Skip to content

පටුනට යන්න

ඇයි මේ හැම තැන කාමුක දර්ශන?

ඇයි මේ හැම තැන කාමුක දර්ශන?

ඇයි මේ හැම තැන කාමුක දර්ශන?

ලිංගික හැඟීම් ඇවිස්සීමට අසභ්‍ය දේවල් නිපදවීම වසර දහස් ගණනක් ඈතට දිව යන්නක්. එහෙත්, මෙම අසභ්‍ය දේවල් හා සම්බන්ධ ඉතිහාසයේ වැඩි හරියකම, කාමුක දර්ශන නිපදවීම ඉතා අසීරු කාර්යයක් වුණා. ඒ නිසා ඒවා මූලික වශයෙන් ලබාගත හැකිව තිබුණේ ධනවත් හා පාලක පංතිවල අයට පමණයි. මහා පරිමාණයේ මුද්‍රණ කටයුතු, ඡායාරූපකරණය හා චලන චිත්‍ර හෙවත් චිත්‍රපට නිපදවීමත් සමඟ ඒ සියල්ල වෙනස් වුණා. මේ නිසා ධනවතුන් නොවන අයටද මෙම කාමුක දර්ශන මිල දී ගන්නටත් ඒවා ලෙහෙසියෙන් ලබාගන්නටත් හැකිකම ලැබුණා.

වීඩියෝ කැසට් රෙකෝඩරයේ දියුණුවත් සමඟම මේ ප්‍රවණතාව තවත් වැඩි වුණා. සිනමා පට සහ පැරණි ඡායාරූප මෙන් නොව, වීඩියෝ කැසට් පට ගබඩා කරන්නටද, පිටපත් කරන්නටද, බෙදාහරින්නටද පහසුයි. ඒ වගේම නිවසේ ඉඳන් පෞද්ගලිකව ඒවා නරඹන්නටත් පුළුවන්. මෑතකදී, කේබල් රූපවාහිනී පද්ධති වේගයෙන් ව්‍යාප්ත වීම නිසාත් අන්තර්ජාලීය පහසුකම් ලබාගත හැකිවීම නිසාත් කාමුක දර්ශන නැරඹීම මීටත් වඩා පහසු වී තිබෙනවා. වීඩියෝ සාප්පුවක වැඩිහිටියන්ට පමණක් වෙන් වුණු කොටසේ තමා සිටිනවා අසල්වැසියෙකු විසින් දකිනවාට භය වූ පාරිභෝගිකයෙකුට දැන් පුළුවන්, “නිවසේ සිට බොත්තමක් තද කර, ඇණවුම් කර, තමන්ගේ කේබල් පද්ධතියට හෝ රූපවාහිනියට ඒවා සම්බන්ධ කරගන්න,” යයි මාධ්‍ය විශ්ලේෂක ඩෙනිස් මැක්ඇල්පන් පවසනවා. මැක්ඇල්පන් කියන විදිහට, මේ ආකාරයේ වැඩසටහන්වලට පහසුවෙන් සම්බන්ධ වීමට හැකිකම තිබීම, “බොහෝදෙනෙකු අතර මේවාට පිළිගැනීමක් ලැබීමටද දායක වී තිබෙනවා.”

කාමුක දර්ශන සාමාන්‍ය දෙයක් බවට පත් වෙයි

කාමුක දර්ශන සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබීම නිසා බොහෝදෙනෙකුට ඒ ගැන තිබෙන්නේ මිශ්‍ර වූ හැඟීම්. “දැනටමත් මෙය අපගේ ඔපෙරාවන්, නාට්‍යයන්, සිනමාව, සංගීතය හා මූර්ති කලාවට වඩා අපගේ සංස්කෘතියට බොහෝ සෙයින් බලපෑම් කර තිබෙනවා,” යයි ජර්මේන් ග්‍රියර් නමැති ලේඛිකාව පවසනවා. කාමුක දර්ශන කෙරෙහි නවීන ආකල්පයන් විවිධ ආකාරවලින් පිළිබිඹු විය හැකියි. ඒවා නම්, සුප්‍රකට ජනප්‍රිය නළු නිළියන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් ගණිකාවන් ඇඳ පළඳින ආකාරයට ඇන්ද විට, ‘මේක තමයි දැන් තිබෙන අලුත්ම විලාසිතාව’ යන අදහස නරඹන්නාගේ මනසට ඇතුල් කිරීම, වැඩි වැඩියෙන් ලිංගිකත්වය හුවාදක්වන පසුබිම් දර්ශන ඇතුළත් සංගීත වීඩියෝ පට, කාමුක දර්ශන රැගත් වෙළඳ දැන්වීම් සහ වෙනත් වැඩසටහන් ජනමාධ්‍යය මගින් ප්‍රචාරය කිරීම. මැක්ඇල්පන්ගේ නිගමනය මෙයයි. “ජනමාධ්‍යය තුළින් හැන්දෙන් පොවන දේවල් සමාජය විසින් පිළිගන්නවා. . . . ඉතින් ‘මේ සේරම කමක් නැහැ’ යන ආකල්පය පොදුවේ පිළිගන්වන්නට ක්‍රියා කරන්නේ ජනමාධ්‍යයයි.” මෙහි ප්‍රතිඵලය තමයි, “මිනිස්සුන්ට කිසිම සංවේදනයක් හෝ කම්පනයක් දැනෙන බවක් පෙනෙන්නට නොතිබීම,” කියා ලේඛක ඇන්ඩ්‍රියා ඩ්වෝර්කින් සඳහන් කරන්නේ ඉතා කනගාටුවෙන්. “පේන විදිහට නම්, මිනිස්සුන්ට ගානක් නැහැ වගේ.”

කාමුක දර්ශන සාධාරණීකරණයේ සුල මුල

ඩ්වෝර්කින් නම් ලේඛිකාවගේ අදහස් ප්‍රතිනාද කරමින්, විශ්‍රාම ලත් FBI නියෝජිතවරයෙකු වන රොජර් යං පෙන්වා දෙන්නේ, බොහෝදෙනෙකු “අසභ්‍ය පින්තූරු මගින් සමාජයට ඇති කරන බරපතළ හානිය දකින්නේ නැති” බවයි. කාමුක දර්ශන නැරඹීමෙන් මිනිසුන්ට කිසිම හානිදායක බලපෑමක් ඇති වෙන බවට කිසිදු සාක්ෂියක් නැතැයි කියමින් ඒවාට පක්ෂව කතා කරන අයගේ මතයට ඇතමුන් යට වෙනවා. “කාමුක දර්ශන ඇතුළත් පින්තූරු කියන්නේ මනඃකල්පිත දෙයක් මිසක්, ඇත්ත පින්තූරු නෙවෙයිනේ. පේන විදිහට මේවාට විරුද්ධ වෙන අයට මෙන්න මේ ටික තේරුම්ගන්නට බැහැ” යනුවෙන් ලේඛක එෆ්. එම්. ක්‍රිස්ටන්සන් පවසනවා. නමුත්, මේ මනඃකල්පිත දේට කිසිම බලපෑමක් කරන්නට බැරි නම්, වෙළඳ ප්‍රචාරයේ යෙදී සිටින්නන් රඳා පවතින්නේ කුමක් මතද? වෙළඳ දැන්වීම්වලින් ජනතාව කෙරෙහි බලපෑමක් ඇති කරන්නට බැරි නම්, යම් යම් ආයතන සහ සමාගම් ඩොලර් මිලියන ගණන් වැය කරමින් වෙළඳ දැන්වීම් ඇතුළත් වැඩසටහන්, වීඩියෝ සහ මුද්‍රිත දැන්වීම් නිපදවන්නේ ඇයි?

යථාර්ථය නම්, සියලුම සාර්ථක වෙළඳ ප්‍රචාරයන්වල මෙන්ම කාමුක දර්ශනවලද ප්‍රධාන අරමුණ වන්නේ කිසිදා නොපැවති ලිංගික රුචියක් මිනිසුන් තුළ ඇති කරලීමයි. “කාමුක දර්ශන නිපදවීමට ප්‍රධාන හේතුව ලාභ ලැබීම හා මුදල් ඉපයීම මිස වෙන කිසිවක් නොවේ” යයි ස්ටීවන් හිල් සහ නිනා සිල්වර් නමැති ලේඛකයන්ගේ අදහසයි. “වෙළඳපොළ උමතු වෙලා. ලාභ ලැබිය හැකි ඕනෑම දෙයක් වෙළඳපොළේ විකුණනවා. විශේෂයෙන්ම කාන්තාවන්ගේ සිරුරු සහ මිනිස් ලිංගික සම්බන්ධතා විකුණනවා.” ග්‍රියර් නම් ලේඛිකාව මෙම කාමුක දර්ශන සමාන කරන්නේ පෝෂණයෙන් ඌන, රසකාරක හා රසායනික ද්‍රව්‍ය යොදා ඇති, බොහෝදෙනෙක් ඇබ්බැහි වෙන, ඉක්මනින් විකිණෙන ක්ෂණික ආහාරවලටයි. “ලිංගිකත්වය වෙළඳාම් කිරීම ලිංගිකත්වය විකෘති කිරීමකි. . . . වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරමින් විකුණන පෝෂණයෙන් ඌන ආහාර වර්ග අලෙවි කිරීමේදී ඒවායේ ගුණය පිළිබඳව කෙරෙන විස්තරය ව්‍යාජ එකකි. එසේම ලිංගික දැන්වීම් මගින් ප්‍රචාරය කරමින් විකුණන ලිංගිකත්වයද ව්‍යාජ එකකි.”

ඇතැම් වෛද්‍යවරුන් පවසන්නේ කාමුක දර්ශන මගින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමටත් වඩා දරුණු ඇබ්බැහි වීමක් ඇති කළ හැකි බවයි. සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර කිරීම ආරම්භ වෙන්නේ එම තැනැත්තාගේ සිරුරෙන් එම මත්ද්‍රව්‍යයන් ඉවත් කිරීම සඳහා යම් කාලයකට සම්පූර්ණයෙන්ම එයින් වැළකී සිටීමට උපදෙස් දීමෙන් හා වෙනත් ඖෂධ දීම මගින්. නමුත් කාමුක දර්ශන බැලීමට ඇබ්බැහි වීමේ ප්‍රතිඵලයක් ලෙස “බලන අයගේ මනසේ තදින් නොමැකෙන සේ කාවැදී ඇති මානසික රූප නිපදවා තිබෙන අතර, මොළයේ රසායනික ක්‍රියාකාරිත්වය මගින් එම දර්ශන මොළයට තදින් කාවැදී ඇතැයි” පෙන්සිල්වේනියාවේ ආචාර්ය මේරි ඈන් ලේඩන් පවසනවා. එවන් පුද්ගලයන්ට වසර ගණනාවකට කලින් පවා දුටු කාමුක දර්ශන යළි යළිත් මතක් කිරීමට හැකි වෙන්නේ ඒ නිසයි. “ඖෂධ දීමෙන් හා තාවකාලිකව නැවතීමෙන් සුව කළ නොහැකි එකම ඇබ්බැහි වීම මෙයයි” යනුවෙන් ඇය නිගමනය කරයි. එහෙත්, මින් අදහස් කරන්නේ කාමුක දර්ශනවල බලපෑමෙන් ගැලවෙන්නට බැරි බවද? කාමුක දර්ශන මගින් ඇති කරන සුවිශේෂී හානිකර තත්වයන් මොනවාද?

[5වන පිටුවේ කොටුව]

අන්තර්ජාලයේ කාමුක දර්ශන පිළිබඳ යථාර්ථය

◼ අන්තර්ජාලයේ එන කාමුක දර්ශනවලින් සියයට 75ක් පමණ නිපදවෙන්නේ එක්සත් ජනපදයේයි. ඉන් සියයට 15කට ආසන්න ප්‍රමාණයක් යුරෝපයේ නිපදවෙනවා.

◼ මිලියන 70ක් පමණ ජනකායක් සතිපතා කාමුක දර්ශන ඇතුළත් වෙබ් අඩවිවල සැරිසරන බව ගණන් බලා තිබෙනවා. මේ අයගෙන් මිලියන 20ක්ම කැනඩාවේ සහ එක්සත් ජනපදයේ අන්තර්ජාලය භාවිත කරන්නන්.

◼ මෑතකදී මාසයක් ඇතුළත කරන ලද අධ්‍යනයකදී හෙළි වූයේ, යුරෝපයේ රටවල් අතුරින් වැඩිම ප්‍රමාණයක අන්තර්ජාලීය කාමුක දර්ශන නරඹා ඇත්තේ ජර්මනියේ බවයි. ඊළඟට, මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඉතාලිය සහ ස්පාඤ්ඤය පිළිවෙළින් ඒ අතර වෙයි.

◼ ජර්මනියේ අන්තර්ජාලීය කාමුක දර්ශන නරඹන්නන් සෑම මසකම දළ වශයෙන් විනාඩි 70ක් ඒවා නැරඹීම සඳහා මිඩංගු කරනවා.

◼ යුරෝපයේ අන්තර්ජාලීය කාමුක දර්ශන නරඹන්නන් අතර, අසභ්‍ය දේ ඇතුළත් වෙබ් අඩවිවල වැඩිම කාලයක් ගත කරන්නේ වයස අවුරුදු 50කට වැඩි අයයි.

◼ එක් මූලාශ්‍රයකට අනුව, අන්තර්ජාලීය කාමුක දර්ශනවලින් සියයට 70ක්ම විකාශය වෙන්නේ දවල් කාලයේදීයි.

◼ අන්තර්ජාලීය වෙබ් අඩවිවලින් අඩවි 1,00,000ක් පමණ ළමා කාමුක දර්ශන ඇතුළත් ඒවා බව ගණන් බලා තිබෙනවා.

◼ වාණිජ වශයෙන් නිපදවෙන අන්තර්ජාලීය ළමා කාමුක දර්ශන අතුරින් සියයට 80ක්ම නිපදවෙන්නේ ජපානයේයි.

[4වන පිටුවේ පින්තූර]

කාමුක දර්ශන ඉතා පහසුවෙන් ලබාගත හැකි තත්වයට පත්ව තිබෙනවා