Skip to content

පටුනට යන්න

පොල් ගෙඩියට “රජා”—තැඹිලි

පොල් ගෙඩියට “රජා”—තැඹිලි

පොල් ගෙඩියට “රජා”—තැඹිලි

ශ්‍රී ලංකාවේ පිබිදෙව්! ලේඛක විසින්

තැඹිලි කියන්නේ පාම් වර්ගයට අයත් ඔරෙන්තියාකා ගෙඩියට සිංහලෙන් කියන නමයි. බොහෝවිට ඉංග්‍රීසියෙන් එයට කියන්නේ කිං කොකනට් (පොල් රජා) කියලයි. අතිරමණීය පාම් ගසක් වන ඔරෙන්තියාකා වසර හයක් හෝ අටක් වැනි කාලයක් ගත වූ පසු වසර පුරාම විශාල දීප්තිමත් තැඹිලි වලු නිපදවන ගසක් බවට පත් වේ. සෙන්ටිමීටර් 30කට ආසන්න වන තරමට විශාල විය හැකි මෙම තැඹිලි ගෙඩිය කිලෝ ග්‍රෑම් 1.5ක් තරම් බර විය හැකියි. එය නිවර්තන දිවයිනක් වන ශ්‍රී ලංකාව පුරා බහුලව දක්නට ලැබෙයි. ඇත්තෙන්ම, තැඹිලි ගෙඩියට පමණක් නොව එයටම ආවේණිකව තිබෙන දීප්තිමත් තැඹිලි පාටටත් සිංහල භාෂාවෙන් තැඹිලි කියා පවසනවා.

කෙසේ නමුත් තැඹිලි වතුර බොන්නේ කොහොමද? තැඹිලි කඩන්නේ මෝරන්න පෙරයි. ඉන්පසු ගෙඩියේ උඩ කොටස රැහැලා තරමක් ලොකු සිදුරක් සාදාගනු ලබනවා. තැඹිලි ගෙඩියකින් පැහැදිලි තැඹිලි වතුර ලීටරයකට ආසන්න ප්‍රමාණයක් ලබාගත හැකියි. එය ප්‍රණීත මෙන්ම පෝෂ්‍යදායී පානයක්. විඩාබරව පිපාසයෙන් සිටින අමුත්තෙකුට ආගන්තුක සත්කාරය දැක්වීමේදී ශ්‍රී ලාංකිකයන් බොහෝවිට කරන්නේ තැඹිලි වතුර පිළිගැන්වීමයි.

ශ්‍රී ලංකාව තුළ සංචාරය කරන විට එහි සෑම ප්‍රදේශයකම පාහේ පාර අයිනේ කඩ පිල්වල තැඹිලි විකුණනවා දක්නට ලැබෙන අතර ඒවායේ මිලත් අඩු බව ඔබට පෙනී යයි. වෙළෙන්දා හරි අගේට තැඹිලි ගෙඩියේ උඩ කොටස රැහැලා, බටයක් දමා එය පිළිගන්වන බැවින් පිරිසිදු, නැවුම්, සෞඛ්‍යසම්පන්න පානයක් ඔබට ලබාගත හැකියි. අලුත් දෑ අත්හදා බැලීමට කැමති අමුත්තෙක් නම් සාමාන්‍යයෙන් බොන විදිහට ඔලුව උස්සා තැඹිලි ගෙඩිය කටට ළං කර බොන්න වෑයම් කරාවි. නමුත් දක්ෂකමක් නැත්නම් බොනවාට වඩා ඔහු හළාගනීවි!

තැඹිලිවලින් සෞඛ්‍යමය ප්‍රයෝජන ලැබෙන බව ඕනෑම ශ්‍රී ලාංකිකයෙකු දන්නා දෙයක්. ශරීරයේ ඌෂ්ණ ගතිය ඉවත් කිරීමේ හා ජීරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය පහසු කිරීමේ හැකියාවක් එහි තිබෙන බව පැවසේ. ඛණිජ ලවණ සෑහෙන ප්‍රමාණයක්, කාබෝහයිඩ්රේට, මේදය, කැල්සියම්, විටමින් සී, ෆොස්ෆරස්, යකඩ සහ ප්‍රෝටීන ස්වල්ප ප්‍රමාණයක් එහි අන්තර්ගතයි. මෙම සමබර සම්මිශ්‍රණය මගින් අධික රස්නෙන් වෙහෙසට පත්ව සිටින, අම්ල ප්‍රදාහයෙන් හෝ කොලරාවෙන් පෙළෙන අයට නව පණක් ලබා දෙයි. ජලය සපයන විවිධ ප්‍රභවයන් සැමවිටම පවිත්‍රව තිබෙන බවට සහතික විය නොහැකි නමුත් වායු රෝධක ප්‍රභවයකින් ස්වාභාවිකව ලැබෙන ගුණදායක පිරිසිදු පානයකි තැඹිලි!

නිවර්තන ශ්‍රී ලංකාවේ සාරවත් මුහුදු තීරය නරඹන්න ඔබ පැමිණියහොත් නිවර්තන වතු බොහොමයක් අලංකාර කරන, රන්වන් රන් මුහුදු වෙරළක් බිහි කරන තැඹිලි ගස නැරඹීමෙන් ඔබ වින්දනයක් ලබන බව නම් ස්ථිරයි!