Skip to content

පටුනට යන්න

වර්ෂා වනාන්තර—ඒවා බේරාගන්නේ කවුද?

වර්ෂා වනාන්තර—ඒවා බේරාගන්නේ කවුද?

වර්ෂා වනාන්තර—ඒවා බේරාගන්නේ කවුද?

නිවර්තන කලාපීය වනාන්තර සම්බන්ධයෙන් උද්ගත වී ඇති ගැටලුවලට පිළියම් යෙදීමට උත්සාහ කරන ඕනෑම අයෙකු මුලින්ම හඳුනාගත යුත්තේ ඊට පාදක වන හේතුය. ඒවා මොනවාද? ඒ අධික ජනගහනයයයි කියා අපට නිකම්ම ඊට ඇඟිල්ල දිඟු කළ නොහැකිය. පෘථිවියේ සරු බිම් පෙදෙස් තිබේ. ඒවායින් ලෝක ජනගහනයට පමණක් නොව, තවත් විශාල සංඛ්‍යාවකට අවශ්‍ය ආහාර පානාදිය පහසුවෙන්ම සැපයිය හැක.

ඇත්තෙන්ම ඇතැම් රටවල ආණ්ඩු කනස්සලු වන කාරණයක් වන්නේ තම ගොවිපොළවල්වල නිෂ්පාදනයේ අතිරික්තයක් තිබීමයි. මන්දයත් ආහාර මිල පහත බැසීමට එය හේතු වන බැවිනි. ඇතැම් ආණ්ඩු ගොවීන්ට දිරිගන්වන්නේ තමන් සතු ඉඩම් විවේකය හා විනෝදය වැනි වෙනත් දේවල් සඳහා යොදවාගන්නට කියාය. නිදසුනක් ලෙස, කූඩාරම් පිහිටුවා කල් ගෙවිය හැකි භූමි, ගොල්ෆ් පිටි හෝ වනෝද්‍යාන වැනි දේවල් සඳහා යොදාගන්නටය.

එසේ නම්, ලෝකයේ වනාන්තර අතුරුදහන් වී යන්නේ මන්ද? අප මෙතෙක් සඳහන් කර ඇති හේතුකාරකවලට වඩා ගැඹුරින් බලපාන ඒවා දෙස බැලිය යුතුය.

වන විනාශයේ මුල් බැසගත් හේතු

වර්තමානයේ දක්නට ලැබෙන අධිජනගහන වර්ධනයෙන් බොහෝ කලකට පෙරාතුව ආණ්ඩු බොහොමයක් බලය සහ ධනය ලබාගැනීමේ අභිලාෂයෙන් වනාන්තරවල සම්පත් කොල්ල කෑවෝය. නිදසුනකට, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නැව් තැනීම සඳහා අවශ්‍ය වූ දැව ලබාගැනීමට බ්‍රිතාන්‍යයේම ඕක් වනාන්තර විනාශ කරන ලදි. ඉන් අනතුරුව එම අවශ්‍යතාව පිරිමසාගත්තේ බුරුමයේ සහ තායිලන්තයේ තේක්ක වනාන්තර විනාශයට ලක් කිරීමෙනි. වානේ කර්මාන්තයට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට ඉන්දියාවේ වනාන්තර එළි පෙහෙළි කළේද එම අධිරාජ්‍යයයි. වෙනත් වනාන්තර එළි පෙහෙළි කළේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අවශ්‍ය රබර්, කෝපි සහ කොකෝවා වැනි වැවිලි සඳහාය.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව වනාන්තර වඩාත් විශාල පරිමාණයකින් එළි පෙහෙළි කිරීමට දම්වැල් කියත් සහ බුල්ඩෝසර වැනි යන්ත්‍ර සූත්‍ර රුකුලක් විය. එහෙයින්, බිඳෙනසුලු ජෛව පද්ධතියක් සහිත වනාන්තරවලින් එන්න එන්නම වැඩියෙන් සම්පත් සූරාකෑමට මඟ පෑදිණ.

දැවැන්ත සමාගම් විශාල සරු බිම් තීරු මිලේට ගෙන ඉක්මනින් ලාභ ලැබිය හැකි වෙළඳ බෝගවලින් පලදාව ලබාගැනීමට කෘෂිකාර්මික යන්ත්‍ර සූත්‍ර භාවිත කළෝය. එමගින් ගම්බද පළාත්වල විසූ දහස් ගණනකට රැකියා අහිමි වූ නිසා, ඔවුහු නගරවලට ඇදී ආහ. තවත් සමහරුන්ට දිරිගැන්වූයේ වර්ෂා වනාන්තරවලට ගොස් පදිංචි වන්නටය. ඇත්තෙන්ම වර්ෂා වනාන්තර ජනතාවට ඇතැම්විට හඳුන්වා දුන්නේ “ඉඩම් නැති ජනතාවට දුන් හිස් ඉඩම්” ලෙසය. කෙසේවෙතත්, එවැනි ඉඩම්වල ගොවිතැන් කිරීම කොතරම් අසීරුද කියා ජනතාවට අවබෝධ වන විට, හානිය සිදු වී හමාරය. ඒ වන විටත් වනයේ විශාල කොටසක් මුඩු බිම් බවට පත් වී තිබිණ.

බොහෝ වනාන්තරවලට මරණ වරෙන්තුව නිකුත් කිරීමට අත දුන් අල්ලස් දූෂණයට නැඹුරු වූ රජයේ නිලධාරීන්ගේ දායකත්වයද මෙහිදී අමතක කිරීමට බැරිය. දැව කැපීමට බලපත්‍රයක් ලබාගැනීම සඳහා සෑහෙන මිලක් ගෙවීමට සිදු වේ. එමනිසා, ඇතැම් වංක නිලධාරීන්ට අල්ලසක් දුන් විට ඔවුන් එම සමාගම්වලට කෙටි කාලීන අවසරයක් ලබා දී ඇත. වන සංරක්ෂණය ගැන මෙම සමාගම්වලට කිසිදු තැකීමක් නැත. ඔවුන්ගේ අභිප්‍රාය වන්නේ හැකි තරම් දැව කොල්ලකෑමය.

කෙසේවෙතත්, වනයේ ජීවීන්ට එල්ල වන දරුණුම තර්ජනය වන්නේ ගස් කැපීම නොව, නමුත් වනාන්තර කෘෂිකර්මය සඳහා යොදාගැනීමය. බිම් තීරය සරු නම්, ඇතැම් අවස්ථාවලදී මෙවැනි දෙයක් යුක්තිසහගත කළ හැකිය. එනමුත්, අල්ලස් දූෂණයට නැඹුරු වූ නිලධාරීන් හෝ නමට පමණක් පෙනී සිටින නිලධාරීන් නැවතත් යථා තත්වයට පත් කළ නොහැකි වනාන්තර මුදලට ඇති කෑදරකම නිසා වගා කටයුතු සඳහා ලබා දී ඇත.

අපරාධකරුවෝද වනාන්තරවලට හානි පමුණුවති. නීතිවිරෝධීව දැව කපන්නෝ වගවිභාගයකින් තොරව වටිනා ගස්, ජාතික වනෝද්‍යානවල ගස් පවා කපති. සමහර අවස්ථාවලදී ඔවුන් ලී කොටන් ලෑලිවලට ඉරන්නේ වනයෙහිමය. මෙය නීතිවිරෝධී වනවා පමණක් නොව ඉන් සෑහෙන නාස්තියක්ද සිදු වේ. බයිසිකල්වල නැතහොත් පිට උඩ පවා පටවාගෙන දැව ඉවතට ගැනීම සඳහා ගමේ පදිංචිකරුවන්ට යම් මුදලක් ගෙවනු ලැබේ. අනතුරුව අඳුර වැටුණු කල, ඒවා ට්‍රක් රථවල පටවා මුරපොළවල් මඟහැරීමට පාළු කඳුකර පාරවල්වලින් ඉවතට ගෙනයනු ලැබේ.

එසේ නම්, වන විනාශය සහ වනයේ ජීවීන් වඳ වී යෑමට ජනගහනයේ වැඩිවීම අනිවාර්යයෙන්ම බලපාන බව පැවසිය නොහැක. බොහෝ විට ඊට හේතුකාරකයන් වන්නේ දුර්වල පාලනය, ගිජු වාණිජ්‍යය, අපරාධ සහ අල්ලස් දූෂණයට නැඹුරු වූ ආණ්ඩුය. මෙවැනි තත්වයක් මැද, නිවර්තන වර්ෂා වනාන්තරවල සොයාගත හැකි සුවිශේෂ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීමට තිබෙන බලාපොරොත්තු මොනවාද?

වර්ෂා වනාන්තර සඳහා ඇත්තේ කවර බලාපොරොත්තුවක්ද?

“ලෝකයේ නිවර්තන වනාන්තරවලින් මැනවින් පරිපාලනය කරනු ලබන්නේ අතළොස්සක් පමණි.” මෙවැනි අදහසක් පළ වූයේ වන සංරක්ෂණය පිළිබඳ පොතකය (The Cutting Edge: Conserving Wildlife in Logged Tropical Forest). එහි තවදුරටත් මෙසේ පැවසේ. “ධරණීය වනාන්තර කළමනාකරණයක් තුළින් දැව සම්පත් ප්‍රයෝජනයට ගනු ලබන වනාන්තර (ඇත්නම්, ඒ) ස්වල්පයකි.” ධරණීය වනාන්තර කළමනාකරණය තුළින් දැව සම්පත් ප්‍රයෝජනයට ගැනීම ඇත්තටම ප්‍රායෝගිකව කළ හැකි දෙයක් වුවද, යථාර්ථය දෙස බැලූ කල, ලොව පුරා ශීඝ්‍රයෙන් සිදු වන්නේ වන විනාශයයි.

බොලිවියා රටේ මේ සම්බන්ධයෙන් කැපීපෙනෙන වෙනසක් දක්නට ලැබෙන බවට පැවසේ. එහි තිබෙන නිවර්තන වර්ෂා වනාන්තරවලින් සියයට 25ක්ම නිල වශයෙන් නම් කර ඇත්තේ ධරණීය වනාන්තර කළමනාකරණයක් සිදු කරන වනාන්තර ලෙසය. කෙසේවෙතත්, ලෝක මට්ටමින් ගත් කල, එය ඉතා අඩු සංඛ්‍යාවක් විය හැකියි. එය අධෛර්යය කරවන්නකි. එනම් එය සියයට එකකටත් වඩා අඩුය. නිවර්තන වනාන්තරවලින් වැඩි හරියක් කිසිදු තැකීමකින් තොරව සූරා කනු ලැබේ. එවැනි විනාශයක් සිදුවීමට හේතුව, ආත්මාර්ථකාමිත්වය හා ගිජුකම නමැති රුදුරු බලවේගයන්ය. ලෝකයේ ව්‍යාපාරිකයන් හා දේශපාලනඥයන් මෙම බලවේගයන්ට එරෙහි වී, මිනිස්වර්ගයා සතු මෙම අමිල උරුමය ආරක්ෂා කිරීමෙහි නිරත වෙයි කියා අපේක්ෂා කිරීම කොතරම් සාධාරණද?

බලාපොරොත්තුවේ වනාන්තර යන පොත (සිංහලෙන් නැත) මිනිස්වර්ගයා සඳහා මෙම පරමාර්ථය සමඟින් නිම වේ. “පෘථිවිය පුරාම වෙසෙන සියලුම ජනයා සඳහා යෝග්‍ය වන්නාවූද, පෘථිවිය හා එහි සම්පත් වැනසීමට දායක නොවන්නාවූද ජීවන රටාවක් සොයා ඒ අනුව දිවි ගෙවීම අපගේ ඉලක්කය විය යුතුය.” එය නම් ඉතා සිත්ගන්නාසුලු ඉලක්කයකි. එනමුත් එය යථාර්ථවාදී ඉලක්කයක්ද?

අපගේ මැවුම්කරු පොළොව සහ මිනිස්වර්ගයා සඳහා අදහස් කළේ කුමක්ද? ඔහු මුල් මිනිස් යුවළට ආඥා කළේ මෙලෙසය. “පොළොව පූර්ණ කොට ඒක යටත් කරගන්න. මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරන්න.” (උත්පත්ති 1:28) ඉතින් මැවිල්ලෙන් ප්‍රයෝජන ගැනීමට දෙවිගෙන් මිනිස්වර්ගයාට අවසර ලැබී තිබේ. එනමුත් “අධිපතිකම්” කිරීම පොළොව වනසා දැමීමට බලපත්‍රයක් නොවේ.

එමනිසා සලකා බැලිය යුතු ප්‍රශ්නය මෙයයි. “පෘථිවිය හා එහි සම්පත් වැනසීමට දායක” නොවන ජීවන රටාවක් බවට සිය ජීවන රටාව වෙනස් කිරීමට මිනිස්වර්ගයාට හැකිද? සමස්ත ලෝක පරිමාණයකින් එය වෙනස් කළ හැකිද? මෙම වදන්වලින් තේරුම් යන එක් දෙයක් නම්, අසල්වාසියා සඳහා ප්‍රේමයක් සහ දෙවිගේ මැවිල්ල සඳහා ගෞරවයක් තිබිය යුතු බවය. වත්මන් ලොවෙහි නම් මේවා ඉතා දුලබය. මිනිස් පාලකයන් එවැනි ජීවන රටාවක් අනුගමනය කරමින් ඊට දිරි දෙයි කියා බලාපොරොත්තු තැබීම අහස් මාළිගා තැනීමකි.

කෙසේවෙතත්, තම අසල්වාසියාට හා මැවුම්කරුට ප්‍රේම කරන ජනයාගෙන් පෘථිවිය පිරෙනු ඇති කාලයක් ගැන දේවවචනය කලින්ම පවසා තිබේ. බයිබලය මෙසේ පවසයි. “මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශ කිරීමක්වත් නොවන්නේය. මක්නිසාද ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක් මෙන් යෙහෝවා ගැන දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය.” (යෙසායා 11:9; ගීතාවලිය 37:29; මතෙව් 5:5) දෙවිගේ ජනයා ‘කිසි අනතුරක්’ හෝ ‘කිසි විනාශයක්’ කිරීමෙන් වැළකී සිටින්නේ ඔවුන් උදාර මැවුම්කරු වන යෙහෝවා දැනගෙන ඔහුට ප්‍රේම කරන්නට පටන්ගෙන ඇති නිසා බව ඔබට පෙනී ගියාද? එවැනි ආකාරයේ ජනතාවක් පෘථිවිය විනාශ කිරීමෙන් වැළකී සිටිනු ඇති බවට කිසිදු සැකයක් නැත.

මෙය නිකම්ම සිහිනයක් නම් නොවේ. දැනුත් යෙහෝවා අවංක මිනිසුන්ව එක්රැස් කරමින් ඔවුන්ට උගන්වමින් සිටියි. දේවවචනය අධ්‍යයනය කිරීමෙන් අන් අය කෙරෙහි ආත්ම පරිත්‍යාගී ප්‍රේමයක් මත පදනම් වූ ජීවන රටාවක් ගැන පෘථිවිය පුරාම මිලියන සංඛ්‍යාවක් ඉගෙනගෙන සිටිති. (යොහන් 13:34; 1 යොහන් 4:21) මෙම සඟරාව හා එහි සහයක සඟරාව වන මුරටැඹ ප්‍රකාශයට පත් කරන්නේ එම ජීවන රටාව ගැන හා එය අනුගමනය කළ හැකි ආකාරය ගැන ජනතාව දැනුවත් කිරීම සඳහාය. ඒ පිළිබඳව දිගටම ඉගෙනගැනීමට අපි ඔබට ඇරයුම් කරමු. මීට වඩා වටිනා, ප්‍රතිඵලදායක වෙන කිසිම විෂයක් නැත.

[10වන පිටුවේ පින්තූර]

මිනිසා අලංකාර පෘථිවිය විනාශ කරනවා වෙනුවට එය රැකබලා ගනු ඇත