Skip to content

පටුනට යන්න

සැබෑ විසඳුමක් ලැබේවිද?

සැබෑ විසඳුමක් ලැබේවිද?

සැබෑ විසඳුමක් ලැබේවිද?

අපරාධ දක්නට ලැබෙන්නේ නවීන සමාජයේ ස්ථිර ලක්ෂණයක් ලෙසටය. සමාජ සේවකයන්ගේ, නීතිය ක්‍රියාත්මක කරන අයගේ සහ අපරාධකරුවන්ව පුනරුත්ථාපනය කිරීමට වෙර දරන වෘත්තිකයන්ගේ අවංක උත්සාහයන් අභිභවමින් අද දින ලෝකය වඩාත් භයානක තැනක් බවට පත් වෙමින් තිබේ. මීට විසඳුමක් තිබේද?

බයිබලය පෙන්වන්නේ ඉතා මහත් විසඳුමක් ලැබීමට නියමිත බවයි. මිනිස් ආණ්ඩුවල උත්සාහයෙන් මේ විසඳුම ලැබෙන්නේ නැත. මිනිස් පාලකයන්ට කොතරම් උදාර ඉලක්ක තිබුණද, ඔවුන්ට සීමාවන් තිබේ. අපරාධවලට පාදක වෙන මූලික හේතුව මුලිනුපුටා දැමීමට හෝ ආරක්ෂිත සමාජ ක්‍රමයක් ස්ථාවරව පිහිටුවීමට බලයවත් සම්පත්වත් ඔවුන්ට නැත.

බයිබලයේ කතා කරන වෙනස සිදු කරනු ඇත්තේ අපගේ මැවුම්කරුවාණන් විසිනි. විශ්වයේ සෑදුම්කරු වශයෙන්, මිනිසුන්ට බැරි දෙය කිරීමට ඔහුට බලය සහ නීතික අයිතිය තිබේ. බයිබලය ඔහුව විස්තර කරන්නේ ‘අධිපතීන් නැති නාස්ති කරන, ලොවේ පාලකයන් සුණුවිසුණු කරන තැනැත්තා’ ලෙසටය. තවද ‘ඔහු බලයෙන් මහත්ය.’ (යෙසායා 40:23-26, නව අනුවාදය) දෙවි පොරොන්දු වෙන්නේ කිනම් වෙනස්කම් කරන බවටද? ඒවා වඩාත් හොඳ ලෝකයක් බිහිවීම ගැන අප තුළ සැබෑ බලාපොරොත්තුවක් ඇති කරන්නේ කෙසේද?

දෙවිගේ පොරොන්දුව ගැන ගීතාවලිය 37:10හි අපට මෙසේ දැනුම් දෙයි. “මඳ කලකින් දුෂ්ටයා නැති වන්නේය. එසේය, නුඹ ඔහුගේ ස්ථානය පරීක්ෂා කර බලන්නෙහිය. ඔහු [දුෂ්ටයා] සම්බ නොවන්නේය.” කිසිම විදිහකින් වෙනස් කරන්නට බැරි හෝ වෙනස් වීමට කිසිදු කැමැත්තක් නැති අයව මුලිනුපුටා දැමීමට දෙවි අදහස් කරගෙන සිටී. කෙසේවෙතත්, ඔහු සියලු මිනිසුන් විනාශ නොකරනු ඇත. මෘදු, යටහත් පහත් හා සාමකාමී අය වීමට කැමැත්තෙන් සිටින අයට ගීතිකාකරු පොරොන්දු වෙන්නේ මෙසේයි. “යෙහෝවා කෙරෙහි බලා සිටිමින් ඔහුගේ මාර්ගය රක්ෂා කරන්න, දේශය ඔබට උරුම වෙන පිණිස ඔහු ඔබ උසස් කරනවා ඇත. දුෂ්ටයන් සිඳිනු ලබන කල, ඔබ එය දකින්නෙහිය.” දුෂ්ටයන් විනාශ කිරීමත් සමඟම ඉතිරි අය “මහත් සමාදානයක්” අද්දකිනු ඇත. ඔව්, කිසිම ආකාරයක අපරාධයක් නැති නිදහස් ලෝකයක් එළිදකිනු ඇත.—ගීතාවලිය 37:11, 34.

මනස හා හදවත වෙනස් කිරීම අවශ්‍යයි

අපරාධ නමැති ගැටලුව සදහටම විසඳීමට නම්, දුෂ්ටයන්ව විනාශ කර හොඳ මිනිසුන්ව ගැලවීම ප්‍රමාණවත් නොවේ. ඊට වඩා දෙයක් අවශ්‍යයි. අපරාධ යනු බොහෝවිට මිනිසුන්ගේ හදවත් සහ මනස් නිසි අයුරින් පුහුණු නොකිරීමේ ප්‍රතිඵලයකි. කෙසේවෙතත්, දෙවිගේ ආණ්ඩුව වෙනත් ආණ්ඩුවලට වඩා සාර්ථක වෙන්නේ මේ සම්බන්ධයෙනි. මිනිසුන්ව පුහුණු කිරීම පිණිස ප්‍රායෝගික උපදෙස් සහ අධ්‍යාපනය එමගින් සපයනු ලබනු ඇත. එවිට ඔවුන් ධර්මිෂ්ඨකමට ප්‍රේම කරනවා ඇත. යෙසායා 54:13 මෙසේ කියයි. “නුඹේ සියලුම දරුවෝද යෙහෝවා විසින් උගන්වනු ලබන්නෝ වෙති. නුඹේ දරුවන්ගේ සමාදානයද මහත් වන්නේය.”

ඉන් ලැබෙන ප්‍රතිඵල සැබවින්ම තෘප්තිමත්කරය! කලක් මෘග ගති විදහා පෙන්වා තිබුණා විය හැකි මිනිසුන් තුළ ඇති වන වෙනස්කම් ගැන බයිබලය කතා කරන්නේ ඒ ගැන අපගේ මනස් තුළ යම් පින්තූරයක් අඳිමිනි. එහි මෙසේ කියයි. “වෘකයා බැටළුපැටවා සමඟ වාසය කරන්නේය. දිවියාද එළුපැටවා සමඟ ලගින්නේය. වස්සාද තරුණ සිංහයාද තර සතාද එක්ව සිටින්නෝය.” ඒ මන්ද? “මක්නිසාද ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක් මෙන් [යෙහෝවා] ගැන දැනගැන්මෙන් පොළොව පිරී යන්නේය.” (යෙසායා 11:6, 9) කෙසේවෙතත්, එවන් වෙනස්කම් ඇති වෙන තෙක් අනාගතය දෙස බලා සිටීමට ඔබටත් ඔබගේ පවුලේ අයටත් අවශ්‍ය නැත. ඒ ඇයි?

දැන් ඔබට ප්‍රයෝජන ගත හැකියි

අපරාධවලින් තොර ලෝකයක ජීවත් වීම සඳහා අවශ්‍ය වෙනස්කම් කරමින් සිටින අය දැනුදු සිටිති. ඔවුන් දැනටමත් අලුත් පෞද්ගලිකත්වයක් පැළඳගනිමින් සිටිති. ඒ පෞද්ගලිකත්වය දෙවිගේ නව ලෝකයේ ජීවත් වීමට යන මිනිසුන්ගෙන් දෙවි බලාපොරොත්තු වන ආකාරයේ පෞද්ගලිකත්වයකි. (2 පේතෘස් 3:13) ඔවුන් මෙම පෞද්ගලිකත්වය පැළඳගනිමින් සිටින්නේ තම ජීවිතවල බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙනි. බයිබලය කරන මේ උනන්දුමත් විස්තරය සැලකිල්ලට ගන්න. “ඔබ ඔබේ මනස ක්‍රියාත්මක කරන බලයෙන් අලුත් වී සැබෑ ධර්මිෂ්ඨකමින්ද පක්ෂපාතකමින්ද දෙවිගේ කැමැත්තට අනුව මවන ලද අලුත් පෞද්ගලිකත්වය පැළඳගත” යුතුය.—එෆීස 4:23, 24, NW.

අවංක හදවත් ඇති බොහෝ පුද්ගලයන් දැනටමත් වගා කරමින් තිබෙන ශුභවාදී ගුණාංග කොලොස්සි 3:12-14හි [NW] තවදුරටත් විස්තර කරයි. එහි මෙසේ කියයි. “දෙවිගේ තෝරාගත්, ශුද්ධ, ප්‍රේමණීය අය මෙන්, ගැඹුරු සෙනෙහස නමැති දයානුකම්පාවද, කරුණාවන්තකමද, යටහත් පහත් මනසක්ද, මෘදුකමද, බොහෝ ඉවසිලිවන්තකමද පැළඳගන්න. යමෙකුට විරුද්ධව පැමිණිලි කිරීමට හේතුවක් ඇත්නම්, එකිනෙකා ගැන ඉවසමින්, මුළු සිතින්ම එකිනෙකාට කමා කරන්න. යෙහෝවා මුළු සිතින්ම ඔබට කමා කළාක් මෙන් ඔබත් එසේ කරන්න. නමුත් මේ සියල්ලට අමතරව, ප්‍රේමය පැළඳගන්න. මන්ද එය එක්සත් කරවන සම්පූර්ණ වූ බැඳීමකි.”

නව ක්‍රිස්තියානි පෞද්ගලිකත්වය පැළඳගැනීම සඳහා උපකාර ලැබීමට ඔබ කැමතිද? යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ උපකාරය ඇතුව ලොව වටා මිලියන ගණනක් ජනයා දැනටමත් එය කරමින් සිටිති. රාජ්‍ය ශාලාවලදී නිතිපතා පවත්වන රැස්වීම්වලට මෙන්ම විශාල සමුළුවලට සහභාගි වීම මගින් ප්‍රචණ්ඩකාරී අපරාධ කර ඇති මිනිස්සු පවා සාමකාමී පෞද්ගලිකත්වයක් පැළඳගැනීමට ඉගෙනගෙන සිටිති. a එවන් කදිම බයිබල් අධ්‍යයන වැඩසටහනකින් ප්‍රයෝජන ගන්නට ඔබ කැමති නම්, මේ සඟරාවේ ප්‍රකාශකයන්ව ඇමතීමට පසුබට වෙන්න එපා. අපරාධවලින් තොර දෙවිගේ නව ලෝකයේ ජීවත් වීමට දැන් සූදානම් වෙමින් සිටින අය අතර සිටීම සඳහා ඔබට උපකාර කිරීමට ඔවුන් සතුටු වෙනවා ඇති.

[පාදසටහන]

[30වන පිටුවේ පින්තූර]

අපරාධවලින් තොර ලෝකයක ජීවත් වීම සඳහා මිලියන ගණනක් අධ්‍යාපනය ලබමින් සිටිති