Skip to content

පටුනට යන්න

සාරධර්ම පිරිහෙමින් පවතීද?

සාරධර්ම පිරිහෙමින් පවතීද?

සාරධර්ම පිරිහෙමින් පවතීද?

තම දරුවන්ට දීමට දෙමාපියන්ට හැකි උතුම්ම තෑගි තමයි අවවාදයට වඩා ආදර්ශය උතුම් බව තම ජීවිතයෙන් ඔප්පු කරමින් කොන්දේසි විරහිතව ප්‍රේමය පෙන්වීම සහ සාරධර්ම මාලාවක් සැපයීම.

නිසි සාරධර්ම නොමැති විට ජීවිතය හුදෙක් නොනැසී පැවතීමට කරන සටනක් වනවා පමණයි. සාරධර්ම මගින් ජීවිතය අර්ථවත් වෙනවා. ප්‍රමුඛස්ථානය දිය යුත්තේ කුමකටදැයි ඒවාවලින් පෙන්නුම් කෙරෙනවා. ඒවා මගින් සදාචාර සීමාවන් පිහිටුවන අතර හැසිරීමේ නීතිද පැහැදිලිව දක්වනවා.

කෙසේවෙතත්, සාම්ප්‍රදායික සාරධර්ම බොහොමයක් ශීඝ්‍රයෙන් වෙනස් වෙමිනුයි පවතින්නේ. උදාහරණයක් වශයෙන්, මහාචාර්ය රොනල්ඩ් ඉංගල්හාට් මෙසේ පවසයි. “තම ලිංගික ආශාවන් සන්තර්පණය කරගැනීම හා රිසි දේ කර තෘප්තියක් ලැබීම සඳහා වැඩි බුරුලක් දෙන ලිංගික සම්මතයන් පිහිටුවාගැනීම දෙසටයි සමාජය ඇදී යන්නේ.” වර්ෂ 1997දී රටවල් 16ක කරන ලද ගැලප් සමීක්ෂණයකදී අවජාතක දරුවන් බිහි කිරීම සදාචාරවත් දෙයක්දැයි එම වැසියන්ගෙන් විමසනු ලැබුවා. ගැලප් සමීක්ෂණයෙන් මෙසේ වාර්තා වුණා. “මෙම නවීන ජීවන රටාවේ ප්‍රවණතාව පිළිගැනීම, බටහිර යුරෝපයේ ඇතැම් ප්‍රදේශවල සියයට 90ක හෝ ඊට වැඩි ගණනක ඉහළ සංඛ්‍යාවක සිට සිංගප්පූරුවේ හා ඉන්දියාවේ සියයට 15කට වඩා අඩු සංඛ්‍යාවක් දක්වා වෙනස් වෙයි.”

ඇතැම් අය මෙම නව ලිංගික නිදහස පැසසුමට ලක් කර තිබෙනවා. කෙසේවුවද, ආණ්ඩුවේ නැඟීම හා සදාචාරයේ බැසීම (සිංහලෙන් නැත) නමැති පොත්පිංචයේ ජේම්ස් ඒ. ඩෝර්න් විසින් සඳහන් කරන්නේ “අවජාතක දරුවන්ගේ උපත් වැඩි වී තිබීම” හා “පවුල් බිඳවැටීම,” “සදාචාරය පිරිහෙන බවට පැහැදිලි ලකුණු” වශයෙනි.

පිරිහෙමින් පවතින වෙනත් සාරධර්ම

කාලයක් පුරා පැවති වෙනත් සාරධර්මද සෑහෙන දුරකට පහත වැටී තිබෙනවා. මහාචාර්ය ඉංගල්හාට්ගේ මූලිකත්වයෙන් මෙහෙයවූ ලෝක සාරධර්ම සමීක්ෂණයේ වාර්තාව පෙන්නුම් කරන්නේ සංවර්ධිත රටවල “අධිකාරිත්වයට ගරු කිරීම පහත වැටී” ඇති බවයි.

කය වෙහෙසා වැඩ කිරීමේ ආචාර ධර්මය තවත් සාම්ප්‍රදායික සාරධර්මයක්. කෙසේවුවත්, මෙයද පහත වැටී ඇති බවට සාක්ෂි තිබෙනවා. එක්සත් ජනපදයෙහි, ස්වාධීන ව්‍යාපාරය පිළිබඳ ජාතික ඒකාබද්ධ ආයතනය මගින් සේව්‍යයන් අඩ මිලියනයකට වැඩි සංඛ්‍යාවක් සමීක්ෂණයකට ලක් කරනු ලැබුවා. “විමසුමට ලක් කළ අයගෙන් සියයට 31ක් රැකියා ඇබෑර්තු පිරවීම අසීරු බවත්, සියයට 21ක් වැඩවල ගුණය සාමාන්‍යයෙන්ම දුර්වල බවත් පැවසුවා.” එක් සේව්‍යයෙක් මෙසේ පවසයි. “බමන මතින් තොරව හැම දවසකම වෙලාවට වැඩට එන සේවකයන් හොයාගන්න එක එන්න එන්නම අමාරු වෙනවා.”

මෙම පසුබැසීමේ ප්‍රවණතාවට දායක වන්නේ ආර්ථික බලපෑම් විය හැකියි. ලාභ ලැබීමේ ප්‍රමාණය අඩු වන විට සේව්‍යයන් සේවකයන්ව රැකියාවෙන් අස් කරනවා. එසේ නැතහොත්, ඇතැම් දීමනා කපාහරිනවා. ආචාර ධර්ම හා හැසිරීම් රටා (සිංහලෙන් නැත) නම් සඟරාව මෙසේ පවසයි. “ස්වාමිවරුන් තමන්ට පක්ෂපාතිත්වයක් නොදක්වන බව සහ තමන් කෙරෙහි බැඳීමක් නොමැති බව අද්දකින සේවකයන් තම ස්වාමිවරුන් කෙරෙහි ඒ හා සමාන අන්දමකින් නිෂේධාත්මකව හැසිරීමට පෙලඹෙයි. තමාව ඊළඟ දවසේ රැකියාවෙන් අස් කිරීමට ඉඩ කඩ ඇති නිසා සේවකයා වෙහෙස මහන්සි වී වැඩ කරන්නේ නැහැ.”

එහෙත්, සාරධර්මවල තවත් පැත්තක් වන හොඳ සිරිත් හා ආචාරශීලීභාවය ගැන බැලුවොත් ඒවාද සෑහෙන්න පහත වැටී තිබෙනවා. ඕස්ට්‍රේලියාවෙහි සමීක්ෂණයකින් මෙසේ නිගමනය කරනු ලැබුවා. “කාර්යාලයේ පවතින නරක සිරිත් සේවක මණ්ඩලයට බලපාන බව සේවකයන්ගෙන් සියයට 87.7කට වැඩි පිරිසක් වාර්තා කළා.” එක්සත් ජනපදයේ ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් කළ සමීක්ෂණයකදී “සමීක්ෂණයට හවුල් වූ අයගෙන් සියයට 80ක් වාර්තා කළේ ව්‍යාපාරයන්හි අවිනීත ක්‍රියාකලාපයන් වැඩි වෙමින් පවතින බවයි.” එමෙන්ම CNN ප්‍රවෘත්ති ආයතනය පවසන පරිදි, “පාරිභෝගිකයන්ට නිසි සේවාවන් නොදීම කොතරම් උග්‍ර වී ඇද්ද කිවහොත් සමීක්ෂණයට ලක් කළ අයගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් කියා සිටියේ, මේ හේතුව නිසා තමන් පසුගිය වසරේ වෙළඳ සැලකට ගොඩ වී බඩු නොගෙනම ඉන් පිටතට ගිය බවයි. ජංගම දුරකථනවලින් ජනයා හඬ නඟා හෝ හිරිහැරකාරී අන්දමින් කතා කරන ආකාරය තමන් බොහෝවිට දැක ඇති බව ඔවුන්ගෙන් අඩක්ම පැවසුවා. එමෙන්ම රියැදුරන් 10දෙනෙකුගෙන් හයදෙනෙකුම පැවසුවේ අනික් අය කලහකාරී හෝ නොසැලකිලිමත් අන්දමින් රිය පදවන ආකාරය නිතර දකින්න ලැබෙන බවයි.”

මිනිස් ජීවිතයේ වටිනාකම කෙබඳුද?

සමහර අවස්ථාවලදී, තමන් ඇතැම් “සාරධර්ම” පිළිපදින බව ජනයා පැවසුවත් ඔවුන් තම ක්‍රියාවෙන් ඒ බව පෙන්වන්නේ නැහැ. උදාහරණයක් වශයෙන්, ලෝක ආචාර ධර්ම සඳහා වූ ආයතනය මගින් රටවල් 40ක නියෝජිතයන්ගෙන් විමසුමක් කරනු ලැබුවා. සියයට 40ක්, “වඩාත් වැදගත්” සාරධර්ම අතරෙන් ඉහළින්ම තිබෙන සාරධර්ම පහ සඳහා ‘ජීවිතයට ගරු කිරීමද’ ඇතුළත් කළා. a

කෙසේවුවත්, ඇත්තෙන්ම සිදු වන්නේ කුමක්ද? මිනිසා විඳින වේදනාවලින් වැඩි හරියක් නැති කිරීමට කාර්මික රටවල ඇත්තෙන්ම සම්පත් තිබෙනවා. එහෙත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ විධායක අධ්‍යක්ෂකවරිය වූ කැරල් බෙලමි 1998දී ලියූ පොතක සඳහන් කළේ, “සංවර්ධනය වෙමින් පවතින රටවල වයස අවුරුදු පහට අඩු දරුවන් මිලියන 12කට ආසන්න සංඛ්‍යාවකගේ මරණවලින් අඩකට වැඩි කොටසක් මන්දපෝෂණය නිසා සිදු වන බවයි. මෙය 14වන සියවසේදී යුරෝපය අසරණ කළාවූ මහමාරිය නමැති රෝගයෙන් සිදු වූ මරණවලටද සම කළ නොහැකි තරම් සංඛ්‍යාවක්.” මිනිස් ජීවිතයට ආදරය කරන ඕනෑම කෙනෙකු එවැනි වාර්තාවලින් සලිත වෙයි. “එහෙත්” බෙලමි පවසන්නේ “සිදු වන හානිය පිළිබඳ විද්‍යාත්මක සාක්ෂි තිබුණත්, ඒවා වැඩි වෙමින් තිබුණත්, ලොව පුරා පවතින මන්දපෝෂණයේ අර්බුදය මහජනයාව සලිත කර ඇත්තේ ඉතා අල්ප වශයෙන් බවයි. මන්දපෝෂණයෙන් සිදුවීමට ඉඩ ඇති මහත් විනාශයට හෝ අනික් අතට, සමබල පෝෂණයෙන් ලැබිය හැකි ප්‍රබල ප්‍රයෝජනවලට හෝ වැඩි අවධානයක් දෙනවාට වඩා, ලෝක කොටස් වෙළඳපොළේ මිල දර්ශකවල අඩු වැඩිවීම්වලට වැඩි අවධානයක් දෙනු ලබනවා.”

වෛද්‍ය ක්ෂේත්‍රයේ සිටින්නන් ජීවිතය දෙස විකෘති ආකාරයකින් බලන බවට සාක්ෂි තිබෙනවා. එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල මුල් භාගය වැනි මෑතක් වන තුරු, ගැබට සති 23ක්ව තිබියදී ඉපදෙන දරුවාට ජීවත් වීමේ භාග්‍යය අහිමි වීමේ ඉඩ කඩ වැඩිව තිබුණා. අද දින අඩු මාසෙන් ඉපදෙන එවැනි ළදරුවන්ගෙන් සියයට 40ක පමණ ප්‍රමාණයකට ජීවත් වීමේ භාග්‍යය සැලසිය හැකියි. මේ ගැන සලකා බලන කල, ලොව පුරා වසරකට ගබ්සාවන් මිලියන 40 සිට 60ක් දක්වා සිදු වන බවට තක්සේරු කර තිබීම ඇත්තෙන්ම අදහාගත නොහැකි දෙයක් නොවෙයිද! මෙම ගබ්සාවන් සිදු කරන්නේ වෛද්‍යවරුන් ජීවත් කරවීමට මහත් සටනක් කරන අඩු මාස් ළදරුවන්ට වඩා සති කීපයකින් බාල කලලවලටයි! විශාල සදාචාර ඝට්ටනයක් පවතින බවට එයම සාක්ෂියක් නොවේද?

අවශ්‍යයි සදාචාර මඟ පෙන්වීමක්

ජීවිතයේ “නොවැදගත්ම දේ කුමක්ද” කියා ඇසූ විට ගැලප් සංවිධානයෙන් විමසුමකට ලක් කළ වැඩිදෙනෙකු පැවසුවේ “තම ආගමට ලැදිව සිටීම” නොවැදගත්ම දේවල් දෙකින් එකක් කියායි. එසේනම්, පල්ලි යන අයගේ සංඛ්‍යාව පහත වැටීම පුදුමයක් නොවෙයි. බටහිර රටවල සමෘද්ධිය මගින් “අසාමාන්‍ය සුරක්ෂිතභාවයේ හැඟීමක් ඇති කර” තිබෙන නිසා “ආගමෙන් සාම්ප්‍රදායිකව සපයනු ලැබූ ශක්තිය සහ ධෛර්යය ලැබීමේ අවශ්‍යතාව අඩු වී තිබෙනවා” කියා මහාචාර්ය ඉංගල්හාට් පවසයි.

සංවිධානාත්මක ආගම කෙරෙහි තිබූ විශ්වාසය හීනවීමත් සමඟම බයිබලය කෙරෙහි ඇති විශ්වාසයද අඩු වී තිබෙනවා. එක් ජාත්‍යන්තර සමීක්ෂණයකට ප්‍රතිචාරය දැක්වූවන්ගෙන් සදාචාරාත්මකව හරි දේ කුමක්දැයි දැනගැනීමට තමන් රඳා සිටින්නේ කා කෙරෙහිද හෝ කුමක් කෙරෙහිද කියා විමසනු ලැබුවා. වැඩිදෙනෙක් තමන්ගේ පෞද්ගලික අද්දැකීම සඳහන් කළා. “දෙවිගේ වචනයට ලැබුණේ සෑහෙන පහළ ස්ථානයක්” කියා සමීක්ෂණ වාර්තාව පවසයි.

සාරධර්ම වෙනස් වෙමින් පවතින්නේ නරක අතට වීම අරුමයක්ද! ද්‍රව්‍යවාදී ඉලක්ක හා ආත්මාර්ථකාමී ලෙස මමත්වය මුදුන්පත් කරගැනීමේ අභිලාෂය කෙරෙහි අවධාරණය වැඩි වන අතරම සදාචාර මඟ පෙන්වීමේ ඌනතාවක්ද තිබෙන නිසා, එය ගිජුකමේ සංස්කෘතියක් බිහි කරමින් අන්‍යයන්ගේ හැඟීම් නොතැකීමටද සලස්වා තිබෙනවා. මෙම වෙනස් වීම් නිසා අහිමිව ඇත්තේ කුමන වැදගත් දේවල්ද?

[පාදසටහන]

a වසර 50කට පෙර, එක්සත් ජාතීන් විසින් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සම්මත කරනු ලැබුවා. එම ප්‍රකාශනයේ පළවන වගන්තිය මෙසේ පවසයි. “සියලු මිනිස්සු නිදහස්ව උපත ලබා සිටිති. ගරුත්වය හා අයිතිවාසිකම් අතින් සමාන වෙති.”

[20, 21වන පිටුවේ පින්තූර]

පවුල් බිඳවැටීම්, වැඩ කිරීමට මැළිවීම සහ නොහික්මුණු හැසිරීම මගින් අද දින සාරධර්ම පිරිහෙමින් පවතින බව සනිටුහන් කරයි

[22වන පිටුවේ පින්තූරය]

අඩු මාසෙන් ඉපදී ඇති මෙම ළදරුවාට වඩා සති කීපයකින් බාල ළදරුවන් මිලියන ගණනක් සෑම වසරකම ගබ්සා කරනු ලබනවා