Skip to content

පටුනට යන්න

හදිසි විපතක් සිදු වූ විට මා එයට මුහුණ දෙන්නේ කොහොමද?

හදිසි විපතක් සිදු වූ විට මා එයට මුහුණ දෙන්නේ කොහොමද?

යෞවන අය අසති . . .

හදිසි විපතක් සිදු වූ විට මා එයට මුහුණ දෙන්නේ කොහොමද?

“ඇයි ත්‍රස්තවාදීන් මගේ අම්මාව මැරුවේ?”—කෙවින්.  a

“සාමාන්‍යයෙන් මම උමංවලට හරි ආසයි. ඒත් සැප්තැම්බර් 11වෙනිදා ඒක පුපුරපු වෙලාවේ ඉඳලා මට හරි බයක් තියෙනවා කවදා හරි ඒක ඇතුළේ මැරෙන්න වෙයිද කියලා.”—පීටර්.

කෙවින්ගේ මව 2001 සැප්තැම්බර් 11වන දින නිව් යෝර්ක්හි ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල කළ ප්‍රහාරයේදී මිය ගියා. පීටර්, එවන් ශෝචනීය සිද්ධියකට මුහුණ නුදුන්නද එම සිදුවීම් ඔහුට තදින්ම බලපෑවා.

එක් පුවත් පතක මෙවැන්නක් වාර්තා වෙනවා. “සැප්තැම්බර් 11වන දින සිදු වූ ප්‍රහාරය නිසා නිව් යෝර්ක් නුවර ජීවත් වන දරුවන් දහස් ගණනක් මානසික ගැටලුවලින් පීඩා විඳින අතර වැඩිදෙනෙක් වැඩිහිටියන් වූ පසුත් එම ගැටලු අද්දකිවී.” චිත්තවේගීය කම්පනය නිසා ඇති වන රෝග ලක්ෂණ “ව්‍යසන භූමිය අසල මානයකවත් නොසිට, ප්‍රහාරයන් තම ඇස් පනා පිට නොදුටු දරුවන්ද අද්දකිනවා.” b එය කනස්සල්ලට හේතුවක්.

ඊශ්‍රායෙලයේ සිදු වන මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාර සහ නොයෙක් ස්ථානවල හදිසියේ කඩා වැද කරන වෙඩි තැබීම් වැනි වෙනත් අන්දමේ විපත් නිසාද එවැනිම තත්වයන් ඇති වන බව කියන්නට පුළුවන්. “මෙවැනි ඛේදජනක දේ සිදු වන ස්ථානවලින් සැතපුම් 2000ක් පමණ දුරින් ජීවත් වන දරුවන් තුළ පවා එයින් බිය හා කාංසාව ඇති කරනවා” යයි එම සිදුවීම් නිසා ඇති වන කම්පනය පිළිබඳව අදහස් දක්වන විශේෂඥයෙක් කියා සිටියා.

මෙයට හේතුව, විනාශකාරී සිද්ධීන් පිළිබඳව සවිස්තරාත්මකව තොරතුරු රූප මාධ්‍යය ඔස්සේ හෝ පුවත් මාධ්‍යය ඔස්සේ දරුවන්ට ලබාගැනීමට හැකිවීමයි. ත්‍රස්තවාදි ප්‍රහාර, පාසැල් භූමියේ සිදු වන වෙඩි තැබීම් සහ ස්වභාවික විපත් පිළිබඳ බියකරු දසුන් නැවත නැවත විකාශනය කරන නිසාවෙන් යෞවනයන්ට එම රූප මනසෙන් තුරන් කිරීමට අපහසු වී තිබෙනවා. සමීක්ෂණයක් සිදු කළ නිව් යෝර්ක් අධ්‍යාපන කාර්යාලය හෙළි කළේ “ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ප්‍රහාරය එල්ල කිරීමෙන් මාස හයකට පසු පාසැල් සිසුන් 8266දෙනෙකුගෙන් සියයට 76කට එම ප්‍රහාරය හැම මොහොතකම මතකයට නැඟෙන බවයි.”

බයිබලයේ සඳහන් පරිදි අප ජීවත් වන්නේ “භයානක කාලයන්වල.” (2 තිමෝති 3:1-5, New International Version) එමනිසා බිහිසුණු විපත්තියක් සිදු වන විට ඔබ එයට මුහුණ දෙන්නේ කොහොමද? c

වේදනාකාරී දේවල් සිදු වන්නේ ඇයි?

ඔබව යටපත් කර දමන චිත්තවේගයන් පාලනය කරගත හැකි හොඳම ක්‍රමය නම් ඔබ සතු “පැහැදිලිව සිතීමේ හැකියාව” දියුණු කරගැනීමයි. (2 පේතෘස් 3:1, NW) කාරණා කටයුතු දෙස අනවශ්‍ය ලෙස හැඟීම්බර නොවී දෙවි මෙන් අවබෝධයෙන් යුතුව හා සාධාරණව බලන්න. ඒ වගේම බොහෝ විපත් සිදු වන්නේ “කාලයත් හදිසි කාරණාත්” නිසයි කියන එකත් ඔබ අමතක කරන්න එපා. (දේශනාකාරයා 9:11) මීට උදාහරණයක් හැටියට, සිලෝම්හි ටැඹ කඩා වැටීමේ සිද්ධිය යේසුස් ක්‍රිස්තුස් ගෙන හැර දැක්වුවා. එම සිද්ධියේදී පුද්ගලයන් 18දෙනෙක් මිය ගියා. විපතට හසු වූවන්ට එසේ සිදු වුණේ දෙවිගේ දඬුවමක් නිසා නෙමෙයි කියා යේසුස් පැහැදිලි කළා. ඔවුන් එම වේලාවේ එම ස්ථානයේ සිටි නිසයි මරණයට පත් වුණේ. (ලූක් 13:1-5, NW) මෙම කාරණය කල්පනාවට ගැනීමෙන් විපත්ති ගැන යථාර්ථවාදීව බැලීමට ඔබට හැකි වේවි.

අප පැහැදිලිව සිතනවා නම් ‘යෙහෝවාට විරුද්ධව නොකිපෙන’ අතර දුක්මුසු සිදුවීම් සඳහා ඔහුට දොස් තබන්නේද නැහැ. (හිතෝපදේශ 19:3) යෙහෝවා “සියලු සැනසිල්ලේ දෙවි” මිසක අපට සිදු වන අභාග්‍යසම්පන්න දේවලට හේතුව ඔහු නෙවෙයි. (2 කොරින්ති 1:3, NW) යම් විපතක් සිදු වූ විට අප ඔහුගෙන් ඈත් නොවී ඔහුට ළං විය යුතුයි. යාකොබ් 1:13හි [NW] සඳහන් දෙයත් කල්පනාවට ගත යුතුයි. එහි පවසන්නේ ‘පරීක්ෂා කරනු ලබද්දී, ‘මාව දෙවි විසින් පරීක්ෂා කරනු ලබයි’ යයි කිසිවෙක් නොකියාවා. මන්ද, නපුරු දෙයින් දෙවිව පරීක්ෂා කළ නොහැක. ඔහුද නපුරු දෙයින් කිසිවෙකුව පරීක්ෂා කරන්නේ නැත.’ d

මෙම කාරණය නිදර්ශනය කිරීමට ශතවර්ෂ කිහිපයකට පෙර මැද පෙරදිග සිදු වූ සිද්ධිය දායක වෙයි. එම විපත්තියෙන් දිවි ගලවාගත් පුද්ගලයා කළ වාර්තාව බයිබලයේ අපට මෙසේ කියවීමට තිබෙනවා. “දෙවිගේ ගිනි අහසෙන් වැටී බැටළුවන්ටත් මෙහෙකරුවන්ටත් ඇවිළී, ඔවුන් දවා දැමුවේය.” (යෝබ් 1:16) මොනතරම් බියජනක විපතක්ද! බියට පත් එම මිනිසා සිතුවේ එය දෙවි විසින් කළ දෙයක් කියායි. ඒත් එයට දෙවිගේ කිසිදු සම්බන්ධයක් නැහැ. යෝබ් 1:7-12හි හෙළි කර තිබෙන විදිහට ගිනි හෙළුවේ දෙවි නොව, දෙවිගේ සතුරා වන යක්ෂයායි!

එය අතිසුවිශේෂී තත්වයක්. යෙහෝවා සාතන්ට විශේෂ අවසරයක් දෙනු ලැබුවා යෝබ්ගේ අඛණ්තාව පරීක්ෂා කරන්න. එමනිසා කුණාටු ගංවතුර වැනි ස්වභාවික විපත්වලට සාතන් කෙළින්ම වගකිව යුතුයි කියා නිගමනය කරන්න එපා. e එසේ වුවත්, “මුළු ලෝකයම දුෂ්ටයාගේ බලයට යටත්ව තිබෙන බව” බයිබලයේ අපට පවසනවා. (1 යොහන් 5:19, NW) එමනිසා ඔහු මහත් ව්‍යසනයන් කිරීමට මනුෂ්‍යයන්ව යොදාගන්නවා.

එනමුත් අප අසරණයි කියා සිතිය යුතු නැහැ. බයිබලයේ 1 සාමුවෙල් 22:12-23හි සඳහන් වී තිබෙන තවත් සිද්ධියක් සලකා බලන්න. එහිදී අපට කියවන්න ලැබෙනවා විශ්වාසවන්ත පූජකයන් සහ ඔවුන්ගේ පවුල් විශාල වශයෙන් ඝාතනයට ලක් වූ ආකාරය. මෙම අමානුෂික ඝාතනය කිරීමට සාවුල් රජුව පෙලඹීමට සාතන් යමක් කරන්න ඇති බවට කිසිම සැකයක් නැහැ. රජ පදවියට පත් ඇදහිලිවන්ත දාවිත් 52වන ගීතිකාව ලියන අවස්ථාවේ ව්‍යසනකාරී දේට වගකිව යුතු දුෂ්ට මනුෂ්‍යයන්ව දෙවි විනාශ කරන බවට ඔහු මහත් විශ්වාසයකින් යුතුව සඳහන් කළා.—ගීතාවලිය 52:5.

යක්ෂයාගේ අනුබලය ඇතිව අද දින සිදු වන මිනී මැරීම් සහ හිංසාවන් දිගින් දිගටම පැවතීමට දෙවි ඉඩ දෙන්නේ නැහැ. ඒ ගැන ඔබට ස්ථිර විය හැකියි. මන්දයත් දෙවි තම පුත්‍රයා වන යේසුස් මගින් ඉතාමත් ඉක්මනින් “යක්ෂයාගේ ක්‍රියා විනාශ කරන” බව බයිබලයේ සහතික කරනවා. (1 යොහන් 3:8) එවිට සාතන් විසින් සිදු කළ ව්‍යසනයන් පිළිබඳ අල්ප මාත්‍රයක සේයාවක්වත් සොයාගැනීමට නොහැකි වෙයි. ප්‍රචණ්ඩකාරී හෝ ත්‍රස්තවාදී ක්‍රියා නිසා සිදු වූ හදිසි විපත්වලින් මිය ගිය අයව නැවත නැඟිටවීම තුළින් ජීවනයට ගෙන ඒමටත් දෙවිට හැකියි.—ක්‍රියා 24:15.

සාර්ථකව මුහුණ දීමට ප්‍රායෝගික පියවර

මෙම බයිබලය මත පදනම් බලාපොරොත්තුව නිසා අනවශ්‍ය බියක් ඇති කරගැනීමෙන් වැළකිය හැකියි. ඒ වගේම ඔබට ගත හැකි ප්‍රායෝගික පියවර කිහිපයක් තිබෙනවා. හිතෝපදේශ 12:25හි තිබෙන ප්‍රතිපත්තිය නිදසුනක් ලෙස සලකා බලන්න. එහි පවසන ආකාරයට ඔබ ඔබේ හැඟීම් අන් අයට ප්‍රකාශ කළොත් පමණයි දිරිගන්වනසුලු ‘කාරුණික වචනයක්’ අසන්න ලැබෙන්නේ. එසේ කිරීමෙන් ඔබ අද්දකින දුෂ්කරතාවන්වලට ඔබ තනිව මුහුණ නොදෙන බව වටහාගන්නත් හැකි වෙනවා. ඔබ වේදනාවකින් පෙළෙනවා නම් ඔබේ හැඟීම් ඔබේ දෙමාපියන්ට හෝ ක්‍රිස්තියානි සභාවේ මේරූ සාමාජිකයෙකුට කීමට උත්සාහ කරන්න. f

තවත් යෝජනාවක්: විපත් පිළිබඳව රූප මාධ්‍යය ඔස්සේ පෙන්වන වැඩසටහන් ඕනෑවට වඩා නරඹන්න එපා. එසේ කළ විට එම රූප දසුන් ඔබේ මනසෙන් මකා දැමීම ඉතාමත් අමාරු කාර්යයක් වෙනවා.—ගීතාවලිය 119:37.

ඔබ ක්‍රිස්තියානියෙක්ද? එසේ නම් ඔබේ ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල නිරත වෙන්න. (ෆිලිප්පි 3:16) අනෙක් ක්‍රිස්තියානීන් සමඟ රැස්වීම්වලට සහභාගි වීමත් ඔබේ ඇදහිල්ල ගැන අන් අයට කීමත් මීට ඇතුළත් වෙනවා. (හෙබ්‍රෙව් 10:23-25) එවැනි දේ අසහනකාරී සිතුවිලිවලින් ගොඩ ඒමට රුකුලක් වෙයි. ඔබ ඔබ විසින්ම තනාගත් ලෝකයක තනිවීමෙන් සිදු වන්නේ විත්තවේගීයවත් ආත්මිකවත් ඔබ ඔබටම හානි කරගැනීම පමණයි.—හිතෝපදේශ 18:1.

කුමනාකාරයේ පීඩාකාරී තත්වයකට මුහුණ දුන්නද නොකඩවාම දිනපතා බයිබලය කියවීම උපකාරයකි. ලොරෙන් නමැති යෞවනියගේ මව පිළිකාවක් වැලඳී මරණාසන්න තත්වයට පත් වුණා. ලොරෙන් මෙම තත්වයට මුහුණ දුන්නේ කෙසේද කියා බලන්න. “මට මතකයි ඒ පීඩාකාරී කාලයේ මම කිහිපවිටක්ම යෝබ් පොත කියෙව්වා. ගීතාවලිය පොතත් මට සැනසීමක් ගෙන දුන්නා. ශුද්ධ ලියවිල්ලේ සැනසිලිදායක වදන් කියවනකොට මට දැනුණේ හරියට යෙහෝවා මාව වැලඳගන්නවා වගේයි.” ඒ වගේම ඇගේ නංගි මිෂේල් මෙසේ තම අතීත සිදුවීම් මතකයට නඟනවා. “මම එක දවසක් හරි බයිබලය නොකියවා හිටියොත් වෙනස හොඳට දැනෙනවා. ඉබේටම මහා අශුභවාදී දේවල් ගැන මම හිතන්න පටන්ගන්නවා. හැම දවසකටම මුහුණ දෙන්න අවශ්‍ය ආත්මික ශක්තිය මට බයිබල් කියවීම තුළින් ලැබුණා.”

ඔබ යම් කෙනෙකුගේ වියෝවීම, විශේෂයෙන්ම ඔබ ආදරය කරන කෙනෙකුගේ වියෝවෙන් වේදනා විඳිනවා නම් ඔබ ප්‍රේම කරන යමෙක් මිය ගිය විට g යන විවරණිකාව කියවීමෙනුත් සහනයක් සොයාගත හැකියි. එහි සඳහන් කර ඇති සියලුම බයිබල් පද කියවීමටත් ඒවා ගැන මෙනෙහි කිරීමටත් අමතක කරන්න එපා. නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැනත් කල්පනා කරන්න. “මගේ අම්මා නැවත නැඟිටලා එන විදිහ මම හිතෙන් මවාගන්නවා. අම්මා ඇවිල්ලා, ‘මම ආවා, මොනවාද රෑ කෑමට හදලා තියෙන්නේ?’ කියලා අහන හැටි මම හිතනවා. එතකොට මගේ මුහුණට සිනාවක් නැඟෙනවා” කියා ලොරෙන් පවසනවා.

යාච්ඤාව තුළින් යෙහෝවා මත රඳා සිටීමෙන් ඉතාමත් ඛේදනීය සිදුවීම් විඳදරාගන්න අවශ්‍ය ශක්තිය ලැබෙයි. ලොරෙන් අතීතය මෙසේ ආවර්ජනය කරනවා. “මගේ අම්මා අවසන් හුස්ම පොද හෙළනකොට මම කාමරේ හිටියා. මෙය දරාගන්න ශක්තිය දෙන්න කියලා මම යෙහෝවාට ඉක්මනට යාච්ඤා කළා. මට දෙවිගේ සමාදානය දැනෙන්න වැඩි වේලාවක් ගියේ නැහැ.” ඔබේ වේදනාව ගැන හැකි තාක් යෙහෝවාට යාච්ඤා කරන්න. ඔබට හැඟෙන දේ ඔහුට දන්වන්න. ‘දෙවි ඉදිරියේ නුඹලාගේ සිත් වගුරුවන්න’ කියා ගීතිකාකරු උනන්දු කරනවා.—ගීතාවලිය 62:8.

ඉදිරියේදී තව තවත් මේ පොළොවේ විපත්ති සිදු වන බව නම් නිසැකයි. (2 තිමෝති 3:13) නමුත් බයිබලයේ පොරොන්දුව මෙයයි. “නපුරු ක්‍රියා කරන්නෝ සිඳිනු ලබන්නෝය . . . නමුත් මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුම කරගන්නෝය. ඔව්හු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.” (ගීතාවලිය 37:9-11, 29) මෙම බලාපොරොත්තුව සිතේ දීප්තිමත්ව තබාගැනීමෙන් හදිසි විපත්ති සිදු වූ විට ඔබට සාර්ථකව ඒවාට මුහුණ දිය හැකියි.

[පාදසටහන්වල]

a සමහර නම් වෙනස් කර තිබෙනවා.

b මානසික සෞඛ්‍ය විශේෂඥයෙක් පැවසුවේ චිත්තවේගීය වශයෙන් කම්පනයක් සිදු වූ විට හැඟීම් නොදැනීම, බියකරු සිහින දැකීම, හුදෙකලාව සිටීම, සාමාන්‍ය කටයුතු නවතා දැමීම, වරදකාරී බවක් සහ කෝපයක් දැනීම වැනි ලක්ෂණ දක්නට ලැබෙන බවයි.

c මෙම ලිපිය මගින් විශේෂයෙන් ජීවිත ගණනාවක් බිලිගන්නා විපත්තිවලට අවධානය යොමු කෙරුණද, එහි උපදෙස් තමා ආදරය කළ කෙනෙකුගේ වියෝව වැනි පෞද්ගලික මට්ටමින් සිදු වන විපත්තිවලටද අදාළ වෙයි.

d දෙවි දුෂ්ටකම පවතින්න ඉඩ දී තිබෙන්නේ මන්ද යන කාරණය දැනගැනීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන එකම සැබෑ දෙවිට නමස්කාර කරන්න යන ප්‍රකාශනයේ 7වන පරිච්ඡේදය බලන්න.

e වර්ෂ 1974 දෙසැම්බර් 1 මුරටැඹ කලාපයේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” යන ලිපිය බලන්න—සිංහලෙන් නැත.

f දැඩි විත්තවේගී වේදනාවකින් හෝ අවපීඩන තත්වයකින් පෙළෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාරයක් අවශ්‍ය විය හැකියි.

g යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

[14වන පිටුවේ පින්තූරය]

විපත්ති පිළිබඳව ජනමාධ්‍යය ඔස්සේ පෙන්වන රූප නැරඹීම සීමා කිරීම නැණවත්