Skip to content

පටුනට යන්න

සිත් පාරවන කතාවෙන් වළකින්න

සිත් පාරවන කතාවෙන් වළකින්න

බයිබලයේ දෘෂ්ටිකෝණය

සිත් පාරවන කතාවෙන් වළකින්න

“ප්‍රශංසා කිරීමත් ශාප කිරීමත් එකම කටින් නික්ම එන්නේය. මාගේ සහෝදරයෙනි, මේ දේවල් මෙසේ සිදුවීම සුදුසු නැත.”—යාකොබ් 3:10, NW.

අපිව සතුන්ගෙන් වෙන් කරන එක් අද්විතීය ගති ලක්ෂණයක් නම් අප සතු කතා කිරීමේ හැකියාවයි. නමුත් කනගාටුවට කරුණක් නම් මේ වරප්‍රසාදය සමහරු අනිසි ලෙස පාවිච්චි කිරීමයි. සමහර අවස්ථාවලදී නින්දා කිරීම්, ශාප කිරීම්, ගෞරවය කෙලසන කතා, අපහාස කිරීම්, අශික්ෂිත විහිළු හා අසභ්‍ය භාෂාව නිසා කෙනෙකුට ශාරීරික වේදනාවකට වඩා වැඩි වේදනාවක් දැනෙනවා වෙන්න පුළුවන්. “කඩුවෙන් අනින්නාක් මෙන් රළු බස් කීමක් තිබේ” යයි බයිබලයේ සඳහන් වෙනවා.—හිතෝපදේශ 12:18.

මනුෂ්‍යයන් දැන් දැන් වැඩි වැඩියෙන් ශාප කිරීම හා දෙස් තැබීම පුරුද්දක් හැටියට කරගෙන යනවා. බොහෝ දරුවන් පෙරට වඩා වැඩියෙන් අසභ්‍ය භාෂාව පාවිච්චි කරන බවට පාසැල්වලින් වාර්තා වෙනවා. කෙසේවෙතත් සමහර අය පවසන්නේ සිත් පාරවන වචන භාවිත කිරීමෙන් හැඟීම් පිට කිරීමට පහසු වෙනවා කියායි. දේශපාලන විද්‍යාව හදාරන ශිෂ්‍යයෙක් පැවසුවේ මෙයයි. “අසභ්‍ය භාෂාව ප්‍රබල මාධ්‍යයක්. මොකද සමහර අවස්ථාවලදී සාමාන්‍යයෙන් එදිනෙදා භාවිතා කරන භාෂාවෙන් අපේ බලවත් හැඟීම් ප්‍රකාශ කරන්න බැහැ.” නමුත් ක්‍රිස්තියානීන් අසභ්‍ය භාෂාව කෙරෙහි එවැනි සැහැල්ලු ආකල්පයක් දැරීම සුදුසුද? මේ සම්බන්ධයෙන් දෙවිගේ දෘෂ්ටිකෝණය කුමක්ද?

අසභ්‍ය විහිළුවලට ද්වේෂ කරන්න

අසභ්‍ය භාෂාව පාවිච්චි කිරීම නවීන පන්නයේ යමක් නොවෙයි. මීට අවුරුදු 2,000කට පමණ පෙර එනම් ප්‍රේරිතයන්ගේ කාලයේ පවා මෙවැනි භාෂාව කතා කළා කියා දැනගැනීමෙන් ඔබ පුදුමයට පත් වෙනවාද? උදාහරණයකට කොලොස්සි සභාවේ සමහර අය කෝප වුණු අවස්ථාවලදී අසභ්‍ය භාෂාවෙන් බැණ වැද තියෙන බව පෙනෙන්න තිබෙනවා. ඔවුන් එහෙම හිතාමතාම කරන්න ඇත්තේ අනික් අයට විරුද්ධව ප්‍රහාරයක් එල්ල කිරීමට හෝ ඔවුන්ව රිදවීමටයි. සමහරවිට පළිගැනීමේ චේතනාවෙන් එය කරන්න ඇති. ඒ වගේම අදත් බොහෝදෙනෙක් තමන්ගේ තරහ පිට කිරීමට අසභ්‍ය භාෂාව පාවිච්චි කරනවා. පාවුල් කොලොස්සිවරුන්ට ලියූ ලිපියේ තොරතුරු අද අපිටත් අදාළයි. පාවුල් ලිව්වේ “ඔබ ඒ සියල්ල, එනම් උදහස, කෝපය, අයහපත, නිග්‍රහ කිරීම සහ කටින් පිට වන අසභ්‍ය කතා මුළුමනින්ම ඉවත දමන්න” කියායි. (කොලොස්සි 3:8, NW) පැහැදිලිවම ක්‍රිස්තියානීන්ට උපදෙස් දී තිබෙන්නේ කෝපය පිට කිරීමෙන් සහ කෝපය හා අත්වැල් බැඳ යන අසභ්‍ය භාෂාව පාවිච්චි කිරීමෙන් වළකින ලෙසයි.

ඇත්තයි, බොහෝදෙනා අසභ්‍ය භාෂාව පාවිච්චි කරන්නේ අන් අයට විරුද්ධව වාචික ප්‍රහාර එල්ල කරන්න හෝ ඔවුන්ව රිදවන්න නොවෙයි. බොහෝ අවස්ථාවලදී සමහරුන් මෙම භාෂාව පාවිච්චි කිරීම වැරදි දෙයක් ලෙස හිතන්නේ නැහැ. පහත් යෙදුම් මිනිසුන් තුළ කොතරම් මුල් බැසගෙන තිබෙනවාද කිවහොත් ඔවුන්ගේ එදිනෙදා කතා බහේදී ඒවා නිතරම අසන්න ලැබෙනවා. සමහර අයට මෙවැනි යෙදුම් නොයොදා කතා කිරීම පවා අසීරුයි. බොහෝවිට අසභ්‍ය භාෂාව පාවිච්චි කරන්නේ අනික් අය හිනැස්සීම සඳහායි. නමුත් මෙවැනි පහත් අසභ්‍ය විහිළු අප සැලකිය යුත්තේ ඉවසිය හැකි සුළු වරදක් ලෙසද? පහත සඳහන් කරුණු සලකා බලන්න.

අසභ්‍ය විහිළු කියන්නේ කෙනෙකු තුළ යම් කම්පනයක් ඇති කරවීමට හා අනික් අයව කුල්මත් කිරීමට භාවිත කරන භාෂාවයි. අද කරන බොහෝ අසභ්‍ය විහිළු ගොඩනැඟී තිබෙන්නේ ලිංගික කාරණා මතයි. තමන් වැදගත්යයි සිතන බොහෝ අය පවා මෙවැනි විහිළුවලින් මහත් ආස්වාදයක් ලබනවා. (රෝම 1:28-32) එහෙනම් බොහෝ වෘත්තීමය විකට ශිල්පීන් පවා සාමාන්‍ය හා අසාමාන්‍ය ලිංගික කාරණා තමන්ගේ විහිළුවලට වස්තු බීජය කරගැනීම පුදුමයට කාරණයක් නොවෙයි. චිත්‍රපට, රූපවාහිනි හා ගුවන් විදුලි වැඩසටහන් ආදි සෑම මාධ්‍යයකම වාගේ අසභ්‍ය විහිළු දක්නට තිබෙනවා.

මෙම විෂය සම්බන්ධව බයිබලය නිහඬ නැහැ. පාවුල් එෆීසයේ විසූ ක්‍රිස්තියානීන්ට ලිව්වේ, “වේශ්‍යාකමද සියලු ආකාරයේ අපවිත්‍රකම හෝ ගිජුකම ඔබ අතරේ සඳහන්වත් නොකරන්න. ඒවා ශුද්ධ තැනැත්තන්ට සුදුසු නැත. එමෙන්ම ලජ්ජාසහගත හැසිරීම, මෝඩ කතා, අසභ්‍ය විහිළු යන නුසුදුසු දේවල නොයෙදී” සිටින්න කියායි. (එෆීස 5:3, 4, NW) පැහැදිලිවම, මොන අදහසකින් පාවිච්චි කළත් අසභ්‍ය භාෂාව දෙවිව කෝපයට පත් කරයි. එය නරකයි. එමෙන්ම එය සිත් පාරවන කතා විලාසයක්.

දෙවිව අසතුටට පත් කරවන දරුණු වචන

හානිකර භාෂාව නියත වශයෙන්ම අසභ්‍ය භාෂාවට පමණක්ම සීමා නොවෙයි. නින්දා, උපහාසය, සමච්චලය හා දරුණු ලෙස විවේචනය කිරීම වැනි දේවල් නිසා බොහෝ සිත් වේදනා ඇති වෙන්න පුළුවන්. පිළිගත ගත යුතු කරුණක් නම් අපි හැමෝම අපේ දිව වැරදි විදියට පාවිච්චි කිරීම නිසා පව් කරන බවයි. එසේ වෙන්නේ විශේෂයෙන්ම අපි වට වෙලා සිටින්නේ උපහාසය හා කේලම් කීම බහුලව පවතින සමාජයක නිසයි. (යාකොබ් 3:2) කෙසේවෙතත් සැබෑ ක්‍රිස්තියානීන් හානිකර භාෂාව ගැන සැහැල්ලුවෙන් සිතීම කිසිසේත් යෝග්‍ය නැහැ. බයිබලයේ පැහැදිලිවම පෙන්නුම් කරන්නේ යෙහෝවා දෙවි කිසිම ආකාරයක හානිකර භාෂාවක් අනුමත කරන්නේ නැති බවයි.

උදාහරණයක් ලෙස බයිබලයේ දෙවෙනි රාජාවලිය පොතේ සඳහන් වී තිබෙනවා, පිරිමි ළමුන් කණ්ඩායමක් එලිෂාට අවමන් වන විදියේ විහිළු කිරීම ගැන. බයිබල් වාර්තාවේ පවසන්නේ ඔවුන් “ඔහුට කවටකම් කරමින්” “පලා යව තට්ටයා! පලා යව තට්ටයා!” කියා කෑගැසුවා කියායි. මේ පිරිමි දරුවන්ගේ සිත් කියවීමට සමත් දෙවි දුටුවා ඔවුන්ගේ මෙම ද්වේෂසහගත ක්‍රියාවේ අරමුණ. මෙම වාචික නින්දාව ඉතා බැරෑරුම් කොට ගණන් ගත් දෙවි හානිකර භාෂාව පාවිච්චි කිරීම හේතුවෙන් පිරිමි දරුවන් 42දෙනෙකුව මරණයට පත් කළ බව වාර්තාවේ කියැවෙනවා.—2 රාජාවලිය 2:23, 24.

ඊශ්‍රායෙල් ජනයා ‘සුවයක් නැති තරම් යෙහෝවාගේ කෝපය තමන්ගේ සෙනඟට විරුද්ධව පැමිණෙන ලෙස දෙවිගේ පණිවිඩකාරයන්ට සරදම් කර, ඔහුගේ වචන සුළු කර, ඔහුගේ ප්‍රොපේතවරුන්ට නින්දා කළෝය.’ (2 ලේකම් 36:16) දෙවිගේ කෝපය මූලිකවම ඇවිළුණේ ඔහුගේ ජනයා අකීකරු වූ නිසා හා රූප නමස්කාරයේ යෙදුණු නිසා වූවද, දෙවිගේ ප්‍රොපේතවරුන්ට විරුද්ධව කළ වාචික නින්දා කිරීම් ගැනද නිශ්චිතවම බයිබලයේ සඳහන් කර තිබීම සලකා බැලීමට වටිනා කරුණක්. මෙයින් පැහැදිලි වන්නේ දෙවි එවන් ආකාරයේ හැසිරීමක් කොහෙත්ම අනුමත නොකරන බවයි.

එබැවින් බයිබලයේ ක්‍රිස්තියානීන්ට උපදෙස් දෙන්නේ “වැඩිහිටි පුරුෂයෙකුව දැඩි ලෙස විවේචනය නොකරන්න” කියායි. (1 තිමෝති 5:1, NW) මෙම ප්‍රතිපත්තිය අපිට ඕනෑම කෙනෙක් සමඟ කටයුතු කරන විට අදාළ කරගත හැකියි. තවත් අපිට බයිබලයේ “කිසිවෙකු ගැන අගුණ නොකියන්නටද, රණ්ඩුවට බර නොවන්නටද, සාධාරණ වන්නටද සියල්ලන් කෙරෙහි සියලු ආකාර මෘදුකම පෙන්වන්නටද” උනන්දු කරයි.—තීතස් 3:2, NW.

අපේ තොල් පාලනය කරගැනීම

සමහර අවස්ථාවලදී වාචිකව පහර දීමට අප තුළ දැඩි පෙලඹීමක් ඇති වන විට එය මැඩපැවැත්වීම අමාරු විය හැකියි. යම් කෙනෙක් වැරැද්දක් කළාම ඔහුට විරුද්ධව මුහුණට හෝ වෙනත් අය සමඟ කෲර මෙන්ම දරුණු ලෙස බැණ වැදීම සාධාරණයි කියා අනික් කෙනා සිතන්න පුළුවන්. එහෙත් ක්‍රිස්තියානීන් එවැනි ප්‍රවණතාවන් මැඩපවත්වාගන්නවා. හිතෝපදේශ 10:19හි [NW] පවසන්නේ “වචන බහුල වූ කල වරද හිඟ නැත; එහෙත් තමාගේ තොල් පාලනය කරගන්නා නුවණ ඇති කෙනෙක්” බවයි.

මේ සම්බන්ධයෙන් දේවදූතයන් කදිම ආදර්ශයක් තබා තිබෙනවා. මිනිස්සු කරන සෑම වැරදි ක්‍රියාවක්ම ඔවුන් දන්නවා. මනුෂ්‍යයන්ට වඩා බලයෙන් හා ශක්තියෙන් දේවදූතයන් ප්‍රබල වුණත් ඔවුන් මනුෂ්‍යයන්ට නිග්‍රහයක් වන විදියට දොස් පවරන්නේ නැහැ. එයට හේතුව ‘යෙහෝවාට ඇති ගෞරවයයි.’ (2 පේතෘස් 2:11, NW) දෙවිට සියල්ලන්ගේ වැරදි පෙනෙන බවත් දෙවිට ඒවා නිවැරදි කිරීමට හැකියාව ඇති බවත් පිළිගන්නා නිසා දේවදූතයන් ඔවුන්ගේ තොල් පාලනය කරගන්නවා. අග්‍රදේවදූතයා වන මිකායෙල් සාතන්ට විරුද්ධව පවා නිග්‍රහාත්මක වචන පාවිච්චි කිරීමෙන් වැළකී සිටියා.—යූද් 9.

ක්‍රිස්තියානීන් මේ සම්බන්ධයෙන් දේවදූතයන්ව අනුගමනය කිරීමට උත්සාහ කරනවා. ඔවුන් බයිබලයේ දෙන මෙම අවවාදය පිළිගන්නවා. “කිසි කෙනෙකුට නපුරට නපුර නොකරන්න. සියලුදෙනා ඉදිරියෙහි යහපත්ව තිබෙන දේවල් කරන්න සිතෙහි තබාගන්න. එය පුළුවන් දෙයක් නම්, ඔබට හැකි පමණින් සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටින්න. ප්‍රේමණීය තැනැත්තෙනි, පළි නොගෙන දෙවිගේ උදහසට ඉඩහරින්න. මන්ද, ‘පළිගැනීම මගේය. මම විපාක දෙන්නෙමි කියා යෙහෝවා කියන්නේය’ යයි ලියා තිබේ.”—රෝම 12:17-19, NW.

අපේ කතා විලාසය එනම් ස්වරය හා කට හඬේ ශබ්දය දායක වෙන්න පුළුවන් අනික් අයව රිදවීමට. ස්වාමිපුරුෂයන් හා භාර්යාවන් අතර වේගවත් උණුසුම් බහින් බස් වීමක් සිදුවීමෙන් සිත් රිදවීම් ඇතිවීම අසාමාන්‍ය දෙයක් නොවෙයි. බොහෝ දෙමව්පියන් තමන්ගේ දරුවන්ට කෑගසනවා. කෙසේවෙතත් අපේ හැඟීම් ප්‍රකාශ කිරීමට කෑගහන්න අවශ්‍ය නැහැ. බයිබලයේ තිබෙන්නේ මෙසේයි. “සියලු ආකාර වෛරසහගත හැඟීම්, කෝපය, උදහස, කෑගැසීම්, නිග්‍රහ කිරීම් මෙන්ම සියලු අයහපතද ඔබෙන් ඉවත් කර දමන්න.” (එෆීස 4:31, NW) තවද බයිබලයේ මෙසේද කියා තිබෙනවා. “ස්වාමීන්ගේ දාසයෙකු දබර කිරීම අවශ්‍ය නැත. ඒ වෙනුවට ඔහු සියල්ලන් කෙරෙහි මෘදු ලෙස කටයුතු කිරීම අවශ්‍යය.”—2 තිමෝති 2:24, NW.

සුවදායක වචන

අද අසභ්‍ය හා නිග්‍රහාත්මක කතා අප වටා පුළුල්ව පැතිර තිබෙන නිසා, ක්‍රිස්තියානීන් මෙවැනි නරක බලපෑම්වලට විරුද්ධ වීමට නිසි පියවර ගන්න ඕනේ. බයිබලයේ අපට මේ සඳහා හොඳ පිළියමක් පෙන්වා දෙනවා. එය නම් අපේ අසල්වැසියන්ට ප්‍රේම කිරීමයි. (මතෙව් 7:12; ලූක් 10:27) අපේ අසල්වැසියන් කෙරෙහි දක්වන අවංක සැලකිල්ල හා ප්‍රේමය ඔවුන්ට සහනයක් ගෙන දෙන සුවදායක වචන පැවසීමට අපව පොලඹවයි. මේ ගැන බයිබලයේ පවසා තිබෙන්නේ මෙසේයි. “කිසි දූෂිත වචනයක් ඔබේ මුවින් පිටවීමට ඉඩ නෑර අසන්නන්ට ප්‍රයෝජනවත් වූ යමක් ලැබෙන පිණිස, ගොඩනැංවීම සඳහා උචිත යහපත් දේ කතා කරන්න.”—එෆීස 4:29, NW.

ඒ වගේම දේවවචනය අපේ හදවත් තුළ පැලපදියම් වීමට ඉඩහරිනවා නම් හානිකර කතාවෙන් වැළකී සිටීමට එය උපකාරවත් වේවි. ශුද්ධ ලියවිලි කියවීමෙන් හා මෙනෙහි කිරීමෙන් ‘සියලු කිලුටුකම් අහක දැමීමට’ අපට හැකි වෙනවා. (යාකොබ් 1:21, NW) ඇත්ත වශයෙන්ම දෙවිගේ වචනයට පුළුවන් අපේ මනස් සුව කරන්න.