Skip to content

පටුනට යන්න

කාමුක දර්ශනවලින් සිදු වන හානිය

කාමුක දර්ශනවලින් සිදු වන හානිය

කාමුක දර්ශනවලින් සිදු වන හානිය

සියලුම ආකාරයේ ලිංගික තොරතුරු රූපවාහිනිය, චිත්‍රපට, පසුබිම් දර්ශන ඇතුළත් ගීත සහ අන්තර්ජාලය හරහා ඉතාමත් පහසුවෙන් ලබාගත හැකියි. කිසිම ඉවක් බවක් නැතිව දසත පැතිර ඇති ලිංගික රූප ඇතුළත් මේ කාමුක දර්ශනවලින් කිසිම හානියක් නැහැ කියායි බොහෝදෙනෙක් විශ්වාස කරන්නේ. අපත් එලෙසම විශ්වාස කළ යුතුද? a

කාමුක දර්ශනවලින් වැඩිහිටියන්ට ඇති බලපෑම

කාමුක දර්ශන සාධාරණීකරණය කරන්නවුන් කුමක් කීවත් ලිංගික සම්බන්ධකම් හා ලිංගික චර්යාව ගැන ජනයා දරන දෘෂ්ටිය කෙරෙහි එයින් ඉතා ගැඹුරු ඍණ බලපෑමක් තිබෙනවා. පවුල් පර්යේෂණ සහ අධ්‍යාපනය සඳහා වූ ජාතික පදනමේ පර්යේෂකයන්ගේ නිගමනය වූයේ, “කාමුක දර්ශන නරඹන අය තුළ සම්මත ලිංගික චර්යාවන්ගෙන් බැහැර වී යෑමේ ප්‍රවණතාවක් ප්‍රවර්ධනය වීමට බලවත් අවදානමක් තිබෙන” බවයි. එක් වාර්තාවකට අනුව, “ස්ත්‍රී දූෂණ මිථ්‍යාව (ස්ත්‍රීන් තමන්ව දූෂණය කරනු ලැබීමට කැමතිය සහ එයින් වින්දනයක් ලබනවාය සහ ස්ත්‍රී දූෂකයන් යනු සාමාන්‍ය අයය යන මතය) පුරුද්දක් ලෙස කාමුක දර්ශන නරඹන පිරිමින් තුළ ඉතා පුළුල් ලෙස පැතිර ඇති මතයකි.”

නිතර නිතර කාමුක දර්ශන නරඹන අය තුළ සාමාන්‍යයෙන් විවාහක ලිංගික සම්බන්ධතා පැවැත්වීමටත් ඒ තුළ වින්දනයක් ලැබීමටත් ඇති හැකියාවට බරපතළ ලෙස හානි සිදු වන බව ඇතැම් පර්යේෂකයන් පවසනවා. ලිංගික දේවලට ඇබ්බැහි වී සිටින්නන්ට ප්‍රතිකාර කිරීමේ විශේෂඥයෙක් වන වෛද්‍ය වික්ටර් ක්ලයින්, කාමුක දර්ශන නරඹන්නන් එම දර්ශන එක වතාවක් පමණක් නැරඹීමෙන් සෑහීමට පත් නොවන බවත්, නරඹන දේ එන්ට එන්ටම ඉතා පහත් ගණයේ ඒවා බවත් වටහාගත්තා. මේ ගැන පරෙස්සම් නූණොත්, ඉඳ හිට හෝ අහම්බෙන් කාමුක දර්ශන බැලීම අන්තිමේදී ඉතා දරුණු අස්වාභාවික කාමුක ජවනිකා බැලීමට තුඩු දිය හැකියි. මෙය ඉතා විකෘති අස්වාභාවික ලිංගික ක්‍රියාවලට මඟ පෑදිය හැකි බව ඔහුගේ අදහසයි. මිනිස් චර්යාව ගැන හදාරන විද්‍යාඥයන් මීට එකඟයි. “මේ අන්දමින් අසම්මත අස්වාභාවික ඕනෑම ආකාරයේ ලිංගික ක්‍රියාවක නියැලීමට ආශාවක් ඇති වන්නට පුළුවන. . . . ඉතා තදබල වරදසහගත හැඟීමකින් පවා එය යටපත් කළ නොහැක” යයි වෛද්‍ය ක්ලයින් වාර්තා කරනවා. අන්තිමේදී, කාමුක දර්ශනවල පෙන්වා ඇති මනඃකල්පිතයන් සැබෑවටම ක්‍රියාත්මක කරන්නට නරඹන්නා පෙලඹිය හැකි අතර, මින් බොහෝ විට සිදු වෙන ප්‍රතිඵලය ඉතා දරුණු මෙන්ම හානිකරයි.

ක්ලයින් නිගමනය කළේ මේ ගැටලුව කෙමෙන් කෙමෙන් වර්ධනය වී කිසි කෙනෙකුට නොදැනෙන පරිදි හෙමිහිට ඉදිරියට යා හැකි බවය. ඔහු ප්‍රකාශ කරන්නේ මෙයයි. “එය වර්ධනය වී පැතිරෙන්නේ හරියටම පිළිකාවක් මෙනි. එය ඉබේම වගේ යටපත් වන්නේ කලාතුරකිනි. එයට ප්‍රතිකාර කිරීම හා සුව කිරීම හරිම දුෂ්කරයි. මීට ඇබ්බැහි වී සිටින පිරිමි මේ ගැටලුව තමන්ට තිබෙන බව ප්‍රතික්ෂේප කිරීම සාමාන්‍යයෙන් සිදු වන, අපේක්ෂා කළ හැකි දෙයයි. මේ නිසා මෙය සෑමවිටම විවාහක යුවළක් අතර ආරවුල් හා ගැටලුවලට තුඩු දෙයි. සමහරවිට දික්කසාදයෙන් එය කෙළවර වෙයි. එසේ නැතහොත් ඔවුන් අතර පවතින සමීප විවාහ සම්බන්ධතා කඩා වැටීමටද ඉඩ තිබෙනවා.”

තරුණයන්ට ඇති වන හානිය

කාමුක දර්ශන මූලික වශයෙන්ම නරඹන්නේ වයස අවුරුදු 12ත් 17ත් අතර පිරිමි ළමුන් බවයි සංඛ්‍යා ලේඛනවලින් පෙන්නුම් කරන්නේ. ඇත්තෙන්ම, බොහෝදෙනෙකු ලිංගික අධ්‍යාපනය ලබන මූලික ක්‍රමය නම් කාමුක දර්ශනයි. මේ නිසා ඉතා ගැටලුසහගත සංකූලතා ඇති වී තිබෙනවා. එක් වාර්තාවක් පවසන්නේ මෙහෙමයි. “ලිංගික අපචාරී ක්‍රියාවල යෙදීම නිසා නහඹර වියේ සිටින තරුණියන් ගැබ්ගන්නා බව හෝ ඒඩ්ස් වැනි ලිංගිකව බෝවෙන රෝගවලට ඔවුන් ගොදුරු වන බව කාමුක දර්ශනවලින් කිසිම විටකත් නරඹන්නාට ඒත්තුගන්වන්නේ නැහැ. මෙලෙසින් කාමුක දර්ශනවල හුවා දැක්වෙන අශ්ලීල හැසිරීම්වලින් කිසිම අහිතකර විපාකයක් විඳින්නට සිදු වෙන්නේ නැතැයි යන බොරු අදහසක් තමයි නරඹන්නාගේ සිතට ඇතුල් කරන්නේ.”

කාමුක දර්ශන නරඹන ළමයෙකුගේ මොළයේ ස්වාභාවික වර්ධනයට එම දර්ශන ඉතා දරුණු බලපෑමක් කරන බව ඇතැම් පර්යේෂකයන්ගේ අදහසයි. ජනමාධ්‍ය පිළිබඳ ආයතනයේ සභාපති වන ආචාර්ය ජුඩිත් රයිස්මාන්ගේ නිගමනය මෙයයි. “කාමුක දර්ශනවලින් දිස් වෙන රූප සහ හඬවලට ඒවා නරඹන අයගේ මොළයන් සහජයෙන්ම දක්වන ප්‍රතිචාර ගැන ස්නායු විශේෂඥයන් කළ පරීක්ෂණවලින් පෙනී යන කරුණක් නම්, ඒවා නැරඹීම නිසා ස්වාභාවික ලෙස පණිවුඩ භාරගැනීමට මොළයට ඇති හැකියාව අභිභවා යමින් ජීව විද්‍යාත්මකව මොළයේ සෛලවල පිහිටීම වෙනස් කරන බවයි. එනම්, දරුවන්ගේ සකස් කරනු ලබමින් තිබෙන මොළවලට ඒ තත්වය හානිකරය යන්නයි. මන්ද ඔවුන්ට යථාර්ථය අවබෝධ කරගැනීමට ඒ මගින් දුෂ්කර වන හෙයිනි. මේ නිසා, එය ඔවුන්ගේ මානසික හා ශාරීරික සෞඛ්‍යයද ඔවුන්ගේ සුභසාධනයද සතුටද උවදුරේ හෙළයි.”

මිනිස් සබඳතා කෙරෙහි ඇති කරන බලපෑම්

කාමුක දර්ශනවලින් සිදු වන තවත් ප්‍රතිඵලයක් නම්, පුද්ගලයන්ගේ ආකල්ප හා චර්යාවන් වෙනස් කිරීමයි. ඒවායේ එන පණිවුඩ මනඃකල්පිත බැවින් ඒවා මුළුමනින්ම පොලඹවනසුලුයි. මෙලෙසින් සැබෑ යමකට වඩා බෙහෙවින් ප්‍රබෝධය දනවන දෙයක් ලෙසටයි ඒවා ඉදිරිපත් කෙරෙන්නේ. (“ඔබ පිළිගන්නේ කිනම් පණිවුඩයද?” යන කොටුව බලන්න) “කාමුක දර්ශන නරඹන පුද්ගලයන් යථාර්ථවාදී නොවන දේවල් අපේක්ෂා කිරීමට යෑමෙන් සිදු වෙන්නේ මිනිස් සබඳතා බිඳගැනීම” යයි එක් වාර්තාවක සඳහන් වෙනවා.

කාමුක දර්ශනවලින් විශේෂයෙන්ම විවාහයක් තුළ අත්‍යවශ්‍යම වන විශ්වාසය හා විවෘතභාවය යන ගුණාංග විනාශ කිරීමට පුළුවන්. ඒවා මූලික වශයෙන් නරඹන්නේ හොර රහසේ නිසා ඒ ගැන බොරු කිරීමටත් යම් පුද්ගලයන්ව රැවටීමටත් පෙලඹෙනවා. මේ නිසා කලත්‍රයන්ට ඇති වන්නේ තමන්ව පාවා දී තිබෙනවා යන හැඟීමක්. තමන්ගේ සහකරුවා හෝ සහකාරිය තමන් ගැන තවත් උනන්දුවක් නැත්තේ ඇයි කියා ඔවුන්ට වටහාගන්නට බැහැ.

අධ්‍යාත්මික හානිය

කාමුක දර්ශන නැරඹීමෙන් අධ්‍යාත්මික වශයෙන් බරපතළ හානි සිදු වෙනවා. එය දෙවි සමඟ සම්බන්ධතාවක් ඇති කරගැනීමට උත්සාහ කරමින් සිටින පුද්ගලයෙකු කෙරෙහි සැබෑ බාධාවක් ඇති කරන්නට පුළුවන්. b ලිංගික රුචිය බයිබලයේ සම්බන්ධ කර ඇත්තේ තණ්හාවට හා රූප වැඳීමටයි. (කොලොස්සි 3:5) යමකට තණ්හා වන පුද්ගලයෙක් ඊට කොතරම් ආශා වෙනවාද කියතොත් ඔහු එය තම ජීවිතයේ ප්‍රධානතම දෙය බවට පත් කරගන්නේ අනිකුත් සියල්ලටම ඇති ආශාව අභිභවා යමින්. ඇත්තවශයෙන්ම, කාමුක දර්ශනවලට ඇබ්බැහි වූවන් තමන්ගේ ලිංගික ආශාව, දෙවිටත් වඩා ඉහළිනුයි තබන්නේ. මෙසේ ඔවුන් ඒක රූපයක් කරගන්නවා. යෙහෝවා දෙවිගේ ආඥාවට අනුව ‘මා ඇර අන් දෙවිවරුන් ඇතුව නොසිටිය’ යුතුයි.—නික්මයාම 20:3.

කාමුක දර්ශන ප්‍රේමණීය සම්බන්ධතා විනාශ කර දමනවා. විවාහකයෙකු වූ ප්‍රේරිත පේතෘස්, ක්‍රිස්තියානි ස්වාමි පුරුෂයන්ගෙන් උදක්ම ඉල්ලා සිටියා තමන්ගේ භාර්යාවන්ට ගෞරව කරන්න කියා. එසේ කිරීමට අසමත් වෙන ස්වාමිපුරුෂයෙකු තේරුම්ගනීවි තමා දෙවිට කරන යාච්ඤාවලට බාධා ඇති වෙන බව. (1 පේතෘස් 3:7) ස්ත්‍රීන්ගේ අසභ්‍ය රූප හොර රහසේ නරඹන කෙනෙක් ඇත්තටම තමන්ගේම භාර්යාවට ගෞරවයෙන් සලකනවා කියා කියන්න පුළුවන්ද? ඒ බව දැනගන්න ලැබුණොත් ඇයට ඒ ගැන මොනවා හැඟේවිද? ‘සියලු ක්‍රියා විනිශ්චයට පමුණුවන,’ “ආත්ම කිරා බලන” දෙවි ඒ ගැන කුමක් සිතාවිද? (දේශනාකාරයා 12:14; හිතෝපදේශ 16:2) මේ අනුව, කාමුක දර්ශන නරඹන පුද්ගලයෙකුට තමන්ගේ යාච්ඤා දෙවි විසින් අසනු ලබාවි කියා අපේක්ෂා කිරීමට කිසිම හේතුවක් තිබිය හැකිද?

කාමුක දර්ශන නැරඹීම තුළ ප්‍රධාන වශයෙන්ම අවධාරණය කරන්නේ ඉන් ලැබෙන පල විපාක කුමක් හෝ වේවා ආත්මාර්ථකාමී වින්දනයන් අත් කරගැනීමයි. මෙබැවින්, කාමුක දර්ශන නැරඹීම ප්‍රේමය විරහිත දෙයක්. දෙවි ඉදිරියේ පවිත්‍රත්වය රැකගනිමින් ඔහු ඉදිරියේ පිරිසිදු සදාචාර ස්ථාවරයක් රැකගැනීමට ක්‍රිස්තියානියෙකු කරන සටන ඉන් දුර්වල කරයි. ප්‍රේරිත පාවුල් ලීවේ මෙසේයි. “දෙවි කැමති වන්නේ, ඔබ ශුද්ධව සිටිනවාටය. ඔබ වේශ්‍යාකමින් වැළකී සිටිය යුතුය. එකිනෙකා තම තමාගේ ශරීරය ශුද්ධව, ගෞරවයෙන් යුක්තව පාලනය කරගන්නේ කෙසේදැයි දැනගත යුතුය. . . . අධික කාම තෘෂ්ණාවෙන් යුක්තව නොසිටිය යුතුය. මේ කාරණයේදී කිසිවෙක් තම සහෝදරයාගේ අයිතිවාසිකම් උල්ලංගනය කිරීමවත් පැහැරගැනීමවත් නොකළ යුතුය.”—1 තෙසලෝනික 4:3-7, NW.

කාමුක දර්ශනවලින් විශේෂයෙන්ම සූරා කනු ලබන්නේ කාන්තාවන් හා ළමුන්වයි. එය ඔවුන්ව ඉතා පහත් තත්වයකට පමුණුවා ඔවුන්ගේ ගෞරවය සහ අයිතිවාසිකම් සොරාගනී. කාමුක දර්ශන නරඹන පුද්ගලයෙක් කරන්නේ එම සූරා කෑමට හවුල් වී ඊට දිරිදීමක්. “මිනිසෙක් තමා හොඳ පුද්ගලයෙක් කියා සිතා සිටියත්, ඔහු කාමුක දර්ශන වක්‍ර ආකාරයෙන් හෝ අනුමත කරයි නම්, ඔහු තමන් ගැනවත් තමන් විසින් සැලකිල්ල දක්වනවායයි ඔහු කියා සිටින අය ගැනවත් අඩුම තරමින් කිසිදු තැකීමක් ඔහු තුළ නැත. අනික් අතට ඔහුගේ ක්‍රියාකලාපයෙන් හෙළි වන්නේ ඔහු කාන්තා පක්ෂයට විරුද්ධව දැඩි ලෙස වෛර කරන බව හා ඔවුන්ව අවිශ්වාස කරන බවයි” යයි ස්ටීවන් හිල් සහ නිනා සිල්වර් නම් පර්යේෂකයන් දෙදෙනා පෙන්වා දෙනවා.

කාමුක දර්ශන නැරඹීමේ පුරුද්දෙන් මිදීම

ඔබ දැනට මේ කාමුක දර්ශන නැරඹීමේ පුරුද්දට ඇබ්බැහි වී ඒ සමඟ පොරබදමින්ද සිටින්නේ? එයින් සම්පූර්ණයෙන්ම මිදීමට ඔබට යමක් කළ හැකිද? බයිබලයේ ඒ සඳහා බලාපොරොත්තුවක් දී තිබෙනවා! මුල් ක්‍රිස්තියානීන් සමහරදෙනෙක් ක්‍රිස්තුස් ගැන දැනගැනීමට පෙරාතුව, වේශ්‍යාකම් කරන්නන්, පරදාර සේවනයේ යෙදෙන්නන් සහ ගිජු පුද්ගලයන් බවට පත් වෙලයි හිටියේ. “නමුත් ඔබව සෝදා පවිත්‍ර කර ඇත” කියා පාවුල් සඳහන් කළා. එහෙම කරන්නට හැකි වූයේ කොහොමද? ඔහු පිළිතුරු දුන්නේ මෙහෙමයි. ‘ඔබව විශුද්ධ කර ඇත. . . . ඒ අපගේ දෙවිගේ ආත්මයෙන්ය.’—1 කොරින්ති 6:9-11, NW.

දෙවිගේ ශුද්ධාත්මයේ බලය ගැන කිසි විටෙකත් අඩුවෙන් තක්සේරු කරන්න එපා. “දෙවි විශ්වාසවන්තය. ඔබට දරාගත හැකි තරමට වඩා පරීක්ෂා කරනු ලබන්න ඔහු ඉඩ දෙන්නේ නැත.” බයිබලයේ අදහස එයයි. ඇත්තවශයෙන්ම, ඔහු ඉන් ගැලවීමට මාර්ගයක් සාදා දෙනවා ඇති. (1 කොරින්ති 10:13, NW) දෙවි ඉදිරියේ ඔබගේ ගැටලුව ගැන ඉතා දැඩි කන්නලව්වෙන් යුතුව දිගටම යාච්ඤා කිරීමෙන් සුවදායක ප්‍රතිඵල අත් කරගන්නට පුළුවන් වෙයි. ඔහුගේ වචනයේ මෙසේ දිරිගන්වා තිබෙනවා. “ඔබේ බර යෙහෝවා පිට තබන්න. ඔහු ඔබ උසුලන්නේය. ඔහු කිසිකලෙකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙන්නේය.”—ගීතාවලිය 55:22.

ඇත්තවශයෙන්ම, ඔබ ඔබේ යාච්ඤාවලට එකඟව ක්‍රියා කරන්නටත් අවශ්‍යයි. කාමුක දර්ශන මුළු හදවතින්ම ප්‍රතික්ෂේප කරන්නට ඔබ ඉතාමත් අවංක වෑයමක් ගත යුතුමයි. විශ්වාසවන්ත මිතුරෙක් හෝ පවුලේ සාමාජිකයෙක් මෙහිදී අපට මහත් ආධාරයක් වෙන්න පුළුවනි. ඔබේ අධිෂ්ඨානයට ඇලී සිටීමට ඔබට අවශ්‍ය සහයෝගය සහ දිරිගැන්වීම දෙන්නට ඔහුට හෝ ඇයට හැකි වේවි. (“අවශ්‍ය උපකාර ලබාගැනීම” යන කොටුව බලන්න.) එවන් ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් ස්ථිරවම ඔබ දෙවිව සතුටු කරන බව මතක තබාගැනීම ඔබගේ ක්‍රියාමාර්ගය තුළ දිගටම ස්ථිරව සිටීමට ඔබට උපකාරයක් වන බවට කිසිම සැකයක් නැහැ. (හිතෝපදේශ 27:11) ඊට අමතරව, ඔබ විසින් කාමුක දර්ශන නැරඹීමෙන් සිදු වෙන්නේ දෙවිගේ හිත රිදවීම බව දැනගැනීමත් එයින් වැළකී සිටීමට ඔබට අමතර පෙලඹීමක් විය හැකියි. (උත්පත්ති 6:5, 6) එම පොරබැදීම ලෙහෙසි පහසු වෙන එකක් නැහැ. නමුත් ඉන් ඔබට ජයගත හැකියි. ඔව්, කාමුක දර්ශන නැරඹීමේ පුරුද්දෙන් ජයගන්න පුළුවනි!

යථාර්ථය මෙන්න. එනම්, කාමුක දර්ශන නැරඹීමෙන් දරුණු විපත් සිදු වෙනවාමයි. ඒවා හානිකරයි, විනාශකාරීයි. ඒවා නිපදවන අයත් ඒවා නරඹන අයත් ඒ මගින් දූෂණය වෙනවා නියතයි. ඒවා නිපදවීමත් බැලීමත් පුරුෂයන්ට හා ස්ත්‍රීන්ට කරන බලවත් අවමානයක්. දරුවන්ට ප්‍රබල අන්තරායක්. එබැවින් එය මුළුමනින්ම හෙළා දැකිය යුතු ප්‍රතික්ෂේප කළ යුතු ඉතා නරක පුරුද්දක්.

[පාදසටහන්වල]

a අන්තර්ජාලයේ එන කාමුක දර්ශනවල භයානක බව පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් සඳහා, 2000 ජූනි 8 පිබිදෙව්! කලාපයේ 3-10දක්වා පිටුවල ඇති “අන්තර්ජාලය ඔස්සේ එන කාමුක දර්ශන—එයින් අනතුරක් එල්ල වේද?” යන ලිපි මාලාව කරුණාකර බලන්න.

b කාමුක දර්ශන පිළිබඳව බයිබලයේ දෘෂ්ටිය දැනගැනීමට කරුණාකර 2002 ජූලි 8 පිබිදෙව්! කලාපයේ 21-23 දක්වා පිටු බලන්න.

[10වන පිටුවේ කොටුව⁄පින්තූරය]

අවශ්‍ය උපකාර ලබාගැනීම

කාමුක දර්ශන නැරඹීමේ පුරුද්දෙන් ගැලවීමට දරන පොරබැදීම අඩුවෙන් තක්සේරු නොකළ යුතුයි. එය දුෂ්කර සටනක් විය හැකියි. ලිංගික ක්‍රියාවලට ඇබ්බැහි වී සිටි සිය ගණනකට ප්‍රතිකාර කළ වෛද්‍ය වික්ටර් ක්ලයින්ගේ අදහස මෙයයි. “‘මීට පස්සේ නම් ඕවා ආයෙත් බලන්නේ නැහැ’ කියන පොරොන්දු වැඩක් නැහැ. මෙය නැවැත්වීමට කෙනෙකු තුළ හොඳ චේතනාවක් තිබීමෙන් කිසි පලක් නැහැ. [ලිංගික ක්‍රියාවලට ඇබ්බැහි වී සිටින කෙනෙකුට] මෙය තනිවම නම් නවත්වන්නට බැහැ.” ක්ලයින් කියන අන්දමට සාර්ථක ලෙස ප්‍රතිකාර කිරීම සඳහා පුද්ගලයා විවාහකයෙකු නම් ඔහුගේ කලත්‍රයාව සම්බන්ධ කරගැනීම අනිවාර්ය අවශ්‍යතාවක්. “දෙදෙනාම මේ කාර්යයට සම්බන්ධ වී පොරබදනවා නම්, ඉතා ඉක්මනින් සාර්ථක ප්‍රතිඵල නෙළාගන්නට පුළුවන්” යයි ඔහු කියා සිටිනවා. “මේ දෙදෙනාටම හානි සිදු වෙලා. ඒ නිසා දෙදෙනාටම උපකාර අවශ්‍යයි.”

යම් පුද්ගලයෙක් තනිකඩයෙකු නම්, බොහෝ විට විශ්වාසවන්ත මිතුරෙක් සහ පවුලේ සාමාජිකයෙක් ශක්තියේ උල්පතක් විය හැකියි. ප්‍රතිකාරයට කවුරු සම්බන්ධ වුණත් ක්ලයින්ට වෙනස් කළ නොහැකි එක්තරා නීතියක් තිබෙනවා. එය නම්, ගැටලුව ගැනත් නැවත නැවත ගැටලුවට වැටුණු අවස්ථාවන් ගැනත් නොසඟවා කතා කරන්න යන්නයි. “රහස් තියාගෙන හිටියොත් ‘එය ඔබව මරා දමාවි’” යයි ඔහු පවසනවා. “රහස් තියාගත්තොත් වෙන්නේ ලජ්ජා වීමට සහ වරදසහිතබව ඇතිව සිටීමටයි.”

[9වන පිටුවේ වගුව]

ඔබ පිළිගන්නේ කිනම් පණිවුඩයද?

කාමුක දර්ශනවල පණිවුඩය

◼ ඕනෑම කෙනෙක් සමඟ, ඕනෑම වේලාවක, ඕනෑම අවස්ථාවක ලිංගික සම්බන්ධකම් පවත්වන්න. එය කොහෙත්ම වැරදි නැහැ. කිසිම හානිකර විපාකයක් ඒ තුළ නැහැ.

බයිබලයේ දෘෂ්ටිකෝණය

◼ “විවාහය සියල්ලන් අතර ගෞරවනීයවද, විවාහ යහන දූෂ්‍ය වීමකින් තොරවද තිබේවා. මන්ද, වේශ්‍යාකම් කරන්නන්වද පරදාස්වනයේ යෙදෙන්නන්වද NW. දෙවි විනිශ්චය කරන්නේය.”හෙබ්‍රෙව් 13:4.

ව්ශ්‍යාකම් කරන්නා තමාගේම ශරීරයට විරුද්ධව පව් කරන්නේය.”1 කොරින්ති 6:18; රෝම 1:26, 27ද බලන්න.

කාමුක දර්ශනවල පණිවුඩය

◼ විවාහය ලිංගික තෘප්තියට බාධාවක්.

බයිබලයේ දෘෂ්ටිකෝණය

◼ “ඔබ් යෞවන වයසේ යෞවන වයසේ භාර්යාව කෙරෙහිම ප්‍රීති වෙන්න. . . . ඇගේ ආදරයෙන් නිතරම ප්‍රීතිමත් වෙන්න.”හිතෝපදේශ 5:18, 19; උත්පත්ති 1:28; 2:24; 1 කොරින්ති 7:3ද බලන්න.

කාමුක දර්ශනවල පණිවුඩය

◼ ස්ත්‍රීන් සිටින්නේ එකම අරමුණක් සඳහා පමණයි. ඒ, පුරුෂයන්ගේ ලිංගික අවශ්‍යතා සපුරාලීමටයි.

බයිබලයේ දෘෂ්ටිකෝණය

◼ ‘මම [යෙහෝවා දෙවි] ඔහුට සුදුසු සහකාරියක් සාදා දෙන්නෙමි.’උත්පත්ති 2:18; එපීස 5:28දබලන්න.

කාමුක දර්ශනවල පණිවුඩය

◼ පුරුෂයන් හා ස්ත්‍රීන් යනු තමන්ගේ ලිංගික ආවේගවල වහල්ලුය.

බයිබලයේ දෘෂ්ටිකෝණය

◼ “එබැවින්, වේශ්‍යාකම, අපවිත්‍රකම, ලිංගික තෘෂ්ණාව, අනතුරුදායක ආශා සහ රූප වන්දනාවක් වන තණ්හාව වැනි කාරණා හා බැඳි පොළොවේ තිබෙන ඔබේ අවයව නසා දමන්න.”කොලොස්සි 3:5, NW.

“එකිනෙකා තම තමාගේ ශරීරය ශුද්ධව, ගෞරවයෙන් යුක්තව පාලනය කරගන්නේ කෙසේදැයි දැනගත යුතුය.”1 තෙසලෝනික 4:4, NW.

“වැඩිහිටි ස්ත්‍රීන්ව මව්වරුන් මෙන්ද, තරුණියන්ව සහෝදරියන් මෙන්ද, පවිත්‍ර සිතින් සලකන්න.”—1 තිමෝති 5:1, 2, NW; 1 කොරින්ති 9:27ද බලන්න.

[7වන පිටුවේ පින්තූරය]

කාමුක දර්ශන නැරඹීමෙන් ළමා මොළයේ ස්වාභාවික වර්ධනයට බලපෑම් ඇති වන බව ඇතැම් පර්යේෂකයන්ගේ අදහසයි

[8වන පිටුවේ පින්තූරය]

කාමුක දර්ශන විවාහයක් තුළ ඇති විශ්වාසය හා විවෘතභාවය විනාශ කරනවා

[10වන පිටුවේ පින්තූරය]

දැඩි කන්නලව්වෙන් යුතුව දිගටම යාච්ඤා කිරීම හොඳ ප්‍රතිඵල බිහි කරයි