Skip to content

පටුනට යන්න

ප්‍රචණ්ඩකාරී අපරාධ—ලෝකයේ මොනවාද මේ වෙන්නේ?

ප්‍රචණ්ඩකාරී අපරාධ—ලෝකයේ මොනවාද මේ වෙන්නේ?

ප්‍රචණ්ඩකාරී අපරාධ—ලෝකයේ මොනවාද මේ වෙන්නේ?

එක්තරා හිමිදිරි උදෑසනක අමෙරිකා එක්සත් ජනපදයේ ඔරිජන්හි මුහුදු වෙරළක ෆ්‍රෑන්ක් සහ ගේබ්‍රියෙල්ලා යන යුවළ සක්මන් කරමින් සිටියේ හිරු උදාවේ සිරි නරඹමිනි. ඊළඟට සිදු වෙන්නට යන්නේ කුමක්දැයි පිළිබඳ අබමල් රේණුවක තරම්වත් ඔවුන් දැනගෙන සිටියේ නැත. ගත වූයේ නිමේෂයකි. ඔවුහු මිය ගොස් සිටියහ. ඉතා කෙටි දුරක සිට කවුදෝ ඔවුන්ගේ හිස්වලට වෙඩි තබා තිබිණි. එය පළිගැනීමක්ද? නැත්නම් ඊර්ෂ්‍යාවට කළ දෙයක්ද? ඒ එකක්වත් නොවේ. නාඳුනන තුවක්කුකරුවෙක් තමාගේ සිහිනයක් සැබෑ කරගත්තේය. කුමක්ද ඒ සිහිනය? යම් කෙනෙකුව මැරුවායින් පසුව ඇති වන්නේ කොයි විදිහේ හැඟීමක්දැයි දැනගැනීම, ඒ සිහිනයයි.

“වර්ෂ 1996 අප්‍රියෙල් 28වන ඉරිදා, මාටින් බ්‍රයින්ට් නමැත්තා බටහිර ලෝකයේ අවධානය තමා දෙසට ඇදගත්තේ තම ජීවිතයේ ඉහළම සතුට භුක්ති විඳිමිනි. ටැස්මේනියාවේ පෝර්ට් ආතර් නගරය පුරා ඉවක් බවක් නැතිව යමින් තමාට හමු වූ හැම කෙනෙකුටම වෙඩි තැබූ මොහු මහත් වින්දනයක් ලැබුවේ තමා මහා බලපුළුවන්කාර පුද්ගලයෙකුයයි සිතමිනි.” (ෆිලිප් ඇට්කින්සන් විසින් රචිත අපේ පිරිහීම පිළිබඳ අධ්‍යයනයක්, සිංහලෙන් නොමැත.) හේ මිනිසුන් 35දෙනෙකු මරා දැමීය!

කැනඩාවේ 65 හැවිරිදි විශ්‍රාමිකයෙක් පාන්දරම තමාගේ බයිසිකලය පැද යමින් සිටියේය. එවිටම ඔහු පිටුපසින් පැමිණි රියදුරෙක් ඔහුව තම වාහනයට හප්පා දමා ගියේ ඔහු එතැනම මැරී ඇතැයි කියා සිතමිනි. ඔහුගේ බයිසිකලය පාර දිගේ මීටර් 700කට වඩා ඇදී ගියේය. බලධාරීන් මුලදී හිතුවේ යම් රියැදුරෙක් ඔහුව වාහනයට හප්පා දමා ගියා කියායි. නමුත් පසුව කරන ලද පරීක්ෂණවලින් හෙළි වූයේ ඔහුව හප්පා දමා ගොස් තිබුණේ සොරකම් කරන ලද මෝටර් රථයක් විනෝදයට පදවාගෙන ගිය රියදුරෙකු විසින් බවයි. පෙනෙන විදිහට, බයිසිකල්කරුවාව හැප්පීම ඒ “වින්දනයේ” කොටසක් වී තිබිණි.

අපරාධවලට නව මුහුණුවරක්?

සියවස් ගණනාවක් පුරා අපි අපරාධ දැක ඇත්තෙමු. නමුත් ඉහත සඳහන් කළ අපරාධ ගැන අසන විට, “ඇයි මේ? කාට හරි ඒ වගේ දෙයක් කරන එක හිතාගන්නවත් පුළුවන්ද?” යනුවෙන් ජනයා අසති. හොරකම් හා වංචා වැනි පොදුවේ සිදු වන අපරාධ ගැන බොහෝදෙනෙකු එතරම් තැකීමක් නොකළද, ජනමාධ්‍යවල අවධානය ඇදගන්නාවූ ආකාරයේ අපරාධ එන්ට එන්ටම වැඩි වෙමින් තිබේ. ඒ නිසා මෙවැනි සිද්ධීන් දකින ජනයා, ‘මේක මහා අමානුෂිකයි! මේ ලෝකයේ මොනවාද මේ වෙන්නේ?’ යයි තමන්ටම කියාගනිති.

මේ අපරාධ අනෙක් ඒවාට වඩා වෙනස්ය. ඒවා බොහෝවිට කම්පිත කරවනසුලුය. ඒවායින් සිදු වන දේ ඉතා කුරිරුය, රුදුරුය. ඉහත සඳහන් සිද්ධීන්වලදී මෙන්, මෙවන් අපරාධවල ගොදුරු බවට පත් වෙන්නේ තමන්ට මේ දේ කළේ කවුදැයි කිසිත් නොදන්නා අහිංසකයන්ය. මේ ප්‍රචණ්ඩකාරී අපරාධ කිරීම පිටුපස ඇති නියම චේතනාව කුමක්ද කියා බොහෝවිට නොතේරේ, නොවැටහේ. මේ කිසිදු තේරුමක් නැති, සිත් පිත් නොමැතිව කරන අපරාධ ලැයිස්තුවට නිමක් නැත.

වර්ෂ 1999 අප්‍රියෙල් මාසයේදී අ.එ.ජ. කොලරාඩෝ ප්‍රාන්තයේ පාසැලක ශිෂ්‍යයන් දෙදෙනෙක් තවත් ශිෂ්‍යයන් 12දෙනෙකුවද, ගුරුවරයෙකුවද මරා දැමීමෙන් අනතුරුව සිය දිවි හානි කරගත්තෝය. බෙහෙත් තුණ්ඩුවක් නැතිව ෆාමසියකින් ගත් බෙහෙතකට යම් පුද්ගලයෙකු විසින් දමන ලද ස්ට්රික්නින් නම් වස මිශ්‍ර වී තිබීම නිසා 1982දී කැලිෆෝනියාවේ එක්තරා මිනිසෙක් මරු දිටීය. වර්ෂ 1993දී දසහැවිරිදි ළමුන් දෙදෙනෙක්, එංගලන්තයේ මර්සිසයිඩ්හි බූට්ල් නම් ප්‍රදේශයේ වෙළඳපොළක එක් මවක් මස් වෙළඳසැලකින් මස් මිල දී ගනිමින් සිටින විට ඒ අසල සිටි දෙහැවිරිදි ජේම්ස් බල්ගර් නම් ඇගේ දරුවාව රවටාගෙන ඉන් පිටතට ගෙන ගියෝය. රේල් පාරකට දරුවා රැගෙන ගිය ඔවුහු පොල්ලකින් ගසා දරුවාව මරණයට පත් කළහ.

සමහරක් ක්‍රියා ත්‍රස්තවාදී ක්‍රියායයි වර්ග කළ හැකියි. වර්ෂ 1995දී ටෝකියෝ නුවර උමං මඟකදී සිදු කරන ලද විෂ වායු ප්‍රහාරය එවැන්නකි. ටෝකියෝහි උමං මඟක සිටි 12දෙනෙකුව මරා දමමින් තවත් දහස් ගණනාවකට හානි සිදු කරමින් එක්තරා ආගමික කල්ලියක සාමාජිකයන් විසින් මුදාහරින ලද විෂ වායු ප්‍රහාරය ගැන ඇසූ ජපන් වැසියෝ මහත් සේ කම්පනයට පත් වූහ. නිව් යෝක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සිදු කරන ලද විනාශය සහ වොෂිංටන් ඩී.සී.හි පෙන්ටගනයට එල්ල වූ ප්‍රහාරය අමතක වූ කෙනෙක් නැති තරම්ය. ඉන් ජීවිත 3000කට වඩා බිලිගැනිණි. ඇරත් පසුගිය වසරේ ඉන්දුනීසියාවේ බාලි දූපතේ බෝම්බ පිපිරීමෙන් 200දෙනෙක් පමණ මරු දුටූහ.

මෙවන් ප්‍රචණ්ඩකාරී අපරාධ පුළුල් ලෙස සිදු වන බව රහසක් නොවේ. මේ ගැටලුව බොහෝ ජාතීන් හා විවිධ පංතිවල ජනයාට බලපාමින් ලොව පුරා ඔඩු දුවමින් පවතී.

සමහරක් සිද්ධීන්වලදී පෙනී යන පරිදි අපරාධ කරමින් මෙලෙස ගොදුරු සොයන්නන් එසේ කරන්නේ තරඟයකට මෙනි. වඩාත් කම්පිත කරවන අපරාධය කරන්න හැක්කේ කාටදැයි බැලීමට ඔවුන් උත්සාහ කරන බව පෙනේ. එපමණක්ද නොව, වෛරය නිසා කරන අපරාධද දැන් වර්ධනය වෙයි. ඒවා ඉතා දරුණු කුරිරු ආකාරයකින් කරන්නේ මිනිසුන් තුළ තිබෙන එක්තරා “වරදක්” නිසාය. ඒ “වරද” නම්, ජාතිය, ආගම හෝ වාර්ගික කණ්ඩායම අතින් ඔවුන් වෙනස් මිනිසුන් වීමයි. වර්ෂ 1994දී රුවන්ඩාවේ ටුට්සි ජාතිකයන් 8,00,000ක් පමණ මරා දැමීමේ සිද්ධියේදී දක්නට තිබුණේ මෙයයි.

මේ සියලු සිද්ධීන් නිසා බොහෝදෙනෙකුට මෙසේ සිතෙන්නට පුළුවන. ‘මේ මොනවාද සිද්ධ වෙන්නේ? මේවා මීට ඉස්සර තිබුණාද? මේ වගේ මහා බියකරු අපරාධ පිටුපස කුමක් හෝ තිබෙනවා වෙන්න පුළුවන්ද? ඒ වගේ බිහිසුණු අපරාධ අඩු කරන්නට හරි නැත්නම් මුලිනුපුටා දමන්නට හරි යම් බලාපොරොත්තුවක් තිබෙනවාද?’ මීළඟ ලිපිවල මේ ප්‍රශ්න සහ තවත් ප්‍රශ්න සාකච්ඡා කෙරෙනවා ඇති.

[24වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ප්‍රචණ්ඩකාරී අපරාධවලට බොහෝවිට ගොදුරු වන්නෝ අහිංසකයෝය. එසේ ගොදුරු වෙන්නේ පැහැදිලිව දැකිය හැකි කිසිම හේතුවක් නැතිවය.