Skip to content

පටුනට යන්න

මෝහනය ක්‍රිස්තියානීන්ට සුදුසුද?

මෝහනය ක්‍රිස්තියානීන්ට සුදුසුද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

මෝහනය ක්‍රිස්තියානීන්ට සුදුසුද?

‘හූනියම් කරන්නන් . . . ඔබ අතර නොසිටිය යුතුය.’—ද්විතීය කථාව [ද්විතීය නීති සංග්‍රහය] 18:10, 11, නව අනුවාදය.

මෝහනය කිරීම බොහෝ වාදවලට හා මතහේදවලට තුඩු දුන් විෂයක්. a මෙම ක්ෂේත්‍රයේ සිටින විද්වතුන්ට පවා මේ විෂය ගැන පැහැදිලි කිරීම අපහසුයි. මෝහනය කිරීම යනුවෙන් සාමාන්‍යයෙන් හඳුන්වන්නේ කෙනෙකුගේ සිහිකල්පනාවේ යම් වෙනසක් සිදු කිරීම හෝ සිහි මුළා කිරීමයි. බොහෝ අය වැඩි කැමැත්තක් දක්වන්නේ මෝහනය කිරීමෙන් කළ හැකි දේ ගැන දැනගැනීමට මිස එහි නියම අරුත දැනගැනීමට නොවෙයි.

මෑත කාලවලදී සමහර රටවල වෛද්‍යවරු ප්‍රතිකාරයක් හැටියට මෝහනය නිර්දේශ කිරීම සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබෙනවා. උදාහරණයකට සයිකොලොජි ටුඩේ යන සඟරාවේ පවසන්නේ මෙසේයි. “හිසේ රුදාව නැති කිරීමට, ප්‍රසූත වේදනාව අඩු කිරීමට, දුම්පානය නතර කිරීමට, හොඳ පාඩම් කිරීමේ පුරුදු වර්ධනය කරගැනීමට සහ නිර්වින්දනය වෙනුවට මෝහන චිකිත්සා ප්‍රතිකාර ක්‍රමය උපකාරවත් වේ. මෙහිදී කිසිදු අතුරු ආබාධයක් විඳීමට සිදු වන්නේද නැත.” අනිත් අතට, මෝහනය කිරීම භූතවාදයට හා ගුප්ත විද්‍යාවට සම්බන්ධ බව බොහෝදෙනෙක් කියා සිටිනවා.

මේ සම්බන්ධව බයිබලයේ දෘෂ්ටිකෝණය කුමක්ද? බයිබලය සෞඛ්‍යය සම්බන්ධව උපදෙස් දෙන පොතක් නොවෙයි. ඒ වගේම එහි මෝහනය නමැති විෂය පිළිබඳව කෙළින්ම අදහස් දක්වා නැහැ. නමුත් දෙවිගේ වචනයේ සඳහන් වී තිබෙන බයිබල් ප්‍රතිපත්ති දැනගැනීම අපට දෙවිගේ දෘෂ්ටිය කුමක්දැයි වටහාගැනීමට උපකාරවත් වෙයි.

මෝහනය හා ගුප්ත විද්‍යාව අතර සම්බන්ධයක් තිබේද?

මෝහනය ගුප්ත විද්‍යාව හා සම්බන්ධයි යන කාරණය නිකම්ම කවුරුන් හෝ විසින් ගොතන ලද කතන්දරයක්ද? චිත්‍රපටිවල එන සුරංගනා කතා හා නවකතා මෙම අදහසට යම් රුකුල් දීමක් කළා විය හැකියි. නමුත් මෝහනය හා භූතවාදය අතර සම්බන්ධයක් ඇති බව පිළිගැනීමට පැහැදිලි හේතු තිබෙනවා. මෝහනය ගැන එක් මූලාශ්‍රයක (Encyclopedia of Occultism and Parapsychology) විස්තර කරන්නේ “එහි ඉතිහාසය ගුප්ත විද්‍යාව හා එකිනෙක වෙළී තිබෙන” බවයි. ඉතිහාසය පුරාම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හා විජ්ජාව වැනි ආගමික කටයුතුවලදී සිදු කරනු ලැබූ සිහිමූර්ඡා වීම් පොදුවේ සලකනු ලබන්නේ මෝහනය හා සම්බන්ධ දේවල් හැටියටයි. ඒ වගේම පුරාණ ඊජිප්තුවේ හා ග්‍රීසියේ පූජකවරුන් රෝගීන්ව, මෝහනය කිරීමෙන් ඇති වන තත්වයට සමාන තත්වයකට පත් කර බොරු දෙවිවරුන්ගේ නාමයෙන් ඔවුන්ගේ එම රෝග සුව කිරීමට තැත් කළා.

ඉහත සඳහන් කළ මූලාශ්‍රයේ සඳහන් වී ඇති පරිදි “අද පවා මෝහනය හා බැඳි සංසිද්ධීන් බොහොමයක් වර්ග කර තිබෙන්නේ ‘භූත විද්‍යාව’ නමැති ගණයෙහිලායි.” හරියටම කොයි ආකාරයේ මෝහනය කිරීම්ද ගුප්ත විද්‍යාව හා සම්බන්ධ වන්නේ කියා නිගමනය කිරීම අසීරු වුවද දෙවි සියලුම ආකාරයේ භූතවාදය හෙළා දකින බව නම් පැහැදිලියි. (ද්විතීය කථාව 18:9-12, න.අ.; එළිදරව් 21:8 NW) මේ අනුව, මෝහනයට සම්බන්ධයි කියා පැහැදිලිව පෙනෙන ශුද්ධ ලියවිල්ලට විරුද්ධ පැති නොසලකා හරින්නට ක්‍රිස්තියානීන්ට නොහැකියි.

හැසිරීමට බලපාන විදිහ

මෝහනයට ලක්වීම කෙනෙකුගේ මනසට හා හැසිරීමට මොන විදිහේ බලපෑමක් සිදු කරයිද? මෙහි යම් අවදානම් තිබෙනවාද? එක අවදානමක් වන්නේ මෝහනයට භාජන වන තැනැත්තාට තමන්ගේ හැසිරීම පාලනය කළ හැක්කේ ඉතා සුළු වශයෙන් වීමයි. වේදිකාවලදී ප්‍රදර්ශනය සඳහා මෝහනය කිරීමේදී, ඒ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන අයට විවිධ ක්‍රියාකාරකම්වල යෙදීමට අණ දෙන අතර ඔවුන් මේවා සාමාන්‍ය ජීවිතයේදී නොකරන දේවල් වුවද මෝහනය වී සිටින විටදී කරයි. සමහර අවස්ථාවලදී බීමත් කෙනෙක් විදියට පවා හැසිරිය හැකියි.

දි එන්සයික්ලොපීඩියා අමෙරිකානාහි පවසන පරිදි ප්‍රදර්ශන සඳහා මෝහනය කිරීමේදී “මෝහනය කරන්නා ව්‍යාංගයෙන් පවසන දේවලට පවා කිසිම පැකිලීමකින් තොරව මෝහනයට භාජන වන තැනැත්තා කීකරු වේ. තවද සාමාන්‍ය ජීවිතයේදී යටපත් වී තිබෙන ආශාවන් මෝහනය වී සිටින විට කිසිම අපහසුවකින් තොරව ඉස්මතු කරගත හැකි වේ. ඒ වගේම ඔහුගේ හැසිරීම කෙරෙහි බලපෑ සමාජීය හා පෞද්ගලික බාධා සියල්ලක්ම මෝහනය වී සිටින විට ඉවත් වූවා සේ දැනෙයි.” කොලියර්ස් එන්සයික්ලොපීඩියාහි පවසන්නේ මෙසේයි. “මෝහනය වී සිටින්නාගේ චින්තනය එකම එල්ලයක් ඔස්සේ යොමු කරගෙන සිටින නිසා තමාට අණ දෙන කෙනා කෙරෙහි කිට්ටු අවධානයක් දීමට ඔහුට හැකි වන අතර ඒවා එයාකාරයටම ක්‍රියාත්මක කරයි.”

මෙහි කිසි හානියක් නැහැයි කියා සිතෙනවාද? සැබෑ ක්‍රිස්තියානියෙකු මෝහනය කරන්නෙකුගේ යෝජනාවලින් තමන්ගේ මනස පාලනය වීමට ඉඩහැරීම ඥානවන්ත දෙයක්ද? මෙය ප්‍රේරිත පාවුල් විසින් දුන්නාවූ අවවාදයට පටහැනියි. “ඔබේ ශරීර ජීවමාන වූද, ශුද්ධ වූද, දෙවිට පිළිගත හැකි වූද පූජාවක් ලෙසත්, ඔබේ කල්පනා ශක්තිය භාවිත කරමින් පරිශුද්ධ සේවයක් ලෙසත් ඔප්පු [කරන්න]. තවද, මේ සමාජ ක්‍රමයට අනුව හැඩගැසීමෙන් වැළකී, දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ පරිපූර්ණ කැමැත්ත කුමක්දැයි තමුන්ටම ඔප්පු කරගන්නා පිණිස, ඔබේ මනස අලුත් කරගැනීමෙන් මුළුමනින්ම වෙනස් වන්න.”—රෝම 12:1, 2, NW.

ක්‍රිස්තියානියෙකු තම කල්පනාවන් හෝ ආශාවන් පමණක් නොව ක්‍රියාවන් පවා සම්පූර්ණ ලෙස පාලනය කරගන්න බැරි තත්වයකට පත්වීමට ඉඩහරිනවා නම් ඔහුට “යහපත් හෘදය සාක්ෂියක්” ඇතිව සිටින්න පුළුවන්ද? (1 පේතෘස් 3:16) බයිබලයේ අවවාද කරන්නේ “එකිනෙකා තම තමාගේ ශරීරය ශුද්ධව, ගෞරවයෙන් යුක්තව පාලනය කරගන්නේ කෙසේදැයි දැනගත යුතුය” කියායි. (1 තෙසලෝනික 4:4, NW) අනිවාර්යයෙන්ම මෝහනය කිරීම නිසා කෙනෙකුට එවැනි උපදෙසක් පිළිපැදීමට බාධා ඇති වෙනවා.

පරිපූර්ණ සෞඛ්‍යයක් කෙරෙහි බලාපොරොත්තුවක්

ඉහත සඳහන් බයිබල් ප්‍රතිපත්ති නිසා යෙහෝවාගේ සාක්ෂිකරුවෝ මෝහනය කිරීම හෝ තමාවම මෝහනය කරගැනීම වැනි ක්‍රියාවලින් වැළකෙනවා. ඔවුන් අවනත වන්නේ ද්විතීය කථාව 18:10, 11හි [න.අ.] ඇති උපදෙසටයි. ‘හූනියම් කරන්නන් . . . ඔබ අතර නොසිටිය යුතුය.’ අහිතකර සෞඛ්‍ය තත්වයන්ගෙන් සුවය ලැබීම සඳහා ගුප්ත විද්‍යාව හා සම්බන්ධ පුරුදුවල නියැලීම හෝ තම කල්පනාවන් මෙහෙයවීමට වෙනත් කෙනෙකුට ඉඩහැරීම නුසුදුසුයි. එවැනි භයානක ක්‍රමවලින් තොර වෙනත් බොහෝ ප්‍රතිකාර තිබෙනවා.

ක්‍රිස්තියානීන් බයිබලයේ සඳහන් උපදේශයන්ට පටහැනි පුරුදුවල නියැලීමෙන් වළකිනවා නම් දෙවිගේ ධර්මිෂ්ඨ නව ලොවේ සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව ඔවුන්ට තබාගත හැකියි. එවිට මනුෂ්‍යයා මෝහනය කිරීමක් නැතුව, මානසිකව හා ශාරීරිකව පරිපූර්ණ සෞඛ්‍ය තත්වයක් භුක්ති විඳිනවා ඇති.—එළිදරව් 21:3, 4, NW.

[පාදසටහන]

a මෝහනය අර්ථ දක්වා තිබෙන්නේ වෙනත් කෙනෙකු විසින් පුද්ගලයෙකුව නින්දකට සමාන තත්වයකට පත් කිරීම ලෙසයි. මෙහිදී එයට භාජන වන තැනැත්තා වෙනත් කෙනෙකුගේ බලපෑම යටතේ අමතක වූ දේවල්, යටපත් වූ දේවල් හෙළි කළ හැකියි. තවද, මේ තත්වයේදී යම් දේවල් මැවී පෙනෙන අතර ඕනෑම නියෝගයකට යටත් වීමේ ප්‍රවණතාවද වැඩි වෙනවා.