්ට පමණක් නොවෙයි.

උදාහරණයක් වශයෙන්, පැරිසියේ දිනපතා පළ වන ඉන්ටර්නැෂනල් හෙරල්ඩ් ට්‍රිබියුන් නම් පුවත්පතේ මෙසේ සඳහන් වුණා. “පෙනෙනාකාරයට මුළු ලෝකයම යටපත් කරගෙන තිබෙන ගිජුකමේ, ආත්මාර්ථකාමිත්වයේ සහ ඌන සාමූහිකත්වයේ බලවේගයන් සම්බන්ධව සොයා බලා ඒවා පාලනය කිරීමට පිළිගත් ප්‍රමිති මාලාවක් පිහිටුවිය යුතුයි යන සංකල්පය විශේෂයෙන් යෞවනයන් අතර ප්‍රබලව දක්නට ලැබෙනවා. . . . මුළු ලොවටම පිළිගත හැකි සාරධර්ම මාලාවක් තිබීමේ අවශ්‍යතාව පිළිබඳව මෙලෙස ගොඩගැසෙන තර්කයන්වලින් පෙනී යන්නේ එහි අඩුවක් තිබෙන බවයි.”

සන්තෝෂය, ආරක්ෂාව, සුරක්ෂිතභාවය බහුල අනාගතයක් කරා අපව ගෙන යා හැකි සාරධර්ම ආණ්ඩු සහ ව්‍යාපාරිකයන් ඇතුළු ලෝක පාලකයන් සතුව පවතින බවක් ඔබට දැනේද? ඔබ වටා දක්නට ඇති වෙනස් වන සාරධර්ම හේතුවෙන් අඩුම තරමින් යම් දුරකට හෝ ඔබට පාඩුවක් දැනේද?

ඔබේ පෞද්ගලික ආරක්ෂාව සලසාගැනීම ගැඹුරු සැලකිල්ලක් දැක්විය යුතු එක් කාරණාවක් විය හැකියි. ඔබ වෙසෙන්නේ ඔබේ නිවසේ දොරගුලු හැරදා තැබිය හැකි ආරක්ෂා සහිත ප්‍රදේශයකද? රාත්‍රියේදී ඔබේ නිවස අවට වීදිවල බියක් සැකක් නොමැතිව ඇවිදින්න ඔබට පුළුවන්ද? යුධ ගැටුම්, වාර්ගික ප්‍රශ්න හෝ මාරාන්තික කල්ලි ගැටුම් නැති ප්‍රදේශයක දිවි ගෙවීමේ භාග්‍යය ඔබට ලැබී තිබෙනවා වුවත්, කවරෙකු හෝ ඔබට හිරිහැරයක් කරයිද, එහෙමත් නැත්නම් ඔබේ යමක් සොරකම් කරයිද, බලෙන් ගෙට කඩා පැන ගෙයි තිබෙන දේ සොරකම් කරයිද කියා ඔබ බිය විය හැකියි. මෙලෙස මානසික පීඩනයේ හැඟීම් හා යම් පාඩුවක් වේවිද යන හැඟීමක් ඇතිවීම අසාමාන්‍ය දෙයක් නොවෙයි.

මීට අමතරව, ඔබ විටෙක විශ්වාස කළ අයව දැන් ඔබ එදා මෙන් විශ්වාස නොකරන තත්වයක් ඇති වී තිබිය හැකියි. ඔබෙන් අයුතු ප්‍රයෝජන ගනිමින්, සුළුවෙන් හෝ තමන්ගේ වැඩ කරගන්නාවූ පුද්ගලයන් එන්න එන්නම වැඩි වන බව සමහරවිට රැකියා ස්ථානයේදී හා පෞද්ගලික ජීවිතයේදී ඔබ අද්දැක තිබිය හැකියි.

ආණ්ඩු මගින් ආදර්ශයක් තැබීම අත්‍යවශ්‍යයි

සමාජයේ පුද්ගලයන් විදහාපාන සාරධර්ම හා ඔවුන්ව පාලනය කරන ආණ්ඩුව විදහාපාන සාරධර්ම අතර සමීප සම්බන්ධයක් තිබෙන බවට පිළිගැනීමක් ඉතිහාසය පුරාම දක්නට තිබෙනවා. පසු කලෙක එක්සත් ජනපදයේ ජනාධිපති වශයෙන් සේවය කළ කැල්වන් කූලිජ් මෙසේ පැවසුවා. “මිනිසුන් ස්වාභාවිකව දායාද වී ඇති අයිතිවාසිකම් ගැන කතා කරනවා. නමුත් අයිතිවාසිකම් පැවතීමට හෝ ඒවා එලෙස පිළිගැනීමට නම් අදාළ නීති මාලාවක් තුළින් ඒවා ප්‍රකාශ කර ආරක්ෂා කර තිබිය යුතුයි. එසේ කර නැත්නම් භෞතික ලෝකයේ අයිතිවාසිකම් පවතින්නේ කොතැනකද කියා පෙන්වන්න කියලා මට පුළුවන් ඕනෑම කෙනෙකුට අභියෝග කරන්න.”

කෙලෙස බලයට පත් වුණත්, පාලන බලයේ පවතින රජයට හැකියි සිවිල් අයිතිවාසිකම් වැඩිදියුණු කිරීමට හෝ නැති කිරීමට. එම අයිතිවාසිකම් නම් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ නිදහස, එක්රැස් වීමේ නිදහස, ආගම ඇදහීමේ නිදහස සහ ප්‍රසිද්ධියේ අදහස් පළ කිරීමේ නිදහස මෙන්ම අනීතික ලෙස අත්අඩංගුවට පත් නොවීම හෝ හිරිහැර නොවිඳීම හා අපක්ෂපාති නඩු විසඳුමක් ලැබීම වැනි ඒවායි.

එක්සත් ජනපදයේ ජනාධිපති වශයෙන් පසුව සේවය කළ ඒබ්‍රහැම් ලින්කන් දවසක් මෙසේ පැවසුවා. “ආණ්ඩුවේ යහපත් පරමාර්ථය වන්නේ මහජනයාට පෞද්ගලිකව තමන් වෙනුවෙන්ම කොහෙත්ම කළ නොහැකි, එසේ නැතහොත් සාමූහික මට්ටමින් කරන තරමට හොඳින් කළ නොහැකි දේ, ජනතාව වෙනුවෙන් කෙසේ හෝ කිරීමයි.” එවැනි උසස් අරමුණු ඉටු කිරීම සඳහා ආණ්ඩු වෑයමක් දරන විට බලයේ සිටින්නන්ව විශ්වාස කිරීමට ජනයා පෙලඹෙනවා.

කෙසේවුවත්, අද දින දක්නට තිබෙන්නේ එම නිසැකභාවය හා විශ්වාසය වෙනුවට සැකය හා අවිශ්වාසය හිස ඔසවා ඇති බවයි. එක්සත් ජනපදයේ සිදු කළ මෑත අධ්‍යයනයක වාර්තාවට අනුව, සමීක්ෂණයට භාජන කළ අයගෙන් සියයට 68කගේ විනිශ්චය වුණේ දේශපාලනික නායකයන්ගේ සාරධර්ම සාමාන්‍ය මට්ටමක එහෙමත් නැත්නම් දුර්වල තත්වයක පවා පවතින බවයි. ආණ්ඩුවේ නිලධාරීන්ගේ අල්ලස් ගැනීම් පිළිබඳ ආරංචි හා අල්ලස් දූෂණයේ මට්ටම ඉහළටම නැඟ තිබෙන නිසා ඔවුන් පිළිබඳ මහජනතාවගේ ආකල්පය සලිත වී තිබෙනවා. මෙහි ප්‍රතිඵලය වී තිබෙන්නේ වැඩිදෙනෙකුට පාඩුවක් දැනීම බව පැහැදිලියි.

සලමොන් රජුගේ හොඳ ආදර්ශය

පාලනයේ නියුතුවූවන්ගේ සාරධර්මවලට කොතරම් බලපෑමක් කළ හැකිදැයි එක් පුරාණ ආදර්ශයක් පෙන්නුම් කරයි. සලමොන් රජ පො.යු.පෙ. 1037 සිට 998 දක්වා ඊශ්‍රායෙල් ගෝත්‍ර 12 පාලනය කළා. ඔහුගේ පියා වූ දාවිත් ඊශ්‍රායෙලයේ විසූ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්. දාවිත් සත්‍යයට හා ධර්මිෂ්ඨකමට ඇල්මක් දැක්වූ මෙන්ම විශේෂයෙන්ම තම දෙවි වූ යෙහෝවා කෙරෙහි නොසැලෙන විශ්වාසයක් හා නිසැකකමක් ඇතුව සිටි බව බයිබලයේ විස්තර කරයි. දාවිත් සලමොන්ට එම සාරධර්මම ඉගැන්නුවා.

සර්වබලධාරි දෙවි සලමොන්ට සිහිනයකින් පෙනී මෙසේ පැවසුවා. ‘මා විසින් නුඹට දිය යුත්තේ කුමක්ද?’ (2 ලේකම් 1:7) ධන සම්භාරයක්, පෞද්ගලික තේජස හෝ දේශපාලනික ජයග්‍රහණයන් ඉල්ලනවා වෙනුවට ඊශ්‍රායෙල් ජාතියට හොඳ පාලකයෙකු වීමට තමාට හැකිකම ලබාගැනීම සඳහා ඥානය, අවබෝධය සහ කීකරු හදවතක් ඉල්ලීමෙන් තමා ලැදියාවක් දක්වන්නේ කවර සාරධර්මවලටද කියා සලමොන් හෙළි කළා.

සලමොන්ගේ පාලනය මිනිසුන්ට බලපෑවේ කෙසේද? ජාතියේ ආත්මික සාරධර්මවලට ඇලී සිටිය තාක් කල් ප්‍රඥාවෙන්, තේජසෙන් හා පෞද්ගලික ධනසම්පත්වලින් දෙවි ඔහුට ආශීර්වාද කළා. සලමොන්ගේ පාලන සමයේදී තිබූ සමෘද්ධිය පිළිබඳව පුරාවස්තුවලින් සාක්ෂි සැපයෙනවා. ඊශ්‍රායෙල් දේශයේ පුරාවිද්‍යාව (සිංහලෙන් නැත) නම් පොත මෙසේ පවසයි. “සියලු දිශාවලින් රජ මැදුරට ගලා ආ සම්පත් සහ සමෘද්ධිමත් වාණිජ්‍යය, . . . සංවර්ධනයේ සෑම පැත්තකම ශීඝ්‍ර හා විශාල වෙනසක් සිදු කළා.”

ඔව්, සලමොන්ගේ දක්ෂ පාලනය මගින් ඔහුගේ යටත්වැසියන්ට සාමය, ආරක්ෂාව හා සතුට ගෙන ආවා. “සලමොන්ගේ සියලු දවස්වල දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා යූදාවරුද ඊශ්‍රායෙල්වරුද එකිනෙකා තම තමාගේ මුද්‍රිකවැල යටද අත්තික්කා ගස යටද සුව සේ වාසය කළෝය.”—1 රාජාවලිය 4:20, 25.

සලමොන් රජුගේ නරක ආදර්ශය

කෙසේවුවද කනගාටුවට කරුණක් නම්, අද දින බොහෝ නායකයන්ගේ සාරධර්ම මෙන් සලමොන්ගේ සාරධර්මද අවසානයේදී වෙනස් වීමයි. බයිබල් වාර්තාවේ මෙසේ පවසා තිබෙනවා. “ඔහුට කුමාරිකා භාර්යාවන් සත්සියයක්ද උපභාර්යාවන් තුන්සියයක්ද සිටියෝය. ඔහුගේ භාර්යාවෝ ඔහුගේ සිත හරවාගත්තෝය. එසේය, සලමොන් මහලු වූ කල ඔහුගේ භාර්යාවෝ ඔහුගේ සිත අන් දෙවිවරුන් වෙතට හැරෙවුවෝය. ඔහුගේ සිතද තමාගේ පිය වූ දාවිත්ගේ සිත මෙන් තමාගේ දෙවි වූ යෙහෝවා කෙරෙහි සම්පූර්ණව නොතිබුණේය.”—1 රාජාවලිය 11:3, 4.

සලමොන් රජගේ සාරධර්ම වෙනස් කිරීම ඔහුගේ වැසියන්ට බලපෑවේ කෙසේද? සලමොන්ට මහත් හැකියාවක් හා ප්‍රඥාවක් තිබුණත් ඔහුගේ පාලනයේ අවසාන කාලයේදී ඔහු පීඩාකාරී පාලකයෙකු බවට පත් වුණා. ඔහුගේ ආණ්ඩුවේ අධික වියදම නිසා ජාතියේ ආර්ථිකය විශාල වශයෙන් බිඳ වැටුණා. සේවකයන් සෑහීමට පත් වුණේ නැහැ. දේශපාලනික සතුරන් රජට විරුද්ධව නැඟී සිට ඔහුගේ පාලනය නතු කරගැනීමට මං සෙව්වා. ජාතියේ ඒකීයභාවය නැති වෙන්න පටන්ගත්තා. “ධර්මිෂ්ඨයන්ට බලය තිබෙන කල සෙනඟ ප්‍රීති වෙති. එහෙත් දුෂ්ටයෙක් ආණ්ඩු කරන කල සෙනඟ සුසුම්ලති.” (හිතෝපදේශ 29:2) මොන තරම් හාස්‍යයක්ද සලමොන්ටම මෙසේ පැවසීමට සිදුවීම!

සලමොන්ගේ මරණයෙන් ටික කලකට පසු, දේශපාලනික වියවුල හා අවිශ්වාසය ජාතිය බෙදීමට මං සැලසූ අතර දුෂ්කරතාවල, අසමඟියේ හා පිරිහීමේ දරුණු කාල පරිච්ඡේදයක් බිහි වුණා. ඊශ්‍රායෙල්වරුන්ට දරාගත නොහැකි පාඩුවක් දැනුණා. ඔවුන්ගේ ආණ්ඩුව සාරධර්ම වෙනස් කර තිබුණේ ජනයාගේ යහපත තකා වැඩ කිරීම අමතක කර දමමින්. ඔවුන්ගේ නායකයන් යෙහෝවාව හා ඔහුගේ නීති නොසලකා හැරීම ප්‍රධාන වරද වුණා. මේ නිසා මුළු ජාතියම දුක් වින්දා.

විශ්වාසයේ ඌනතාව දසත පැතිර ඇත

අද දින ආණ්ඩු, ව්‍යාපාර හා ආගමික සංවිධාන තුළ සිටින බොහෝදෙනෙක් උසස් සාරධර්ම පැවැත්වීමට දී තිබෙන්නේ අවම අවධානයක්. මේ නිසා, පොදු ජනයාගේ මනසට හා සිතට දැනෙන්නේ පාඩුවක් වී තිබෙන බවයි. ආණ්ඩුවලට හා වෙනත් පාලකයන්ට තම රටේ ප්‍රධාන ගැටලු විසඳීමට නොහැකි අතර එම තත්වය උග්‍ර වෙමින් පවතියි.

උදාහරණයක් වශයෙන්, යුද්ධ කෙළවර කිරීමට, සෞඛ්‍ය ප්‍රතිකාර සඳහා වූ වියදම ඉහළ යෑම පාලනය කිරීමට හෝ මත්ද්‍රව්‍ය වෙළඳාමේ නරක ප්‍රතිඵල වැළැක්වීමට ඔවුන්ට පුළුවන්කමක් නැහැ. අධ්‍යාපනික ක්‍රමවලද බිඳ වැටීමක් දක්නට තිබෙනවා. ආණ්ඩු ගණනාවක්ම සංවිධානාත්මක සූදුවට පවා අනුග්‍රහය දක්වා තිබෙනවා. ව්‍යාපාරික හා ආගමික නායකයන්ගේ දූෂිත හා දුරාචාර ක්‍රියා අන්තයටම අධෛර්යය වීමකට මඟ පාදා තිබෙනවා. ජනයා නායකත්වය දෙස බලන්නේ නායකයන්ගේ පක්ෂපාතිත්වය විශ්වාස කරගෙන වුවත්, එම විශ්වාසය කොතැනකවත් දක්නට නොලැබීම පුදුමයක් නොවේ.

මිනිසාගේ ප්‍රධාන අයිතිවාසිකම් හා සාරධර්ම උල්ලංගනය නොකර, ඒවා රක්ෂා කිරීමට හා ඒවා පිළිපදිමින් ආදර්ශයක් තැබීමට හැකි ආණ්ඩුවක් තිබිය හැකිද? ඔව්, තිබිය හැකියි. අපේ අවසාන ලිපිය ඒ ගැන පැහැදිලි කරයි.

[23වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘පෙනෙන හැටියට, ගිජුකම, ආත්මාර්ථකාමිත්වය හා සාමූහික හැඟීමක් නොමැතිකමයි ලොව රජයන්නේ.’—ඉන්ටර්නැෂනල් හෙරල්ඩ් ට්‍රිබියුන්

[24වන පිටුවේ පින්තූර]

සලමොන් රජ දෙවිගේ නීතිවලට කීකරු වූ විට ඔහු තම යටත්වැසියන්ව උසස් සාරධර්මවලින් දැනුවත් කළා