Skip to content

පටුනට යන්න

වර්ෂා වනාන්තර—ඒවා බේරාගත හැකිද?

වර්ෂා වනාන්තර—ඒවා බේරාගත හැකිද?

වර්ෂා වනාන්තර—ඒවා බේරාගත හැකිද?

බොලිවියාවේ පිබිදෙව්! ලේඛක විසිනි

රාමීරෝ, නිවර්තන වලාකුළු වනාන්තරයකින් වැසී ඇති නිම්නයක අයිතිකරුවෙකි. a මෙම නිම්නය පිහිටා ඇත්තේ දකුණු අමෙරිකාවේ ඇන්ඩීස් කඳුවැටියේ පා කඳුවලය. එය වනාහි ඉපැරණි ගස් තවමත් එලෙසම පවතින ප්‍රදේශ අතළොස්සෙන් එකකි. අවට ප්‍රදේශය පුරාම දක්නට ලැබෙන්නේ වෘක්ෂලතාදියෙන් තොර නග්න වූ කඳුය. රාමීරෝට අයිති වලාකුළු වනාන්තරයේ වන ජීවීන් අධ්‍යයනය කිරීමට දස දෙසින් විද්‍යාඥයන් පැමිණෙන අතර, මෙතෙක් ලැයිස්තුගත කර නැති විශේෂයන් කිහිපයක් ඔවුන් සොයාගෙන ඇත. රාමීරෝ වන සංරක්ෂණය ගැන දක්වන්නේ දැඩි උනන්දුවකි. “මගේ වනාන්තරයේ නම් දැව කැපීම තහනම්” කියා ඔහු තරයේ ප්‍රකාශ කර සිටියි.

අනික් අතට, ඇමසොන් ද්‍රෝණියේ පිහිටි පහත් බිම්වල වර්ග කිලෝමීටර් 5,600ක විශාලත්වයකින් යුත් නිවර්තන වර්ෂා වනාන්තරයක් රොබේර්ටෝගේ අධීක්ෂණය යටතේ පවතී. හෙතෙම වෘත්තීය වන පාලකයෙකි. ඔහු නිවර්තන කලාපීය ගස් වර්ග දැව සඳහා කපා ලෝක වෙළඳපොළට විකුණයි. එනමුත්, නිවර්තන වනාන්තර සහ එහි වෙසෙන වන ජීවීන් ආරක්ෂා කිරීම ගැන රොබේර්ටෝටද ඉතා දැඩි උනන්දුවක් ඇත. “ජෛව විවිධත්වයට කල්පවතින හානියක් නොකර නිවර්තන කලාපීය ගස් දැව සඳහා කැපිය හැකි” බව ඔහු තරයේ කියා සිටී.

රාමීරෝ සහ රොබේර්ටෝ සිටින්නේ එකිනෙකට වෙනස් තත්වයන්වලය. එසේ වුවද, නිවර්තන වනාන්තරවල ඉරණම ගැන ඔවුන් දෙදෙනාටම ඇත්තේ ගැඹුරු සැලකිල්ලකි. ඇරත් මේ සම්බන්ධයෙන් බලද්දී, ඔවුන් සිටින්නේ තනිව නොවේ. මෑත දශකවලදී වග විභාගයකින් තොරව නිවර්තන වර්ෂා වනාන්තර විනාශ කර දැමීම තැතිගන්වන අයුරින් ඉහළ ගොස් ඇත.

ඇත්තටම මේ ගැන මෙතරම් කලබල වීම අවශ්‍යද? සියවස් ගණනාවකට පෙරාතුව සෞම්‍ය දේශගුණයක් පැවති ප්‍රදේශවල ජනයා කෘෂිකර්මාන්තයේ නාමයෙන් වනාන්තර බොහොමයක් හෙළි කළා නොවේද? එසේ නම්, නිවර්තන කලාපවල ජනතාව ඒ හා සමාන යමක නිරත වුවහොත්, ඒ ගැන අප කලබල විය යුත්තේ මන්ද? ඇත්තෙන්ම මෙහිදී සැලකිල්ලට ගත යුතු ප්‍රබල වෙනස්කම් කිහිපයක් ඇත. නිදසුනකට, නිවර්තන වර්ෂා වනාන්තර බොහෝ දුරට වැඩෙන්නේ සරු නොවූ භූමියකය. එමනිසා, කෘෂිකර්මය සුදුසු විකල්පයක් නොවේ. එපමණක්ද නොව නිවර්තන වනාන්තරයක දක්නට ලැබෙන ජෛව විවිධත්වය අතිශයින් වැඩිය. ඇත්තෙන්ම එම ජීවීන් වැනසී ගියහොත් ඉන් සිදු වන පාඩුව මුළු මිනිස් සංහතියටම බලපායි.

වන විනාශයෙන් ඇති වන පාඩුව

ලෝකයේ දක්නට ලැබෙන ජෛව විශේෂයන්ගෙන් අඩකට වඩා වැඩි ගණනක් වෙසෙන්නේ නිවර්තන වනාන්තරවලය. මකුළු වඳුරන්, ව්‍යාඝ්‍රයන්, දුර්ලභ ගණයේ පාසි වර්ග, උඩවැඩියා මල්, සර්ප විශේෂ, ගෙම්බෝ, විරල සමනළයෝ සහ ගිරව් මීට ඇතුළත් වේ. ඇත්තෙන්ම ඒවායේ සංඛ්‍යාව ලේඛනගත කිරීමට බැරි තරම් අතිවිශාලය.

විවිධාකාර ජීවීන් නානාවිධ නිවර්තන වනාන්තරවල සුලබව දක්නට ලැබේ. සෙමෙන් වැඩෙන කඳු ආශ්‍රිතව පිහිටි වලාකුළු වනාන්තර, ඝන තුරු වියනකින් වැසුණු අන්ධකාර වර්ෂා වනාන්තර, නිවර්තන වියළි වනාන්තර සහ වන ලැහැබ් මෙම වනාන්තර ගණයට අයත් වේ. කෙසේවෙතත්, වැඩිදෙනෙකු කිසිදාක නිවර්තන වනාන්තරයකට ගොස් නැත. ඔබත් එවන් අයෙකු විය හැක. එසේ නම්, එවන් ප්‍රදේශ ගැන ඔබ උනන්දු විය යුත්තේ මන්ද?

නිවර්තන වර්ෂා වනාන්තර සංරක්ෂණය කිරීම අතිවැදගත් දෙයකි. මන්දයත් ගෙවතු හා වාණිජ්‍ය ශාක හා පැළෑටි බොහොමයක් බිහි කරන ලද්දේ වනයේ ශාක යොදාගෙනය. ඉදිරියට විවිධ ශාක බෝ කළ හැක්කේ මෙවැනි වන ශාක ඇසුරෙන් පමණි. මෙවැනි ශාක තවමත් නිවර්තන වනාන්තරවල සුලබව හොඳින් වැඩේ. වනයේ වැවෙන මෙම නොඉඳුල් විශේෂ ඇතැම් අවස්ථාවලදී භාවිත කරනු ලබන්නේ, රෝග සහ පළිබෝධවලට වඩාත් හොඳින් ඔරොත්තු දිය හැකි අලුත් ශාක විශේෂ ජනිත කිරීම සඳහාය. එබැවින් වනයේ දක්නට ලැබෙන මෙවැනි ශාක වර්ගවල තිබෙන ජාන විවිධත්වය අත්‍යවශ්‍යය.

මීට අමතරව, පර්යේෂකයෝ නිතරම පාහේ නිවර්තන වනාන්තරවලින් ප්‍රයෝජනවත් ද්‍රව්‍ය සොයාගනිති. නිදසුනකට, දැනට භාවිතයේ තිබෙන ඖෂධවලින් බහුතරයක් නිවර්තන කලාපීය ශාකවලින් සාදාගත් ඒවාය. මේ අනුව, නිවර්තන වර්ෂා වනාන්තරවල දක්නට ලැබෙන ජෛව විවිධත්වය ජීවමාන පුස්තකාලයක් බඳුය. එනමුත්, එහි “පොත්වලින්” වැඩි හරියක්ම තවමත් විවෘත කර නැත.

බිඳෙනසුලු ජෛව ජාලයක්

ආර්ද්‍රතාවෙන් වැඩි නිවර්තන වනාන්තරයක පවතින පරිසරය බිඳෙනසුලුය, අතිශයින් සංකීර්ණය. එහි දිවි ගෙවන අතිමහත් ජීවීන් සංඛ්‍යාතය එකිනෙකා මත රඳා සිටියි. නිදසුනකට, පරාගණය සහ බීජ විසුරුවාහැරීම සඳහා ශාක බොහොමයක්ම රඳා පවතින්නේ සුවිශේෂ පක්ෂි, කෘමි හෝ සත්ව විශේෂයන් මතය. වනාන්තරයෙහි ඓන්ද්‍රිය ද්‍රව්‍ය සියල්ලම ඉතා කාර්යක්ෂම ලෙස ප්‍රතිචක්‍රීකරණය කෙරේ. මීට ශාක, සතුන්, කෘමීන් සහ ක්ෂුද්‍රජීවීන් ඇතුළත් වන අතර, එමගින් ඉතා සියුමැළි ජෛව චක්‍රයක් ක්‍රියාත්මක වේ. පුදුමයට හේතුව නම්, ඉතා සංකීර්ණ වූ මෙම මුළු පරිසර පද්ධතියම පිහිටා තිබෙන්නේ බොහෝ දුරට ඉතා නිසරු පසක වීමයි. ඒ නිසා එම පරිසර පද්ධතිය විනාශ වුවහොත්, එවැනි වනාන්තරයකට යළිත් ප්‍රකෘති තත්වයට පැමිණීම ඉතා අසීරු කාර්යයක් විය හැක. එසේ නැතහොත් සිදු විය නොහැක්කක් වන්නට පුළුවන.

බොහෝදෙනෙකුගේ ජීවිකාව රඳා පවතින්නේ නිවර්තන වනාන්තර මතය. විද්‍යා පර්යේෂණ පැවැත්වීමට හා සංචාරක කර්මාන්තයට ක්ෂේත්‍රයක් සපයනවාට අමතරව, දැව, කජු වර්ග, මී පැණි, කෑමට ගන්නා තාල වර්ගයේ ගස්වල බඩ, රබර් සහ දුම්මල වැනි නිෂ්පාදන සඳහා නිවර්තන වනාන්තර වාණිජ්‍ය වශයෙන් වැදගත්කමක් උසුලයි. එනමුත් නිවර්තන වනාන්තර අතුරුදහන් වෙමින් තිබෙන්නේ තැතිගන්වන වේගයකිනි. ඒ සම්බන්ධයෙන් පළ වී ඇති සංඛ්‍යා ලේඛන ගැන මතභේද පැවතියද, එක් දෙයක් පැහැදිලිය. එනම් වනාන්තර ශීඝ්‍රයෙන් අඩු වේගන යයි.

මෙය විශේෂයෙන් කනගාටුවට හේතුවක් වන්නේ ඉතාමත් අල්ප ප්‍රයෝජන ලැබීම සඳහා වැසි වනාන්තර මෙසේ විනාශ කර දැමීමය. මෙම වනාන්තර පැවති ප්‍රදේශ බොහොමයක් ගවයන් සඳහා ගොදුරුබිම් බවට පරිවර්තනය කර ඇත. කෙසේවෙතත්, ගවයන්ට අවශ්‍ය තණකොළ අඛණ්ඩව නිපදවීමට මෙම බිම් අසමත් වන නිසා, ඒවා බොහෝ දුරට අත්හරිනු ලැබේ. ලැබී තිබෙන වාර්තාවලට අනුව, බ්‍රසීලයේ ඇමසොන් ප්‍රදේශයේ වර්ග කිලෝමීටර් 1,65,000ක් පමණ මෙලෙස අත්හැර තිබේ.

වර්ෂා වනාන්තර සහ ඒවායෙහි වෙසෙන අසංඛ්‍යාත ජීවීන්ට තිබෙන්නේ කවර බලාපොරොත්තුවක්ද? රාමීරෝ, රොබේර්ටෝ සහ ඔවුන් හා සමාන තවත් බොහෝදෙනෙක් නිවර්තන වර්ෂා වනාන්තර ආරක්ෂා කිරීමෙහි දැඩි සටනක නියැලී සිටිති. ඒ සටන කෙරෙන්නේ අන්තර් ජාතික වෙළඳාමට, අධිජනගහනයට, සුරතල් සතුන් අල්ලන්නන්ට, නීති විරෝධී දඩයක්කාරයන්ට සහ කැලෑ කපන්නන්ට එරෙහිවය. එනමුත්, වන විනාශයට සැබවින්ම හේතු වන මූලික සාධක මොනවාද? වර්ෂා වනාන්තර විනාශ නොකර ඒවායෙහි තිබෙන අතිමහත් සම්පත් සම්භාරය භාවිතයට ගත හැකි යම් ක්‍රමයක් තිබේද?

[පාදසටහන]

a වලාකුළු වනාන්තරයක් නොහොත් මොනාටානා වර්ෂා වනාන්තරයක් යනු මුහුදු මට්ටමේ සිට මීටර් 1,000ක උසකට වඩා ඉහළින් වැඩෙන වර්ෂා වනාන්තරයකි.

[3වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ලෝකයේ සත්ව විශේෂයන්ගෙන් වැඩි හරියක් සමඟ ශාක වර්ග රැසක් සොයාගත හැක්කේ වර්ෂා වනාන්තරවලය

[4, 5වන පිටුවේ පින්තූර]

දැව කපන්නන් සහ ඔවුන් කපන පාරවල් වර්ෂා වනාන්තර විනාශයට හේතු විය හැක