Skip to content

පටුනට යන්න

වර්තමානයේ මේ තරම් ප්‍රචණ්ඩකාරී අපරාධ සිදු වෙන්නේ ඇයි?

වර්තමානයේ මේ තරම් ප්‍රචණ්ඩකාරී අපරාධ සිදු වෙන්නේ ඇයි?

වර්තමානයේ මේ තරම් ප්‍රචණ්ඩකාරී අපරාධ සිදු වෙන්නේ ඇයි?

සියලු අපරාධ සාහසිකය, දරුණුය. සිතක් පපුවක් නැතිව, කිසිම අරමුණක් නැතිව සිදු කරන අපරාධ තේරුම්ගැනීම අපහසුය. බොහෝවිට කිසිම හේතුවක් නැතිව කරනු ලබන අපරාධ ගැන පරීක්ෂණ පවත්වන අය අන්දමන්ද වෙති. මෑත වර්ෂවලදී ජනසන්නිවේදන මාධ්‍යය ඉතා දියුණු වී ඇති හෙයින් එවන් බිහිසුණු අපරාධ ගැන පැය ගණනක් ඇතුළතදී මිලියන ගණනක් නොව බිලියන ගණනක් ජනයා දැනගනිති. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ප්‍රකාශ කරන ලද එක්තරා වාර්තාවක සඳහන් වෙන්නේ “අපරාධ සිදු නොවන කිසිම මහද්වීපයක් හෝ රටක් නොමැත. ඒවා සෑම මිනිස් ප්‍රජාවකටම බලපායි” යනුවෙනි.

මෑත කාලයේදී තරමක්දුරට හෝ ආරක්ෂාව තිබේයයි සලකනු ලැබූ ප්‍රදේශවලින් පවා කිසිම තේරුමක් නැති ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධ සිද්ධීන් ගණනාවක් වාර්තා වී තිබේ. නිදසුනක් වශයෙන්, ජපානයේ බොහෝ කලක් පුරාම තිබුණේ ප්‍රචණ්ඩකාරී අපරාධවල අඩු ප්‍රතිශතයකි. කෙසේවෙතත්, 2001 ජූනි මාසයේ, ඉකෙඩාහි, මස් කපන පිහියක් අතින් ගත් මිනිසෙක් පාසැලකට කඩා වැද එහි සිටි සිසුන්ට පිහියෙන් ඇන, පෙතිගසන්නට පටන්ගත්තේය. විනාඩි 15ක් ඇතුළත ඔහු ළමුන් 8දෙනෙකුව මරා තවත් 15දෙනෙකුට තුවාල කළේය. තවත් තරුණයන් “සෙල්ලමට” කියා තමන් අඳුනන්නේ නැති මිනිසුන්ව මරා දැමීම ගැනද එම රටෙන් වාර්තා වෙයි. මේ වාර්තා එකට ගත් කල, අපරාධ සිදුවීමේ පැහැදිලි වෙනසක් සිදු වී ඇති බව මොනවට කියාපායි.

අපරාධවල අනුපාතය ඉතා ඉහළ රටවල පවා, අමනෝඥ ක්‍රියා මහජනයාගේ දැඩි පිළිකුලට පාත්‍ර වී තිබේ. නිව් යෝක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයට 2001 සැප්තැම්බර් 11වනදා එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් මෙය සත්‍යයක් විණි. මනෝ විශේෂඥ ජෙරාඩ් බේල්ස් මෙසේ ලීවේය. “එම ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස ලෝකයම සම්පූර්ණයෙන්ම භයානක නුහුරු නුපුරුදු තැනක් බවට පත් කළා. ඊළඟට සිදු වෙන්නට යන්නේ කුමක්දැයි කිසිම කෙනෙකුට සිතාගන්න බැහැ.”

ඔවුන් ඒවා කරන්නේ ඇයි?

මෙවන් ඉවක් බවක් නැතිව සිදු කරන විවිධාකාර ප්‍රචණ්ඩ ක්‍රියා පැහැදිලි කිරීමට එක හේතුවක් දිය නොහැකියි. සමහරක් අපරාධවලට හේතු නිර්ණය කළ නොහැකි වෙන්නේ ඒවා එතරම්ම ඉවක් බවක් නොමැතිව සිදු කර ඇති හෙයිනි. නිදසුනක් වශයෙන්, යම් පුද්ගලයෙක් පිහියක් අතට ගෙන තමන් කිසිසේත් නාඳුනන තවත් පුද්ගලයෙකුට ඇන මරා දමන්නේ ඇයි කියා හෝ නිවසක් අසලින් වාහනයක් පදවාගෙන යන රියදුරෙක් ඉවක් බවක් නැතුව හතර වටේටම වෙඩි තබන්නේ ඇයි කියා හෝ තේරුම්ගැනීම බොහෝ දුෂ්කරය.

ඇතමුන් කියා සිටින්නේ ප්‍රචණ්ඩත්වය මිනිසුන්ට සහජයෙන්ම උරුම වී තිබෙන දෙයක් බවයි. මිනිසා ඉවක් බවක් නැතුව කරන අපරාධ වනාහි මිනිස් ස්වභාවයේ වැළැක්විය නොහැකි අංගයක් කියා තවත් සමහරු තර්ක කරති.—“ප්‍රචණ්ඩත්වයට නැඹුරුවාව දෛවයෙන් නියම වූවක්ද?” යන කොටුව බලන්න.

මෙවැනි කිසිදු තේරුමක් නැති ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදු කිරීමට මිනිසුන් නැඹුරු වීමට හේතු සාධක හා තත්වයන් ගණනාවක් දායක වෙන බව බොහෝ විශේෂඥයන්ගේ අදහසයි. එක්සත් ජනපදයේ FBI (අමෙරිකාවේ මධ්‍යයම පරීක්ෂණ කාර්යාංශය) ඇකඩමිය මගින් පළ කරන ලද වාර්තාවක මෙසේද සඳහන් විණි. “මිනිසුන්ව මරා දැමීම, හොඳ සිහියෙන් සිටින සන්සුන් පුද්ගලයෙකු කරන ක්‍රියාවක් නොවේ.” එම ප්‍රකාශයේ ඇති ඇතැම් වචන සමඟ සමහරක් බලධාරීහු එකඟ නොවෙති. කෙසේවෙතත්, ඉන් අදහස් කරන දේ සමඟ බොහෝදෙනෙක් එකඟ වෙති. යම් හේතුවක් නිසා, ඉවක් බවක් නැතිව අපරාධ කරන අයගේ සිතිවිලි අසාමාන්‍යය. තර්කානුකූලව කල්පනා කිරීමට ඔවුන් සතු හැකියාවට යම් දෙයක් කොතරම් බලපා තිබෙනවාද යත්, සිතාගන්නට බැරි දේවල් ඔවුහු කරති. එවන් දේවල් කිරීමට මිනිසුන්ව පොලඹවන්නේ කිනම් සාධකද? මේ සම්බන්ධයෙන් විශේෂඥයන් සඳහන් කර ඇති හේතු කිහිපයක් ගැන අපි දැන් සලකා බලමු.

පවුල් ජීවිතය කඩාකප්පල් වීම

අතිදරුණු අපරාධ කරන අයගේ පසුබිම පිළිබඳව පිලිපීනයේ ජාතික විමර්ශන අංශයේ නියෝජිතයෙකු වන මාරියානිටෝ පන්ගානිබන්ගෙන් පිබිදෙව්! ලේඛකයා විමසුවේය. ඔහු අදහස් දැක්වූයේ මෙසේයි. “ඔවුන් පැමිණෙන්නේ කඩාකප්පල් වූ පවුල්වලින්. ඔවුන්ට සැලකිල්ල හා ආදරය ලැබිලා තියෙන්නේ හරිම අඩුවෙන්. හරි වැරැද්ද තීරණය කරන්න ඔවුන්ට ශක්තියක් නැහැ. ඒ කියන්නේ ඔවුන්ට ජීවිතයේ කිසිම මඟ පෙන්වීමක් ලැබිලා නැහැ. ඒ නිසා ඔවුන් අයාලේ යනවා.” බොහෝ පර්යේෂකයන් විශ්වාස කරන්නේ දුර්වල පවුල් සබඳතා සහ ප්‍රචණ්ඩකාරී පවුල් පසුබිම් මෙවන් කලහකාරී අපරාධවලට පොදු හේතූන් බවයි.

පාසැලේදී ඉතා මාරාන්තික ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ හැකි යෞවනයන්ව හඳුනාගැනීමට ඉවහල් වෙන සාධක ඇතුළත් වාර්තාවක් එක්සත් ජනපදයේ ජාතික ප්‍රචණ්ඩකාරී අපරාධ විමර්ශන මධ්‍යස්ථානය මඟින් නිකුත් කරන ලදි. මේ අතර, පවුල්වලට සම්බන්ධ පහත දැක්වෙන සාධකද ඇතුළත් විණි. දෙමාපිය දරුවන් අතර සම්බන්ධතාවන්හි කැලඹුණුසහගත බවක් දිස්වීම, දෙමාපියන්ට තමන්ගේ දරුවන්ගේ ගැටලු හඳුනාගැනීමට නොහැකි වීම, කිට්ටු සම්බන්ධතාවක් නැතිකම, දෙමාපියන් විසින් දරුවන්ගේ හැසිරීමට සීමා නොදැමීම හෝ දරුවන්ට අනවශ්‍ය නිදහසක් දීම, ළමුන් ඉතා දැඩි හුදෙකලා ජීවිතයක් ගෙවීම, දෙබිඩි ජීවිත ගත කරමින් තමන්ගේ දෙමාපියන්ගෙන් තම ජීවිතවල අඩක්ම සැඟවීම.

අද දින පවුල් කඩාකප්පල් වන විට එම පවුල්වල දරුවෝ බොහෝදෙනෙක් අසරණ තත්වයට පත් වෙති. තවත් දරුවන්ගේ දෙමාපියන්ට ඔවුන් වෙනුවෙන් ගත කිරීමට ප්‍රමාණවත් කාලයක් නැත. දහස් ගණනක් යෞවනයන් හැදී වැඩී ඇත්තේ ප්‍රමාණවත් ලෙස සදාචාර මඟ පෙන්වීම් සහ දෙමාපියන්ගේ මඟ පෙන්වීම් ඇතුව නොවේ. මේ අනුව එවන් වාතාවරණයක හැදී වැඩුණු ළමුන් තුළ අන් අය සමඟ හොඳින් සම්බන්ධතා පවත්වාගැනීමට ඇති හැකියාව වර්ධනය නොවන බව ඇතැම් විශේෂඥයන්ගේ අදහසයි. මේ හේතුවෙන් සෙසු මිනිසුන්ට එරෙහිව අපරාධ කිරීමට වඩාත් පහසුබවක් ඔවුන්ට දැනෙන අතර බොහෝවිට ඒ ගැන කිසිම දුකක් ශෝකයක් ඔවුන් තුළ ඇති නොවේ.

වෛරයෙන් පෙලඹෙන කල්ලි සහ ආගමික කල්ලි

තිබෙන සාක්ෂිවලින් පෙනී යන්නේ වෛරයෙන් පෙලඹෙන ඇතැම් කල්ලි හෝ ආගමික කල්ලි, යම් යම් අපරාධ සිදුවීමට ඉතා ප්‍රබල බලපෑමක් වී ඇති බවයි. අමෙරිකා එක්සත් ජනපදයේ ඉන්දියානාහි 19 හැවිරිදි කලු ජාතික තරුණයෙක් වෙළඳ සැල් සංකීර්ණයකින් පිටතට විත් ඇවිදගෙන යමින් සිටියේය. ටික වෙලාවකට පසුව, ඔහු පාරේ අද්දර වැතිර සිටියේ ඔහුගේ මොළයට එල්ල වූ වෙඩි උණ්ඩයක් සමඟිනි. ඔහුව අහම්බෙන් ඉලක්ක කොටගත් එක්තරා තරුණයෙක් ඔහුට වෙඩි තබා තිබිණි. මන්ද? මෙම තරුණයාට සුදු මිනිසුන් උසස්ය යන මතය මුදුන් පැමිණ වීමට කටයුතු කළ සංවිධානයක සාමාජිකත්වය ගැනීමට උවමනා විය. එමෙන්ම කලු මිනිසෙකු මරා දැමූ බවට සලකුණක් ලෙස මකුළු දැල් පච්චයක් ලබාගැනීමෙන් ගරු නම්බු නාමයක් ලබාගැනීමට මිනිමරුවා උත්සාහ කළ බවටද සැක කෙරේ.

වර්ෂ 1995 ටෝකියෝහි උමං මඟක එල්ල වුණු විෂ වායු ප්‍රහාරය; ගයානාහි ජෝන්ස්ටවුන්හි විශාල පිරිසක් දිවිනසා ගැනීම; ස්විට්සර්ලන්තයේ, කැනඩාවේ සහ ප්‍රංශයේ සූර්ය දේවාලයට අයත් ආගමික කණ්ඩායමක සාමාජිකයන් 69දෙනෙකුගේ මරණ යන සියල්ලම පිටුපස ආගමික කල්ලි සිටී. මෙම උදාහරණවලින් පෙන්වන්නේ ඇතැමුන්ගේ සිතිවිලි කෙරෙහි එක්තරා කණ්ඩායම් කොතරම් ප්‍රබල බලපෑමක් කර තිබෙනවාද යන්නයි. පොලඹවනසුලු ආගමික නායකයන් මිනිසුන්ට “සිතාගන්නටවත් බැරි” සමහරක් දේවල් මිනිසුන් ලවා කරවාගෙන තිබෙන්නේ තමන්ට යම් ප්‍රයෝජන ඉන් ලැබෙනවායයි ඔවුන්ට සිතීමට සැලැස්වීමෙනි.

ජනමාධ්‍යය සහ ප්‍රචණ්ඩත්වය

ඇතැම් අය පෙන්වා දෙන තවත් සාක්ෂියක් නම්, මිනිසුන්ට කලහාකාරී ලෙස හැසිරීමට ඇතැම් නවීන සන්නිවේදන මාධ්‍යයන් මගින් උඩ ගෙඩි දෙන බවය. රූපවාහිනියේ, චිත්‍රපටවල, වීඩියෝ ක්‍රීඩාවල සහ අන්තර් ජාලයේ දක්නට ලැබෙන ප්‍රචණ්ඩකාරී දර්ශන නිතර නිතර බැලීම නිසා කෙනෙකුගේ හෘදය සාක්ෂියේ සංවේදී බව නැති වී ප්‍රචණ්ඩකාරී අපරාධවලට පෙලඹීමට ඉඩ තිබෙන බවට කියැවේ. අමෙරිකානු මනෝචිකිත්සක සංගමයේ සභාපති වන වෛද්‍ය ඩැනියෙල් බොරන්ස්ටයින් මෙසේ සඳහන් කළේය. “වසර 30ක කාලයක් තුළ කරන ලද අධ්‍යයන 1,000කට වඩා වැඩි ගණනක් දෙස බලන විට, මාධ්‍යවල ප්‍රචාරය වන ප්‍රචණ්ඩකාරී ජවනිකා රැගත් දර්ශන හා සමහරක් දරුවන්ගේ කලහකාරී හැසිරීම අතර සම්බන්ධයක් තිබෙන බව පෙනී යයි.” එක්සත් ජනපද සෙනෙට් සභාවේ කමිටුවක් ඉදිරියේ ආචාර්ය බොරන්ස්ටයින් පැහැදිලි කළේ මෙසේයි. “ප්‍රචණ්ඩකාරී අපරාධ සහිත දර්ශන ඇතුළත් චිත්‍රපට, රූපවාහිනි හා වීඩියෝ දර්ශන නැවත නැවතත් නැරඹීම මහජන සෞඛ්‍යයට ඉතා අහිතකර බලපෑම් කර තිබෙන බවට අපට ඒත්තු ගොස් තිබේ.”—“ප්‍රචණ්ඩ ක්‍රියා ඇතුළත් පරිගණක ක්‍රීඩා ගැන වෛද්‍යවරයෙකුගේ මතය” නමැති කොටුව බලන්න.

මෙය සත්‍යයක් බවට පෙන්වන විශේෂ සිද්ධීන් බොහෝවිට සඳහන් කළ හැකියි. මීට පෙර ලිපියේ සඳහන් වූ මුහුදු වෙරළේ සිට හිරු උදාව නරඹමින් සිටි යුවළව හිතක් පපුවක් නැතිව අමු අමුවේ මරා දැමූ තුවක්කුකරු සම්බන්ධ සිද්ධියේදී, ඒ පිළිබඳව විභාග කළ අය ඉදිරිපත් කළ සාක්ෂිවල සඳහන් වූයේ වින්දනයට මිනීමැරූ මේ මිනිසා එසේ කර ඇත්තේ ප්‍රචණ්ඩකාරී චිත්‍රපට නිතර නිතර බැලීමේ ප්‍රතිඵලයක් ලෙස බවයි. පාසැලක 15දෙනෙකුව සිසුන් දෙදෙනෙක් විසින් මරා දැමූ සිද්ධියේදී මොවුන් දෙදෙනා සෑම දවසකම පැය ගණනාවක්ම ප්‍රචණ්ඩකාරී වීඩියෝ ක්‍රීඩා නැරඹූ බවට කියැවේ. මීට අමතරව, ප්‍රචණ්ඩත්වය හා මිනීමැරුම්වලට ආවැඩූ චිත්‍රපට මොවුහු නිතර නිතර නැරඹූහ.

මත්ද්‍රව්‍ය

එක්සත් ජනපදයේ නහඹරයන් විසින් සිදු කරන ලද මිනීමැරුම් සංඛ්‍යාව අවුරුදු අටක් ඇතුළත තුන් ගුණයකින් වැඩි විය. මීට හේතුපාදක වූ එක් සාධකයක් ලෙස බලධාරීන් විසින් යොමු දක්වන්නේ කුමකටද? කල්ලිවලටය. විශේෂයෙන්ම ක්‍රැක් කොකේන් නමැති මත්ද්‍රව්‍ය පරිහරණය කරන කල්ලිවලටය. කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස්හි මෑතකදී කරන ලද මිනීමැරුම් 500ක් ගැන සලකා බලන කල, “පොලීසිය පැවසුවේ මින් සියයට 75ක්ම කල්ලිවලට සම්බන්ධ” බවයි.

FBI ඇකඩමිය මගින් පළ කරන ලද වාර්තාවක මෙසේ සඳහන් වේ. “මිනීමැරුම් හා සම්බන්ධ සිද්ධීන් බොහොමයකට මත්ද්‍රව්‍යවල සම්බන්ධයක් තිබේ.” මත්ද්‍රව්‍ය මගින් තම සිතිවිලි සම්පූර්ණයෙන්ම විකෘති කරගෙන සිටින ඇතැමුන් මිනීමරන්නේ ඒවායේ බලපෑමට හසුවීය. තවත් අය මත්ද්‍රව්‍ය ප්‍රවාහණයට ආරක්ෂාව සපයන්නේ ප්‍රචණ්ඩ ක්‍රියා තුළිනි. මේ අනුව, මත්ද්‍රව්‍ය වනාහි මිනිසුන්ව ඉතා දරුණු ක්‍රියා කිරීමට පොලඹවන ප්‍රබල සාධකයක් බව පැහැදිලිව පෙනී යයි.

භයානක අවි ආයුධ පහසුවෙන් ලබාගැනීමට හැකිකම

ඉහත ලිපියේ සඳහන් වුණාක් මෙන්, ඕස්ට්‍රේලියාවේ ටැස්මේනියාවේ තුවක්කුවක් අතින් ගත් පුද්ගලයෙක් මිනිසුන් 35දෙනෙකුව මරා දැම්මේය. තවද ඔහු තවත් 19දෙනෙකුට තුවාල කළේය. මේ මිනිසා සන්නද්ධව සිටියේ හමුදාවල පාවිච්චි කරන අර්ධ ස්වයංක්‍රීය ආයුධයකිනි. මින් බොහෝදෙනෙකු නිගමනය කළ දෙය නම්, එවන් ආයුධ පහසුවෙන් ලබාගැනීමට ඇති හැකිකම මෙවන් ප්‍රචණ්ඩකාරී අපරාධ ඉහළ යෑමට තවත් සාධකයක් බවයි.

එක් වාර්තාවක පෙන්නුම් කළේ 1995දී ජපානයේ අත් තුවක්කුවලින් කරන ලද මිනීමැරුම් 32ක් තරම් සුළු සංඛ්‍යාවක් වූ බවත්, ඉන් වැඩි හරියක්ම කල්ලි සාමාජිකයන් අතර සිදු වූ මිනීමැරුම් බවත්ය. මීට හාත්පසින්ම වෙනස්ව, එක්සත් ජනපදයේ අත් තුවක්කුවලින් සිදු කරන ලද මිනීමැරුම් සංඛ්‍යාව 15,000කට අධිකය. මේතරම් වෙනසක් ඇයි? එක් හේතුවක් ලෙස දකින්නේ තුවක්කු හිමිකම් පිළිබඳව ජපානයේ පනවා ඇති දැඩි නීති රීතිය.

ජීවිතයට මුහුණ දිය නොහැකි මිනිස්සු

මෙවන් ඉතා බියකරු ක්‍රියාකාරකම් ගැන අසන සමහරක් අය, ‘මේ මිනිහට නම් පිස්සු!’ යයි පවසනවා විය හැකියි. කෙසේවෙතත්, එවන් අපරාධ කරන හැම පුද්ගලයෙක්ම මානසික රෝගීන් නොවේ. නමුත් බොහෝදෙනෙකුට තම ජීවිතයට මුහුණ දීමේදී මහත් දුෂ්කරතා තිබේ. කෙනෙකුගේ පෞරුෂත්වයේ යම් යම් අඩු පාඩුද අති දරුණු ක්‍රියා සිදු කරන්නට හේතු විය හැකි බව විශේෂඥයෝ පෙන්වා දෙති. මේවා අතරින් පහත කරුණු සඳහන් කළ හැකිය. ඉගෙනුමේ දුබලතා හා සමාජයේ විවිධ පුද්ගලයන් සමඟ කටයුතු කිරීමට ඇති අපහසුකම්, කායික හා ලිංගික අපයෝජනයේ නිෂේධාත්මක බලපෑම්, සමාජ විරෝධී ගතිලක්ෂණ, ස්ත්‍රීන් වැනි යම් කණ්ඩායම් කෙරෙහි ඇති වෛරය, වැරදි කරන විට දුකක් නොදැනීම, අන් අයව පාලනය කිරීමට ඇති ආශාව වැනි කාරණා මේ අතර වෙයි.

ගැටලුව කුමක් වුවද, ඇතැම් අය තමන් මුහුණ දෙන දුෂ්කරතාවල දරුණු බලපෑමට කොතරම් දැඩිව හසු වෙන්නේද යත් ඔවුන්ගේ සිතිවිලි වෙනස් වේ. මෙය අමුතු ක්‍රියා කරන්නට ඔවුන්ව පොලඹවයි. මෙහිලා ගත හැකි නිදසුනක් වශයෙන්, අසාමාන්‍ය ලෙස අනුන්ගේ අවධානය ඇදගැනීමට උත්සාහ කළ හෙදියක් ගැන සලකා බලන්න. ඇය කුඩා දරුවන්ට මාංශ පේශී මෘදු කරන එක්තරා එන්නතක් දුන්නේ ඔවුන්ගේ හුස්ම නවතින පරිදිය. අනතුරුව තමන් ඉතා යුහුසුලුව ඉදිරිපත් වී එම දරුවන්ගේ ජීවිත “ගලවාගත්තා” කියමින් අනුන්ගේ අවධානය දිනාගත්තේ අසීමිත සතුටකිනි. අභාග්‍යයකට, ඒ සියලු දරුවන්ට නැවත හුස්මගැනීමට හැකි කරවීමට ඇයට නොහැකි විණි. ඇයව මිනීමැරීමේ චෝදනාවට හසු විය.

මේ අනුව, ඉහත සාකච්ඡා කරන ලද කාරණාවලට අනුව, මිනිසුන්ට ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදු කිරීමට නැඹුරු කරවන සාධක කිහිපයක සම්මිශ්‍රණයක් තිබෙන බව අපට පැහැදිලිව පෙනී යයි. කෙසේවෙතත්, තවත් ඉතා වැදගත් සාධකයක් අප සලකා බැලුවේ නැත්නම් අපගේ ලැයිස්තුව අසම්පූර්ණය.

බයිබලය දෙන පිළිතුර

දැන් සිදු වෙමින් තිබෙන දේ සහ මිනිසුන් එතරම් දරුණු ලෙස ක්‍රියා කරන්නේ ඇයිද යන්න තේරුම්ගැනීමට බයිබලය අපට උපකාර කරයි. අපට පොදුවේ දකින්න ලැබෙන මිනිස් ආකල්ප එහි විස්තර කරන්නේ ඉතා නිවැරදිවයි. නිදසුනක් වශයෙන්, 2 තිමෝති 3:3, 4හි [NW] දක්නට ලැබෙන ලැයිස්තුවේ සඳහන් වෙන්නේ ජනයා “ජන්ම ස්නේහය නැති” අය මෙන්ම “ආත්ම දමනය නැති, දරුණු, යහපතට ප්‍රේම නොකරන” මෙන්ම “හිතුවක්කාර” අය වන බවයි. තවත් බයිබල් පොතක යේසුස් මෙසේ කියා ඇති බව සඳහන් වේ. “වැඩිදෙනාගේ ප්‍රේමය පිරිහෙන්නේය.”—මතෙව් 24:12, NW.

බයිබලය මෙසේ කියයි. “අන්තිම දවස්වලදී කටයුතු කිරීමට අසීරු අන්තරාදායක කාලවල්” පැමිණේ. (2 තිමෝති 3:1, NW) එසේය, අප අද දකින දෙය අප මේ සමාජ ක්‍රමයේ අන්තිමයේ ජීවත් වන බවට සාක්ෂියකි. මිනිසුන්ගේ ආකල්ප සමඟම මෙම තත්වයන්ද පිරිහෙමින් තිබේ. ක්ෂණික විසඳුමක් අපේක්ෂා කිරීමට අපට පුළුවන්ද? බයිබලය උත්තර දෙන්නේ මෙසේයි. “දුෂ්ට මිනිස්සු හා ප්‍රෝඩාකාරයෝ . . . වඩ වඩාත් නරක් වන්නෝය.”—2 තිමෝති 3:13, NW.

මින් අදහස් කරන්නේ නිමක් නැති දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා සහ එන්ට එන්ටම වැඩි වෙන අපරාධවල විෂම චක්‍රයකට මිනිස් වර්ගයා හසු වී සිටින බවද? එම ප්‍රශ්නය අපි ඊළඟ ලිපියේදී සලකා බලමු.

[26වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ප්‍රචණ්ඩත්වයට නැඹුරුවාව දෛවයෙන් නියම වූවක්ද?

ඇතැමුන් තර්ක කරන්නේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට හා මිනීමැරීමට මිනිසුන් තුළ ඇති නැඹුරුවාව සහජයෙන්ම උරුම වී ඇති දෙයක් බවයි. පරිණාමවාදයට පක්ෂව කතා කරන අයගේ අදහස වෙන්නේ අප වන සතුන්ගෙන් පැමිණ ඇති බවත් උන්ගේ ප්‍රචණ්ඩකාරී ගතිලක්ෂණ අපට උරුම වී තිබෙන බවත්ය. එවන් න්‍යායන්වලින් සිදු වෙන්නේ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිම නොවන විෂම චක්‍රයකට අපව ඇදදැමීමයි. එම න්‍යායන් විශ්වාස කිරීමේ ප්‍රතිඵලය වන්නේ එයින් ගොඩ ඒමට කිසිදු බලාපොරොත්තුවක් නැතිව ඒ තුලම සිර වී සිටීමය.

එහෙත්, තිබෙන බොහෝ සාක්ෂි ඒ න්‍යායන්ට පටහැනිය. විවිධ සංස්කෘතීන්වල අපරාධ සිදු වෙන ආකාරවල ඉතා පුළුල් වෙනසක් තිබෙන්නේ ඇයිද කියා ඉහත සඳහන් න්‍යායන්වලින් පැහැදිලි කරන්නේ නැත. ඇතැම් සංස්කෘතීන් ප්‍රචණ්ඩ ක්‍රියා සාමාන්‍ය ඒවා ලෙස සලකන බවක් පෙනෙන්නට තිබෙන්නෙත්, අනික් අතට තවත් සමාජවලින් ඉතා අඩු ගණනක් ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වෙන්නෙත්, කිසිම මිනීමැරුමක් වාර්තා නොවන්නෙත් ඇයි කියා ඒවායේ පැහැදිලි කරන්නේ නැත. අප වඳුරන් හා වානරයන්ගෙන් මෙවන් කලහාකාරී ගතිලක්ෂණ උරුම කරගෙන සිටිනවාය යන න්‍යායේ ඇති දෝෂ මනෝ විශ්ලේෂක එරික් ෆ්‍රෝම් හෙළි කළේය. ශාරීරික අවශ්‍යතා නිසා හෝ ආත්මාරක්ෂාව නිසා ඇතැම් සතුන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණද, වින්දනයට හෝ සෙල්ලමට මිනීමරන බවට ප්‍රසිද්ධ වී තිබෙන්නේ මිනිසුන් පමණක්ය යන කාරණයට ඔහු අවධානය යොමු කරවයි.

මිනීමැරීමට ආශාව—ඉවක් බවක් නැතිව කරන මිනීමැරුම්වලට හේතු සෙවීම (සිංහලෙන් නොමැත) යන පොතේ මහාචාර්යවරුන් දෙදෙනෙක් වන ජේම්ස් ඇලන් ෆොක්ස් සහ ජැක් ලෙවින් මෙසේ සඳහන් කළෝය. “ඇතැම් පුද්ගලයෝ තවත් අයට වඩා ප්‍රචණ්ඩ ක්‍රියාවලට ප්‍රවණතාවක් දක්වති. එහෙත් සෑම කෙනෙකුටම නිදහස් කැමැත්තක් තිබේ. මිනීමැරීමට ආශාව අභ්‍යන්තර හා බාහිර බලපෑම් කිහිපයකින් පාලනය වුවද, ඒ සඳහා තේරීමක් කිරීමට හෝ මිනිසෙකු වශයෙන් තීරණයක් ගැනීමට සිදු වේ. එමනිසා කළ දේ සම්බන්ධයෙන් වගකීම පිළිගැනීම අවශ්‍යය.”

[27වන පිටුවේ කොටුව]

ප්‍රචණ්ඩ ක්‍රියා ඇතුළත් පරිගණක ක්‍රීඩා ගැන වෛද්‍යවරයෙකුගේ මතය

අමෙරිකානු වෛද්‍ය සංගමයේ හිටපු සභාපති වන වෛද්‍ය රිචඩ් එෆ්. කෝර්ලින්, අමෙරිකා එක්සත් ජනපදයේ පෙනිසිල්වේනියාවේ ෆිලදෙල්ෆියාහි උපාධි ලාභී වෛද්‍යවරුන් කණ්ඩායමක් අමතා කතාවක් ඉදිරිපත් කළේය. එහිදී ඔහු කතා කළේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට දිරි දෙන පරිගණක ක්‍රීඩා ගැනයි. මෙම ක්‍රීඩාවලදී ලකුණු ලැබෙන්නේ සිරුරකට තුවාල කරන විටයි. ඊට වඩා වැඩියෙන් ලකුණු ලැබෙන්නේ සිරුරකට වෙඩි තබන විටයි. ඊටත් වඩා ලැබෙන්නේ හිසට වෙඩි තබන විටයි. එතකොට ලේ විදගෙන පිටතට එනවා. මොළයේ කෑලි හැම තැනම විසිරිලා.

දරුවන්ට කුඩා අවදියේදී රිය පැදවීමටවත්, මත්පැන් පානය කිරීමටවත්, දුම්පානය කිරීමටවත් ඉඩ නොදෙන බව පැවසූ වෛද්‍ය කෝර්ලින් මෙසේද පැවසීය. “නමුත් අපි මේ දරුවන්ට ඔවුන්ගේ ඉතා කුඩා අවදියේදී වෙඩි තබන්නන් වීමට පුහුණු කරනවා. එහෙත් ඔවුන් සිටින්නේ තමන් පාවිච්චි කරන ආයුධ ආරක්ෂාකාරීව පාවිච්චි කරන්නට තරම් පරිණතබවක් හා විනයක් නැති අවදියකයි. ඒ වගේම තමන්ට ඇති වන පෙලඹවීම් පාලනය කරගන්නට බැරි අවදියකයි. . . . අපි අපේ දරුවන්ට මුල පටන්ම උගන්වන්නට ඕනෑ ප්‍රචණ්ඩකාරී ක්‍රියා නිසා හැම තිස්සේම බරපතළ විපාක, ඔව් ඉතා බරපතළ විපාක විඳින්නට සිදු වෙන බව.”

අපරාධ නිසා දරුණු පලවිපාකවලට මුහුණ දෙන්නට සිදු වෙන බව දරුවන්ට ඉගැන්විය යුතුය. නමුත් කනගාටුවට කරුණක් නම්, බොහෝවිට සිදු වෙන්නේ දරුවන්ම ඒවායේ ගොදුරු බවට පත්වීමයි. සංඛ්‍යා ලේඛනවලින් පෙන්වන්නේ එක්සත් ජනපදයේ තුවක්කුවලින් වෙඩි තැබීම නිසා සෑම දවසකම ළමුන් දහදෙනෙකු මිය යන බවයි. වෛද්‍ය කෝර්ලින් මෙසේ කියයි. “ගිනි අවිවලින් ළමුන් මිය යන අනුපාතය අතරින් අමෙරිකා එක්සත් ජනපදය ලෝකයේ ඉදිරියෙන්ම සිටී.” ඔහුගේ නිගමනය? “තුවක්කුවලින් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා අපගේ රටේ මහජන සෞඛ්‍යයට තර්ජනයක්. එය සත්‍යයක්.”

[29වන පිටුවේ කොටුව]

ප්‍රචණ්ඩකාරී අපරාධවලට දායක වන සාධක

ඉවක් බවක් නැතිව කරන අපරාධවලට පහත සඳහන් සාධක දායක වන බව බොහෝ විශේෂඥයන්ගේ අදහසයි.

පවුල් කඩාකප්පල් වීම

වෛරයෙන් පෙලඹෙන කල්ලි, අන්තවාදීන්

භයානක ආගමික කල්ලි

විනෝදාස්වාදවල හුවා දක්වන ප්‍රචණ්ඩත්වය

සැබවින්ම සිදු වෙන ප්‍රචණ්ඩ ක්‍රියාවලට නිරාවරණය වීම

මත්ද්‍රව්‍ය භාවිතය

ගැටලු සමඟ සාර්ථකව කටයුතු කිරීමට ඇති නොහැකියාව

භයානක අවි ආයුධ පහසුවෙන් ලබාගැනීමට ඇති හැකියාව

ඇතැම් මානසික රෝග

[28වන පිටුවේ පින්තූරය]

පිලිපීනයේ, ක්වෙසොන් නගරයේ සිදු වූ බෝම්බ පිපිරීම් පහ අතුරින් එක් පිපිරීමකදී, අඩුතරමින් 12දෙනෙක්වත් මරුමුවට පත් වූහ. තවත් 80දෙනෙකුට වඩා තුවාල සිදු විය

[හිමිකම් විස්තර]

AP Photo/Aaron Favila 2000 දෙසැම්බර් 30

[28වන පිටුවේ පින්තූරය]

එක්සත් ජනපදයේ කොලරාඩෝහි කොලොම්බයින් උසස් පාසැලක ශිෂ්‍යයන් දෙදෙනෙක් ගුරුවරයෙකුව හා ශිෂ්‍යයන් 12දෙනෙකුව මරා දමා සිය දිවි හානි කරගනිති

[හිමිකම් විස්තර]

AP Photo/Jefferson County Sheriff’s Department 1999 අප්‍රියෙල් 20

[28, 29වන පිටුවේ පින්තූරය]

ඉන්දුනීසියාවේ බාලි දූපතේ රාත්‍රි සමාජ ශාලාවක අඩුතරමින් 182දෙනෙකුවවත් මරා දමමින් 132දෙනෙකුට තුවාල සිදු කරමින් කාර් බෝම්බයක් පුපුරා යයි

[හිමිකම් විස්තර]

Maldonado Roberto/GAMMA 2002 ඔක්තෝබර් 12